පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය චරිත හේරත්.

මෙම වර්ෂයේ ජනවාරි 8 වෙනි දිනයත් සමඟින් ගෙවී ගියේ ‘යහපාලනය’ යැයි නම් කෙරුණු දේශපාලනයක් කිරීම සඳහා රටේ ජනාධිපතිධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයේ හතරවැනි අවුරුද්දය. අප දැන් සිටින්නේ පෙබරවාරියේය. මේ කාලයට සාපේක්ෂව ගත්විට පෙබරවාරි මාසය කියන්නේ ජනවාරියටත් වඩා දේශපාලනමය වැදගත්කමක් ඇති මාසයක්ය. පෙබරවාරි සිහිවෙද්දී එක පැත්තකින් අපේ මතකයට එන්නේ මීට වසර හතරකට පෙර එනම් 2015 පෙබරවාරියේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳවය. මේ සිද්ධිය නිසා දේශපාලන සමාජයේ ඇතිවූ තිගැස්මත් ආර්ථික සමාජයේ ඇතිවූ පාඩුවත් තවමත් ප්‍රධාන මාතෘකාය. 

තවත් පැත්තකින් බලනවිට දිර්ඝකාලයක් කල් දමමින් තිබූ පළාත් පාලන මැතිවරණය පැවතුණේ ගිය වර්ෂයේ පෙබරවාරි මාසයේය. ඒ මැතිවරණය හරහා මේ මාසයට විශේෂ දේශපාලන වැදගත්කමක් ලබාදී ඇතැයි කිය හැක්කේ එක් ප්‍රධාන හේතුවක් නිසාය. 2015 ජනවාරියේ ලැබුණු ‘යහපාලන ජනවරමට’ එරෙහිව අලුත් ජනවරමක් ලැබුණේ 2018 පෙබරවාරියේ මැතිවරණයෙන් ලැබුණු නිසාය. ඒ සියල්ලටම වඩා පෙබරවාරි මාසය අපේ මතකයට ගෙනෙන්නේ රටට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි මාසයේ වන නිසාය. නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන නව අභියෝග පිළිබඳව සාකච්ජා කිරීමට මේ කාලය ඉතාමත් වැදගත් බව මගේ අදහසය. ඒ නිසාම මේ ලිපියෙන් මා සාකච්ජා කරන්නේ නිදහසින් පසු කාලය පුරාවට මෙරට පැවති හා පවතින දේශපාලනය මුහුණ දෙන ගැටලු කීපයක් පිළිබඳවය.

අපේ රට බ්‍රිතාන්‍යයේ යටත්විජිත ආධිපත්‍යයෙන් නිදහස් වූයේ මීට වසර 71 කට පෙරදීය. එය සමරන්නට පැවැති ජාතික නිදහස් උත්සවය මෙවරත් පැවතුණේ වෙනදා වගේම පෙබරවාරි 04 වෙනිදාය. ලෝකයේ බලසම්පන්න රාජ්‍ය සියල්ලම තිබියදී අපේ රටේ ජාතික නිදහස් උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් ගෙන්වා ගත හැකි වූයේ ලෝක දේශපාලනයේ පහතම මාලයේ සිටින රටක් වන මාලදිවයිනේ ජනාධිපතිවරයා බව මේ මොහොතේ සඳහන් කරන්නේ ඒ මහතාට අගෞරවයක් කිරීමට නොව වසර හැත්තෑ එකක නිදහසින් පසුව අප පත්වී සිටින තත්ත්වය අපටම යළි සිහිපත් කරගැනීමට උදව්වක් හැටියටය. අනෙක් අතට මේ වසරේ ජාතික නිදහස් උළෙලේ ජනාධිපතිවරයා පැවැත්වූ දේශනයෙන් වැඩි හරියක්ම වැය වුණේ ‘අගමැතිතුමාගේ ආණ්ඩුව’ පිළිබඳව යම් ආකාරයකින් විවේචනය කිරීමට බවද මෙහිදී අපේ අවධානයට ලක් විය යුතු කාරණයක්ය. මේ රටේ ආණ්ඩුව ලෙසින් අප සැලකිය යුත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් සභාවක්ද (කැබිනට් එකක්ද) එසේත් නැතහොත් ජනාධිපතිවරයා ඇතුළත් නොවන ආයතනයක්ද යන කාරණය මේ වනවිටත් බරපතළ ලෙසින් මතුවී ඇති ප්‍රශ්නයක් බව මේ නිදහස් උත්සවයෙන් ද මනාව පෙන්නුම් කළ බව සැබෑය. අනෙක් අතට ප්‍රසිද්ධියේ ජනපති හා අගමැති අතරින් පෙන්නුම් කෙරෙන මේ විරසකයෙන් කියවෙන්නේ නිදහසින් පසු අපේ රටේ දේශපාලනය වැටී තිබෙන පරිහානියේ තරම යැයි සිතීමේ වැරැද්දක් නැති බව මගේ අදහසය.

