මම ආර්ථික විද්‍යාඥයකු හෝ ආර්ථික විශ්ලේෂකයකු ලෙස පෙනී සිටින්නට උත්සාහ ගන්නා අයකු නොවෙමි. මෙම ලිපියේදී මා ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි උනන්දුවන ජනතාවගේ මතවාදය.

මෙහි ඉදිරිපත්කර ඇති ඇතැම් සංඛ්‍යාලේඛන පුවත් පත් ලිපි වලින් උපුටා ගන්නාලද ඒවා වන අතර අනෙකුත් බොහෝ ඒවා 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ලබා ගන්නා ලද දත්තය. තවදුරටත් මූලික පර්යේෂණයකින් තොරව මම මගේ පෞද්ගලික මත ඉදිරිපත් කර තිබේ. මගේ එකී මත විවේචනයට හෝ අභියෝගයට ලක්වීමටද ඉඩ තිබේ.

වත්මන් ආර්ථිකයේ සාරාංශය

2019 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය දළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2079 කි. මෙය රටට ලැබෙන ආදායම් සහ සමස්ත ප්‍රදානයන් ප්‍රමාණය වූ රුපියල් බිලියන 2403 ට වඩා අඩු වනුයේ රුපියල් මිලියන 324 කිනි. රටට ලැබෙන සමස්ත ආදායම ණය බේරීම සඳහා භාවිත වන බවද එයින් පෙනේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන බැරෑරුම් සහගත බවද ඒ මගින් පිළිබිඹු වෙයි.

රටේ ආර්ථිකය මුහුණපා තිබෙන දැඩි අන්තරායකාරී බව නොසලකා රජය අවසන් වරට ඉදිරිපත් කර ඇති අයවැයෙන් විවිධ දීමනා දෙන්නට නිවේදනය කර ඇත්තේ එය මැතිවරණයක් අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන්නක් නිසා විය යුතුයි.

සියලු රජයේ සේවකයන්ට රු. 2500 සඳහා රු. බිලියන 20 ක් වැයවේ. ඊට අමතරව විශ්‍රාම වැටුප් සංශෝධන සඳහා රුපියල් බිලියන 20 කි.

ගම්බද සිසුන්ට කිරි ලබාදීම - රු. බිලියන 1 ක්
තරුණයන් සඳහා සහන ණය තව දුරටත්
උසස් අධ්‍යාපන කටයුතු සඳහා ණය.
අලුත විවාහ වන ජෝඩු සඳහා නිවාස ණය
බස් සේවා වර්ධනය කිරීම - රු.බි. 1.5
ඉදිරියේ සිදුවිය හැකි ආපදා කළමනාකරණ උදෙසා ප්‍රතිපාදන වෙන් කිරීම.

ගම්පෙරළිය ව්‍යාපෘතිය වර්ධනය කිරීම

රන් මාවත් - ගම්බද පාරවල් නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය - රු.බිලියන 10 යි.
සුකිතපුරවර - නගර සංවර්ධන ව්‍යාපෘතිය - රු. බි. 2 යි.
නගර සංවර්ධනය ගල්මුනේ සහ සම්මන්තුරේ රු. බිලියන 1 යි.
ප්‍රජා ජාල අබිමන් ජල සැපයුම් ව්‍යාපෘතිය රු. බි. 1.5
සහස්‍රා බස් නවීකරණ වැඩසටහන රු. බිලියන 2

පැල්මයිරා අරමුදල සඳහා මූලික ප්‍රාග්ධනය
 
නන්වමු ලංකා - කුඩා ව්‍යාපාර සංවර්ධන වයාපෘතිය.
අවශ්‍ය ජනයා උදෙසා සෞඛ්‍ය පහසුකම් සැපයීම රු.බි. 4.
බස් නැවතුම් පොළ සහ දුම්රිය පොළවල සෞඛ්‍ය පහසුකම් වර්ධනය රු. බි. 1
ගඩොල් හා බදාම වර්ගයේ නිවාස ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර රු. බි. 5.5

කාර්මික කලාප පිහිටුවීම - කන්කසන්තුරේ, මන්තායි, නැගෙනහිර, පරන්තන්, හොන්දාති, කින්නියා, සමන්තුරෙයි, ත්‍රිකුණාමල - රු.බි. 1 යි.

