(තිහගොඩ උපසේන ලියනගම)

දකුණේ වියළි කලාපයට ආසන්න ගමක වැඩිහිටි සංවිධානයක් පසුගියදා මෙහෙය වූ චාරිකාවකි. සංගමයේ සභාපතිවරයා චාරිකාව සැලසුම් කළත් මාර්ගෝපදේශකයා වූයේ බසයේ රියැදුරාය.

චාරිකාව මුල් දින රාත‍්‍රියේ නතර කරන ලද්දේ විශ‍්‍රාම ශාලාවකය. මත් ලෝලියකු වූ රියැදුරු කාටත් හොරෙන් සුපුරුදු තැන් කීපයකට ගියත් හැමෝම කීවේ නගරයේ මැත්පැන් තහනම් කොට ඇති බවය. එහෙත් එක් අයකු ‘ගමේ බඩු’ නම් තැනෙක ඇති බව කීමෙන් ඔහු එහි ගොස් සප්පායම්වී ආවේ හොර පූසෙකු ලෙසටය.

රාත‍්‍රියේ ඔහුගේ බඩ දඟලන්නට විය. උදේම වැසිකිළි ගියත් පිරිස වැඩි නිසා වැඬේ හරි හැටි කරගත නොහැකි විය.

උදේම වන්දනාකරුවන් රැගෙන යද්දී බඬේ අමාරුව දෙගුණ තෙගුණ විය වහාම බසය නැවැත්වූ ඔහු ක්ෂණිකව ඇළ මාර්ගයක් දිගේ ළඳු කැලෑ මණ්ඩියකට ගොස් ආපසු ආවේ මිනිත්තු ගණනකට පසුවය. ‘උදේ දෙවියන්ට පඬුරක් බඳින්න බැරිවුණා.

මම ඇල්ල දේවාලයට ගිහිං පඬුරක් දැම්මා’ ඔහු කීවේ හති දමමිනි. ‘දේවාලෙට ගිහිං පඬුරු දාලා දන ගහලම වැඳපු බව සරමෙ පස්ස පැත්තෙන් පේනවා’ චරිකා සංවිධායක කීමෙන් ඔහු බසයේ වේගය දෙගුණ තෙගුණ කළාලූ.