ශ්රී ලංකාව නොවිසඳුන අර්බුද ඇති දේශයකි. පාලකයන්ට රට වෙනස් කරන අරමුණ ඇත. එහෙත් සාම්ප්‍රදායික ආකෘතිය තුළ අලුතින් දෙයක් කරන හැකියාව නැත. ජනාධිපතිවරණයක් එළැඹ තිබේ. බලය ඉල්ලන නායකයෝ රට වෙනස් කරන බව කියා සිටිති. පොරොන්දු දී බලයට පත් වූ ජන නායකයන්ට දැනෙන යමක් කරන්නට හැකියාවක් ලැබුණේ නැත. රට පුරා වර්ජන රැල්ලක් පවතී.
ස්වකීය ගැටලු දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුන බව මෙම වර්ජකයෝ එකහෙලා කියා සිටිති. පොදු ජනතාව මෙම වර්ජනවලින් අතිශය දුෂ්කරතාවලට මුහුණ දෙන බව නොරහසකි. වේගයෙන් පරිවර්තනය වන ජන සමාජය තුළ රාජ්‍ය සේවය උඩු යටිකුරු කරන යෝජනා ජනාධිපතිවරණ වේදිකාවේ සාකච්ඡා කළ යුතුව තිබේ.
පැය විසි හතරක් වැඩ කරන රාජ්‍ය සේවයක් ඇති රටක් නිර්මාණය කළ හැකිය. එය අපහසු දෙයක් නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රජයට සෘජු සම්බන්ධ ආයතන සෑහෙන ගණනක් සාම්ප්‍රදායික පැවැත්ම වෙනස් කර ඇත. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සේවක අර්ථසාධක මුදල් සම්බන්ධ කටයුතුවල දී මහ බැංකුව වේගයෙන් ක්‍රියා කරයි. පෙරවරු හත වන විට රාජකාරි ආරම්භ කරන බව දැක්විය යුතුය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර අංශය අයැදුම්පත් භාරගැනීම පාන්දර සිට සිදු කරයි. ඒවායේ සේවය කරන්නෝ රජයේ සේවකයෝය. හොඳ කාර්යාල පහසුකම් එම ආයතතනවල තිබේ. නිලධාරීහු කාර්යක්ෂමය. මහජනතාවට කතා කරන ආකාරය සිත්ගන්නාසුළුය. තාක්ෂණය භාවිතා කරන අතර ප්‍රමාදය වළකන පියවර ගෙන තිබේ. මෙවැනි පැති අනෙක් ආයතනවලට ද ව්‍යාප්ත කළ හැකිය. ජනතාව ඉල්ලන්නේ සහනාධාර නොවේ. ආණ්ඩුවෙන් කරන සේවය, අවශ්‍ය කරන ලියැකියැවිලි ප්‍රමාදයකින් තොරව ගන්නා වැඩපිළිවෙළකි. පැය විසි හතර ප්‍රමාණවත් නැති තරමට කාර්යබහුල ජන සමාජයක රාජ්‍ය සේවය සතියේ වැඩ කරන දින පහක දවසක කෑම පැය ද සමග පැය අටක සේවයකට සීමා කරන්නේ ඇයි? මෙම රාමුව වෙනස් කළ විට රට වේගයෙන් වෙනස් කළ හැකිය. එක තීරණයකින් රටේ ආර්ථිකය දෙගුණයකින් නැංවීමට පුළුවන්කමක් තිබේ. රටට අවශ්‍ය නීති රීති හා පැරණි සම්ප්‍රදාය පැත්තකට විසි කර අලුත් රාමුවක් ගැන හිතන ජන නායකයන් පමණකි.
හැඳුනුම්පත්, ගමන් බලපත්, උප්පැන්න සහතික, විභාග හා විවාහ ඇතුළු ලියැකියැවිලි යනා දී වශයෙන් දහසකුත් එකක් දේ ජනතාවට එදිනෙදා අවශ්‍යය. වුවමනා මොහොත ඉතා වැදගත්ය. ලබා ගැනීමට අවශ්‍ය මොහොතේ ඒවා වෙනුවෙන් අයැදුම් කර ඉක්මනින් ලබාගත හැකි ක්‍රමයක් ඇති කළ යුතුය. සාමාන්‍ය ජනතාවට පැය අටක කවුළුව විවෘත කළ හැකිය. නියමිත වෙලාවට පසු අයැදුම් කරන පුරවැසියන්ට මිලක් නියම කර නිකුත් කළ හැකිය. ගමන් බලපත් හා හැඳුනුම්පත් වැනි අංශ වෙනුවෙන් එක් දින සේවයක් තිබේ. එය සාමාන්‍ය සේවයට බාධාවක් වී නැත. කල් තබා හිතන, කලබලයක් නැති අයැදුම්කරුවන්ට නිසි පරිදි සේවය සැපයේ. එක දිනකින් අවශ්‍ය නම් එයට වෙනම ආකෘතියකින් ඉහළ ගාස්තුවක් ගෙන සේවය ලබාගත හැකිය. අලුත් අදහස අනුව මෙම කාර්යාලය පැය විසි හතරම විවෘත කළ හැකිය. නියමිත රාජකාරි කාලයෙන් පසු අයැදුම් කරන සාමාන්‍ය අයවලුන්ට පවා වෙනම ගාස්තුවක් තිබේ. රාත්‍රී කාලයේ පැය ගණනකින් නිකුත් කරන විට අධි බලපත්‍ර ගාස්තුවක් අය කළ හැකිය. එය සාමාන්‍ය ජනතාවට පීඩාවක් කරන්නේ නැත. රාත්‍රි සේවයේ යෙදෙන නිලධාරීන් වැඩමුර ක්‍රමයකට පත් කළ හැකිය. අසාමාන්‍ය වේලාවක සේවය කරන විට දෙතුන් ගුණයක දීමනා හා පහසුකම් ගෙවීම සුදුසුය. එම දීමනාවලට ගෙවන්නේ අවශ්‍යතා ඇති පුරවැසියන් විනා පොදු ජනතාව නොවේ.
