වැලේ ගෙඩි වැලට බර නැතැයි කියති. මේ කතාව බොහෝ විට ජනවහරේ කියැවෙන්නේ තම කුසින් මෙලොවට බිහි කළ දරුවන් ලොකු මහත් කරන්නට අපමණ වෙහෙසක් දරන මව්වරුන් ගැන කතා කරද්දීය. තම කුසින් බිහි කළ දරුවන් 17 දෙනෙක් දහදුක් විඳගෙන ඇති දැඩි කළ එවැනි ධෛර්යය සම්පන්න මවක් මැදවච්චියේ ඇටවීරගොල්ලෑවේ අලුත් හල්මිල්ලෑව ගමේදී අපට හමුවුණි.


තමන් බිහි කළ 16 වැනි දියණියගේ නිවසේ ජීවත් වෙන කෙතහාමිගේ සෝමාවතී නමැති මෙම මාතාවගේ වයස දැන් අවුරුදු 82කි. උපන් දිනය ඇයට මතක නැතත් ඇය පවසන්නේ 1937 වසරේ ඇය ඉපදී ඇති බවයි. පවුලේ එකම දරුවා වූ ඇය විවාහ වී ඇත්තේ වයස අවුරුදු දහතුනේදීය. ඒ ඇයට වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල් අලුත් හල්මිල්ලෑවේ පදිංචිව සිටි මුදලිහාමිගේ ජයවර්ධන නමැති තරුණයා සමගය. ඔහු මීට දස වසරකට පෙර මිය ගොස් ඇත්තේ 85 වැනි වියෙහිදීය.


ඇය මෙලොවට බිහි කළ දරුවන් 17 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ දොළොස් දෙනෙකු පමණි. අනෙක් දරුවන් පස් දෙනා මිය ගොසිනි. ජීවතුන් අතර සිටින දරුවන්ගෙන් හත් දෙනෙක් අලුත් හල්මිල්ලෑව ගමේ ජීවත් වෙන අතර අනෙක් පස් දෙනා ඊට නුදුරු ගම්මාන වල ජීවත් වෙති. කුඩා කල සිටම අඟ හිඟකම් වලින් පිරුණු දුෂ්කර ජීවිතයක් ගත කළ ද තවමත් ඇය නිරෝගීය.


පෙනීමේ හා ඇසීමේ යම් අඩුවක් තිබුණ ද ඇයට ඇය ගෙවූ අතීතය තවමත් හොඳට මතකය. දරු මුනුපුරන් වට කර ගෙන ඇය ඒ අතීතය අප ඉදිරියේ අවදි කළේ මෙසේය.


මගේ අප්පච්චිගේ නම කෙතහාමි. එයා සර්ප වෙදෙක්. අම්මගේ නම සංගු එතනා. ඒ දෙන්නගේ එකම දරුවා මම. මගේ උපන්ගම දැන් ජීවත් වෙන අලුත් හල්මිල්ලෑව ගමට අල්ලපු ගම දුටුවැවයි. අපේ අප්පච්චි සර්ප වෙදෙක් වුණාට වෙද කම් කළේ මුදලට නොවෙයි. නොමිලේ. ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ.


ඒ කාලේ අපේ ගෙදර මේ අලුත් හල්මිල්ලැවේ පදිංචි තරුණයෙක් නිතර ආවා ගියා. අපේ අප්පච්චිගේ ​ෙගාවිතැන් වැඩ වටලත් එයා උදව් පදව් කළා. මුදලිහාමිගේ ජයවර්ධන කියන ඒ තරුණයා ගැන මගේ හිතේ පැහැදීමක් ඇති වුණා.


ඒ නිසා අපි දෙන්නා අතර ලෙංගතුකමක් ගොඩනැගුණා. එතකොට මට වයස අවුරුදු 13 ක් විතර. එයා මට වඩා අවුරුදු 15ක් විතර වැඩිමල්. පස්සේ අපි දෙන්නා හොරෙන් පැනලා මේ අලුත්හල්මිල්ලෑවෙ එයාගෙ ගෙදරට ආවා.


