වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 76 දෙනකු අතුරින් 57 දෙනකු අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්වන පුද්ගලයන්ට ඇප ලබා ගත හැකිවන්නේ මහාධිකරණයෙන් බවත් වැරැදිකරුවන්ට වසර 10ක සිරදඬුවම් හිමිවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

රට යථා තත්ත්වයට පත් කිරීමේ දී එක පැත්තකින් නීතිය බල ගැන්විය යුතුමය. ස්වයං විනයෙන් පිරිහුණු පුරවැසියා දමනය කර මෙල්ල කළ යුතුමය. නීතිය අතට ගෙන යකා නැටීමට කිසිම පුරවැසියකුට අයිතියක් නැත. පුරවැසියාගේ පරම වගකීම වන්නේ සාමූහික විචාර බුද්ධියෙන් යුතුව සමාජයේ පොදු පැවැත්ම හා සහජීවනය වෙනුවෙන් කැපවීමය. අන්තවාදීව හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට කිසිවකුට අයිතියක් නැත. ඒ වගකීම හඳුනා නොගත් පාපතර අන්තවාදීන්ගේ සැහැසිකම් නිසා මුළු රටම වැටී ඇති අගාධය මනාලෙස පැහැදිලිය.
‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’ යැයි මාක්ස් ලියා තැබුවේය. බහු වාර්ගිකයන් ජීවත්වන රටකට එම කියමන මනාලෙස ගළපා ගත හැකිය. කවර හේතු සාධකයක් මත පදනම්ව හෝ තවකෙකු පීඩාවට පත් කළ නොහැකිය. බුදු දහම තුළ එය අවධාරණය කර තිබෙන්නේ “අත්තානං උපමා කත්වා - නහනෙය්‍ය න ඝාතයේ” යනුවෙනි. එනම් ‘තමන් උපමාවට ගෙන අනුන් නොනසන්න’ යනුවෙනි.

අවම ප්‍රාථමික මිනිස් ශිෂ්ටත්වයක් නොමැති මිනිස්  ගුණ ධර්මවලින් පිරිහුණු අන්තවාදී පාපතරයෝ පිරිසක් අප්‍රේල් 21 වැනිදා කිතුණු පල්ලි තුනකට හා සංචාරක හෝටල් තුනකට ප්‍රහාර එල්ල කළහ. ‘මරණයේ වේදනාව මියගිය වුන්ට නොව ජීවත්ව සිටින්නවුන්ටය’ යන්න සනාථ වූ දහමකි. සුන්බුන් බවට පත් වූ තම සදාදරණීයන් බදා වැළපුණ මිනිසුන්ගේ සිත් නිවී සැනසීම් බවට පත් කළ හැකිද? ඒ වේදනාවේ බර යම් පමණකට හෝ හඳුනා ගැනීමේ හැකියාවක් සෙසු පුරවැසියන්ට තිබිය යුතුය. මිනිස්කම යනු එයම විනා අන් යමක් නොවේ. අප රට යනු ඒ මිනිස්කමේ මහිමයෙන් දිග් විජය කළ රටකි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොව කවර බලවත් රටක් වුවද අභිබවා ගිය රටකි. අප රට සතු පරම වත්කම එයම විනා අන් යමක් නොවේ.

කරුණු කාරණා එපරිදි වුවද ඉකුත් දිනවලදී වයඹ පළාතෙන් හා මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකින් වාර්තා වූයේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. කුපිත ලෙස හැසිරුණු අන්තවාදී අශිෂ්ට සුළුතරයක් මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඇතැම්විට සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් මහ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ තිබේ. හට ගන්නා කවර හෝ ගැටුමක් පදනම් කර ගනිමින් තම පටු හා පවිටු ඉලක්ක සපුරා ගැනීමට ප්‍රයත්න දරන පුද්ගලයෝද සිටිති. ඒ මර උගුල් හා බොරු වළවල්වල නොවැටී සිටීමේ ප්‍රඥාව සියලු පුරවැසියන් අවශ්‍ය ප්‍රමාණයෙන් වර්ධනය කර ගත යුතුය.

1983 කළු ජූලිය මෙරට ඉතිහාසයේ වළක්වාගත යුතුව තිබූ ඛේදවාචකයකි. එහෙත් ආවේගශීලී වූ මුග්ධ ජනයාට අනාගතය විනිවිද දැකීමේ ශක්තිය නොවීය. ප්‍රතිඵලය වූයේ දෙමළ ජනයා ඝාතනය වීමය. විවිධ හිරිහැරවලට ලක්වීමය. ඔවුන්ගේ දේපළ ගිනි බත් වීමය. එහි තාර්කික අන්තය වූයේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමට ප්‍රභාකරන්ට කදිම පසුබිමක් නිර්මාණය වීමය. යාපනයේදී හමුදා සෙබළු 13 දෙනකු ඝාතනය කිරීම හරහා ප්‍රභාකරන් බලාපොරොත්තු වූයේ ද එබඳුම ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් සිංහල සමාජයෙන් ප්‍රකාශයට පත් කරවා ගැනීමය. දුර නොදකින මුග්ධ ජනයා නිසා රටට ගෙවන්නට වූ වන්දිය ගණනය කළ නොහැකිය.

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම අශිෂ්ට සුළුතරයේ ජීවන විලාසිතාවය. එහෙත් ශිෂ්ට බහුතරය එයට ඉඩදිය යුතු නැත. මේ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු ප්‍රධාන කාර්ය දෙකක් තිබේ. පළමුවැන්න නම් යළිත් අන්තවාදීන්ට ඉඩ නොදීමය. ඒ සඳහා ඇති සෑම මාර්ගයක්ම අහුරා දැමීමය. නීතිය බලගැන්වීමය. දෙවැන්න නම් බිඳුණු සියලු සිත් සුවපත් කිරීමය. අපි එක මවකගේ දරුවෝ වෙමු. මේ මහ පොළොව අප සියල්ලන්ටම පොදුය. අප කාටත් උරුම වන්නේ මේ මහ පොළොවේ සිවු රියන පමණි. එය තේරුම් ගැනීම අනාගත සියලු ජයග්‍රහණවලට මාවතය.