මෑතකදී රජයෙන්, ක්‍රීඩා උපදේශකවරුන් 300 කට වැඩි ගණනක් පාසැල් වලට අනුයුක්ත කරමින් ඔවුනට පත්වීම් ලබාදුන් බව නිවේදනය කරන ලදී. මේ සියලු දෙනා ආණ්ඩුවට සහයෝගය දෙන්නන් බව අනුමාන කෙරෙන අතර ඉන් බොහෝ අය සුදුසුකම් නොලත් අය බවද වාර්තා වේ. සමෘද්ධි සහනලාභීන් 600,000 දක්වා වැඩි කරන ලදී. අලුත් සමෘද්ධි ලාභීන් එ.ජා.ප ආධාර කරුවන් නිසා මීට පෙර ඔවුන්ගේ සමෘද්ධි සහනාධාරය අත්හිටුවන ලද බවද පැවැසේ. වඩාත් මෑතකදී ඊනියා සංවර්ධන වැඩ සටහන් අධීක්ෂණය කිරීම උදෙසා රැකියා විරහිත උපාධිධාරීන් පත් කොට ඇත.

මෙම ව්‍යාපෘති පවත්වා ගැනීම සඳහා සැලකිය යුතු අමතර අරමුදල් අවශ්‍ය වන බැවින් ඒ උදෙසා තවත් අමතර ණය ගත යුතුවේ. ඒ මගින් ණය බර දැනට පවතින තත්ත්වයටත් වඩා නරක අතට හැරෙනු ඇත. දිගින් දිගිට පවත්වාගෙන යන අය වැය හිඟය පියවා ගැනීමට ණය ගැනීම කරන අතර වසර ගණනාවක සිට එය නිරන්තරයෙන් සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ නිරතුරුවම තමන් සතු නොවන සම්පත් වෙන්දේසියේ තැබීම පුරුද්දක් කරගෙන සිටිති. විශේෂයෙන් මැතිවරණයකට පෙර මෙම කාර්ය සිදුවේ යනුවෙන් ලී ක්වාන් යූ කර ඇති සුප්‍රසිද්ධ ප්‍රකාශය අදට බෙහෙවින් වලංගුවේ.

දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයේ ප්‍රවණතා

රජය දැඩි ලෙස විවේචනය කරන අයකු වූ සී.ඒ. චන්ද්‍රප්‍රේම මාර්තු 10 වැනිදා Sunday Island පුවත් පතට සැපයූ (අය වැය තුළින් රජයේ මැතිවරණ උපාය මාර්ග) Governments Elections Strategy through the Budget ලිපියේ මෙසේ කියා ඇත. යහපාලන රජය බලයට පත්වූ පසු වර්ධන වේගය ශීඝ්‍රයන් පහත වැටීම උදාහරණයක් සේ දැක්විය හැකියි. රාජපක්ෂ යුගයේ මුල් වසර කිහිපයේ 2006 සිට 2009 දක්වා සාමාන්‍ය වර්ධන වේගය 6%ක් විය. පශ්චාත් යුද අවධියේ 2010 සිට 2014 දක්වා වසර පහේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% කි. 2005 වසර අගදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො 1242 කි. එය තුන් ගුණයකින් වැඩිවී 2014 අග වනවිට ඇ.ඩො 3821 බවට පත්විය. මේ දක්වා කිසිම රජයක් 6%ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත් නොවීමත් 7.4% වර්ධන වේගයකට ළඟා නොවීමත් විශේෂ සිද්ධියකි.

