කොළඹ ආයතනයක සේවයේ නියුතු මිතුරන් තිදෙනෙකි. එක් අයෙක් මස් මාංශ කෑමෙන් වැළකී සිටි අතර මස් කෑමේ ආදිනව තම මිතුරනට පෙන්වා දෙන ඔහු දිනක් රාත‍්‍රි ආහාර ගන්නා අතරතුරදී ඔවුනට මෙසේ පැවසීය. ”අපේ ගෙවල් පැත්තේ හරක් අයිතිකාරයෙක් හිටියා. එයා ගෙදරටත් හොරෙන් හරකෙක් මසට වික්කා. අන්තිමට එයා මැරුණේ උම්බෑ කිය කියා’’ ‘‘ඒක නම් හරි පව්’’ මස් කැබැල්ලක් කටට දමා ගනිමින් මිතුරෙක් සිනා සෙමින් කීය.
පසුගිය දිනෙක මෙම මිතුරන් සේවය නිමාවී තම නේවාසිකාගාරය වෙත පැමිණියේ රාත‍්‍රි නමයට පමණය. එක් මිතුරෙක් ‘‘මම කෑම අරන් එන්නම්. ඔයාලා වොෂ් එකක් දාගන්න’’ යැයි පවසා හෝටලයට ගියවිට කෑමට තිබුණේ පරාටා සහ කුකුළු මස් පමණි. අනෙකුත් ව්‍යංජන ඉවර වී තිබු අතර මස් අනුභව නොකරන මිතුරා සඳහා කිසිදු ව්‍යංජනයක් නොතිබිණි. කුකුළු මස් පීරිසි දෙකක් සමග තිදෙනාටම පරාටා මිලදීගත් හෙතෙම නේවාසිකාගාරයට ගොස් මස් නොකන මිතුරා අමතා ‘අනේ මචං උඹේ කරුමෙට අද උඹට පරාටා විතරයි’’ යැයි පැවසීය. ඇඟපත සෝදාගෙන ඇවිත් තිදෙනාම කෑමට වැඩිවූහ.
කුකුළු මස් පිඟානකට දමා ගත් අයෙක් නිර්මාංශ මිතුරාට පරාටා පමණක් දී කුකුළු මස් දෙදෙනා බෙදාගෙන කන්නට වූහ. හොද්දක් නැතිව පරාටා කෑමට නොහැකි බව දත් නිර්මාංශ මිතුරා’ ‘‘අනේ මචං මට කුකුළු මස් කෑලි එපා. හොදි විතරක් දාපන් යැයි පවසා මස් හොදි ඉල්ලාගෙන පරාටා කන්නට විය.
දැන් ඔහුට මිතුරෝ මචං කෑලි එපා හොදි හොඳයි’’ යැයි පවසති.