වසර 71 නිදහස් පාලනය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් (1948 සහ 1972) මේ වනවිට අප පාවිච්චි කර ඉවතට විසි කර ඇති අතර 1978 වර්ෂයේ සම්මත වූ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මේ වනවිටත් 19 වාරයක් සංශෝධනය කර හමාරය. අප කවුරුත් දන්නා ආකාරයට 20 ව්‍යවස්ථා සංශෝධනයත් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. රටේ ප්‍රධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු වසර පහකට සැරයක් හදන ලියවිල්ලක් ගානට පත්වෙන්නට පටන් ගත්තේ 1994 ආණ්ඩු කාලයේ සිටය. 1994 සිට 2000 දක්වා චන්ද්‍රිකා රජය කාලයේ ‘තවලම්’ ‘සාම යාත්‍රා’ වැනි දේවල් හරහා රටට අලුත් ව්‍යවස්ථාවක්ම හදා එය පාර්ලිමේන්තුවටත් කෙටුම්පතක් ලෙසින් ඉදිරිපත් කළ බව බොහෝ අයට තවමත් මතකය. එසේ ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම ගිනිබත් කරන්නට තරම් එදා විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂය (වර්තමාන ආණ්ඩු පක්ෂය) ‘නිර්භීත’ වූ බව බොහෝ අයට තාමත් මතකය. සමහරුන් කීවේ එසේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත පිළිස්සීම ‘ප්‍රජාතන්ත්‍රවාදයේ’ ජයග්‍රහණයක් කියාය. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි මුල් දවස්වල සිටම ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථාදයක සභාව යොදා ගනිමින් දැනටමත් අලුත් ව්‍යවස්ථාවක් හදා තිබෙන මේ දවස්වල කතා කෙරෙන මාතෘකාවක්ය. ඒ පිළිබඳව සිදුකෙරෙන සාකච්ජාවලින් පෙනී යන්නේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතටත් පරණ ව්‍යවස්ථා කෙටුම්පතට සිදුවූ ආකාරයේ ප්‍රතිචාරයක් ලැබීමේ විභවතාවයක් පවතින බවය. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම පාහේ තමන්ගේ පාලන කාලය තුළ අලුත් ව්‍යවස්ථාවක් හදන්නට උත්සාහ කිරීමෙන් පෙන්නුම් කරන්නේත් නිදහස ලබා වසර 71 ගත වුණත් රටේ මූලික නීතිය පිළිබඳව ප්‍රශ්නයවත් අප තවම විසඳගෙන නැති බවය. යටත් විජිතයෙන් පසුව අප හදන රට කුමක ආකාරයේ රටක් ද යන කාරණය මේ රටේ පසුගිය වසර 71 පුරාවටම නොවිසඳී තිබෙන ගැටලුව ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. මේ කාරණය ගැන ඒ ඒ දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ඇති විය යුතු පළල් සාකච්ජාවක් නොමැතිකම නිසා සිදුවන්නේ සිවිල් අවකාශයේ සිටින බුද්ධිමතුන් කීප දෙනෙකුගේ ග්‍රහණයට මේ මාතෘකාව පත්වීමය. ඒ නිසා ව්‍යවස්ථා හැදීම ගැන කතා කරමින් ඊළඟ වසර 70 ද ගත කළ හැකි අන්දමේ දේශපාලන අර්බුදයකට රට මේ වනවිටත් තල්ලු වී හමාර බව මගේ අදහසය.