මීට හාත්පසින් වෙනස්ව යමින් යහපාලන රජය බලයට පැමිණි පසු 2015 දී වර්ධන වේගය 5% දක්වාත්, 2016 දී එය 4.5% දක්වාත් 2017 දී එය 3.1 දක්වාත් 2018 දී 3.2 දක්වාත් පහත වැටුණේය. අප්‍රේල් 21 සිද්ධි වලින් පසුව සියලු ප්‍රක්ෂේපණවලින් පෙනී ගියේ 2019 දළජාතික වර්ධන වේගය 2.5% ත් 3% ත් අතර පවතින බවකි. මුදල් අමාත්‍යවරයා පසුගිය අයවැය කතාව ඉදිරිපත් කරද්දී මෙම දුර්වල ප්‍රගතිය පිළිබඳව කිසිදු හේතු දැක්වීමක් නොකළේය. තවත් කාරණයකදී රටේ සාමය අවුරුදු හතරක් තුළදී 58% කින් වැඩිවුණේ ඇයිද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වූයේය. 2014 අගවන විට රටේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391ක් විය.
2018 ඔක්තෝබර් අග වනවිට මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 11667 ක් විය. එය රුපියල් බිලියන 4276 කින් වැඩිකිරීමකි. ඒ අනුව රජයේ සමස්ත ණය වැඩිවීමේ ප්‍රතිශතය එම කාලය තුළ 58%කි. වසර හතරක් තුළ එතරම් වැඩිවීමක් සිදු වූයේ කෙසේද? 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අපට අසන්නට ලැබුණෙු අනෙක් පුවත නම් රජය තවත් ඇමරිකන් ඩොලර් බිලියන 2.4 ක ස්වාධීන බැඳුම්කර නිකුතුවක් සිදු කරන බවයි.

කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශනය 2014 දී රුපියල් මිලියන 72.99 ක් වූ අතර එය 2015 දී රු. 6894 දක්වා පහත වැටුණි. 2016 දී තවදුරටත් එය රු. 6228 දක්වා පහත වැටුණේය. 2017 දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) තරමක ප්‍රගතියක් අත්කරගනිමින් 6369 දක්වා වැඩිවූ නමුත් පසුව තවදුරටත් පහත වැටුණේය. මෑතකදී කොටස් වෙළෙඳ පොළේ යළි වර්ධනයක් ඇතිවූයේ මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා විය හැකිය.

2014 අගවන විට (CSE) කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධන රුපියල් බිලියන 3105 ක් විය. එහෙත් ඉන් පසු එය රුපියල් බිලියන 2688 දක්වා පහත වැටුණි. මෙහි අර්ථය රුපියල් බිලියන 417ක වටිනාකමක් වාෂ්පවී ගිය බවයි. මෙම පහත වැටීම ඩොලර් වලින් ප්‍රකාශ කරද්දී එය වඩාත් හොඳින් නිරූපණය විය. 2014 අගදී කොළඹ කොටස් හුවමාරුවේ :ක්‍ීෑ* වෙළෙඳපොළ ප්‍රාග්ධන ඇ.ඩොලර් 23.7 කි. අද හුවමාරු අනුපාතිකය ඩොලරයකට රු. 178 පමණ වෙද්දී කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය ඩොලර් මිලියන 14.9 දක්වා පිරිහී ඇත.

ඒක පුද්ගල ආදායම 2017 දී ඩොලර් 4104 සිට 2018 දී ඩොලර් 4102 දක්වා පහත වැටී ඇති බවද අවධාරණයට ගත යුතුවේ. මේ ආකාරයට, ඉහත සඳහන් කර ඇති ලිපියන් යහපාලන රජය පැවැති කාලය තුළ දිගින් දිගටම දළ ජාතික නිෂ්පාදිතය පහත වැටුණු ආකාරය චන්ද්‍රප්‍රේම විසින් ගෙනහැර පා තිබේ.

ඍජු විදේශ ආයෝජන (FDI)

2018 මහ බැංකු වාර්තා අනුව ඉතිහාසයේ වැඩිම ඍජු විදේශ ආදායම් ගලා ඒම වාර්තා වී ඇත්තේ 2018 දීය. ඍජු විදේශ ආදායම ගලා ඒමේ ප්‍රධාන වශයෙන් සිදුවී ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට හා කොළඹ වරාය නගර ව්‍යාපෘතියටය. (බැංකු අංක 2 බලන්න)

2018 දී සිදුවූ මෙම සැලකිය යුතු වර්ධනය 2017 ට වඩා 38.4% වැඩිවීමකි. දැනට රටේ පවතින ආර්ථික අසමතුලිතභාව නිවැරැදි කරගැනීම උදෙසා ඇති ප්‍රධානම මාර්ගය (FDI) ඍජු විදේශ ආයෝජන වැඩි කරගැනීම නිසා එය කඩිනම් අවශ්‍යතාවකි. දීර්ඝ කාලීන දැක්මක් තහවුරු වී හා දීර්ගකාලීන දේශපලන ස්ථාවරභාවයක් ඇතිවන තුරු ඍජු විදේශ ආයෝජන ඇදගැනීම කළ නොහැක්කේය. මියන්මාරේ, වියට්නාමය කාම්බෝජය සහ ලාඕස් යන රටවලට ඍජු විදේශ ආයෝජන ගලා ආ ආකාරය හා සැසඳීමේදී මේ බව පැහැදිලිවේ.

