ලොකු පුතේ, කවද‌ාවත් නැති විදියට මගේ ඇඟට අමුතුම වේදනාවක් දැනෙනවා. මා මැරෙනවා තේරෙනවා. මුළු ඇඟම පණ නෑ. හෙට ඉඳලා ඔයාලව බලාගන්නේ කවුද කොහොම හරි හොඳින් ඉන්න. පොඩි මල්ලි තමයි ප්‍රශ්නෙ නේද? අනේ පුතේ කොහොම හරි එයාට SSC දක්වාවත් ඉගෙන ගන්න අත දෙන්න. ඔයා තමයි ඒ වැඩේ කරන්න ඉන්නේ. මල්ලිට හමුද‌ාවේ ඉඳන් ඒවා කරන්න බැහැනේ. කොහොම හරි මල්ලිව ඉස්කෝලේ යවලා උගන්නන්න. හෙට උදේ මම නැහැ. දුක්වෙන්න එපා. 


 මේ අම්මා 
ඇල්පිටිය, පිටුවල මිශ්‍ර පාසල සහ ශාන්ත මරියා යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ ශීලා වික්‍රමරත්න 1963 වසරේදී පේරාදෙණිය සරසවි වරම් ලැබුවාය. එම වසරේදීම ඇය විසින් ලියන ලද ‘සිහිනෙන් ගෑ සුවඳ’ නම් සාහිත්‍ය නිර්මාණයට හොඳම නව කතාවට හිමි සම්මානය ද හිමිවිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වූ ඇය පසු කලෙක සුප්‍රකට මාධ්‍යවේදිනියක් බවට පත්වූවාය. විවාහයෙන් පසුව ඇය පදිංචිව සිටියේ කඩවතය. 
පුතුන් සිව් දෙනෙකුගේ මවක වූ ශීලාගේ දෙවැනි පුත්‍රයා උපත ලැබුවේ 1970 නොවැම්බර් 25 වැනිද‌ාය. අංජන යනුවෙන් නම් ලද ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කඩවත මහා බෝධි විදුහලෙනි. චිත්‍ර ශිල්පයට ද දස්කම් දැක්වූ අංජන දහම් පාසල් අධ්‍යාපනයට ද දැඩි ආශාවක් දැක්වූ දරුවෙක් විය. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ඉසිපතන විදුහලට ඇතුළත් වූ ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස විවිධ සම්මාන හිමිකර ගත්තේය. අතිදක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු රගර්, ක්‍රිකට්, පාපන්දු සහ හොකී වැනි ක්‍රීඩාවලින් විශිෂ්ට දස්කම් දැක්වූවකු විය. 
කුඩා කළ සිට අතට අසුවන පෑන්, පැන්සල්වලින් කොතනක හෝ චිත්‍ර ඇඳීම ඔහුගේ සිරිත වී තිබිණි. එම චිත්‍රවලින් වැඩි කොටසක්ම හමුද‌‌ා භටයන්ගේ විවිධ අවස්ථා නිරූපණය කළේය. උසස් පෙළ සිසුවෙකු ලෙස සිටියදීත් ඔහු විසින් මිලදී ගත් භාණ්ඩ වූයේ යුද භටයන්ගේ විවිධ අවස්ථා නිරූපණය වන පිළිරූ වර්ග විය. 


තම පුත්‍රයාගේ මෙම ආශාවට මව එතරම් කැමැත්තක් නොදැක්වූවාය. ඒ පිළිබඳව මව කීප විටක්ම විමසූ නමුත් ඔහු එයට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. වාණිජ අංශයෙන් උසස් පෙළ හද‌ාරමින් සිටි ඔහු හමුද‌ා භටයන්ට තිබූ ආශාව සනාථ කරමින් විසිවන වියේදී යුද හමුද‌ාවට බැඳුණේය. 1990 ජනවාරි මාසයේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස දියතලාවේ හමුද‌ා විද්‍යාලයට ඇතුළත් විය. 


පුහුණුව අවසානයේ 1991 වසරේදී ඔහු උපලුතිනන්වරයෙකු ලෙස සේවය ආරම්භ කළේය. වසර කීපයක් පාබල හමුද‌ාවට එක්වී සිටි ඔහු උතුරේ යුදබිමේ සටන්වලද යෙදී සිටියේය. වවුනියාව, යාපනය, කයිට්ස් යන ප්‍රදේශවල පැවැති යුද මෙහෙයුම්වල ක්‍රියාන්විත නිලධාරියෙකු වූ ඔහු අවසන් වරට සේවය කළේ අලිමංකඩය. අවසරයක් ලද විගස මව බැලීමට පැමිණීම ද අංජනගේ සිරිත විය. ඔහු මවට දැඩි සෙනෙහසක් දැක්වූ දරුවෙක් විය. 

