හමුදාපති තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය වඩාත් සැළකිලිමත්වීම නිසා හටගත් ආන්දෝලනය ගැන තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී විමසන ලද ප්‍රශ්න වලට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙස්ලිට්ස් (Alaina B.Teplits) ප්‍රතිචාර දැක්වූවාය. ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර දැමීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ගැන ද එහිදී ඇය කරුණු හෙළි කළාය. මෙහි දැක්වෙන්නේ සම්මුඛ සාකච්ඡාවක ස්වරූපයෙන් පැවැති සංවාදයයි. පුවත්පත් කලාවේදීන් විසින් එහිදී මතු කළ ප්‍රශ්නවල අඩංගු වූ වදන් වඩාත් විධිමත් ආකාරයෙන් සකසා මෙහි පළකොට ඇත.

ප්‍රශ්නය:- හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය තම කනස්සල්ල පළකොට තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අතපෙවීමක් ලෙස ඇතැමුන්ට අර්ථ දැක්විය හැකියි. ඔබට ඒ ගැන කියන්නට ඇත්තේ කුමක් ද?

පිළිතුර:- මගේ වගකීම වන්නේ එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති හා තීරණ පිළිබඳව කරුණු පහදා දීමයි. මෙම ප්‍රකාශයේදී අප කර ඇත්තේ එම කාර්යයයි. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය පිළිබඳවත්, යුක්තිය සහ වගකීම සම්බන්ධයෙන් එහි ජනයා වෙත රජයේ කැපවීම ගැනත් අපි අපේ සැලකිල්ල පළකොට තිබෙනවා. අසුවල්, අසුවල් අය පත්කරන්නට යයි අප රජයෙන් ඉල්ලා සිටින්නේ නෑ. අප මේ කාරණය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කළා පමණයි. කළ යුත්තේ කුමක්දැයි රටකට කියා සිටීම සහ රටක යම් ක්‍රියාවක් ගැන අපේ ස්ථාවරය ප්‍රකාශ කිරීම අතර මූලික වෙනසක් පවතිනවා. කළ යුත්තේ කුමක්ද කියා අප ශ්‍රී ලංකා රජයට කියා සිටින්නේය කියමින් මිනිසුන් මීට වැරදි අර්ථකථනයක් දීමට ඉඩ තිබෙනවා. ඔබ කියන දේ හරි. කුමක් කළ යුතු ද යන්න අප ශ්‍රී ලංකාවට කියා සිටින්නේ නෑ. මෙරට සිටින ජනතාවටත්, රජයටත් ඒ සම්බන්ධයෙන් කුමක් කරන්නට යන්නේ ද යන්න තීරණය කළ හැකියි. අප සැළකිලිමත් වූ දේත්, අනෙක් ජාතීන් උනන්දු වූ දේත් ගැන ඔවුන් සලකා බලතැයි මා නියත බලාපොරොත්තු තබා ගන්නවා.

ප්‍රශ්නය:- ඔහු චෝදනාවලට මුහුණ දී ඉන්නවා පමණයි. ඔබ ඒ ගැන සිතන්නේ කුමක් ද?

පිළිතුර:- ඔව්. මා හිතන්නේ එය දැනට අපට තිබෙන අභියෝගවලින් එකක්. රජයෙන් දුන් එක් පොරොන්දුවක් තමා සැබෑ සංහිඳියාව සහ වගවීම. පූර්ණ වශයෙන් එම කාර්යය සිදුකරන්නට ක්‍රියා පිළිවෙතක් අවශ්‍ය වෙනවා. ජෙනරාල් සිල්වා සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි චෝදනා තිබෙනවා. ඒවායින් හොඳ ප්‍රතිඵල ලැබේවි. ඔවුන්ට අධිකරණය ඉදිරියට ගිය හැකියි. ඒ අනුව අධිකරණයට තීරණයක් ගත හැකියි. ඒත් එසේ සිදුවූයේ නැහැ. මේ මොහොතේ අප සතුව සියලු චෝදනා තිබෙනවා. ඒවා බැරෑරුම් හෝ විශ්වාස කළ හැකි හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් වේවා. එහෙත් ඒ සම්බන්ධයෙන් ලේඛන රාශියක් තිබෙනවා. එක්සත් ජාතීන් විසින් සහ වෙනත් සංවිධාන විසින් ඒවා ඒකරාශීකොට තිබෙනවා තිස් අවුරුදු යුද්ධය තුළ භයානක දේවල් සිදුවුණා. ගැටුමට අවතීරණ වූ දෙපැත්තෙන්ම අපරාධ සිදුවුණා. ඒවායේ පත්ලටම යෑමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අවසන්කොට ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. ඔහු තවදුරටත් ඇ.එ. ජනපද පුරවැසියෙක් නොවේ ද?