ප්‍රවාහන පහසුකම එයට එකතු කළ හැකි තවත් අංශයකි. රාත්‍රී ධාවනය කරන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තුව දෙගුණ කළ හැකි අතර මගීන් හුරුවෙන තෙක් සහන කාලයක් ප්‍රකාශයට පත් කළ යුතුය. එය බස් රථ කාර්යක්ෂමව භාවිතා කරන ක්‍රමවේදයක් ද වනු ඇත. විශාල වියදමක් දරා ලීසිං ගෙවා බස් මිල දී ගන්නා බස් හිමියෝ ඒවා දවසකට එක වරක් හෝ දෙවරක් ධාවනය කර රාත්‍රියේ ගාල් කර තබති. එයින් යහපතක් නැත. රාත්‍රී ගමන් වාරයට වෙනම රියැදුරු කණ්ඩායමක් තෝරා ගත් විට රැකී රක්ෂා අවස්ථා දෙගුණයක් වනු ඇත. පැය අටකින් කරගත යුතු ඉතා තරගකාරී අවශ්‍යතා පැය විසි හතරට බෙදෙන විට සිදුවන වෙනස්කම් සෑහෙන ප්‍රයෝජනවත් වනු නිසැකය.
රජයේ ආයතනවල රාත්‍රී සේවා ආරම්භ කර ප්‍රවාහනය රාත්‍රී අත්‍යවශ්‍ය කළහොත් දිවා කාලයේ අධික තදබදය තුරන් කළ හැකිය. සාමාන්‍ය ජනතාව දිවා කාලය භාවිතා කරන අතර සේවය වෙනුවෙන් ගෙවන ගාස්තුව ප්‍රශ්නයක් නැති, දිවා කාලයේ ඉතා කාර්යබහුල ජන කොටස රාත්‍රී සේවයේ වාසිය අත්පත් කරගන්නට කටයුතු කරනු ඇත. රථ වාහන තදබදය පවා එයින් අවම වන අතර එය නාස්තිය අවම කරන හේතුවකි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය විශාල බව නොරහසකි. සමහර රාජ්‍ය ආයතනවල සේවකයන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවා නැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල එයට හොඳ උදාහරණයකි. කළමනාකාර සහකාර නිලධාරීන් විශාල පිරිසක් කරන්නට දෙයක් නැතිව සිටින කාර්යාල ගණන එකක් දෙකක් නොවේ. පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිවා රාත්‍රී වැඩ කරන තැන් බවට පත් කරන තීරණ ගත යුතුය. දිවා කාලයේ වෙනත් තැනක රැකියාව කරන සේවකයකුට තමන්ගේ වසම තුළ රාජකාරී අවශ්‍යතාවක් රාත්‍රියේ ඉටු කරගත හැකි වන විට අනවශ්‍ය නිවාඩු ගැනීම අවම වන අතර එය පවතින සේවය දියුණු කිරීමට හේතුවක්ද වනු ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සමග එකතු වූ අලුත් පරිපාලන ව්‍යුහයක් ගැන සාකච්ඡා කළ යුතු අතර අලුතින් හිතන නායකයන්ට ජනාධිපතිවරණ වේදිකාවේදී රට වෙනස් කරන ක්‍රමය වශයෙන් මේ ගැන පොරොන්දු දෙන්නට හැකියාවක් තිබේ.
සාරා කන්දේගොඩ
COMMENTS
ඇයි බැරි..! විසි හතර කෙසේ වුවත් දහයේ හතරක්වත් කළොත් වැඩක් කෙරෙයි....
ගොඩක් හොඳ අදහසක්...
පැය 8 වැඩට දෙන්නෙ 30,000 යි ඒ ගාන ඇතිද පව්ලක් නඩත්තු කරන්න පැය 24 කලාට කමක් නෑ සරිලන වැටුපක්, නිවාඩු දෙනවනන්. මොකද රජයෙ සේවකයොත් මිනිස්සුනෙ ආයතන වලට අවශ්‍ය පහසුකම් දීලා ඒක කරන එක ප්‍රශ්නයක් නෙවේ. ගෙදරින් දුර ඉන්න කෙනෙක්ට 30,000 පඩියෙන් කෑම වලට 5000ක් දීලා බෝඩිමට 5000ක් දීලා ගමන් වියදන් කවර් කරගෙන ගෙදරකට කන්න බොන්න දෙන්න පුලුවන්ද .
