කුසල් පෙරේරා

ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල ලොකු වාදයක් දිග හැරී ඇත්තේ පසුගිය 05 වන දින ජනාධිපති විසින් පාර්ලිමේන්තුව අමතා කළ විවේචනය සමඟින්ය. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායක කරු ජයසූරිය පසුදිනම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් එය සුද්ධ පවිත්‍ර කිරීමේ වෑයමක යෙදුණේය. ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සභාවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් කෙරෙන නිර්දේශ අනුව පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාත් බරපතළ විවේචනයට පත් කළ පසු එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හවුල් විය. පසුව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. ඔහු 2015 සැප්තැම්බරයේ සිට 2017 දෙසැම්බරයේ තිලක් මාරපන පත් කෙරෙනතෙක් අගමැති රනිල් වික්‍රමසිංහගේ තේරීම අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් විය. එකල හෝ ඉන්පසුව හෝ ඔහුට ව්‍යවස්ථාදායක සභාව ගැන එවැනි විවේචන තිබුණේ නැත.

ඔවුන්ගේ විවේචන හා විරෝධ පදනම් වන්නේ දේශපාලන බලය සමඟ මතුව ඇති මතභේද හේතුවෙනි. කෙදිනක හෝ බලය ඔවුන් සතු වූ විටෙක දැන් කෙරෙන විවේචන අපට කලින් ඔවුන්ට අමතකවනු ඇත. ඒ විවේචන පසෙකින් තැබුවද ව්‍යවස්ථාදායක සභාව උපන්ගෙයි කොරයක් ඇතිව පවතින්නකි. ව්‍යවස්ථාදායක සභාවෙහි ස්වාධීනත්වය ගැන කතානායකවරයා ඉතා ඉහළින් පාර්ලිමේන්තුවට කළ ප්‍රශංසා හිස් වචන සමූහයක් පමණි. ඔහු වර්තමාන ව්‍යවස්ථාදායක සභාවෙහි සංයුතිය ගැන ඉලක්කම් ඉදිරිපත් කරමින් කියුවේ එහි කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරයක් නැතැයි කියමිනි. ව්‍යවස්ථාදායක සභාවෙහි එවැනි සංඛ්‍යා ගැන කතා කරන්නට නොහැකිව ඇත්තේ පසුගිය ඔක්තෝම්බරයේ ජනාධිපති සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් ලෙස නම් වූ අසාර්ථක බල පොරයෙහි ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට තවමත් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගැනීමට නොහැකිව ඇති හෙයින් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය අහිමි වූ හෙයින් කතානායකට එලෙසින් දැන් ගණන් කිව හැකිය.

එහෙත් ව්‍යවස්ථාදායක සභාවෙහි උපන් ගෙයි කොරය ගැන අලුත් හේතු දැක්වීම් අවශ්‍ය නැත. වසර 03ක් සඳහා 2015 සැප්තැම්බරයේදී යහපාලන ආණ්ඩුව තිබියදී පත් කළ පළමු ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ඊට හොඳටම ප්‍රමාණවත්ය. එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07ගෙන් 04 දෙනෙක්ම අගමැති වික්‍රමසිංහ ද ඇතුළුව කැබිනට් ඇමැතිවරු වූහ. ඔවුන්ට ආණ්ඩුවේ වුවමනාව ව්‍යවස්ථාදායක සභාවෙහි ස්වාධීනත්වයට වඩා වැදගත් වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. තවමත් එ.ජා.ප. ආණ්ඩුව වෙනුවෙන් සිය ඡන්දය ලබා දෙන ද්‍රවිඩ ජාතික සන්ධානය සතුව විපක්ෂ නායක පදවිය තිබූ ඒ පළමු අවුරුදු 03 හි සම්පන්තන්ද ආණ්ඩුව වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවෙහි පෙනී සිටිය බැව් විවාදයෙන් තොරය. ව්‍යවස්ථාදායක සභාවෙහි ගණපූරණය 05 ක් යැයි නියමව ඇති හෙයින්, කතානායක සමඟ ව්‍යවස්ථාදායක සභාව ලෙස ඔවුන්ට තීන්දු ගත හැකිව තිබිණ.

