(තිහගොඩ - උපසේන ලියනගම)
සිය දියණියගේ අත ගැනීමේ බලාපොරොත්තුවෙන් නිවසට පැමිණි තරුණයකුගේ අත බලා ශාස්ත්‍ර කී පියකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ වයඹ පළාතෙනි.


විශ්‍රමික විදුහල්පතිවරයකු වූ මේ පියා නක්ෂත්‍ර කටයුතුවලද හසල දැනුමක් ඇති අයෙකි. ඔහුගේ බාල දියණිය සේවය කළේ අගනුවර සංස්කෘතික කටයුතු හා සම්බන්ධ රාජ්‍ය ආයතනයක නිලධාරිනියක හැටියටය.


කාර්යාලයේ දී ඇය සමඟ සේවය කරත් දී ඇතිවූ සබඳතාවක් දුර දිග ගියෙන් ඒ පිළිබඳව සිය මව මගින් පියාට කීවිට කවදත් කෙලින්ම අදහස් පළ කරන පියා කීවේ හැංගි හොරා මේ කටයුතු කරනවා වෙනුවට මව්පියන් දැනුම්වත් කිරීම හොඳ බවය. එම තරුණයාට තම නිවසට එන ලෙස ද දන්වන්නැයි ද ඇය දියණියට කීවාය.


හිතවතකු සමඟ එහි ආ තරුණයාගේ හැඩරුවත්, කතාබහ කිරීම මෙන්ම හැසිරීම පිළිබඳවත් සතුටට පත් පියා තේ පානය කිරීමෙන් පසුව පිළිසඳරේ යෙදෙන අතරතුර “පුතා පොඞ්ඩක් ඔයාගෙ අත මෙහෙට දෙන්න” කීවේ උපැස් යුවළද පළඳින ගමන්ය.


මඳ වේලාවක් අතෙහි වූ හස්ත රේඛා පරීක්ෂා කළ මේ පියාගේ මුහුණ අඳුරු විය. “පුතා මම හැම දෙයක්ම කෙළින්ම කියන මිනිහා. මේ රේඛාවල හැටියට පුතාගෙ පළමු සම්බන්දේ හරියන්නේ නැහැ. දෙවැනි එක හරියනවා.” කීවේ උපැස් යුවළ ගලවා දෙනෙත් පිස දමමිනි.


“ඇත්තද? ඒක ගැටලුවක් වෙන එකක් නෑ. මේ මගේ දෙවැනි සම්බන්දෙ. ගමේ කෙල්ලෙකුට ආදරේ කරලා අන්තිම මොහොතෙ ඒක කැඩිලා ගියා.” ඔහු කීවෙන් මේ පියාට මෙන්ම අසල සිටි මවටත් දෙවියන් සිහි වුණාලු.