ගෙවුම් ශේෂ

මහබැංකු වාර්තා අනුව ප්‍රාථමික ආදායම් ගිණුම් හිඟය 2016 දී ඩොලර් බිලියන 2.2 ක්ව තිබී 2017 දී එය ඩො.බි. 2.3 දක්වා පුළුල්වී තිබේ.

සේවක ප්‍රේෂණ මුදල්

2018 දී මධ්‍යස්ථ මට්ටමෙන් නොකඩවා පැවැති සේවක ප්‍රේෂණ නිසා වසර තුළ ද්විතියීය ආදායම් ගිණුම් යාම්තමින් වූ ප්‍රගතියක් පෙන්නුම් කළේය.

ද්විතීය ආදායම් ගිණුම තුළට ගලාගෙන ආ සේවක ප්‍රේෂණ මුදල් අඩු වීම නිසා ගිණුම 1.1% කින් ඩොලර් බිලියන 7.2 දක්වා පහත වැටුණේය. 2017 දී එහි තිබුණේ 3.7% ක වර්ධනයකි. ප්‍රධාන වශයෙන් මෙම ලක්ෂණ පෙන්නුම් කිරීමට හේතු වූයේ ඛණිජ තෙල් මිල පහත වැටීම සහ මන්දගාමී වර්ධන නිසා දැනට ඇතිවී තිබෙන භූ දේශපාලනික අස්ථාවරභාවයයි.

එසේම සිය දරුපවුල් සහ ස්වකීයයන් හැර දමා මැද පෙරදිග ගොස් නොමැරී මැරෙමින් වැඩ කරන කාන්තාවෝ ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරති.

කෙසේ වුවද මොවුනට හරිහැටි සේවා හුරුවීමක් හෝ පුහුණුවීමේ පහසුකම් සැපයීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු නොකරන බව මගේ විශ්වාසයයි. එසේම පිළිගත හැකි කම්කරු නීති ක්‍රමයක් නැති පිටරටවල සේවය කරන ඔවුනට ප්‍රමාණවත් ආරක්ෂාවක් ද නොලැබේ. ඔවුන් රටින් පිටව යන්නට පෙර දෙනු ලබන හොඳ පුහුණුවකින් ඔවුනට පිලිපීන ගෘහසේවිකාන්ගේ වැටුප හා සැසඳූවිට හොඳ ආදායමක් ලැබිය හැකි වනවා පමණක් නොව ඔවුන් මවු රටට එවනු ලබන ප්‍රේෂණයද වර්ධනය කරගැනීමට හැකිවේ. ඒ මගින් ඔවුනට ගුණාත්මක බවෙන් යුතු අනාගත ජීවිතයක්ද හිමිවේ.

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම

රජය, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම උදෙසා පියවර ගනු ලැබුවද දේශපාලන බලපෑම් නිසා එම ක්‍රියාමාර්ග ඇණහිටියේය. රජයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසායන් (SOE) දිගින් දිගටම ආර්ථිකය බරක් වෙමින් 2017 මුළු පාඩුව බිලියන 230 ක් බවට පත්වූයේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග කියා සිටියේ රජයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසායන් (SOE) උපාය මාර්ගික වශයෙන් නගා සිටුවීම සඳහා, 2017 දක්වා බලයට පැමිණි ආණ්ඩු රුපියල් බිලියන 1150 ක් තරම් යෝධ මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති බවයි. 400 ක් තරම්වූ රාජ්‍ය ව්‍යවසායකයන්ගෙන් මූලෝපාය වශයෙන් වැදගත්යයි සැලකෙන රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යාපාර ව්‍යවසායයත් (SOBE) ක් ඇති බව ඔහු අනාවරණය කළේය. 2017 දී පමණක් රුපියල් බිලියන 41 ක් රජයට අයත් ව්‍යාපාර උදෙසා භාණ්ඩාගාරයෙන් වැය කරනු ලැබුවේය. ඒවායින් රුපියල් බිලියන 1755 ක පිරිවැටුමක් (වසරක් තුළ අලෙවි වටිනාකමක්) වාර්තා වූවේය. එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදන වටිනාකම 13% ක් පමණ වේ) ඒවායේ සමස්ත වත්කම් පදනම් පෙර වසරේදී 13.6% කින් වර්ධනයවී තිබිණි. මෙම රජයේ හිමිකාරිත්වය ඇති ව්‍යාපාර වලින් ලාබ ලැබුවේ 39ක් පමණකි. එම ලාබයේ වටිනාකම රුපියල් බිලියන 136 කට වඩා වැඩි විය. ඉතිරි රාජ්‍ය හිමි ව්‍යාපාර 16 හි පාඩුවේ එකතුව රුපියල් බිලියන 87 කි. ණය බර දිගින් දිගටම රඳවා ගන්නා ශ්‍රී ලන්කන් එයර් ලයින් මේවායින් ලොකුම ගැටලුව ඇති ආයතනයයි. අප්‍රේල් 21 දින කැලඹීම් නිසා සංචාරකයන්ගේ පැමිණීම කෙමෙන් පහත වැටුණ අතර එම තත්ත්වයද ගුවන් සමාගමේ ආදායමට තදින් බලපෑවේය.