 


 මව හමු වී පිටත්ව යන හැම විටෙකම ශීලා​ගේ පැතුම වූයේ ‘මගේ පුතාට කිසි විටෙක අනතුරක් නොවේවා’ යන්නය. එහෙත් අංජනට සේවය කළ හැකි වූයේ දෙවසරක් වැනි කෙටි කලකි. අලිමංකඩ සේවය කරමින් සිටියදී 1992 මාර්තු 5 වැනිද‌ා සටන් බිමේදී ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. ත්‍රස්තවාදී වෙඩි පහරකින් ඔහුගේ ජීවිතය උදුරාගන්නා විට අංජනට හරියටම වයස අවුරුදු 22 ක් වී තිබිණි. වෙඩි ප්‍රහාරය එල්ලවූයේ රාත්‍රියේය. 


එදින අංජනගේ මව ශීලා සිටියේ කඩවත නිවසේය. එදින රාත්‍රියේ ශීලා මුහුණ දුන් සිදුවීම අතිශය පුදුම උපදවන සුලුවිය. රාත්‍රී ආහාර පිසීමෙන් පසුව මුළුතැන්ගෙයි වැඩකටයුතු අවසන් කළ ඇය නිද‌ාගැනීමට සූද‌ානමින් සිටියාය. හදිසියේම ඇගේ සිරුර අප්‍රාණික වන්නට විය. මුළු සිරුරම වේදනාකාරී බවක් දැනුණි. සිරුර දැවෙන්නා සේය. සිදුවන්නේ කුමක්දැයි ඇයට ද වටහා ගැනීම අපහසු විය. තම දරුවන් පිළිබඳ සිහිපත් වූ ඇයට අංජන පුතා ගැන මහත් බියක් දැනුණි. ඔහුට කිසිදු අනතුරක් නොවේවායි ඇගේ වේදනාව තුළින් ඇය සිහිපත් කළාය. 
 මොහොතින් මොහොත ඇගේ සිරුරේ වේදනාව වැඩිවිය. නැගිට ගැනීමට පවා අපහසුවන අයුරින් සිරුර අප්‍රාණිකය. කිසි දිනෙක ඇති නොවූ එම තත්ත්වය අනුව ඇය මරණයට පත්වේ යැයි සිතුනි. දැඩි කම්පනයට පත් වූ ඇය ඉතා අපහසුවෙන් ඇගේ කාමරය වෙත ගියාය. ඒ වන විට වේලාව රාත්‍රී එකොළහට ආසන්න වී තිබිණි. 


 අප්‍රාණික ගතින් සිටි ශීලා ඉතා අපහසුවෙන් පෑනක් ගෙන ලියුමක් ලියන්නට විය. ඇය විසින් එම ලියුම ලීවේ ඇගේ ලොකු පුතාටය. 
 ‘අනේ, ලොකු පුතේ මගේ ඇඟට අමුතුම වේදනාවක් දැනෙනවා. මා මැරෙන බැව් මට දැනෙනවා. මුළු ඇඟම පණ නෑ. හුස්ම හිරවෙන්නා වගෙයි. හෙට ඉඳල ඔයාලව බලාගන්නේ කව්ද? කොහොම හරි හොඳින් ඉන්න. පොඩි මල්ලිට තමයි ප්‍රශ්නය. අනේ පුතේ කොහොම හරි එයාට උගන්වන්න. ඔයා තමයි ඒ වැඩේ කරන්න ඉන්නේ. හෙට උදේ මම නෑ. දුක්වෙන්න එපා. මේ අම්මා. යනුවෙන් ලියුම අවසන් කළ ශීලා එය තම නිදියහනේ කොට්ටය යට තැබුවාය. ඇගේ දෑස් නිලංකාර වන්නා සේය. ඇයට තම අංජන පුතා සිහිපත් විය. ඔහුගේ රුවද මැවී පෙනෙන්නට විය. ඒ සමගම සිරුර අප්‍රාණික බවත් වේදිනාවත් තදින් දැනුනි. ඇගේ ජීවිතය අවසන් වන බවක් සිතට දැනුණි. 


