මේසන් බාස් කෙනකු ගාල්ල ප‍්‍රදේශයේ සිට පිළියන්දල ප‍්‍රදේශයේ ගෙයක් ඉදිකිරීමට පැමිණියේය. ඉතා දුර බැහැර නිසාත් තමාගේ ම කියා ගෝලයකු නොමැති නිසාත් බාසුන්නැහේ නිවෙස් හිමියාගේ දන්නා අඳුනන පිළියන්දල ප‍්‍රදේශයේ ගෝලයකු ඉල්ලා සිටියේය. නිවෙස් හිමියාද තමන් අඳුනන ගෝලයකු ලබා දීමට කටයුතු කළේය. සතියක පමණ කාලයක් දෙදෙනා එකට වැඩ කර බොහෝ හිතවත් විය. දිනක් රාත‍්‍රියක ගෝලයා බාසුන්නැහේ ද බලෙන්ම රැගෙන තම මිතුරකුගේ ගෙදර ගියේය. එය බූරු පොළක් බව ටික වේලාවකින් බාස්ට වැටහුනි. ගෝලයා බූරු ගසන්නට පටන් ගත්තේය. අහිංසක පුද්ගලයකු වූ බාස් ටිකක් දුරකට වී බලා සිටියේය. නොබෝ වේලාවකින් ගෝලයා පැමිණ ‘‘මට කෝල් එකක් ගන්න  ඕන’’ යැයි කියා බාස්ගේ ෆෝන් එක රැගෙන ටිකක් දුරට ගියේය. ගෝලයා ටික වේලාවකින් නැවතත් බූරු ගසනු බාස් දුටුවේය. බාස් එතැනට ගොස් තම ෆෝන් එක ඉල්ලා සිටියේය. බාස්ගේ අතට සිම් කාඞ්පත දුන් ගෝලයා දුරකතනය මේ වටය දිනූ විට  දෙන්නම් යැයි පවසා නැවත බූරු ගසන්නට විය. ගෝලයා පරාද විය. තමන් ෆෝන් එක උගස් කර බවත් එම රු. 2500 යෙන්ද බූරු ගැසූ බවත් ගේ හිමියාට මෙය නොකියන ලෙසත් පසුව එය බේරා දෙන බවත් පවසා බාස් සමඟ නැවත පිටත් විය. නිවසේ වැඩ කටයුතු ද අවසන් විය. දින කීපයක් බලා සිටි බාස් ගේ හිමියාට ද තමාට සිදු වූ කරදරය පවසා දුරකතනය තමාට අරන් දෙන ලෙස ගේ හිමියාගෙන් ඉල්ලා සිටියේය. ගේ හිමියා හොඳින් ගෝලයාගේ කෙරුම් ගැන දැන සිටි නිසා ඔහුට තරයේ අවවාද කළේ තමන් දෙන මුදලින් එය නැවත බාස්ට ලබා දෙන ලෙසය. ගෝලයා කෝප විය. බාසුන්නැහේට පහරක් ගැසු ගෝලයා ගේ හිමියාගෙන් මුදල් ඉල්ලා ගෙන ෆෝන් එක බේරාගන්නා ලෙසත් මේ ප‍්‍රදේශයෙන් යහතින් පිටවෙන්න නම් තමන්ගෙන් මුදල් ඉල්ලාගෙන කරදර නොකරන ලෙසත් තර්ජනය කළේය. බාස් පහුවදා තමන්ගේ වැඩ වලට ලැබුණු මුදලින් මිලෙන් ඉතා අඩු ෆෝන් එකක් මිලදී ගෙන කිසි කෙනකුටත් නොදන්වා පිළියන්දලින් පිට වී ගියේය.