ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී ලොකු කතිකාවක් හටගෙන තිබිණි. රටේ වෙනත් බරපතළ ප්‍රශ්න ගණනාවක් පැවැතිය ද ඒවා විසඳා ගැනීමට දක්වන උනන්දුවට සහ ඕනෑකමට වඩා විශාල උනන්දුවක් සහ ඕනෑකමක් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ට තිබිණි. ජාතික ආණ්ඩු “උණ’’ වැළඳුණු මේ මැති ඇමැති පිරිස අතරේ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නෝ ද වූහ. ඒ අතුරින් පොදු සැපයුම් හා ආර්ථික කටයුතු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්වූ අදහසක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

අපගේ “ලංකාදීපය’’ කළ විමසුමකට පිළිතුරු වශයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ ඇමැති ධුර වැඩිකර ගැනීමේ අරමුණින් ජාතික ආණ්ඩු හැදීම හොඳ දෙයක් නොවන බවය. රටේ ජනතාව එවැනි දෙයක් බලාපොරොත්තු නොවන බව ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. ඊළඟට ඔහු තවත් වැදගත් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබිණි. එනම් මේ අවස්ථාවේදී කළ යුතු සුදුසුම ක්‍රියාමාර්ගය අවශ්‍ය අයට ඇමැති තනතුරු පිරිනැමීම සඳහා ඇමැති පදවි හොබවන අය ඉල්ලා අස්විය යුතු බවය. ප්‍රායෝගිකව එවැන්නක් මෙරට දේශපාලන වටපිටාව මත සිදුවිය හැකි යැයි අප නොසිතන නමුත් එය කාලෝචිත යෝජනාවක් බව ඒ සමඟ සඳහන් කරමු. එය ආණ්ඩුවට මේ වෙලාවේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට හොඳ අවස්ථාවක් බවත් පෙන්වා දෙමු.

ජාතික ආණ්ඩුවක් මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය ද යන්න මුලින්ම විසඳා ගත යුතු ප්‍රශ්නයයි. ඒ සම්බන්ධයෙන් ද ඇමැතිවරයා දරන අදහසට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි බව අපගේ වැටහීමය. ජාතික ආණ්ඩුව සංකල්පයක් වශයෙන් හොඳ දෙයක් බවත් තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය හෙයින් ආණ්ඩුවට එකතුවෙන පිරිස් ගැනීමේ වරදක් නැති බවත් ඔහු කියයි. එහෙත් තමන්ගේ මතය වන්නේ ඇමැතිකම් වැඩිකර ගැනීමේ අරමුණින් පමණක් ජාතික ආණ්ඩු හැදීම හොඳ දෙයක් නොවන බවත් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය.

ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් තදින්ම පෙනී සිටින ආණ්ඩුවේ බලවතුන්ට සිතන්නට යමක් ඔහුගේ එම ප්‍රකාශයේ ප්‍රබල ලෙස සටහන්ව තිබේ. තමන් මිලදී ගන්නා අල ගෙඩියේ ලූනු ගෙඩියේ පටන් පෙට්‍රල් ලීටරය දක්වා අනේක බදුවලින් පීඩා විඳින, පාරට බැස්සාම කිලෝ මීටර් හත අටක දුරක් යාමට පැය ගණන් ගත වන, දරුවකු හොඳ පාසලකට ඇතුළු කිරීම එකම යුද්ධයක් බවට පත්ව තිබෙන රටක වෙසෙන ජනතාවට ජාතික ආණ්ඩු හදන කතාවලින් සතපහක වැඩක් නැත. රටේ පවතින ජාතික ගැටලුවලට විසඳුමක් ලබාදීමේ අරමුණින් තොරව ජාතික ආණ්ඩුවක් ගැන කතා කිරීම දේශපාලන අවස්ථාවාදය මිස අන් කිසිවක් නොවන බව අපගේ විශ්වාසයයි. එවැනි ඊනියා ජාතික ආණ්ඩුවකින් විසඳෙන්නේ මැති ඇමැතිකම් අපේක්ෂිත පිරිසකගේ ආත්මාර්ථකාමී අරමුණු පමණි. ජනතාවගේ ප්‍රශ්නවලට එයින් විසඳුමක් නොලැබේ.

