මේ දිනවල සෑම පෞද්ගලික ආරක්ෂක ආයතනයකම නිලධාරි හිඟයක් ඇත. පසුගිය දිනක පෞද්ගලික ආරක්ෂක ආයතනයකට උත්සවයක් සඳහා අතිරේක නිලධාරීන් අවශ්‍ය විය. ආයතනයේ නිලධාරියෙක් තම යතුරුපැදියෙන් ගොස් අතිරේක ආරක්‍ෂක නිලධාරින් කිහිපදෙනකු රැස් කරන්නට විය. එක් අයකු මදිවූ නිසා නිවාඩු ලබාගෙන නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුට දුරකතනයෙක් කතා කළ නිලධාරියා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා සූදානම් වී සිටින ලෙස දැන්වීය. පැය බාගයකින් නිලධාරියා ආරක්ෂක නිලධාරියාව රැගෙන යෑමට යතුරුපැදියෙන් පැමිණියේය. ඔහුට දක්නට ලැබුණේ නිළ ඇඳුම පිටින්ම ආරක්ෂක නිලධාරියා පාර දිගේ යන බවය. ඔහු පසුපස ගොස් යතුරුපැදිය නැවැත්වූ නිලධාරියා ”පුතා, නැගපන් නැගපන්” යැයි කීය. හෙල්මටය ගත් ආරක්ෂක නිලධාරියාද යතුරුපැදියේ පසුපස වාඩිවිය. අතරමගදී නිලධාරියාගේ දුරකථනයට ඇමතුමක් ලැබිණි. එයට පිළිතුරු දෙන ගමන් යතුරුපැදිය නැවත්වූ නිලධාරියා පිටුපස බැලීය. ඔහු දුටුවේ හේලමටය අතට දමාගෙන නාඳුනන අයෙක් පිටුපස සිටිනා බවය. ”තමුසේ කව්දැයි” නිලධාරියා විමසීය. ”මම තමයි උඹේ බාප්පා” ආගන්තුකයාගේ පිළිතුර විය. මුහුණ පුරා රැවුල වවා සිටි එම පුද්ගලයාව මීට පෙරද පාරේ දැක පුරුදු මානසික ආබාධ සහිත පුද්ගලයෙක් බව නිලධාරියාට වැටහිණි. හෙල්මටය උදුරාගත් නිලධාරියා යතුරුපැදිය ආපසු හරවාගෙන හමුවිය යුතු ආරක්ෂක නිලධාරියා සොයා ගියේය. නිවසේ සිටි ආරකෂක නිලධාරියා, ”බලන්නකෝ සර්, වැලේ දාපු යුනිෆෝම් එක කව්දෝ හොරකම් කරලා”, ”ඒකයි සර්ට මං කෝල් කළේ” යැයි කීය. හරි හරි පරක්කු වුණා අපි යන්. මම අලූත් යුනිෆෝම් එකක් දෙන්නම්” නිලධාරියා පැවැසීය.