පස්සේ මගේ මවුපියෝ අපි දෙන්නව ගෙන්න ගෙන ගමේ ඔක්කොමට කියලා මඟුලක් කාලා කසාද බැන්වාදු. ඊට පස්සේ මේ අලුත් හල්මිල්ලෑව ගමට ඇවිත් කුඩාවට ගෙයක් හදාගෙන අපි දෙන්නා පදිංචි වුණා. දෙන්නා මහන්සි වෙලා ගොවිතැන් කළා. අද වගේ නොවෙයි එදා. ගමේ කවුරුත් කාට කාටත් උදව් උපකාර කරගෙන හොඳින් ජීවත් වුණා.
ඔය අතරෙ මට පළමු දරුවා ලැබුණා. වවුනියාව ඉස්පිරිතාලෙදී තමයි ඒ පුතා බිහි වුණේ. එයාට අපි ජයවර්ධනගේ කරුණාරත්න කියලා නම් තැබුවා. අවුරුදු 66ක් ජීවත් වුණු එයා මීට අවුරුදු දෙකකට විතර කලින් හදිසියේ මිය ගියා. එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.


ඊට පස්සේ අනික් දරුවා දහසය දෙනාම හම්බ වුණේ ගෙදරදී. ඒ අය හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ගියේ නැහැ. ගමේ වින්නඹු අම්මා තමයි ඒ දරුවන් බිහි වෙන කොට මට උදව් කළේ. එයත් අපේ ඥාතිවරියක්.

 

සෝමාවතී මාතාවගේ දූ පුතුන්ගෙන් හා මුනුපුරු මිනිබිරියන්ගෙන් කොටසක්  සමග ඡායාරුපයකට පෙනී සිටි අයුරු

 

 


ඒ කාලේ අපේ ගමේ ගැහැනු අය බොහෝ දෙනෙකුට දරුවන් හම්බ වුණේ ගෙවල්වලමයි. ගමේ අනෙක් ගැහැනු අය වින්නඹු අම්මගෙ උදව්වට එනවා. දරුවොත් හොඳ සනීපෙන් හම්බ වෙනවා.


අවුරුද්දකට එක හමාරකට සැරයක් මට දරුවෙක් ලැබුණා. වැඩි මහල් දරුවා පුතා, දෙවැනියා දුව. එයාගේ නම යසෝහාමි. දැන් එයාට වයස අවුරුදු 66යි. දරුවෝ හත් දෙනෙක් ඉන්නවා එයාට.


තුන් වැනි දරුවා පුතා. එයාගේ නම සමරසිංහ. එයාගේ දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ පුතා මීට අවුරුදු 20කට විතර කලින් වකුගඩු රෝගය හැදිලා මැරුණා. හතර වැනි දරුවා දුව. එයාගෙ නම තිලකාවතී. එයත් වලිප්පුව හැදිලා පුංචි කාලෙදිම මිය ගියා.


ඊළඟ දුව දයාවතී. දැන් එයාගේ වයස අවුරදු 65ක් විතර වෙනවා. එයාටත් දරුවන් හතරදෙනෙක් ඉන්නවා.


හය වැනි දරුවත් දුව. එයාගේ නම සීලවතී. දැන් එයාගේ වයස අවුරුදු 63යි. එයාට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.


හත් වැනි දරුවා පියවතී. එයාගේ වයස අවුරුදු 60යි. එයාටත් දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.


ප්‍රේමලතා දුව පවුලේ අට වැනි දරුවා. එයාගේ වයස අවරුදු 59 යි. එයාට ඉන්නේ එක දරුවයි.


මට ලැබුණු නම වැනි දරුවත් දුවෙක්. එයාගේ නම බාලහාමි. වයස දැන් අවුරුදු 58 යි. එයාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.


ඊළඟට ලැබුණු දහ වැනි දරුවා පුතා. මීට අවුරුදු දෙකකට කලින් වකුගඩු රෝගයෙන් මිය ගිය එයාගේ නම මුණිදාස. එයා මිය යන කොට වයස අවුරුදු 54 යි. මුනිදාස පුතාටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා.


මගේ එකොළොස්වැනි දරුවන් අකාලෙ මිය ගියා. එයාගේ නම සිරිවර්ධන 88 - 89 කලේ ජේ.වී.පී. එකෙන් එයාව මරුවා. මට ලැබුණු දො​ළොස් වැනි දරුවත් පුතෙක්. එයාගේ නම ඒකනායක. දැන් වයස අවුරුදු 54යි. දරුවන් හතර දෙනෙක් ඉන්නවා එයාටත්. මගේ දහතුන් වැනි දරුවත් දාහතර වැනි දරුවත් දුවලා. දහතුන් වැනි දුවගේ නම කරුණාවතී, දැන් එයාගේ වයස අවුරුදු 52යි. එයාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දා හතර වැනි දුවගේ නම තිලකාවතී. එයාගේ වයස අවුරුදු 50යි. එයාට ඒ නම අපි තිබ්බේ පුංචි කාලේ වලිප්පුව හැදිලා මිය ගිය තිලකාවතී දුවව සිහි වෙන්නයි. මේ තිලකාවතී දුවටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.


අනගිරත්න පුතා මගේ පහළොස් වැනි දරුවා. එයාගේ වයස දැන් අවුරුදු 46යි. එයාටත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා.


දහසය වැනියා කමලාවතී දුව. එයා ළඟ තමයි දැන් මම ඉන්නේ. 43 හැවිරිදි එයාටත් දරුවෝ පස් දෙනෙක් ඉන්නවා.


මගේ බඩපිස්සා තමයි නිශාන්ත පුතා. එයාට දැන් වයස අවුරදු 39යි. එයාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.


දරුවෝ දාහතක් වදපු මට දැන් මුනුපුරු මිණිබිරියන් 52ක් ඉන්නවා. මී මුනුපුරු මිනිබිරියන් තුන් දෙනෙකුත් ඉන්නවා. මට ඒ ගැන ඇති වෙන්නේ ලොකු ආඩම්බරයක්. කමලාවතී දුවයි එයාගේ ස්වාමි පුරුෂයයි ඒ අයට පුළුවන් විදියට මාව බලාගෙන ජීවත් කරවනවා. ඒ අයත් ගොවිතැන් බත් කරලා අගහිඟකම් මැද්දේ තමයි ජීවත් වෙන්නේ. මගේ අනෙක් දරුවොත් පුළුපුළුවන් වෙලාවට ඇවිත් මාව බලලා යනවා. සලකනවා. මේ දරුවන්ව මමයි මාගේ ස්වාමිපුරුෂයයි ලොකු මහත් කළේ බොහොම අමාරුවෙන්. අපි ජීවත් වුණේ ගොවිතැනින්. අවුරුද්දේ මාස් කන්නයේ පමණයි අහස් වැස්සෙන් වගා කළේ. වැව් වලට වතුර ටිකක් ලැබෙන්නේ ඒ කාලයේදී විතරයි.


