බසයකදී හමුවී කෙටි ඇසුරකින් මිතුරකු වී කළ උපකාරයට ප‍්‍රතිඋපකාර දැක්වූ තරුණ සැමියකුට අලි අකර තැබ්බයකට මුහුණ පා හිස් අතින් ගෙදර යාමට සිදුවූ පුවතක් වාරියපොලින් වාර්තා වෙයි. පුවත සැකවින් මෙසේය. ඔහු තරුණ සැමියෙකි. බිරියත් සමග අලූතින් ඉදිකළ නිවෙසට සුබ මොහොතින් ගෙවැදීමෙන් පසු බිරියගේ පළමු ඉල්ලීම වූයේ ”අනේ මෙයා! අපි අලූත් ගෙට අලූත් මොඩල් එකේ ටී.වී. එකක් ගනිමු” යන්නය. සැමියා පසුදාම ගනේවත්තෙන් වාරියපොල බලා පිටත්වූයේ බිරියගේ ප‍්‍රථම ඉල්ලීම ඉටුකිරීමේ අදහසිනි. වාරියපොල බලා යන බසයට නැගුණු ඔහුට වාඩිවීමට ඉඩ ලැබුණේ යුරෝපීය ඇඳුමෙන් සැරසුන ලිපිගොනුවක් අතැති පි‍්‍රය මනාප පෙනුමැති තරුණයකු සිටි අසුනකය. ටික දුරක් යද්දී තරුණයා ”අයියා කොහොද යන්නේ”යි ඇසීය. ”මල්ලි මම වාරියපොල යනවා” ඔහුගේ කෙටි පිළිතුර විය. ඔහුට හොරෙන් ඔහුගේ අතමිට නිරීක්‍ෂණය කළ තරුණයා ”අයියා ඇයි වාරියපොල යන්නෙ.” ”මල්ලි මම ටීවී එකක් ගන්න හිතාන යන්නෙ”. ”ෂෝක්නෙ අයියෙ මමත් වාරියපොල ටියුෂන් ක්ලාස් එකක ටීච් කරනවා. මං අඳුරන කඩයක් තියෙනවා තව ගමේ තියා නගරයේවත් අරන්නැති මොඩල් එකක් ගන්න මං සපෝට් කරන්නම්. ලොකු ඩිස්කවුන්ට් එකකුත් අරන් දෙන්නම්. කතාව ඇසූ තරුණ සැමියාට දැනුනේ පුදුම සතුටකි. ”මල්ලි මට දෙය්යො දුන්නා වගේ” කියා ටි.වී. එක ගන්න පේවී මිතුරා අනුගමනය කළේය. කිව්වා වාගෙම නොසිතූ මුදලක් ඉතිරිකර දෙමින් ටීවී එක අරන් දුන්නේය. සියල්ල පෙට්ටියක අසුරා පැත්තක තබා ”ඔය අයියා අපේ නැතිවුන අයියා වගේමයි. යමු අයියෙ තේ එකක් බීල ඇවිත් අරන් යන්න” බසයේදි හමුවූ මිතුරා කීවේය. ”පිස්සුද මල්ලි. මල්ලි ගානේ එපා. මං ගාව සල්ලි තියනවා අපි හොඳ හෝටලයකින් බත්ම කමු” ”අයියගෙ කැමැත්තක්” දෙදෙනා හෝටලයකට ගියෝය. ටියුෂන් දෙන මල්ලී අයියා කන්නකො මගෙ නෝට්ස් වගයක් මේ ළඟ කෙනෙක් ගාව   තියනවා ටක් ගාලා අරන් එන්නම්” කියා ගියා ගියාමයි යළි ආවේ නැත. හෝරාවක් පමණ බලා සිටියත් යාළු මල්ලියා නොපැමිණි නිසා ඔහු කඬේට ගොස් ටීවී එක ඉල්ලූ විට මුදලාලි දුන්නේ අපූරු පිළිතුරකි. ”ඇයි මහත්තයො අර මහත්තය ටීවී එක අරන් ගියානෙ. ඔය මහත්තයා මග ඉන්නවා කිව්වායි කීවේය. උඩ බිම බැලූ ඔහුගේ තොලකට වේලී යන අයුරු දුටු මුදලාලි කතාව අසා පැවසුවේ. ”මහත්තයා කපටියකුට අහුවුණා. ඔය වාගෙ පණ දීල කතා කරන හොරු දැන් කොහෙත් ඉන්නා කාලයක් මේ” යනුවෙන්ලූ.