• කුණු කන්ටේනර් තොගයක් එංගලන්තයෙන් ලංකාවට එවලා
  • ධනවතුන්ගේ කුණු සල්ලි නිසා වැනසෙන ආසියාව

 

තමන්ගේ කුණු පොදු මාර්ගවලට නැතහොත් වෙනත් අයෙකුගේ වත්තකට දමා අත පිස දමා ගන්නා අය ලංකාවේ පමණක් නොව, දියුණු යැයි කියන රටවල ද සිටිති. හිරු නොබසින අධිරාජ්‍යය වැනි ලෝක බලවතුන් ඔවුන්ගේ කැළි කසළ ආසියානු රටවලට එවා අත පිසදා ගැනීමට හුරු වී සිටින්නේ කසළ ප්‍රශ්නය සැබෑම ලෝක ප්‍රශ්නයක් වී ඇති නිසාය. දුගී රටවලට කසළ විකිණීම ජයටම සිදුවීමට හේතුව නම් ධනවත් යැයි කියන කාර්මික රටවල කසළ ටොන් ගණන් සමඟ මුදල් ද කුට්ටි පිටින් ලැබෙන නිසා විය යුතුය. කසළ ප්‍රතිචක්‍රීකරණයට පහසුකම් හා තාක්ෂණය ආදිය තිබෙන කාර්මික රටවල්, තුන් වැනි ලෝකයේ රටවල් ලෙස ද හඳුන්වන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ කුණු කන්ටේනර් ගණන් එවන්නේ ලාභය හා පහසුව තකාය. එම රටවල කසළ ප්‍රතිචක්‍රීකරණය අධික මුදලක් වැය වෙන, දැඩි නීති රීතීවලට යටත්ව කළ යුත්තකි. 
පසුගිය දිනක එක්සත් රාජධානියෙන් ලංකාවට ආනයනය කළ කන්ටේනර් 98ක ගෙනා භාවිත කළ මෙට්ට තොගයක් රේගුවේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ විදෙස් රටවල කසළ රහසේ ලංකාවට ගෙන එන්නේ දැයි මහජනයා තුළ සැකයක් ඇති වී තිබේ. 


එම කන්ටේනර් පෙට්ටි ඇතුළත කුරුලු පිහාටු, දිලීර, දිරාගිය ශාක අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු තවත් අපද්‍රව්‍ය තිබූ බව වාර්තා විය. එම මෙට්ටවල තිබෙන සමහර ද්‍රව්‍ය පරිසරයට හානිකර විය හැකි යැයි මත පවතී. වාර්තා වෙන ආකාරයට මෙය ලංකාවේ පුද්ගලික සමාගමක් විසින් ගෙන්වූ මෙට්ට තොගයකි. එම සමාගමට අනුව කන්ටේනර් 102ක් ආනයනය කර තිබේ. මෙයට පෙරත් එක් වතාවක් මෙවැනි මෙට්ට රැගත් කන්ටේනර් 100ක් පමණ ගෙන්වා ඇති බව සඳහන්ය. මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙරටට ගෙනා එම මෙට්ට තොගය නැවත එක්සත් රාජධානියට අපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ. 


කසළ අපනයනය දියුණු වෙමින් පවතින රටවලට මුදල් ගෙනෙන, ලාබදායක හා පහසු ජාත්‍යන්තර වෙළෙඳාමකි. කාර්මික හා ධනවත් රටවල් ලෙස සැලකෙන යුරෝපා සංගමයේ රටවල් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය මෙන්ම කැනඩාව, එක්සත් ජනපදය, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය යනාදී අග්නිදිග ආසියානු රටවලට කසළ අපනයනය කරන බව ග්‍රීන්පීස් පරිසර සංවිධානය පවසයි. 