එම ව්‍යවස්ථාදායක සභාව විසින් කෙරුණු නිර්දේශ මත පත් කළ ස්වාධීන කොමිසම්ද අපිරිසුදුය. පළමු කොමිසන් සභා සඳහා සභිකයන් තේරීමේදී කතානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තේරීමේ නිර්ණායක හා සුදුසුකම් කිසිවක් නොවුනි. ඒ සම්බන්ධයෙන් වසර 03ටත් ඉහතින් මා “ග්‍රවුන්ඩ් වීව්ස්” වෙබ් අඩවියට ලියූ ඉතාම දැඩි විවේචනාත්මක ලිපියෙහි “මෙතෙක් පිහිටුවනු ලැබූ කොමිෂන් 04ට සභිකයන් පත් කළ ආකාරය හා පත් කළ අය ගැන බරපතළ චෝදනා ඇත. පොලිස් කොමිසමට පත්කර ඇති දෙදෙ​ෙනක් කිසිදු කොමිසමක කාර්යක්ෂමතාව, ඒවායේ කාර්යයන් හා බරපතළ වගකීම් දැරීමට හැකි වයසක පසුවන අය නොවන්නාහ. එපමණක් නොවේ. අල්ලස් කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස නෙළුම් ගමගේ මහත්මිය සිටියදී එක් අයෙකු අල්ලස් නඩුවක චූදිතයකු වූ බව ද සඳහන් වේ. ඊටත් අමතරව අල්ලස් කොමිසමට පත් කළ සභිකයකු පිළිබඳව අලුත්කඩේ නීතිඥයන් අතර ප්‍රශ්න ඇත. තවත් බරපතළ ප්‍රශ්නයක්ව ඇත්තේ මානව හිමිකම් කොමිසමට පත් කළ නීතිඥ ගසාලි හුසේන් සම්බන්ධයෙනි. ඔහු නැගෙනහිර පළාත් මහ ඇමති වූ තමිල් මක්කල් විඩුදලෙයි පක්ෂයේ නායකයා වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් වන වඩා ජනප්‍රිය නාමයෙන් හඳුන්වනු ලබන පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා ය. ප්‍රශ්නය ඇත්තේ ඔහු පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරිපත්වීම නොවේ. පිල්ලෙයාන්ට නීතිඥයකු රඳවා ගැනීමට ඇති අයිතිය කාටත් ඇති අයිතියකි. නීතිඥයකුට තමන්ගේ සේවය ලබා ගැනීමට එන ඕනෑම පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය ද වෘත්තීය අයිතියකි. ප්‍රශ්නය වන්නේ නීතිය සහ මානව හිමිකම් උල්ලංඝනය කරන, මිනීමැරුම් චෝදනා ඇති අයකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු මානව හිමිකම් කොමිසමට පත් කිරීමය” යැයි මම ලීවෙමි.

ස්වාධීන කොමිසම් සඳහා පත්වීම් වෙනුවෙන් එවැනි දැනුවත් වැරැදි නිර්දේශ කරනු ලැබූයේ එවර පමණක් නොවේ. 2016 අප්‍රේල් මාසයේ පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ පූජිත් ජයසුන්දර නිර්දේශ කිරීමත් මගඩියක් විය. ඊට දෙමසකට පෙර නීතිපති පත්වීමට නිර්දේශ කිරීමේ පිළිවෙතට හාත්පසින් වෙනස්වූ අමුතු පිළිවෙතක් පොලිස්පති නිර්දේශ කිරීමේදී අනුගමනය කළේය. ජනාධිපති යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගෙන් පෞද්ගලික විස්තර සහිත අයදුම්පත් කැඳවා ඔවුන්ට සම්මුඛ පරීක්ෂණයකට කැඳවූව ද එවැන්නක් නොකෙරුණි. තේරීම සිදු කෙරුණේ ව්‍යවස්ථාදායක සභාවෙහි සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගෙන් දෙදෙනකු නොමැතිව පමණක් නොව, රහස් ඡන්දයෙනි. හිටපු විනිසුරු ෂිබ්ලි අසීස් සහ ආචාර්ය රධිකා කුමාරස්වාමි සිවිල් සමාජ නියෝජිතයන් ලෙස එවැනි අතිශය වැදගත් වගකීමක් කර ඇරීම පිළිබඳ දෝෂාරෝපණයට අමතතරව, අගමැතිගේ යෝජනාවක් අනුව රහස් ඡන්දයෙන් පොලිස්පති තනතුරට නිර්දේශ කිරීම ඉතා වැරදි ක්‍රමයකි. කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තේරීමේ නිර්ණායක හා සුදුසුකම් කිසිත් ඒ නිර්දේශයට අදාළ නොවීය.

ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් මා ප්‍රධාන වූ සමාජ ක්‍රියාධරයන්ගේ එකතුවක් ලෙස “ශිෂ්ට ලංකා” එකතුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියුවේ, එය “ඓතිහාසික වරදක්” යැයි කියා ය.“ඉහළ තනතුරක් සඳහා කෙනකු පත් කිරීමේදී ජනතාවට කොමිසමෙන් අවශ්‍ය වන්නේ බහුතර ඡන්දයෙන් කෙරෙන තේරීමක් නොව, විවෘත පිළිගත හැකි විධි ක්‍රමයක් මගින් කෙරෙන නිවැරැදි තේරීමකි” යැයි අපි කීවෙමු. “එය වෙන කිසිවක් නොව, දේශපාලන මගඩියකි.” යැයිද අපි කීවෙමු.

ව්‍යවස්ථාදායක සභාවෙහි වැදගත්කමක් නොමැත්තේ කතානායක කියන ආකාරයේ කිසිවකුට බහුතර බලයක් නොමැතිව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එහි නියෝජනය වීමේ අඩමානය නිසාම නොවේ. වසර 15ට වැඩි කලක් සමාජ කතිකාවක් ලෙස ස්වාධීන කොමිෂන් සභා සංකල්ප ගත කෙරුණු අවශ්‍යතාව වූ රාජ්‍ය ආයතන හා ප්‍රධාන තනතුරු නිර්දේශපාලනය කිරීමේ ඉතාම වැදගත් සමාජ අවශ්‍යතාව මේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කෙරුණු මේ ව්‍යවස්ථාදායක සභාව විසින් අහෝසිකර තිබීමය. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ වුවමනාවන්ට යටත් කෙරෙන්නකි. ජනතාව වෙනුවෙන් යැයි තෝරා ගන්නා තිදෙනාට එහි කළ හැක්කක් නොමැතිවාට වඩා ප්‍රශ්නය වන්නේ ඔවුන් පත් කෙරෙන්නේද අගමැතිගේ කැමැත්ත අනුව වීමෙනි. එබැවින් ඔවුහුද ස්වාධීන සභිකයෝ නොවෙති.

ඉතාම වැදගත් තනතුරු සඳහා කෙරුණු නිර්දේශ හමුවේ ඔවුන්ගේ පක්ෂග්‍රාහිත්වය ප්‍රදර්ශනය වූයේ වරක් දෙවරක් නොවේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රතිපාදනවලට අනුව ජනතා නියෝජනය සඳහා යැයි පත් කෙරෙන තිදෙනා දේශපාලන තෝරා ගැනීම්ය. එහෙත් ඔවුන් එම සභික ධුර බාර ගන්නේ ජනතාව වෙනුවෙන් නම්, ඔවුන්ට ද ජනතාව වෙනුවෙන් වගකීමක් පැවරෙන්නේය. පසුගිය ව්‍යවස්ථාදායක සභාවෙහි වූ තිදෙනා මෙන්ම වර්තමානයේ පත්ව ඉන්නා තිදෙනා ද ජනතාව නියෝජනය කරන්නේ නැත. ව්‍යවස්ථාදායක සභාව දේශපාලන බල පොරයකට හසුව ඒ හේතුවෙන් අවශ්‍යයෙන්ම සිදු කළ යුතු පත්වීම් ඇනහිට තිබෙන විට, ඒ ගැන වාද කිරීම දේශපාලනඥයන්ට බාර දී නිහඬව සිටීමම, ඔවුන් ජනතාව වෙනුවෙන් බාරගත් වගකීම අත හැර දැමීමකි. පොලිස්පති සඳහා තේරීමේදී කලින් ව්‍යවස්ථාදායක සභාවෙහි සිටි ජනතා නියෝජිතයන් තිදෙනා මෙන්ම වත්මන් ජනතා නියෝජිතයන් තිදෙනාද මතුව ඇති බල ගැටුම ව්‍යවස්ථාදායක සභාවෙහි දේශපාලනඥයන්ට බාරදී නිහඬව සිටින්නාහ.