ඇත්තටම එහෙම කරානම් වටිනවා. අද කාලේ ගොඩක් අය තමන්ගේ රැකියව කරන්නේ ගම් ප්‍රදේශයෙන් ගොඩක් දුර... ඉතින් එහෙම අයට ප්‍රාදේශීය සභාවකට ලේකම් කාර්යාලයට හෝ කුමක් හෝ රාජ්‍ය සේවාවක් ලබාගැනීමට තමන්ට නිවාඩු ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්... ඒ වගේ ප්‍රශ්නවලට ඇත්තටම වටිනවා.
නියමය් . දවල්ට නිදියන නෝනා මහත්තයා ලාට රෑට නිදියන එක ලොකු වැඩක්ද....
පැය 24 ට වඩා මුලින්ම පැය 8 කාල දෙකක් වැඩ කිරීම පටන් ගන්න ඕනේ. උදේ 6 සවස 2 හා සවස 2 රාත්‍රී 10. උදේ සහ රාත්‍රී ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුයි. මෙමගින් පෞද්ගලික අංශයේ අයට නිවාඩු නොදමා ආණ්ඩුවේ වැඩක් කරගන්න පුළුවන්.
පැය 24 නෙමේ ප්‍රශ්නය , අවංකව වැඩ කරන්නේ කීයෙන් කී දෙනෙක්ද . අදටත් සියලුම ආයතන වසාගෙන ඉල්ලීම් ඉල්ලනවා එහෙම ඉල්ලන්නේ නැතිවත් බැහැ, මහා උන් හොරා කන නිසා. මහන්සි වෙලා වැඩ කරන කෙනා බලන්නේ කොහොමත් වැටුප්. වැඩිකර ගන්න , මේවයින් හෙම්බත් වෙන්නේ වැඩක් කර ගැනීමට එන පුද්ගලයින් , පැය 24 වෙනුවට පැය 8 හරියට කෙරුවනම් අවංකව රටත් ගොඩ අපිත් ගොඩ
පැය 24 ට කලින්, වැඩකරන පැයකිහිපය වැඩ කිරීමට වගවිය යුතුයි. මම දකින විදියට සැපයිය හැකි, යුතු සියලු සේවා ඔන්ලයින් කළයුතුයි. හැකි සෑම ආයතනයක්ම රාජය භාගයක් සහිතව පුද්ගලිකකරණය කළයුතුයි. සුදුස්සන් සුදුසු තැන්වලට පත්කළ යුතුයි. සෑම ආයතනයකට ප්‍රොසෙස් එකක් සහ අධීක්ෂණයට ඉංජිනේරුවෙක් පත්කළ යුතුයි.
වැඩකරන පැය ගණන වැඩි කිරීමෙන් රාජ්‍ය අංශයේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නෑ. මේකට විසඳුම නව තාක්ෂණය සහ කාර්යාල ශාඛා පළාත්වලට ගෙන යෑම. වෙන රටවල උප්පැන්නයක් ගන්න, බලපත්‍ර අලුත් කරන්න වෙබ් අඩවි වලින්... කාර්යාල ගානේ රස්තියාදු වෙන්නේ නෑ. ගෙදර ඉඳන් ඉල්ලුම් පත්‍ර පුරවන්න පුලුවන්... එමගින් කොළඹට එන සෙනඟ අඩුවෙනවා.. වගේම, කාලයත් ඉතුරුවෙනවා.
ලෝකයේම 2 වනි වැඩිම නිවාඩු දින තියන රට විදිහට ලෝක වාර්තාව හිමි ශ්‍රීලංකාව. ඒක වෙනස්කරල ඉමු නේද..
අපේ අය පැය අටවත් හරියාකාරව සේවයක් කරන්නේ නැහැ. ඒ තුළ පෞද්ගලික වැඩ රාශියක් කරනවා.උදාහරණයකට ලමයව පාසලෙන් ගෙදර ඇරලවනවා. ගෙදරට අවශ්‍යය බඩු ගන්න කඩේ යනවා.එතකොට රාත්‍රියේ කොච්චර වැඩ තිබුනත් හොඳ නින්දක් දාලා උදේට ගෙදර යනවා.
8-4 හරියට කෙරුවනම් ඇති. පත්තර කියවීම, දරුවන් පාසලෙන් ගැනීම, අහර දෙවේලක් ගැනීම, ඕපදූප, මේ සියල්ල අවසානයේ පැය කීයද වැඩ කරන්නේ? සමහරු කඩේ යන්නෙත් කාර්යාල වෙලාවේ. ගෙදරින් ඔතාගන එන සිමෙන්ති කොට්ට බාගයක් විතර ලොකු බත් මුල කෑවට පස්සේ නිදි මත එනවා. මේවා ලංකාවේ විතරක් දැකිය හැකි දේවල්.