දශක ගණනාවක් තිස්සේ ලෝකයේ ප්‍රධානම කසළ ආනයනකරුවාව සිටි චීනය ලෝක ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් හරි අඩක්ම පාහේ ආනයනය කළ බව කියැවේ. ග්‍රීන්පීස් සංවිධානයට අනුව එම ප්‍රමාණය 2012 දී මිලියන 9ක් විය. ඔලිම්පික් පිහිනුම් තටාක 10,000ක් පිරවීමට තරම් කඩදාසි, ලෝහ හා ප්ලාස්ටික් ඇතුළු කසළ එක්සත් රාජධානියෙන් චීනයට ගෙන්වූ බව බව කියවේ. 


අපද්‍රව්‍ය කළමනාකරණයේ අක්‍රමිකතා සහ පරිසර දූෂණය වැඩිවීම නිසා චීනය 2018 ජනවාරියේදී ගෙන්වන කසළ සීමා කිරීමට තීරණය කළේය. එරටට ගෙන්වන කසළ ප්ලාස්ටික් සියයට 99.5ක් පිරිසුදු නැත්නම් මිලදී නොගන්නා බව චීනය ප්‍රකාශ කර තිබේ. 


චීන ප්‍රතික්ෂේප කිරීම හමුවේ අන්තර්ජාතික කසළ පීඩනය අග්නිදිග ආසියාවට එල්ල වූ අතර මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිවානය, දකුණු කොරියාව, තුර්කිය, ඉන්දියාව මෙන්ම යුරෝපා රටක් වන පෝලන්තයට පවා කසළ බැහැර කරයි. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය හා පිලිපීනය වැනි රටවල වෙරළ හා මුහුදු කලාප කැළි කසළවලින් පිරී ඇතැයි වාර්තා වේ. 


චීන බස කතා කරන බහුතර ජනතාවක් සිටින මැලේසියාව චීනයේ තාර්කික තේරීමක් වන නිසා චීනයෙන් ප්‍රතික්ෂේපිත කසළ වැඩි ප්‍රමාණයක් මැලේසියාවට යන බවට ද මතයක් ඇත. ග්‍රීන්පීස් සංවිධානයට අනුව චීන තහනමෙන් පසුව මාසයකදී අපනයනය කළ කසළ ටොන් 110,000 පස් ගුණයකින් වැඩිවී ඇත. 2016-2018 කාලසීමාව අතර මෙම ප්‍රමාණය ටොන් 11,900ක් දක්වා තුන් ගුණයකින් වැඩිවී ඇතැයි ද පිලිපීනයේ ග්‍රීන්පීස් සංවිධානයේ අධ්‍යක්ෂවරයා වන ලියා ගුරේරෝ වැඩිදුරටත් සඳහන් කරයි. 


අග්නිදිග ආසියානු රටවල් වසර කිහිපයක සිට කසළ ගෙන්වූ නමුදු, ප්‍රතිචක්‍රීකරණය නොකළ හැකි කසළ හා අවසාදිත ප්ලාස්ටික් නිසා පරිසරයට හා මහජන සෞඛ්‍යයට සිදුවෙන හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එයින් සමහර කොටස් බිම් පිරවීමට ගන්නා අතර තවත් කොටසක් නීතිවිරෝධී අන්දමින් පුළුස්සනු ලැබේ. චීනයේ කසළ තහනමත් සමඟ අන්තර්ජාතික කසළ වෙළෙඳාම අග්නිදිග ආසියාව වෙත යොමුවීම නිසා එම රටවල් මත යෙදෙන පීඩනය ඉහළ ගොස් ඇත. 


මැලේසියාව හා පිලිපීනය ඇතුළු තවත් අග්නිදිග ආසියානු රටවල් කිහිපයක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරවා යවන බව වාර්තා වේ. පිලිපීනය ජනවාරියේදී කන්ටේනර් 51ක පැමිණි මිශ්‍ර අපද්‍රව්‍ය හරවා යවා ඇත. එය පිලිපීනයට ළඟාවී මාස හයක් පමණ තිබී ඇත. නැවත එවීමේ නැව් ගාස්තුව ද ඇතුළත්ව කසළ භාරගන්නා බව සියොල් අගනුවර බලධාරීහු එකඟ වූහ. 