පිළිතුර:- අපට එක්සත් ජනපදයට ආවේනික වූ ඇතැම් නීති තිබෙන බව මුලින් කිව යුතුයි. අපට තනි තනි පුද්ගලයන් සම්බන්ධ ගැටලු ගැන කියන්නට බැහැ. මෙය මාධ්‍යයන්ගේ සිත් තැවුලට හේතුවෙන බව මා දන්නවා. අපේ නීතිමය අවශ්‍යතාවලටත් අප අනුගත යුතු වෙනවා. පුරවැසිභාවය අත්හැරීම පරිපාලනමය ක්‍රියාමාර්ගයක් බව මට කිව හැකියි. ඔබට යම් යම් පියවර අනුගමනය කිරීමට එහිදී සිදුවෙනවා. ඒ අනුව ඔබට පුරවැසිභාවය අවසන් කිරීම සිදුවෙනවා. මෑතකදී ඔහුගේ නම ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන යම් කරුණු කියා තිබුණු වග මම දන්නවා. පුරවැසිභාවය අවසන්කොට මාස ගණනකට පසුව ෆෙඩරල් රෙජිස්ටරය නිකුත් වීම සිදුවිය හැකියි. ඊට අදාළ ක්‍රියාමාර්ගය හෙළිකර දක්වන්නට මට හැකියි. ඒ සඳහා නිෂ්චිත ක්‍රියා පිළිවෙතක් තිබෙනවා. එය හරිම පැහැදිලියි. පුරවැසිභාවය අවසන් කරගැනීමට අවශ්‍ය කාට වුණත් සමහර ආකෘති පුරවන්න සිදුවෙනවා. ඔවුන් සම්බන්ධයෙන් අපරාධ ඉතිහාසයක් තිබේ ද, ඔවුන් නිසි පරිදි බදු ගෙවා තිබේ ද යන්න සහතික කොට දැනගන්නට විමර්ශනයක් පවත්වනවා. ඉන්පසු එම පුද්ගලයාට පැමිණ පුරවැසිභාවය අත්හැරීම පිළිබඳව දිවුරුමක් දීමට සිදුවෙනවා.

නිතරම ෆෙඩරල් රෙජිස්ටරය එන්නේ පුරවැසිභාවය අත්හැරීම වාර්තා වූ පසුවයි. ඔවුනට මෙම කාල පරිච්ඡේදය තුළ මොනවා වාර්තා වුවත් මාස ගණනක් එය ප්‍රමාද විය හැකියි. මීළඟ කාර්තුවේ වාර්තාව එනතුරු හෝ ඉන්පසු ඒවා එනතුරු ඔබට බලා හිඳින්නට සිදුවෙනවා.

ප්‍රශ්නය:- ඔහුට විරුද්ධව එරට උසාවියේ ඇති නඩු මීට කෙසේ බලපාවි ද?

පිළිතුර:- එය නඩුවේ ස්වභාවය අනුව එනම් සිවිල් නඩුවක් ද, අපරාධ නඩුවක් ද යන්න මත එය තීරණය වෙනවා. පුරවැසිභාවය අත්හැරීමට අපරාධ නඩු ඔහුට පවරා නොතිබිය යුතුයි. මා හිතන්නේ ඔබ අසන්නට ඇත්තේ කැළිෆෝනියාවේ ඇති නීතිමය ක්‍රියාමාර්ග ගැන විය යුතුයි. ඒවා සිවිල් නඩු.

ප්‍රශ්නය:- (VFA) -Visiting Forces Agreement හමුදා ප්‍රවිෂ්ඨවීමේ ගිවිසුම සම්බන්ධ නවතම තත්ත්වය කෙසේ ද?

පිළිතුර:- ඒ ගැන තවමත් සාකච්ඡා පැවැත් වෙනවා. සමහර විට ඒවා ලේඛනගත කිරීම උදෙසා එකඟ වන්නට රටවලට අවුරුදු ගණන් ගතවෙනවා. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ලෙස සෑහීමකට පත්වී ද යන්න සහතිකකොට දැනගත යුතු වෙනවා. ඒ ගැන හදිසියක් නෑ.

ප්‍රශ්නය:- එය ඉක්මණින් අත්සන් කරන බවට ඔබට යම් බලාපොරොත්තුවක් තබාගත හැකි ද?

පිළිතුර:- එය සූදානම් වූ විට අප එය අත්සන් තබනවා. අද දවසේ එය කරන්නට හෝ හෙට අනිද්දා ඊළඟ මාසයේ හෝ අවුරුද්දේ එය කරන්නට හදිසියක් නෑ. එය සූදානම් වූ විට අප එය අත්සන් කරනවා.

ප්‍රශ්නය:- එම ගිවිසුම කෙතරම් දුරට ඔබ බැරෑරුම් ලෙස සළකනවා ද?

පිළිතුර:- අප එය බැරෑරුම්ව සලකනවා. ඒ ගැන හිඳගෙන සාකච්ඡා කරන්නට අප කාලය වැයකරනවා. එම ගිවිසුම නිමා කිරීම, අප බැරෑරුම්ව සළකන්නේ මන්ද යන්න ගැන ඔබට මා තොරතුරු කියන්නම්.
 මෙරට මානව හිතවාදී බව දැක්විය යුතු ආපදා සිදුවූ සෑම අවස්ථාවකම, ප්‍රතිචාර දක්වද්දී අපේ නැව් මෙහි පැමිණ තිබෙනවා. ඒකාබද්ධ හමුදා අභ්‍යාස සිදුකොට තිබෙනවා. ඒවායේ පරිපාලනමය ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. උදාහරණයකට එක්සත් ජනපද නාවික හමුදාවේ රෝහල සහිත මර්සි :ඵැරජහ* නම් නැව මෙහි පැමිණ ශ්‍රී ලාංකිකයින් සිය ගණනකට වෛද්‍ය සහනාධාර නොමිලේ සැපයුවා. අපට රජය සමග එකට හිඳගෙන කල්තියා සියලුම පරිපාලන කටයුතු සැලසුම් කරන්න සිදුවුණා. හැම වතාවෙම අප එවැනි කටයුත්තක් කළා. එම කාරණා සම්බන්ධයෙන්ම අපට සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. ඪත්‍් ගිවිසුමෙන් බලාපොරොත්තු වන්නේ කල් ඇතිව අන්‍යෝන්‍ය වශයෙන්, එවැනි පැමිණීමකදී කෙසේ කටයුතු කරන්නේ ද යන්න ගැන එකඟතාවකට පැමිණීමයි. එවිට අපට නැවත නැවත සාකච්ඡා කළ යුතු වන්නේ නෑ. එයින් කාලය බොහෝ සෙයින් ඉතිරි වෙනවා. අප අනාරාධනයෙන් මෙරටට එන බව ඉන් අදහස් වන්නේ නෑ. අප එන්නේ ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ආරාධනාවක් අනුවයි. අප මානව හිතවාදීව ප්‍රතිචාර දැක්වීම උදෙසා සහභාගි වීම ආදිය කරනවා. අප ගිවිසුම ගැන සාකච්ඡා පවත්වනවා. ඊට අදාළ වගන්ති ගැන දෙපාර්ශ්වයම සෑහීමකට පත්වේද යන්න අප සහතික කොට දැනගත යුතුයි. එම ක්‍රියා මාර්ගයේ දී දෙපාර්ශ්වයටම වෙනස්වීම් යෝජනා කළ හැකියි.

ප්‍රශ්නය:- එම ක්‍රියාමාර්ග ජනාධිපතිවරණය පවත්වන තුරු ඔබ අත්හිටුවා ඇති බව සැබෑද?

පිළිතුර:- අප දිගටම සාකච්ඡා පවත්වනවා. ඒ ගැන නැවත කාල රාමුවක් සකසා නැහැ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා රජය ඒ ගැන කටයුතු කරන්නට නොයා පසුබෑවොත් එයින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට බලපෑමක් වේද?

පිළිතුර:- කිසිවක් අත්සන් තැබීමට අප බැඳී නැහැ. අප තවම ගිවිසුමක් ගැන සාකච්ඡා පවත්වනවා. ඊට පසු අපට පොදු පරිපාලනමය ගැටලු පිළිබඳ කල් තබා සූදානම් විය හැකියි.

ප්‍රශ්නය:- Millennium Challenge Corparation (MCC) වෙතින් ආධාර ලබාදීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමේ වර්තමාන තත්ත්වය කුමක් ද?

පිළිතුර:- මෙය සංවර්ධනය සඳහා සහායවීමේ ආධාරයක්. ඉදිරි කටයුතු කරගෙන යාමටත්, ගිවිසුම අත්සන් කිරීමටත් අවසාන අනුමැතිය ලැබෙන තුරු අප බලා සිටිනවා. MCC යනු USAID වැනි එක්සත් ජනපද රජයේ ආධාර සපයන නියෝජිත ආයතනයක්. එසේ වුවත් ඒ අය ක්‍රියාත්මක වනුයේ ඒ හා සමාන ආකාරයෙන් නොවෙයි. අප ආධාර දෙනු ලබන වැඩසටහන් සඳහා පවතින්නේ සරළ කොන්දේසි සහ වගන්ති සහිත ගිවිසුමක්. එම ගිවිසුම අංග දෙකකින් සමන්විතයි. පරිවහණය යටතේ වූ ව්‍යාපෘති සහ යටිතල පහසුකම් අංශය සහ ඉඩම් පරිපාලන අංශය යනුවෙන්.

ගිවිසුම අනුව වැඩසටහන සකස් වෙනවා. එය පස් අවුරුදු වැඩසටහනක්. සෑම දේ සූදානම් කරගන්නට අප මාස 18ක් ගත කළ යුතුයි. ටෙන්ඩර් කිරීම සහ සක්‍යතා අධ්‍යයන යනාදිය සඳහා වසර පහ අවසානයේ ඒ සඳහා වෙන්කළ මුත් වියදම් නොකළ මුදල් ඇත්නම් ඒවා නැවත එක්සත් ජනපදය කරා යනවා. ඒ සියල්ල ආධාරයක්.
ශ්‍රී ලංකා ආර්ථිකය නංවාලන යෝධ වටිනාකමක් ඒ තුළ පවතීවි යැයි අප සිතනවා. ඒ මගින් සමාගම් ආශ්‍රයෙන් පවතින ගැටලුවලට විසඳුමක් ලැබේවි.

ප්‍රශ්නය:- ඉඩම් ව්‍යාපෘතිය ගැන ඔබට කීමට ඇත්තේ මොනවා ද?

පිළිතුර:- ඉඩම් පරිපාලනය යනු එක්තරා ව්‍යාපෘතියක්. ඇමෙරිකානු රජය කිසිම ඉඩමක් අත්පත් කරගන්නෙ නැහැ. කිසි ඉඩමක් මිලට ගන්නේ හෝ කිසිම ඉඩමක් විකිණීම සිදුවන්නේ නෑ. රජයේ දැනට පවතින ඉඩම් පරිපාලනය සම්බන්ධ වැඩසටහන්වලට අපි සහාය වෙනවා. එය අලුත් වැඩසටහනක් නොවෙයි. එය ඉඩම් ප්‍රතිසංස්කරණය සම්බන්ධ කිසි දෙයකට හවුල් නෑ. ඊට නීතිමය කාර්ය අයත් නෑ. දැනට පවතින ඉඩම් පරිපාලනය සම්බන්ධ කාරණාවලට ඒ මගින් රජයට සහාය සැලසෙනවා. උදාහරණයකට ඉඩම් හිමිකම් තොරතුරු පරිගණක ඩිජිටල්කරණයට භාජන කිරීම දැක්විය හැකියි. එය ඉලෙක්ට්‍රොනික පිටපත් ඇති බව සහතික කෙරෙන්නක්. ඉඩම් පිළිබඳ පැහැදිලි වාර්තා ඇති බවයි ඉන් අදහස් වන්නේ. රජයේ ඉඩම් සිතියම්ගත කිරීමටත් අප සහයෝගය දෙනවා. ශ්‍රී ලංකාවේ ඉඩම් වලින් 70% - 80% ක් ඇත්තේ රජය සතුවයි. එහෙත් ඒවා හරිහැටි සිතියම් ගතකොට නැහැ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවට සංවර්ධන අවශ්‍යතා බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන් ඉඩම් කටයුතු සම්බන්ධයෙන් මෙසේ ඔබ ආධාර දෙන්නේ ඇයි?

පිළිතුර:- එය ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. MCCuසමග අප රටවල් 29ක් හා ගිවිසුම්ගතව සිටිනවා. අප ගිවිසුම් 34ක් සාර්ථකව නිම කළා. සමහර රටවල් සමග අප එක ගිවිසුමකට වඩා ඇතිකර ගත්තා. ඉන් අනතුරුව ආර්ථික වර්ධනයට ඇති බාධා ගැන අප සලකා බැලුවා. සෑම ආර්ථිකයක්ම එකින් එක වෙනස්. මම කලින් උන්නේ නේපාලයේ. එහි වර්ධනයට බලපාන මූලික බාධකය වුණේ බලශක්තිය මදිකම. මෙරට බලශක්ති මදිකම බාධකයක් නොවෙයි. මෙරට ආර්ථික වර්ධනයට බාධකයක්ව පවතින්නේ පරිවහණයේ අඩුපාඩු, යටිතල පහසුකම් හා ඉඩම් පරිපාලනයයි. මෙම බාධක හඳුනා ගැනීමට අධ්‍යයනයන් රාශියක් සිදුකර තිබෙනවා.

ප්‍රවාහනය පිළිබඳ ගැටලුව පිළිබඳ අධ්‍යානයේදී සහ පර්යේෂණ කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාලය ප්‍රධාන අධ්‍යයනයේ නිරත වන්නා ලෙස ක්‍රියා කළා. හාවඞ් විශ්වවිද්‍යාලය මෙය අධ්‍යයනය කළා. මේ ගැන ලෝක බැංකුව අධ්‍යයනය කළා. පසුගිය අවුරුදු විස්ස පුරා මේ ගැන වාර්තා ගතකිරීම්, ලේඛන ගත කිරීම් රාශියක් සිදුවුණා. ඒ අනුවයි මෙම ක්ෂේත්‍ර 2ක හඳුනා ගත්තේ. දෙනු ලබන ආධාර විශාලයි. ඩොලර් බිලියන භාගයක්.