මාස් කන්නයේදී මමත් ස්වාමිපුරුෂයාත් එක්ක ගිහින් හරි හරියට හේන් කුඹුරු කොටලා වගා කරනවා. දරුවෝ අරන් ගිහින් රෙදි ඔන්චිල්ලා වල තියලා ගස් යට හෙවණේ ඒවා එල්ලලා තමයි මම ගොවිතැන් වැඩ වලදී එයාට උදව් කළේ. දරුවෝ අඬන කොට ඇවිත් කිරි දෙනවා. දරුවෝ 17 දෙනාම බිව්වේ මගේ තන කිරි තමයි. පිටි කිරි දීලා එක ළමයෙක් වත් හැදුවේ නැහැ. දරුවෝ ටික ටික ලොකු වෙද්දී ඒ අයත් ගොවිතැන් වැඩ වලට උදව් වුණා. පුංචි දරුවෝ බලා ගන්න එකක් ඒ අය කළා. දරුවන් 17 දෙනාගෙන් එක දරුවෙක් පුංචි සන්දියෙ මිය ගියාට පස්සේ අනෙක් 16 දෙනාට කන්න දුන්නේ අපි දෙන්නා. බොහෝම අමාරුවෙන් කෑම බෙදද්දි දරුවන් 16 දෙනාගෙම පිඟන් එක පෙළට තියලා තමයි බෙදන්නේ. එහෙම නැති වුණොත් කාටහරි අඩු වෙනවා​. හුඟක් වෙලාවට දරුවන්ට කන්න දුන්නේ දඩ මස් උයලා, මැල්ලුවක් හරි එක එළවළුවක් හරි හදලා. දඩමස් නැත්නම් වැව් මාළු කෑම වේලට වරදින්නේ නැහැ. මගේ ස්වාමිපුරුෂයා දක්ෂ වෙඩික්කාරයා. එයාට තුවක්කුවක් තිබුණේ නැහැ. අපේ ගමේ කපුරාල අයියගේ තුවක්කුව අරන් තමයි එයා දඩයමේ යන්නේ. ඒ නිසා හැමදාම වගේ අපි දඩමස් කෑවා. නියං කාල වලදී තමයි අපි ආහාර අහේනියෙන් දුක් වින්දේ. ඒ කාල වල දී සැමියයි මමයි කුලී වැඩ හොයාගෙන යනවා. ලොකු දරුවන් ගෙදර තියලා පුංචි එවුන් කිහිලි ගහගෙන තමයි මම කුලී වැඩට යන්නේ. පුංචි එවුන් රෙදි ඔන්චිල්ලාවේ තියලා කොහේ හරි තැනක එල්ලලා මම කුලී වැඩ කරනවා.


කුලී වැඩක් නැති වුණාම මම යමක් කමක් ඇති අයගේ ගෙවල් ගානේ සම්මාදමේ ගිහින් හාල් ටිකක් සීනි තේකොළ ටිකක් සිල්ලර සල්ලි ටිකක් ඉල්ලාගෙන ඇවිත් දරුවන්ට කන්න දීලා තියෙනවා. දරුවන්ට කන්න දීලා මමයි සැමියයි කුස ගින්නේ හිටපු වෙලාවල් අනන්තයි.


කාලයක් මේ රටේ රෙදි හිඟයක් තිබුණා. ඒ කාලේ මම ඇඳගෙන හිටපු චීත්තෙ ගලවලා ඒකෙන් දරුවන්ට පොරවලා ගෝනි කෑල්ලක් ඇඟේ ඔතාගෙන හිටපු අවස්ථාත් තියෙනවා.
ඔය වගේ දුෂ්කර නියං කාලෙක අපි ජීවත් වුණු පොල් අතු හෙවිලි කරලා තිබුණු ගේ ගිනි ගත්තා. ඒ වෙලාවේ මමයි සැමියයි දෙන්නම ගෙදර හිටියේ නැහැ. රෙදි තොටිල්ලේ හිටපු දුවලා දෙන්නගෙ ජීවිත ලොකු පුතාලා දෙන්නා බේර ගෙන තිබුණේ හරි අමාරුවෙන්.


ඉන්න තැනක් නැති වුණ නිසා දරුවෝ ටික එක්ක මමයි සැමියයි ගමේ වැව් පිටියේ ලොකු ගහක් යට. ගෝනි වලින් ආවරණයක් හදාගෙන මාසෙකට වඩා කාලයක් එතැන ජීවත් වුණා. සවස් වෙන කොට වල් අලි රංචු පිටින් වැවට එනවා වතුර බොන්න. දරුවොත් එක්ක අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. උන් වතුර බීලා අපි ඉස්සරහින්ම ආපහු කැලේට යනවා. අපිට උන්ගෙන් කිසිම අනතුරක් වුණේ නැහැ.

 

සෝමාවතී මාතාව සිය 16 වැනි දියණිය ජේ. කමලාවතී සහ ඇගේ සැමියා සමග ඇය ජීවත් වෙන නිවස ඉදිරිපිට

 

 


අදට වඩා ඒ කාලේ වල් අලි හිටියා. ඒ වුණාට උන්ගෙන් අද වගේ වගාවන්ට මිනිස්සුන්ට හානියක් වුණේ නැහැ. මිනිස්සුත් උන්ට හානි කළේ නැහැ. උන්ගේ කැලෑ විනාශ කළෙත් නැහැ.


ඒ නිසා කලාතුරකින් වත් වල් අලියෙක් ගහලා මිනිහෙක් මැරුණා කියලා අහන්න ලැබුණේ නැහැ.


දැන් වල් අලි මේ තරම් දරුණු වෙලා ඉන්නේ අපේ මිනිස්සු ඉඩම් තණ්හාවට වල් අලින් ජීවත් වෙන කැලේ එළි පෙහෙලි කරලා අත්පත් කර ගන්න නිසයි. ඒ විතරක් නොවෙයි​. උන්ට වෙඩි තියලා මරණවා. එහෙම වුණාම උන් දරුණු නොවී ඉඳීද?


තමන් ගෙවූ කටුක ජීවිතය ගැන කතාකරන අතරේ ජීවිතයේ රසමුසු අත්දැකීම් ගැන ද සෝමාවතී මාතාව සිහිපත් කළේ මුහුණේ අපූරු සිනහවක් ඇඳගෙනය.


මාස් කන්නයේ වගා සරු වී අතමිට සරු වූ පසු සිය සැමියා දරුවන් සමග තමන්ව චිත්‍රපටියක් නැරඹීම සඳහා මැදවච්චියේ සිනමා ශාලාවට එක්කගෙන යන ආකාරය ඇය සිහිපත් කළේ මෙසේය.


සුමානෙක විතර ඉඳලා තමයි චිත්‍රපටියක් බලන්න යන්න සූදානම් වෙන්නේ. ළමයිනුත් හරිම ආශාවෙන් බලන් ඉන්නවා එක්ක යනතුරු.


ඒ කාලේ සත පනස් පහේ ටිකට් අරගෙන හෝල් එකේ ඉස්සරහින්ම තියෙන බංකු පේළියේ වාඩි වෙලා තමයි අපි චිත්‍රපටි බැලුවේ. චිත්‍රපටිය බලලා දරුවොත් එක්ක මැදවච්චියෙ ටවුමේ හෝටලයකින් කෑමත් කාලා ආපහු ගෙදර එන්නේ.


ඉඳහිට සිරිමා බෝධි වඳින්න යනවා. කරත්ත වලින් යන ඒ ගමන හරි අපූරුයි. මඟදී උයා පිහාගෙන කාලා රැයක් ගත කරලා තමයි එන්නේ. සමහර පොසොන් කාලවලදී මිහින්තලේ වඳින්න ගිහින් ආලෝක පූජාවත් බලලා දන්සල් වලින් කාලා තමයි ආපහු එන්නේ.


තවම මම කොළඹ ගිහින් නැහැ. දුර වන්දනා ගමනකට කියලා ගිහින් තියෙන්නේ දළදා මාළිගාව වඳින්න ගිය ගමන විතරයි. කතරගම යන්නත් ආසයි. ඒත් තවම බැරි වුණා. මගේ දරුවන්ටත් මාව දුර ගමන් එක්ක යන්න වත්කමක් නැහැ. මගේ බලාපොරොත්තුව කාටවත් කරදයක් නොවී බණක් භාවනාවක් කරගෙන ජීවිතයේ ඉතිරි කෙටි කාලය ගත කරන්නයි.


ජීවිතයේ සැඳෑ සමය ගත කරන මේ දිරිය මාතාවගේ බලාපොරොත්තු කොයිතරම් සරල දැයි ඇගෙන් සමුගත් අවස්ථාවේ අපට හැඟුණි. මවුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.

 

සටහන හා​ සේයාරූ
අතුල බණ්ඩාර