(හර්ෂණ තුෂාර සිල්වා)


නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,089 ක් දක්වා ඉහළ ගියේය.

අද (9) පස්වරුවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට සහ ආශ්‍රිත පුද්ගලයන් 13 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුල්වරට හඳුනාගත්තේ ඉකුත් (4) වැනිදා ය.

මේ වනවිට සොයාගෙන ඇති නව පොකුරට අයත් වයිරස ආසාදිත රෝගීන් අයි.ඩී.එච්, ඉරණවිල, මිනුවන්ගොඩ, ගම්පහ, මුල්ලේරියාව, තෙල්දෙණිය, හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙරටින් අද (9) පස්වරු 10 වනවිට හමු වූ මුළු වයිරස ආසාදිතයන්ගේ ගණන 4,523ක් දක්වා ඉක්ම ගොස් තිබූ අතර අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,214ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

වයිරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිසගේ සංඛ්‍යාව 3,296 කි.