මේ ප්‍රශ්නය තවත් පැත්තකින් බැලිය හැකිය. මේ 71 වසරක කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් මගින් ස්ථාපිත කළ ‘ජාතික රාජ්‍යයට’ එරෙහිව මේ වනවිට සන්නද්ධ කැරැලි 03 ක්ද දකුණේ සහ උතුරේ මතුවීම මගින් තවත් පැත්තකින් අපට පෙන්නුම් කරන්නේ අපේ රටේ පාලනයක් හදගැනීමේ කාරණය සම්බන්ධයෙන් අප සිටින්නේ බරපතළ අර්බුදයක බවය. මෙයින් පෙනී යන්නේ ‘ලේ බින්දුවක් වත් නොසෙල්වා ලබා ගත්තා’ යැයි කියන නිදහස ආරක්ෂා කරගැනීමට හැම වසර 18 හෝ 20 කට වරක් ලේ ගංගා හැලීමට රටට බල කෙරී ඇති බවය. හැම වසරේම පෙබරවාරි මාසයේ රජය විසින් ‘නිදහස සමරන’ අතර ඒ නිදහසේ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ පහරදීම් සමරන්නට බක් මහේ (71 අප්‍රේල්) විරුවන් හා ඉල් මහේ (89 නොවැ.) විරුවන් බිහිවී තිබෙන්නේ මේ නිසාය. එක පැත්තකින් ලැබූ නිදහස සමරන අතර තවත් පැත්තකින් ඒ නිදහසේ රාජ්‍යයට පහරදීම සමරන්නට සිදුවීම පෙන්නුම් කරන්නේ අප පත්වී ඇති ඛේදජනක තත්ත්වයේ තරමය.

ආර්ථිකය පැත්තෙන් සලකා බැලුවත් ‘අපම රට පාලනය කළ’ ගෙවී ගිය වසර 71 නිදහස් රාජ්‍යය උරුම කර ඇත්තේ මූල්‍යමය පැත්තෙන් කාටවත් ලෙහන්නට බැරි පටලැවිල්ලක මේ රට හිර කිරීමය. අප රටක් ලෙසින් සියලුම පන්නයේ ආර්ථික උපාය මාර්ග මේ වනවිට අත්හදා බලා ඇති බවත් මතකයට ගැනීමත් මෙහිදී ඉතාමත් වැදගත්ය. මේ රටේ 1948 සිට 1970 දක්වා කාලයේ තිබුණේ සම්භාව්‍ය ධනේශ්වර ආර්ථිකයේ මෙහෙයවීමට යටත් වූ ආර්ථිකයක්ය. 1970 සිට 1977 දක්වා කාලයේ තිබුණේ යම් ආකාරයක මධ්‍යගත වූ රාජ්‍ය කේන්ද්‍රීය වූ ආර්ථික මොඩලයක්ය. රජයේ වගකීම යම් ආකාරයකින් ඉහළ දැමීමක් ඒ මගින් බලාපොරොත්තු විය. තුන් වැනිව 1977 සිට මේ දක්වා ඇත්තේ සිදුවෙමින් තිබෙන්නේ රාජ්‍යයේ බලය අවම කරන හා වෙළඳපොළේ බලය ශක්තිමත් කරන විවෘත ආර්ථික ආකෘතියක් යටතේ රට පාලනය කිරීමය. මේ සියලු ක්‍රම අත්හදා බලා අප අවසානයේ පැමිණ ඇත්තේ යළිත් වතාවක් ණය ලබාගන්නට නොහැකි ආකාරයට හිරවූ ආර්ථිකයක් සහිත හැම පැත්තෙන්ම හිරවූ ආර්ථික ක්‍රියාවලියකටය. 1948 සිට මේ දක්වා ලබා ගත් ණය පියවීමට අලුතින් ණයගැනීමට සිදුවන තරමට මේ තත්ත්වය බරපතළ වී ඇති බව දැන් හැමෝම දන්නා කාරණයක්ය. 

