ඔහු අර්ධ නාගරික පෙදෙසක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. කුකුළු කේන්ති කාරයෙකි. හොස්ස අගින් මැස්සෙක් ගියත් අත් පා ගසා දමන්නේ සුද්ධ සිංහල වචන හත අටක් වමාරමිනි. පෞද්ගලික වාහනයකින් නිතර එහෙ මෙහෙ යන නිසා මෙතෙක් වැඩිපුර ඔහුගෙන් බැණුම් ඇසුවානම් ඒ පවුලේ සාමාජිකයන් හා සේවකයන් පමණි. කේන්ති පැමිණි සැණින් ලත්තැනම ලොප්වී කාරුණික වන හෙයින් ගැහුවත් බැන්නත් කවුරුත් ඔහු සමඟ අමනාප නොවූහ. සේවකයින් දෙතුන් දෙනකුගේ වැටුප් වැඩි වූයේ ද ඔහුගෙන් දෙතුන් වරක් ගුටි කෑ හෙයිනි. පසුගියදා ඔහුට පොදු ප‍්‍රවාහන සේවා බස්රථයකින් නගරයට ඒමට සිදුවූයේ මෝටර්රථය ක‍්‍රියා විරහිත වූ බැවිනි. සිය දියණියගේ ගෙදර දොර බැලීමට එන අමුත්තන් පිරිසකට සංග‍්‍රහ කිරීමට කේක්, කෙසෙල්ගෙඩි රැගෙන යාම ගමනේ අරමුණ විය. ඔහු ආපසු ගෙදර යමින් සිටියේ මා ගමන් කළ බස්රථයේ මා වාඩිවී සිටි අසුනේම වාඩිවී පාර්සල් දෙකක් ඔඩොක්කුව මත තබාගෙනයි. අතර මගදී ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ කාන්තා හඬකි. එන්ට තව වෙලා යයිද? ලැබුණු ඇමතුමයි. දැන් බස් එකේ එන ගමන් ඔහු එසේ පවසා ඇමතුම කට් කළේය. තවත් පැය කාලකින් පමණ එම කාන්තා හඬින්ම ඇමතුමක් ලැබුණි. එනවා එනවා දැන් මඟ මඟ ඔහු පැවසුවේය. තවත් ස්වල්ප වේලාවකින් ජංගම දුරකතනය නාදවුනි. එහෙන් කතා කරන්න පෙර මෙහෙන් කතා කළේය. ඒ හඬ බසය පුරා දෝංකාර දුන්නේ මෙසේය. යකෝ මඟුලක් කතා කරණවද? තොපි කියන්නෙ මට ඉගිලිලා එන්ට කියලද? මේ බස් කාරයා පැයක් තිස්සේ කොටනවා කීවේය. ඇත්තටම සීට් ගානටවත් මගීන් නොසිටි නිසා බසය ගමන් කළේ වටපිට ගෙවල්වල රෙදි අඳින උදවිය දෙස පවා බලමිනි. කෙසේ හෝ සිනා හඬ මැද බසයේ වේගයද මදක් වැඩිවිය.