ප්‍රශ්නය:- පසුගිය වාරයේ එ. ජනපදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වූ බවට චෝදනාවක් තිබුණා. මෙවර ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන බවට කසුකුසුවක් පැතිරෙනවා. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද? (සිනා)

පිළිතුර:- අප මේ මැතිවරණයට මැදිහත් වන්නේ නෑ. එය ශ්‍රී ලාංකීය ජනතාව විසින් ගතයුතු තීරණයක්. අප කිසිම අපේක්ෂකයකුට සහයෝගය දෙන්නේ නෑ. කෙසේ වුවත් නිදහස් ස්වාධීන ක්‍රියාදාමයකට අප සහයෝගය දෙනවා. අප අතීතයේත් ඒ දේ කළා. අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමය තහවුරු කරගන්නටයි. ඔබට ඉතා බලසම්පන්න දක්ෂ මැතිවරණ කොමසාරිස්වරයෙකු සිටිනවා. ඒ ගැන අපට හොඳටම විශ්වාසයි.

ප්‍රශ්නය:- 2015 දී ශ්‍රී ලංකාව තුළ සිදුවන වෙනසකට ඔබ කැමැති වුණා. මෙවර තත්ත්වය කුමක් ද?

පිළිතුර:- ආණ්ඩු වෙනස් වීමට කැමැති වීම සහ ප්‍රතිපත්ති වෙනසකට කැමැති වීම අතර වෙනසක් පවතිනවා.

ප්‍රශ්නය:- හමුදාපති තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන එ. ජනපදය දැඩි සැලකිල්ලක් මතුකර තිබෙනවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්කිරීම ගැන ඔබ නිහඬයි. මේ පුද්ගලයින් දෙදෙනාටම මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන චෝදනා තිබෙනවා. තමන්ගේ කනස්සල්ල පළකිරීම් ඇමෙරිකාව පුද්ගලයින් තෝර තෝරා කරන්නේ ඇයි?

පිළිතුර:- හමුදාපති යනු රාජ්‍ය නිලධාරියෙක්. ජනාධිපති අපේක්ෂකයා නිල තත්ත්වයක් බලාපොරොත්තු වන්නෙක්. දේශපාලන පක්ෂයක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සහ නිල තනතුරකට රජයෙන් නම් කිරීම අතර වෙනසක් තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබ ප්‍රධාන විපක්ෂය සමග කටයුතු කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා පවත්වනවා අපට පෙනෙනවා. ඔහුගේ රාජ්‍ය සමයේ ද්වීපාර්ශ්වික සම්බන්ධතා ඒ තරම් හොඳ වුණේ නෑ. ඔහු ගැන ඔබ දැන් කුමන ආකාරයෙන් හිතන්නේ ද?

පිළිතුර:- මා මෙරටට පැමිණියේ පසුගිය වසරේ හරියටම මීට අවුරුද්දකට කළින්. මම දෙවරක් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. එය අප පවත්වාගෙන එන දේශපාලන ක්‍රියාවලියේ කොටසක්. දේශපාලන නායකයින් සමග සමීපව කටයුතු කිරීම වැදගත් බව මා සලකනවා. මම ජවිපෙ නායකයාත් මුණ ගැසී තිබෙනවා. තම නායකයින් පිළිබඳ තීරණ ගත යුත්තේ ශ්‍රී ලාංකික ජනතාව බව අප නැවත කල්පනා කරනවා. ඉඳහිට ඔවුන් සමග එකට වාඩිවී කතා කරන්නට දේශපාලකයන්ගේ මතවාද සමග එකඟ විය යුතු යයි අප සිතන්නේ නෑ. ඔවුන් අපේ ප්‍රතිපත්ති තේරුම් ගැනීම වැදගත්. අපේ දැක්ම, බලාපොරොත්තු සහ මෙරට සමග ඇති සම්බන්ධතා, ඔවුන් තේරුම් ගැනීම වැදගත්. විවිධ ජනයා සමග අප සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය:- ඔහු සමග ඔබේ සාකච්ඡාව ගැන කියන්නට ඇත්තේ මොනවා ද?

පිළිතුර:- ඉතා සුහද සංවාදයක් පැවතුණා.

2019 අගෝස්තු 22 Daily Mirror පුවත්පතේ පළවූ කැලුම් බණ්ඩාර ලියූ We Only Articulate Our Position On the appointment of Army Commander U.S.Ambassador  පරිවර්තනයකි.