සත් කෝරළයේ ගමක ජයට මඟුලක් කා මනාලියක කැන්දාගෙන ආවේ හෙළ කුල සිරිතට කද මලු බැඳ නෑදෑ පාර්ශ්වය පිරිවරා ගනිමිනි. ගැමි ගෙදරක් වූ මනාලයාගේ නිවස ගොවිතැන් බත බූලතින් ජීවිකාව ගෙන ගිය පවූලකි. සිය සැමියා නැන්දම්මා සහ මාමා සමගින් අලුත් නිවසේ ජීවත්වන්නට සිදු වූ ලේලියට නැන්දම්මාගේ ගුරුහරුකම් ලබමින් මූලුතැන්ගේ වැඩකටයුතු කිරීමට සිදුවීය.
 
මනාලිය පැමිණ සති කීපයක් ගත වීමත් නිසා පරිස්සමට නැන්දම්මාගේ පිළිවෙලට ටිකෙන් ටික හැඩ ගැසීමට ඇයට සිදු විය. කුඹූර හේනෙ වත්තෙ පිටියෙ කැත්තෙ උදැල්ලෙ සියලු වැඩ දත් නැන්දම්මා අලුත් ලේලියගේ වැඩ කටයුතු කෙසේදැයි පිරික්සීමට සිතා මෙසේ කීවාය. ළමයෝ කැන්ද කොළ ටිකක් තැම්බූවනං හොඳා. හොඳ පොල් පැණි බෝතලේකුත් තියනවා. රාලහාමිත් ඕවට මනාපයි නොවැ කියමින් සිය පුතා ගැන මතක් කළාය. එසේ ලේලියට පැවසූ නැන්දම්මා වත්ත පහළ ඇති කැන්ද ගහකින් කොළ කඩා ලේලියට ගෙනවිත් දුන්නාය.
 
 ලේලිය ද කිසිවක් නොඅසාම කැන්ද කොළ තැම්බීමට සූදානම් වූවාය. එහෙත් ලේලිය කිසි දිනක කැන්දකොළ තම්බා නොතිබුණි. දැන් පැණි බෝතලයකුත් කැන්ද කොළත් ඇත. කැන්දකොළ තම්බන විදිහක් ඇය දන්නේද නැත. ලේලිය කැන්ද කොළ වට්ටියක තබා සම්පූර්ණ කැන්ද කොළය මත පැණි තැවරුවාය. ඉන්පසූ දෙකට නවා වණ්ඩුවක් බැඳ පැණි තැවරූ කැන්ද කොළ එකක් මත එකක් තබා බොහෝ වේලාවක් තැම්බුවාය. තැම්බුන පසූ ලිපෙන් බා නැන්දම්මාට කතා කොට අම්මෙ කැන්ද කොළ ටික තැම්බුවා කීවාය. 
 
නැන්දම්මා පැමිණ “කෝ බලන්න රසද කියලා” කියමින් කැන්දකොළ නොහොත් හැළප කෑමට තැම්බූ කැන්ද කොළය දිග හැරියාය. කැන්ද කොළය තවා මැරී තිබුණත් ඇතුළත කිසිවක් නැත. නැන්දම්මා මෙසේ ලේලියගෙන් විමසීය. “ඈ ළමයෝ කෝ කැන්ද කොළ මේ කොළේ විතරයිනෙ.” “ඉතින් අම්ම කිව්වේ කැන්ද කොළ තම්බන්න කියලනෙ, මම තැම්බුව” ලේලියගේ පිළිතුර විය.
 
නැන්දම්මා ලේලියගේ කෑම හැදීමේ තරම දැන කැන්ද කොළ කියන්නෙ හැළපවලට. මෙන්න මෙහෙමයි හැළප තම්බන්නෙ. කියමින් කැන්ද කොළ නොහොත් හැලප සාදා පෙන්නූවාය. ලේලිය ලැජ්ජාවට පත් වී නැන්දම්මාගෙන් කැන්දකොළ තැම්බීමේ පාඩම ඉගෙන ගත්තාය.
 
එදා සිට ඒ ලේලිය කැන්ද කොළ තැම්බූ හැටි ගමේ ප්‍රචලිත විය. 
(නැදලගමූව  ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ)