වත්මන් සෞඛ්‍ය ව්‍යසනය මුළු ලෝකයේම දරු පරපුර බිලි ගනිමින් සිටින ආකාරය ගැන ඔබ තව දුරටත් දැනුවත් කරමින් අපි අද සාකච්ඡාව අරඹමු. ලෝක ළමා දිනය ඉහළින් සමරමින් සිටින අපි වගකීම් සහිත දෙමාපියන් වශයෙන් අපගේ දරු පරපුරේ සෞඛ්‍ය ගැන සත්‍ය දැන කටයුතු කළ යුතු නොවේද? දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිරී යන බෝවන හා බෝ නොවන රෝග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දැනට වසර ගණනාවක සිට කටයුතු කරන අපට පසුගිය දිනක ලෝක දියවැඩියා ආයතනයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ මෙන්ම, ලෝක දියවැඩියා සංගමයේ සභාපති වන මහාචාර්ය පෝල් සිමෙට්ගෙන් අසන්න ලැබුණේ ද අප අත්දකින දේ සනාථ කරන්නකි. ඔහු මෑතක දී විශේෂිත විද්‍යාත්මක සැසියක් අමතමින් ප්‍රකාශ කොට ඇත්තේ ‘‘මේ තාක් බිහිවූ දෙමාපිය පරම්පරාවලින් අවාසනාවන්තම දෙමාපිය පරම්පරාව වර්තමාන දෙමාපිය පරම්පරාව බවත් එයට හේතුව දෙමාපියන්ට කලින් තම දරුවන් මිය යන පළමු පරම්පරාව බිහිවී ඇති බවත්ය’’ යන්නය.   


එම අදහස සිඩ්නි රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්ය කේට් ස්ටේන්බෙක් ද අනුමත කරයි. මෙම ප්‍රවෘත්තිය 'BBC' "The Guardian" වැනි සුප්‍රසිද්ධ මාධ්‍ය ජාලයන් හා සඟරා ද තම සිරස්තලවල සඳහන් කරමින් පළකොට ඇත. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ අගතැන්පත්, දියුණු ආර්ථිකයකින් හෙබි රටවල්වල දරුවන්ගේ ද සෞඛ්‍ය තත්ත්වය මෙසේ නම් වත්මන් දැනුමේ හා ආර්ථික දියුණුවේ බරපතළ ගැටලුවක් ඇති බව ඔබට නොවැටහේනනේ ද? එක් පසකින් දරුවන්ගේ උපත් වේගය අඩු වෙමින් පවතී. අනෙක් පසින් ඉපදුණු දරුවන් අඩු වයසින් මිය යමින් පවතී. ඒ අතරේ උපත් පාලනය සඳහා යොමුවෙන ලෙස සෞඛ්‍ය අංශය සමාජයට බල කරයි. එසේ නම්, අප මේ ගමන් කරන්නේ මානව ශිෂ්ටාචාරයේ අවසානය කරා නොවේද? අවුරුදු දහස් ගණනක අතීතයේ සිට අසම සම කෘෂි හා වාරි තාක්ෂණයක් ගෙඩානැගු එයින් නිපදවූ ආහාරයම ඖෂධය කරගෙන අවුරුදු 100 කට වැඩි ආයුෂ භුක්ති විඳි ලොව ප්‍රඥාවන්තම ජාතිය වූ අප ජාතිය අද ළමා කල සිටම මිය යන්නට හේතුව කුමක්ද? සැප විඳීමම ජීවිතය යැයි සිතන, ඒ සඳහා මුදල් රැස් කිරීම පමණක්ම අරමුණු කරගෙන ජීවත්වෙන මේ රටේ වර්තමාන දෙමාපියන්ට හෙට දිනයේ ‘‘මගේ දරුවාට ද මෙම ඉරණම අත්විය හැකි’ බව නොවැටහෙන්නේ ඇයි?   


එදා යුරෝපීයයන් මවිත කළ ලාංකිය අප අත් විඳි අසම සම නිරෝගී සුවය

   
අද විසාලා මහනුවර මෙන් ‘රෝග බිය’ අත් විඳින වර්තමාන අප, එදා ඉතිහාසයේ කොතරම් නිරෝගීවීද? මේ පිළිබඳව ඔබගේ ප්‍රඥාව අවදි කිරීම් වස් අපි ඔබව එදා අප අත් විඳි සෞභාග්‍යමත් ඉතිහාසය වෙත මදක් රැගෙන යන්නෙමු. අප එසේ සිතුවේ, ‘හෙළ සුවය’ දැනුම තුළින් අපි අවබෝධ කර ගෙන ඇති ආකාරයට අපේ ඉතිහාසයේ වූ ආශ්චර්යමත් සෞභාග්‍යත්වය පිළිබඳ සැබෑ තත්ත්වය මෑත කාලයේ අපට ඉගැන්වූ ඉතිහාස දැනුම තුළ නොමැති බැවිනි. කෙසේ නමුත්, ‘අසත්‍යයට ආයුෂ අඩුය’ යන්න සැබෑ කරමින්, හෙළ සුවයෙන් ලැබුණ මඟ පෙන්වීම තුළ අප රටේ නිරෝගීකම පිළිබඳ සැබෑ ඓතිහාසික පසුබිම ලිඛිත මූලාශ්‍ර සහිතවම මතුකර ගැනීමට අපට වාසනාව ලැබිණි. එම ඉතිහාසයෙන් බිඳක් ඔබ වෙත අපි මෙසේ ගෙන එන්නෙමු.   


17 වැනි සියවසේදී ශ්‍රී ලාංකිකයින්ගේ ආයුෂ   ‘වයස අසූවේදීද සිංහලයෝ නිරෝගී ජාතියක්’   


අප රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති 17 වැනි ශත වර්ෂයේ ජීවත් වූ, කලක් සිංහලේ සිරකරුවකු ලෙසද සිටි, නාවිකයකුවූ රොබට් නොක්ස් (Robert Knox) විසින් රචනා කොට වර්ෂ 1681 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ සුප්‍රසිද්ධ 'An historical relation of the island Ceylon' යන කෘතිය තුළ ලාංකිකයන්ගේ නිරෝගී කම හා වෙදකම ගැන සංක්ෂිප්ත විස්තරයක් අඩංගුව ඇත. ඔහුගේ නිරීක්ෂණවලට අනුව එවකට ලාංකිකයින් වයස අවුරුදු 80 දී ද නිරෝගී ජාතියකි.’   


ඔහුට මේ තත්ත්වය මේ තරම් විශ්මය දනවන්නක් වූයේ ඇයි දැයි ඔබ දන්නවාද? ඔහුගේ මව් රට වන බ්‍රිතාන්‍යයේ එවකට පැවැති සෞඛ්‍ය තත්ත්වය අධ්‍යයනය කළ විට මේ බව ඔබට වැටහෙනු ඇත. ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙක් හා පර්යේෂකයෙක්වූ ටිම් ලැම්බර්ට් විසින් රචනා කරනු ලැබූ 'A World History Encyclopedia' නම් වූ ග්‍රන්ථයේ ඇතුළත් වූ ‘'A Brief History of Life Expectancy in Britain' යන ලිපිනයෙහි 'Life Expectancy before the Industrial Revolution' යන පරිච්ඡේදය තුළ පැහැදිලිව සඳහන් කොට ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය වැසියකුගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 35ක් යන්නය. මෙහිදී, වූ විශේෂත්වය වන්නේ සියයට 40ක් පුද්ගලයින් වැඩිහිටියන් බවට පත්වීමට කලින් ද මිය යාමයි. තවද, එවකට රෝමයේ රට වැසියකුගේ ආයු කාලය අවුරුදු 25-30 දක්වා වූ අතර ඉපදුණු දරුවන්ගෙන් සියයට 50 ක් පමණ වයස අවුරුදු 10 වීමට ප්‍රථම මිය යයි. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ සඟරාවක් වන 'History Today' හි මේරි හාලෝ හා රේ ලෝරල්ස් යන ඉතිහාසඥයින් 2003 විසරේ පළ කළ ලිපියේ මේ වග පැහැදිලිව සඳහන්කොට ඇත. එදා අප රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති එහි කෙනෙහිලිකම්වලට ලක්වූ යුගයේ පවා අපගේ ආයුෂය, නිරෝගීකම කොතරම් ද? යන්න දැන් ඔබට පැහැදිලි වේ. එසේ නම් අප නිරෝගී කමට පදනම බටහිර දැනුම හෝ තාක්ෂණය නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුන් එදා අප රට නතු කර ගැනීමට හේතුව අප රට තුළ පැවැති මෙම සෞභාග්‍ය ම නොවේ දැයි සිතීම ඊට වඩා සුදුසු බව දැන් ඔබට සිතෙනු ඇත.   


එය තව දුරටත් තහවුරැ කර ගැනීමට කදිම සාක්ෂියක් අපට හමුවිය. එනම්, බටහිර අධිරාජ්‍යවාදයට නතුවීමට බොහේ කලකට ප්‍රථම අප රටේ නිරෝගීකම කෙසේ වීද යන්නය. ක්‍රි. පූ. පළමු වැනි ශත වර්ෂය (77-79) තරම් ඇත අතීතයේ රචනා වූ ලොව පළමු විශ්ව කෝෂය ලෙස සැළකෙන. ‘'Naturalis Historia කෙරෙහි ඔබගේ අවදානය යොමු කරනු කැමැත්තෙමු. එය රචනා කළ ප්ලීනි (Pliny the Elder) නම් වූ කතුවරයා විසූ රෝමය එදා ලොව බලවත්ම අධිරාජ්‍යයකි. පුදුමය නම් එම විශ්වකෝෂයේ එක් පරිච්ඡේදයක් තැප්‍රෝබේන් නමින් අතීත ලංකාව වෙනුවෙන්ම වෙන්කොට තිබීමයි.   


එම පරිච්ඡේදය අවසානයේ වූ සුවිශේෂී වාක්‍ය කණ්ඩ දෙක මෙසේය. 'These people look upon a hundred years as a comparatively short life. Thus, much have we learned respecting Taprobane' එනම්, එහි සඳහන් වෙන්නේ එවකට අප රට වාසීන් වසර 100 දෙස බලන්නේ සාපේක්ෂව අඩු ආයුෂක් ලෙස බවත්, එබැවින් අප තැප්‍රෝබේන් රටට ගෞරව කළ යුතුවේ යන්නත්ය. ඉන් ගම්‍ය වන්නේ ක්‍රි. පූ. පළමු සියවස තරම් අෑත අතීතයේ වසර 100ක් ආයු වළඳා මිය යාම අප රට වාසීන් විසින් අකල් මරණයක්’ ලෙස සළකනු ලැබූ බව නොවේද? එසේ නම් එය අප ජනවහරේ කියවෙන ‘එදා අප මුතුන් මිත්තන් අවුරුදු 120 ක පරමායුෂයක් වැළඳීය’, අවුරුදු එක සිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා!’ වැනි කියමන්වල සත්‍යතාවය තහවුරු කරන්නකි. ජනවහර මිත්‍යාවක් (Mythology) ලෙස බැහැර කරන වත්මන් විද්‍යාත්මක සාමජයටද (Scientific community) මෙය කදිම ලිඛිත සාක්ෂියකි. එදා අප ජනශ්‍රැතියි පෝෂණය කළ සිංහල බෞද්ධයා මුසා බස් හිස් වචන නොකියූ සත්‍ය ගරුක ජාතියක් බවද මින් පැහැදිලිවේ. දෙදෙනකු හමුවූ විට ‘ආයු බෝ වේවා!’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමේ ඓතිහාසික පසුබිම මේ අනුව ඔබට පසක් වෙනවා නේද? එසේ නම් අප සුඛිත මුදිත කළේ බටහිර තාක්ෂණය හඳුන්වා දුන් බටහිර ශිෂ්ටාචාරය නොවන බව ඉඳුරාම කිව යුතුවේ. අදවන් දෙමවුපියන්ට කලින් තම දරුවන් මිය යන ඉතිහාසයක් එදා අප මුතුන් මිත්තන් සිහිනෙන්වත් නොදකින්නට ඇත. එදා එසේ වුවත්, අද නම් වසර 100ක් ජීවත්වීම සිහිනයකි. එනම්, අද වසර 100 ක් ජීවත්වීම ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි’ සම්මාන පවා ලැබීමට සුදුසු කමකි. අවාසනාව නම් මෙවන් වටිනා ඓතිහාසික කරුණු අප දරුවන්ගේ ඉතිහාස පොතට ඇතුළත් නොවීමයි. මෙසපොතේනියානු ශිෂ්ටාචාරය ගැන, ග්‍රීක රෝම ශිෂ්ටාචාරය ගැන වන පොත් කරන අපේ දරැවන් අප රටේ සැබෑ ඉතිහාසය ගැන හරියාකාරව දන්නේද? එය එසේ සිදු වන්නේ කාගේ වරදින්ද?   


තත්ත්වය එසේ තිබියදී, මිනිසුන්ගේ උපතේ දී නිර්ණය වන ආයු කාලය පිළිබඳ ඉහත සඳහන් ආකාරයේ ප්‍රස්තාරයක් අප රටේ සමහර උගතුන් තමන්ගේ බටහිර විද්‍යාත්මක දේශනවලට වර්තමානයේ යොදා ගනී. එය අන්තර්ජාලයේ සුලබව හමුවෙන ප්‍රස්තාරයකි. එහි දැක්වෙන්නේ 1543දී, මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 35 තරම් බවත්, වසර 2011 දෙසට යන විට එය කෙමෙන් වැඩිවෙන බවත්ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ආයුෂය කෙමෙන් වැඩිවන ආකාරය පෙන්වීමට බටහිර විදයාඥයෝ ඒ තුළින් උත්සාහ දරති. එය යුරෝපා රටවලට ගැළපෙන්නට පුළුවන. නමුත්, ප්‍රශ්නය නම් එය අප රටටත් සාධාරණීකරණය කිරීමට ඔවුන් දරන වෑයමයි. ක්‍රි.ව. 17 වැනි ශත වර්ෂය වෙන විටත් වයස අවුරුදු 80 දීත් නිරෝගී ජාතියක් වූ අප සමාජයට ඉහත ප්‍රස්ථාරය හුදෙක් විහිළුවක් පමණක් නොව එය අප සෞභාග්‍යමත් ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීමකි. එසේ නම් ‘හෙළ සුවය’ අපගේ වෑයම වෙන්නේ ‘විද්‍යාත්මක’ යයි කියා ගන්නා මෙවන් සාවද්‍ය තොරතුරු හමුවේ මුලා නොවී, ප්‍රඥාවන්ත ලෙස අපගේ ඉතිහාසය පිරිසක් යන ප්‍රජාවක් බවට ඔබ පත් කිරීමයි.   


මෙවන් නිරෝගී ජාතියක්ව සිටි ලාංකීය සමාජයේ ජීවත් වූ ජනගහණය කොතරම්ද යන්න දැන ගැනීමට හැකි නම් එය කොතරම් අගනේද? යන්න නිතැතින් ම ඔබට සිතෙනු ඇත. ජනශ්‍රැතිය අනුව එදා පැරකුම් රජ දවස රජ රටින් ගෙදරක වහලයට නැගී කුකුලෙක් වහලයෙන් වහලයට පියඹා මාගම දක්වා ගිය ඉතිහාසයක් අපට ඇත. එතරම් විශාල ගෙවල් සංඛ්‍යාවක් ඉතිහාසයේ තිබිණි නම් කොතරම් ජනාවාස ප්‍රමාණයක්, කොතරම් ජනගහණයක් අප රට සිටින්නට ඇතිද? දහවල් කාලයේ අහසින් දනට වඩින රහතුන් වහන්සේලාගේ සෙවනැල්ලෙන් හිරි එළිය පවා වැසුණු අතීතයක් අපට තිබුණු වග ‘දන්නෝ බුදුන්ගේ ගීතය තුළ එන ‘නෙක රහතුන්ගේ සෙවනැල්ලෙනි හිරු රශිමිය බන්ගේ’ යන ගී පද සංකල්පනාවෙන් අප අසා ඇත. තවද, එදා කමතේ වී වේලන කාන්තාවන්ට මෙය සුලබ දසුනක් වූ බවද ජනශ්‍රැතියේ සඳහන්ය. මේ බැව් තහවුරු කරන ලිඛිත සාධක ගැන අපි ලබන සතියේ ඔබ වෙත ගෙන එන්නෙමු.

 

 

 

වෛද්‍ය කුමුදු දහනායක
(MBBS, DLM, MD)