ලංවීම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට දිවීමද ඒවා ගොඩ ගැනීම සඳහා ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීමෙන් අමතර යමක් සිදුවූ බව පෙනෙන්නට නැත. මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට රජය පමාවූවා වැඩිය. එය කලකට පෙර හඳුන්වා දුන්නේ නම් (OECD) ආර්ථික සහයෝගිතා වර්ධන සංවිධානයේ ඉන්ධන මිල සමග එහි බලපෑමෙන් ඵල ලබාගන්නට තිබිණි.

නිතරම ගැටලු ඇතිවූයේ දුප්පත් ජනයා ඉවුම් පිහුම් වලට භාවිත කරන භූමිතෙල් වල මිල වැඩි කළ විටය. ධීවර ජනයා ඇතුළු බොහෝ දෙනා මේ ගැන විවිධ විරෝධතා පෑ නිසා රජයට භූමිතෙල් මිල පහත හෙළන්නට සිදුවූයේය.

රාජ්‍ය හිමිකාරිත්වය පවතින ව්‍යවසායන්හි මූල්‍යමය බර අඩුකරගන්නට එක් විසඳුමක් වූයේ ඒවා පෞද්ගලීකරණය කිරීමයි. එසේ උත්සාහ දැරූ සෑම අවස්ථාවකම විරුද්ධ පක්ෂයෙනුත් ස්වාධීන පාර්ශව වලිනුත් විරෝධතා එල්ලවූයේය. මූලෝපාය හා වෙනත් හේතුමත, තවදුරටත් ලංවීම හා ඛනිජතෙල් සමාගම වැනි ඇතැම් ආයතන රජයේ පාලනය යටතේ තබා ගන්නට සිදුවේ.

කෙසේ වුවද ඒ සඳහා තවත් විසඳුමක් වන්නේ Umbrella Organizations  (කුඩ සංවිධාන) ඇති කිරීමයි. මේවනවිට සිංගප්පූරුවේ Temasek වැනි මේ ආකාර විශාල සංවිධාන සාර්ථකව පවත්වාගෙන යයි. මෙහිදී කරනුයේ විශාල සංවිධානය යටතේ රජයේ සම්බන්ධීකරණ පවතින ආයතන රාශියක් පාලනය වීමයි. මෙවැනි කුඩ සංවිධාන Umbrella Organizations රජයේ හිමිකාරිත්වය යටතේ පවතින මුත් ඒවායේ මෙහෙයවීම් කටයුතු කරනුයේ ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල වලිනි. එවැනි දක්ෂතා ඇති වෘත්තිකයන් මගින් පාලනය වන ඔවුන් වගකීම් උසුලන සමාගම් පවත්වා ගැනීමෙන් රජයට මේ සඳහා විසඳුම් සොයාගන්නට හැකියාව පවතී.

2019 Sept 21 Daily FT පුවත්පතට state of the economy of srilanka නමින් මහේන්ද්‍ර අමරසූරිය ලියා ඇති ලිපියේ පරිවර්තනයයි.
පරිවර්තනය-සමන් පුෂ්ප ලියනගේ