බුලත් කෙල පඩික්කමක් පිළිබඳ ගමේ කතාවකි. මුළු ගමටම වාගේ සාමාජිකත්වය හිමි සංවිධානයකි. කිසිදු දේශපාලන හයිහත්තියක් නැතිවම තම ශ‍්‍රමයේ ශක්තියෙන් ගමේ සුබ සාධනයට මේ තුළින් නොයෙක් දේ කළේය. ”සල්පිල්”, ”මල් පෙරහර” ආදායම් සොයා ගැනීමේ ක‍්‍රම අතර විය. නිතර පවත්වන එවැනි දෙයට ගැමියන්ගේ සහය ද නොඅඩුව ලැබිණි. ගැමියෝ මෙවැනිම වූ ”සල්පිලක්” සූදානම්කිරීමට කතිකා කර ගත්තේ විහාරස්ථානයේ වැඩකට මුදල් සොයා ගැනීම සඳහාය. සමිතියේ ඊළඟ රැස්වීම ඇරඹිණි. සභාපතිතුමා! සල්පිලට අවශ්‍ය විකුණුම් භාණ්ඩ දැන්  ඕනෑ තරම් තියෙනවා. අපිට මේවා වෙන්දේසි කරන්න හොඳ කවිකාරයෙක් හොයාගන්න  ඕන. අයෙක් නැගිටිමින් කීවේය. සල්පිල් කවියන්ගේ අගේ දැනෙන්නේ දැන් තමයි හාමුදුරුවනේ. කලකට පෙර මිය ගිය ගමේ වාසය කළ කවියෙකුගේ ගුණය ද සිහිකරමින් තවත් සාමාජිකයකු එසේ කියද්දී ”හරි මම එක්ක එන්නම් නියම කෙනෙක්” තවකෙක් කීවේය. එහෙනම් ඒ මහත්තයා ඊළඟ සභාව දවසට එක්ක එන්න. ලේකම්වරයා කීය. පන්සලේ ධර්මශාලාවට සතියකින් පසුව ඊළඟ සමිතිවාරය ද රැුස්විය. කවියා ද එහි පැමිණ සිටියේය. හොඳයි මේ මහත්තයා අපේ සල්පිලේ වැඬේ හොඳට කරල දේවි කියලා හිතනවා. ම්....ම්.... කියමුකෝ බලන්න නිකමට මෙතන අපේ සල්පිල කියල හිතාගෙන මොකක් හරි භාණ්ඩයක් අලෙවි කරන්න කවියක්. සමිති නිලධාරියකු එසේ කීවේ එදින සමිතිවාරයද රසවත් කරගැනීමේ අරමුණෙනි. ම්... මොකක් වගේ දෙයක් ගැනද කවිය කියන්න  ඕන. කවියා ඇසීය. හොඳයි අන්න අරක ගැන කවියක් කියමු බලන්න. ධර්ම ශාලාවේ කෙළවරක තිබූ පඩික්කමක් පෙන්නා තවකෙක් කීවේය. කවියා උගුරේ රැල් බුරුල් කැර මෙසේ කීවේය. පහළට කට ඉහළට කට මැදට ගෙඩිය පඩික්කම ඉහළට කට මැදට ගෙඩිය පහළට කට පඩික්කම මැදට ගෙඩිය පහළට කට ඉහළට කට පඩික්කම ඉහළට කට පහළට කට මැදට ගෙඩිය පඩික්කම කවියාගේ දස්කම නිසා ඊළඟ සතියේ පැවැති සල්පිලේ ඉතිරි වූයේ සංවිධායකයින් වාඩිවී සිටි පුටු පමණකි.