මැලේසියාව ද කන්ටේනර් පහක් කසළ එවූ ස්පාඤ්ඤයටම නැවත හරවා යවා ඇත. එම ප්‍රමාණය ටොන් 3000කට වැඩිය. 2018 මුල් මාස 6 තුළ ඔවුනට එවනු ලැබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය 2016 හා 2017 යන වසරවල ලැබුණු මුළු අපද්‍රව්‍ය ප්‍රමාණයට සමානය. මැලේසියාව මේ වනවිට කසළ ආනයන බලපත්‍ර අවලංගු කර තිබෙන අතර නීති විරෝධී කසළ අංගණවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද වාර්තා වේ. 


තායිලන්තය ද අපද්‍රව්‍ය ආනයනය තාවකාලිකව තහනම් කර ඇත. 2021 දී එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අපේක්ෂිතය. වියට්නාමය ද තවදුරටත් බලපත් නිකුත් නොකරයි. ඔවුන්ගේ සැලසුම වන්නේ 2025 දී මුළුමනින්ම ප්ලාස්ටික් කසළ ආනයනය නැවැත්වීමයි. 

 

 


ඉන්දියාව ද ඝන අපද්‍රව්‍ය ආනයන තහනම දීර්ඝ කර ඇත. 


2018 මැයි මාසයේ පෝලන්තයේ කසළ අංගනවල සිදුවූ පිපිරුම් කිහිපයකින් පසුව පෝලන්තය කසල කළමනාකරණය පිළිබඳ නීති රීති දැඩි කළේය. එම මාසයේම පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියා සිටියේ 2013/ 2014 වසරවල කන්ටේනර් 69ක බහා පිලිපීනයට ගෙනා කසළ ටොන් 1500ක් පමණ නැවත භාර ගැනීමට කැනඩාව එකඟ නොවුණහොත් ඒවා කැනඩා මුහුදු සීමාවට මුදාහරින බවයි. 


ලැබෙන ලාබයට වඩා පරිසර හානි පියවීමට වැඩි වියදමක් දැරීමට සිදුවන බව වැටහීම නිසාය ඔවුන් කසළ ගෙන්වීම සීමා කර තිබෙන්නේ. 


ලෝකයේ නිපදවන ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ සියයට නවයක් පමණි. ඉතිරිය අග්නිදිග ආසියානු රටවල ගොඩකිරීම් හා භූමිය පිරවීම් සඳහා යොදා ගැනෙන අතර තවත් කොටසක් අධික විෂ සහිත දුම් නිකුත් කරමින් පුලුස්සා දැමේ. ඉන්දුනීසියාවේ ටෝෆු කර්මාන්තශාලාවක ඉන්ධන වෙනුවට ලාභ ප්ලාස්ටික් යොදාගෙන ඇතැයි ද වාර්තා වේ. 


ලෝකයේ වැඩියෙන්ම කසළ ප්ලාස්ටික් අපනයනය කරන්නේ යුරෝපා සංගමය බවද, වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන තනි රට එක්සත් ජනපදය බව ද බීබීසී වෙබ් අඩවියේ දැක්වේ. 


පෘථිවියේ විශාලම සාගරික කසළ තට්ටුව ජපානයට ආසන්නව පිහිටා තිබේ. සාගරයට එකතු වූ පොලිතින් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය සාගර රළ හා සුළං හේතුවෙන් මෙසේ උතුරු පැසිපික් සාගරයට එකතු වී පාවෙමින් පවතී. එම පැල්ලම වර්ග කිලෝමීටර මිලියන 1.6ක් විශාලය. එනම්, ප්‍රංශ රටේ විශාලත්වය මෙන් තුන් ගුණයකි. එතැන ටොන් 80,000ක් පමණ ප්ලාස්ටික් රැඳී ඇතැයි තක්සේරු කර ඇත. 


