රජරට එක්තරා කුඩා නගරයකි. පිටි සහ සීනි මිල ඉහළ යාමත් සමග තේ කඩ හිමියෝ බොහෝ දෙනෙක් පොල් රොටියේ සහ ප්ලේන්ටියේ ද මිල වැඩි කළහ. එක් කඩයක පමණක් පෙර පැවැති මිලටම ඒවා අලෙවි කළේය. මේ නිසා උදයට රොටී කා තේ බීමට වැඩි දෙනෙක් එතැනට යාමට පුරුදු වී සිටිති. මේ හේතුවෙන් මේ මුදලාලි ගේ අත මිට පෙරට වඩා සරු විය. දිනක් උදේ රොටී කා තේ බීම සඳහා මම ද මේ තේ කඩයට ගොඩ වූයෙමි. තේ බී අවසන් වී මුදලාලිගෙන් ගාණ? ඇසුවෙමි. මහත්තය රොටී දෙකයි ප්ලේන්ටි එකයි නේද ගත්තෙ? රු. 30ක් දෙන්න යයි හෙතෙම කීය. එය පෙර තිබූ මිලය. මුදලාලි! අර කඩවල රොටියක් රු. 12යි. ප්ලේන්ටියක් රු. 15යි. මේ ගාණට දීල මුදලාලිට ලාබ තියෙනව ද? මම නිකමට මෙන් ඇසුවෙමි. එවිට ඔහු මා දෙස උපහාසාත්මක සිනහවක් මුවගට නගමින් කීවේ මෙවන් කතාවකි. මහත්තයෝ වෙනද රොටියට ගන්න පිටි ගුලිය පොඞ්ඩක් ‘‘කෙට්ටු’’ කළා. ප්ලේන්ටියත් ඒවගේ චුට්ටක් ‘‘කෙට්ටු’’ කළා. මේක කඩයට එන යන මිනිස්සුන්ට ඒතරම් ගාණක් නෑයි ඔහු මගේ පිටට තට්ටු කරමින් කීවේ වෙළඳ උපක‍්‍රමයක් හෙළිකරමිනි. ලොකු කෝප්පයක් දුන්නත් ටිකක් ඉතිරි කරනවා, ලොකු රොටිය කෑවත් කෑල්ලක් විසි කරනවා. ඒ නිසා මෙයින් කාටවත් පාඩුවක් නැතැයි මුදලාලි කීවේය.