(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන්ගේ රියැදුරු බලපත‍්‍රය පසුම්බියේ තිබිය දී එය නැතිවූ බව කියා පොලිසියේ පැමිණිල්ලක් ලියූ රියැදුරකු පිළිබඳව මාඔයට ආසන්න ගම්මානයකින් පසුගියදා දැන ගන්නට ලැබිණි.


ඔහු වෘත්තීය රියැදුරෙකි.  ළඟදී දිනක මංගල උළෙලකට සහභාගි වුණේ සිය දරු පවුලේ පිරිස ද සමගය. තැන නොතැන නොබැලූ ඔහු හොද හැටි මධුවිතෙන් සප්පායම්වූයේ් බිරියගේ අවවාද අනුශාසනා ආදිය ද ගණනකට නොගනිමින්ය.


ටික වේලාවක් ගතවද්දී ටයි පටිය ගැලවුණේය.  සාක්කුව වරින් වර අස්පස් කරන්නට ද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමග යතුරු පැදියේ නැගී නිවසට එන්නට මේ රියැදුරා වාසනාවන්ත වූයේය. පසුදාට පහන් විය. වාහනයේ බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබිණි.


පිරිසගෙන් ඇමැතුමක් ද ආයේය.  ඉක්මනට එනවා කී හෙතෙම තම රියැදුරු බලපත‍්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොවීය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්නට ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියැදුරෙක් කැඳවා ගමන පිටත් කර, රිය බලපත නැතිවීම ගැන පොලිසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.


තමන්ගේ රියැදුරු බලපත‍්‍රය නැතිවී ඇති බවත්, එය අලූතින් ලබා ගැනීමට අවශ්‍ය බවත් කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආවේ ඒ සඳහා යන බර පැන සොයනා අන්දමක් ගැන සිතමිනි.


නිවසට ආ ඔහු පුටුවකට බරවූයේ ඇද සිටි කමිසය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතැනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇති බව සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහිවූ පියාගේ රිය බලපත හමුවී සෙල්ලම් කරනවා දුටු පියාට තරු පෙනුණේය.