ඇය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වූයේ පසුදින උදේය. තමා පෙර දින මුහුණ පෑ තත්ත්වය ගැන ඇය කල්පනා කළාය. එම සිදුවීම යටපත් කරගත් ඇය උදේ ආහාර පිසීමේ කටයුතු නිමකර පූජනීය ස්ථානයක් වෙත යාමට සූදානම් වූවාය. කීප විටක්ම හමුද‌ා සේවයේ සිටින පුත්‍රයා සිහිපත් වීම ගැන සිතමින් සිටි ඇය ‘අනේ මගේ පුතාට අනතුරක් නොවේවා’යි පැතුවාය. 
 ඇය නිවසින් විහාරස්ථානයට යෑමට පිටත්වන විටම ජීප් රථ දෙකක් නිවස ඉදිරිපිට නතර කරනු දක්නට ලැබිණි. එය දුටු සැනින් ඇගේ සිතට බියක් ඇතිවිය. පොලිස් නිලධාරියෙකු සමග පැමිණි තවත් නිලධාරියෙක් ඇය කව්දැයි විමසා සිටියේය. අංජනගේ නිවස සොයා පැමිණි බවත් පවුලේ තොරතුරු විමසන බවත් ඔහු කීවේය. පවුලේ තොරතුරු ඔවුන්ට හෙළි කළ ඇය තම පුත්‍රයාට කිසියම් කරදරයක්දැයි විමසා සිටියාය. එහෙත් එයට එක එල්ලේ පිළිතුරු නොදුන් නිලධාරීහු ශීලා යන විහාරාස්ථානය ගැන විමසීමක් කළහ. 


ඇය යන විහාරස්ථානය අසා දැනගත් ඔවුහු ඇය එහි ගිය විට විහාරස්ථානයට ගියහ. එහිදී ශීලා හමු වූ ඔවුහු අංජන අනතුරට පත් වී ඇති බැව් දැනුම් දුන්හ. පෙරදින රාත්‍රියේ ඔහුට වෙඩි වැදී ඇති බවත් ඉන් මරුමුවට පත්වූ බවත් ශීලාට දැනුම් දුන්හ. ඇගේ සිරුරට තදබල වේදනාවක් සහ අප්‍රාණික බවක් දැනුණ වේලාවත් අංජනට වෙඩි වැදීම සිදු වූ වේලාවත් සමාන බවක් ද ඇයට දැනුණි. 


 මෙම අතිශය පුදුම උපදවන මරණාසන්න මනෝසංඥාව සිදුවීම පිළිබඳව ශීලාගෙන් විමර්ශනයක් කිරීමට අපට හැකි විය. එහිදී ශීලාට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය. 


ප්‍රශ්නය - ඔබේ සිරුරට තදබල වේදනාවක් දැනුනේ කුමන අයුරින් ද? 
පිළිතුර - හුස්ම හිරවන්නාසේ දැනුණා. 
ප්‍රශ්නය - එවැනි වේදනාකාරී සිදුවීම් මීට පෙරත් සිදුවුණාද? 
පිළිතුර - නෑ කවද‌ාවත් එවැනි දෙයක් සිදුවුණේ නෑ. 
ප්‍රශ්නය - ඒ අවස්ථාවේ ඔබට ඇතිවූ හැඟීම් කෙසේද? 
පිළිතුර - මට මහත් බියක් ඇතිවුණා. ඒ සමගම හමුද‌ාවේ සිටින පුතාව සිහිවුණා. 
ප්‍රශ්නය - එම සිහිවීම සිදුවුණේ කෙසේද? 
පිළිතුර - ඔහුට කිසියම් කරදරයක් ද කියා සිතුණා. ඒ සමගම ඔහුට කිසිදු පීඩාවක් නොවේවායි මම ප්‍රාර්ථනා කළා. 
ප්‍රශ්නය - ඒ වන විට වේලාව කීය ද? 
පිළිතුර - රාත්‍රී ආහාර ගැනීමෙන් පසු රෑ 10.30 පමණ ඇති. 
ප්‍රශ්නය - වෛද්‍යවරයෙක් වෙත යාමට සිතුණේ නැද්ද? 
පිළිතුර - නෑ එවැන්නක් සිතුණේ නෑ. 
ප්‍රශ්නය - ඒ අයි? 
පිළිතුර - මගේ ජීවිතය එතෙනින් අවසානයයි සිතට දැනුණා. 
ප්‍රශ්නය - පුත්‍රයාගේ මරණය සිදු වී තිබුණේ කොහේදිද? 
පිළිතුර - අලිමංකඩදී මාර්තු 25 වැනිද‌ා රාත්‍රියේදී 
ප්‍රශ්නය - මෙම සිදුවීම් ගැන ඔබ සිතන්නේ කුමක් ද? 
පිළිතුර - පුතාට වෙඩි වැදී මරණය සිදුවීම මගේ සිරුරට දැනුණ සංඥාවක් ලෙස මා සිතනවා. 
යයි ශීලා ඇගේ මනෝ සංඥ‌ාව හෙළිකරමින් කියා සිටියාය. 

 

 

තිස්ස ජයවර්ධන