දැන් රටට ලැබෙන සුළු හෝ විදේශ ප්‍රාග්ධනයත් ලැබෙන්නේ වර්ග තුනක කාන්තාවන් ගේ (කඳුකරයේ තේ දළු කඩන කාන්තාවන් - රටපුරා ඇඟලුම් කර්මාන්තයේ සිටින කාන්තාවන් සහ විදේශවල ගෘහසේවිකාවන් ලෙසින් ගොස් සිටින කාන්තාවන්ට) ශ්‍රමයට පින් සිදුවන්නටය. මේ කාණ්ඩ තුනේ කාන්තාවන්ට මේ සමාජයේ ඇත්තේ ඉතාමත් අඩු පිළිගැනීමක් වුවත් මේ අයගේ ශක්තිය නොවන්නට අප පහසුවට ගොඩ නඟා ගෙන ඇති පොසිල ඉන්ධනවලින් දුවන ජීවිතය පවත්වා ගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැති බව සමහරුන් දන්නේ නැත. ගුවන්තොටු​ෙපාළට සැප කාර්වලින් උජාරුවෙන් එන සමාජයේ ඉහළ මාලයේ අයගේ ඒ පරිභෝජනයට අවශ්‍ය තෙල් ටික මැද පෙරදිගින් ​ෙගන්වන්නේත් ඒ ගුවන්තොටුපොළේ තවත් කොනකින් අමාරුවෙන් රිංගා මැද පෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් හොයා එවන සොච්චමෙන් බව මේ අය දන්නේවත් නැත. ඒ අර්ථයෙන් බලන විට අප අපටම කියා ගත යුත්තේ නිදහසින් පසු නිර්මාණය කර ඇත්තේ ‘කාන්තාවන්ගේ මහන්සිය තමන්ගේ හොයන මුදලින් සුඛවිහරණය ගොඩ නඟාගන්නා පිරිමින්ගේ දේශයක්’ කියාය.

රාජ්‍ය පාලනය පැත්තෙන් ගත්තත් වසර 71 නිදහසින් පසුව අප හදාගෙන ඇත්තේ හැමවැඩක්ම ප්‍රමාද කරන රාජ්‍ය සේවයක් හා මහමඟට ජීවිතෙන් වැඩි කොටසක් ගෙවී යන අසංවිධානාත්මක තත්ත්වයක් බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මහරගම සිට පිටකොටුවට යන්නට පැය දෙකක් හෝ තුනක් පමණ ගතවෙන ගානට මේ අවුල් සහගත පරිපාලනය විසින් මිනිසුන් රස්තියාදු කරන තත්ත්වයක් ගොඩනඟා ඇත්තේ මේ දේශපාලනයේම ව්‍යතිරේඛයක් ලෙසින්ය.

මෙතැනින් එහාට යන්නේ කෙසේද යන කාරණය මේ ගැටලුකාරීත්වය සමඟම මතුවෙන ඊළඟ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළම අලුත් දේශපාලන විප්ලවයක් සිදුකිරීමෙන් බව අපේ යෝජනාවයි. සමහරුන් මේ සඳහා යෝජනා කරන විකල්පය වන පොතේ ගුරුවාදී කොමියුනිස්ට් පන්නයේ පාලනයක් හෝ තවත් සමහර ජාතිකවාදී වයෝවෘද්ධයන් යෝජනා කරන ළිංමැඩි පුහු මතවාදවලින් මේ ගැටලු එකක්වත් විසඳා ගැනීමේ ඉඩක් ඇතැයි සිතිය නොහැක.

මේ වර්ෂය මැතිවරණ කීපයක්ම පවත්වන්නට නියමිත බැව් කියවෙන හෙයින් අලුත් දේශපාලන සාකච්ජාවක් හා අලුත් දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් මගින් අලුත් විසඳුම් සොයන දේශපාලනයක් ගොඩනඟා ගැනීම අප හැමෝගේම ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය බවට පත්වී ඇත.