අද අප අත් විඳින විදුලි බල අර්බුදය පළමු හෝ අවසන් අවස්ථාව නොවේ. දීර්ඝ කාලයක සිට නියං සහිත කාලයේදී මේ අවාසනාවන්ත තත්ත්වයට අපි මුහුණ දී සිටිමු. එහෙත් මෙතරම් බරපතළ තත්ත්වයක් මෑත කාලයේ උද්ගත නොවීය. එසේ තිබියදී බලධාරීන්ට මෙයට තිරසාර විසඳුමක් ලබාගැනීමට නොහැකිවීම අභාග්‍යයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වරින් වර අවධාරණය කර ඇති අවස්ථාද එමටය. රටක විදුලි අර්බුදයක් ඇති නොවන්නට විදුලි උත්පාදන විකල්ප හඳුන්වා දීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. සාර්ථක විකල්ප ක්‍රමෝපාය හඳුන්වා දී තිබුණේ නම් අද පවතින විදුලි අර්බුදය සිදු නොවනු ඇත. 

සූර්ය බලශක්ති විදුලිය ලබාදීම රටටම හොඳ විකල්පයක් බව එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් කියන කතාවක් අප පත්‍රයේ මාර්තු 26 වැනිදා කලාපයේ පළවිය. එ​ෙහත් අදාළ ආයතනවල ඇල්මැරුණු ක්‍රියාකාරකම් නිසා මෙයට විසඳුම් ලබාගැනීම ගව් ගණනාවක් ඈතට ගොස් ඇත. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ක්‍රියාකලාපය ඊට බලපාන ප්‍රබල හේතුව බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවෝ කියා සිටිති. සෝලා ව්‍යාපෘති 700 ක් සඳහා ඉදිරිපත් කර ඇති අයැදුම්පත්වලට අනුමැතිය ලබාදීම වසර දෙකක සිට ප්‍රමාදයක් පවතින බවද ඔවුහු පවසති. නිසි කලට අවසරය ලබා දුන්නේ නම් අද පවතින විදුලිය කැපිල්ල සිදු නොවන බවට සූර්ය බල ශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ මතයයි. ඔවුන්ගේ හඬ අප පුවත්පත මගින් පසුගිය 26 වැනිදා සවිස්තරව හෙළිකර තිබිණි.

රටක සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ විදුලි බලයටයි. විදුලිය කප්පාදුවක් යනු සංවර්ධනය ද කප්පාදුවක් වීමක් වැනිය. අද ශ්‍රී ලංකාව ද ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන රටකි. ඒ අනුව විදුලිය කැපීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව පුන පුනා කිව යුත්තක් නොවේ. වරෙක විදුලිය කැපීම දේශපාලන පෙරැළිවලට ද හේතු වූ බව සඳහන් කළ යුතුය. එ​ෙහත් මේ අර්බුදය දේශපාලන දෘෂ්ටි කෝණයකින් බැලිය යුත්තක් නොවේ. මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතුම කරුණකි. 

බලශක්ති ව්‍යාපෘති අයැදුම්පත් සඳහා ගාස්තු වශයෙන් රුපියල් කෝටි 10ට අධික මුදලක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ගෙවා ඇති බව ද බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා කියයි. හේතු ඉදිරිපත් නොකර අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමද ගැටලු සහගතය. එසේ ප්‍රතික්ෂේප කරන්නේ නම් පොලී සහිතව එම මුදල් ආපසු ලබාදිය යුතු බව ඔවුහු කියා සිටිති. මේ සඳහා අනුමැතිය ලබා දුන්නේ නම් මෙගාවොට් 1480ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි. ප්‍රමාදයකින් තොරව අනුමැතිය ලබා දුන්නේ නම් දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීම සම්පූර්ණයන්ම නතර කළ හැකිව තිබිණැයි අපට උපකල්පනය කළ හැකිය. 
විදුලිය විසන්ධි කරන හැම අවස්ථාවකදීම පීඩාවට පත්වන්නෝ රටක පහළ මධ්‍යම පාන්තික ජනතාවයි. විශාල ව්‍යාපාර හිමි ධනපති පන්තිය විදුලි ජනක යන්ත්‍ර යොදා ගැනීමෙන් හෝ තම විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමට සමත් වුවත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට එසේ කිරීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් පවතී. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට ද විදුලි කප්පාදුව බලපෑම ජාතියේ අවාසනාවකි. 

ඕනෑම දෙයක් “අද නොවේ හෙට” යන සාම්ප්‍රදායයික රාමුව තුළ කටයුතු කිරීමට මෙරට දේශපාලනඥයන් වගේම ඇතැම් නිලධාරීන්ද හුරුවී සිටීම මෙවැනි අර්බුදවලට බලපාන බව පෙනේ. මෙය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට පමණක් සීමා වූවක් නොවේ. සෙසු රාජ්‍ය ආයතන ගත්ත ද ඉන් බොහොමයක තත්ත්වය මෙපරිදි වෙයි. බලධාරීන් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට කටමැත දෙඩවූව ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබෙන්නේ පසුගාමී තත්ත්වයකි. රටක යටිතල පහසුකම් ක්‍රියාකාරීත්වය ශීඝ්‍රගාමී විය යුතු බව අපේ විශ්වාසයයි. 21 වැනි ශතවර්ෂ​යේ ​ෙලා්කය වේගයෙන් ඉදිරියට ගමන් කරනවිට ශ්‍රී ලංකාව ඉබි ගමනක යන්නේ නම් අපට රටේ සංවර්ධනය ගැන සුබවාදී බලාපොරොත්තු තබාගත නොහැකිය. 

විදුලිබලය පමණක් නොව සන්නිවේදනය, මාර්ග වැනි සියලුම යටිතල පහසුකම් ලබාදීම, නඩත්තුව, වේගවත් විය යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා කළ යුත්තේ දුර දක්නා නුවණින් විනා දේශපාලන වාසි අපේක්‍ෂාවෙන් නොවන බව ද සිහිපත් කළ යුතු කරුණකි. ඒ සඳහා අපට ඇති සම්පත් නිසි කළමනාකරණය විය යුතුය. ඝර්ම කලාපීය රටක්වන අපට සූර්යාලෝකය අඩුවක් නැත. ජලය හිඟවන කාලවලදී සූර්යතාපයෙන් විදුලිය ජනනය කිරීමට ව්‍යාපෘති ගොඩනැ​ෙඟන්නේ නම් එය ජාතියේ වාසනාවකි. අපට විකල්ප හා සම්පත් නැතුවා නොවේ. අද අපට අවශ්‍ය වන්නේ එම සම්පත් මනාව කළමනාකරණය කොට රට ඉදිරියට ගෙන යාමයි. විදුලි බලයට පමණක් නොව සියලු යටිතල පහසුකම් සම්බන්ධයෙන් විකල්ප ගැන බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු කාලය එළැඹ ඇත.