මේ රටේ වෙසෙන සියලු ජාතීන්ට අයත් ජනතාව වසර 30කට ආසන්න කාලයක් තිස්සේ බෙදුම්වාදී, ත්‍රස්තවාදී යුද්ධයකට මුහුණ දී සිටියහ. එම යුද්ධයේ යටි අරමුණු කුමක් වුවද මතුපිටින් පෙනුණු මහපොදු සාධකය වී තිබුණේ භාෂාව සහ ස්වයං පාලනයක් පදනම් කරගත් වාර්ගික ගැටලුවය. එවැනි ගැටලුවක් තිබෙන බව නොපිළිගන්නා පිරිස් මේ රටේ වෙසෙති. එහෙත් එවැනි ගැටලුවක් තිබෙන බව ද භාෂාව පදනම් කරගත් එම ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම අවශ්‍ය බව පවසන පිරිසක් ද වෙති. 2015 වසරේ ජනවාරි 08 වැනිදා මේ රටේ ප්‍රථම ජාතික ආණ්ඩුව බිහිවීමට පදනම වූයේද එම සංකල්පයයි. ජාතික සංහිඳියාව එම ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්ති අතර තිබිණි. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක විය. එහෙත් ඒ සියල්ල අතරමැද නැවතිණි. ජාතික ගැටලුව එසේම තිබියදී ජාතික ආණ්ඩුව බිඳ වැටිණි. ජාතික ආණ්ඩුවක් බිහිවීමේදී තිබිය යුතු පුළුල් පරමාර්ථ වෙනුවට තම තමන්ගේ පටු දේශපාලන අරමුණුවලට මුල්තැනක් දීම එම ජාතික ආණ්ඩුවේ අවසානය ළඟා කරන බව අපගේ අදහසය. දැන් යළිත් ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතා කරන්නේ ජාතික ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් නොව ඇමැති ධුර වැඩිකර ගනිමින් තවත් පිරිසකට සුපිරි වරප්‍රසාද ලබා දී ඒ වෙනුවට හිලව් වශයෙන් පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි සංඛ්‍යාව වැඩි ආණ්ඩුවක් බිහිකර ගැනීමේ පරමාර්ථයෙන් බව ජනතාවට සැකපහළ වීම සාධාරණ බව අපි සිතමු. එවැනි ජාතික ආණ්ඩුවකට රටේ ජනතාවගේ කැමැත්ත ලබාගැනීම නම් පහසු නොවනු ඇත.

රටේ ආර්ථිකය අද පවතින්නේ බරපතළ අනතුරකය. හෙට තවත් කුමන භාණ්ඩයක මිල ඉහළ යයිද, කුමන සේවාවකට තව තවත් බදු වැටෙයි ද යන සැකයෙන් යුතු ජනතාවක් වෙසෙන රටක ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් ඇති කිරීම විහිළුවකි. එහෙත් ජාතික ප්‍රශ්නයට සැබෑ ලෙසටම විසඳුමක් සෙවීම, රට තුළ සමෘද්ධිමත්භාවය ඇති කිරීමේ නව ප්‍රවේශයක් සොයා ගැනීම, ජනතාව දුප්පත්කමින් මුදාගැනීම වැනි පොදු පරමාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා ඇති කරගන්නා ජාතික ආණ්ඩුවකට ජනතාවගේ ආශිර්වාදය හිමිවනු ඇත. ඒ හැර හුදෙක් එළඹෙන මැතිවරණවලදී වාසි ලබාගැනීම අරමුණු කරගනිමින් සුපිරි වරප්‍රසාද ඇතුළත් ඇමැති ධුර සංඛ්‍යාව ඉහළ දමා ගැනීමේ අරමුණින් පිහිටුවන ජාතික ආණ්ඩුවක් ජනතාව අතින් තදින්ම ප්‍රතික්ෂේප වීම වැළැක්විය නොහැකි වනු ඇත.