ඔවුනගේ මේ නිහැඬියාවම ජනතාව පාවා දීමකි. රාජ්‍ය ආයතන හා ප්‍රධාන තනතුරු නිර්දේශපාලනය කිරීම උදෙසා ජනතාවගේ මුදලින් නඩත්තු කෙරෙන ව්‍යවස්ථාදායක සභාවෙහි ඔවුන් තිදෙනා වගකීම් බාර ගත්තේ ජනතාව වෙනුවෙන් නම්, ඔවුන් එහි කරන්නේ කුමක්දැයි දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇත. විශේෂයෙන්ම පත්වීම් පිළිබඳ අර්බුද ඇතිවිට ඒ සම්බන්ධයෙන් ඔවුන් ව්‍යවස්ථාදායක සභාවෙහි ගන්නා වූ පියවර හා ස්ථාවරය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇත. එවැන්නක් නොකියන තාක් කල් ඔවුන්ද දේශපාලන ඉත්තන් යැයි කීමට කාටත් අයිතියක් ඇත. එවැනි පසුබිමක මේ ව්‍යවස්ථාදායක සභාවෙන් රාජ්‍ය ආයතන සහ ප්‍රධාන තනතුරු නිර්දේශපාලනය වීමක් සිදුවන්නේ නැත.

පළමු ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරන ලද ස්වාධීන කොමිසන් සභා සඳහා චෝදනා ඇත්තේ ඒවා කාර්යක්ෂම ස්වාධීන කොමිසන් ලෙස පැවැතීමට අවශ්‍ය ආකාරයෙන් පත් නොකිරීමය. ඒ අතුරෙන් මානව හිමිකම් කොමිසමත් එ්වගේම තොරතුරු දැනගැනීමේ කොමිසමත් බරපතළ ව්‍යතිරේක දෙකකි. ඉන් මානව හිමිකම් කොමිසම සතු විශේෂත්වය වන්නේ එහි සභාපතිනියගේ පුරෝගාමිත්වයෙන් ඔවුන් අවශ්‍යතැන්හි මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමය. එක්තරා ආකාරයකට මේ කොමිසම් දෙක ආණ්ඩුවේ වුවමනාවන්ට පිටින් කටයුතු කරන කොමිසම් ලෙස මේ ආණ්ඩුවට හිරිහැරයක් බවට පත්ව ඇති කොමිසම් දෙකකි. ඒවා පෙරට ගෙන ව්‍යවස්ථාදායක සභාවෙහි කාර්යය හා පැවැත්ම සාධාරණය කළ නොහැකිය. සාධාරණය කිරීම වැරැදිය.

මේ ආණ්ඩුව පැවතුනහොත් පමණක් නොව, රාජපක්ෂ ආණ්ඩුවක් ඊළඟට පැමිණියහොත් ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීන කොමිසම් පත් නොවනු ඇත. දේශපාලන තීන්දු ගැනීමට හැකි අයුරු ව්‍යවස්ථාදායක සභාව සංයුක්ත කිරීමේ හැකියාව හේතුවෙන් ඉදිරියේදී මානව හිමිකම් කොමිසම සහ තොරතුරු දැන ගැනීමේ කොමිසමද ආණ්ඩුවේ දේශපාලනයට යටත් කළ හැකිය. මෙය උපන් ගෙයි කොරයක් ඇතිව පවතින්නක් යැයි කියුවේ එබැවිනි. මේවා සුද්ධ පවිත්‍ර කළ නොහැකිය. හැම තැනම මෙන් ව්‍යවස්ථාදායක සභාවේ මේ අවුල ද සමස්ත දේශපාලනයේම අවුලකි. එනිසා සමස්තය සඳහා විකල්පයක් මිස අණ්ඩ දැමීමකින් මේ කිසිත් විසඳිය නොහැක.