මෙතැන රැඳී තිබෙන ප්ලාස්ටික් සාගර රළ, සුළං, සාගර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හා උෂ්ණත්වයේ වෙනස්කම් නිසා මයික්‍රෝ ප්ලාස්ටික් යනුවෙන් හඳුන්වන අතිශය කුඩා කැබලිවලට කැඩී සාගර පරිසර පද්ධතියට එකතු වේ. වරක් එසේ කැබලි කැඩී ගිය පසු සාගර ජීවීන් මේවා ආහාර යැයි රැවටී ආහාරයට ගන්නා බැවින් එම මසුන් ආහාරයට ගන්නා මිනිසුන්ට ද සෞඛ්‍ය තර්ජන ඇතිවේ. 


වාර්ෂිකව ගංගා ඔස්සේ ප්ලාස්ටික් ටොන් මිලියන 2.41ක් පමණ සාගරවලට එකතු වෙන බව ගණන් බලා ඇත. එම ප්ලාස්ටික්වලින් අඩක් පමණ ජලයට වඩා ඝනත්වය අඩු බැවින් සාගරයේ පාවෙමින් පවතී. ගංගා, ඇළදොළවලට එකතු කරන නොදිරන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් අවසානයේ නතර වෙන්නේ සාගරයේය. 


ධනවත් රටවල් දුප්පත් රටවල නීති රීතිවල ලිහිල් තැන්වලින් රිංගා සිය අපද්‍රව්‍ය වසංගතයෙන් ගැලවීමට වාසි ලබාගන්නේ ලියා ගුරේරෝ ටයිම් සඟරාවට කියා සිටියේය. ඔවුන් අපනයනය කරන්නේ මිශ්‍ර වූ අවසාදිත කසළ වන අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය ඉතා මිලාධික කටයුත්තකි. කාර්මික රටවල කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා පහසුකම් ඇතත්, ඒ සඳහා දැඩි නීති රීති පනවා ඇති බැවින් ප්‍රතිචක්‍රීකරණය නොකර, ඒවා රටින් පිට කරගැනීම ඔවුනට ලාභදායකය. 


ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි, දූෂිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය දියුණු වෙමින් පවතින රටවල කැමැත්තක් නොමැතිව ඒවාට අපනයනය කළ නොහැකි යැයි කසළ කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික බහු පාර්ශ්වික එකඟතාවක් වන බාස්ල් සම්මුතිය පසුගිය මාසයේදී සංශෝධනය කරන ලද්දේ සිදුවූ හානිය හඳුනාගත් බැවිනි. නමුත් එය බලාත්මක වෙන්නේ 2020 සිටය. දකුණු ආසියානු රටවල් සියල්ලම මෙම සම්මුතියට අත්සන් තබා නැත. එබැවින් එම සංශෝධනයෙන් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙන්නට නම් ඉහත කී කරුණු දෙකම ඉටුවිය යුතුව තිබේ. 

 

 

ණු කඳු නාය ගොස් විපත් සිදුවූ අතීතයක් ඇති ලංකාවේ තවත් කුණු කඳු කිහිපයක් නාය යන මට්ටමට ළඟාවෙමින් පවතින අවධියක, මාතර වැනි ප්‍රධාන නගරවල කසළ ගොඩගැසී දුඟද හමමින් තිබෙන වකවානුවක, රටේ බොහෝ නගරවල කසළ බැහැර කිරීමට ස්ථාන නොමැතිව සිටින අවධියක, අපේ කුණු අපටම කළමනාකරණය කරගත නොහැකි අවධියක, විදෙස් රටවල කුණු අපට කිසිසේත්ම අනවශ්‍යය. 


මේ සිද්ධිය අපේ වටාපිටාව ගැන අවධානයෙන් සිටිය යුතු බවට සංඥාවකි. ආසියාවේ බොහෝ රටවල කසළ ආනයනය කිරීම් සිදුවෙන නිසා හොර රහසේ හෝ ලංකාවට එවැනි කසළ කන්ටේනර් පැමිණේදැයි යන්න ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය. වෙනත් ආසියානු රටවල කසළ ප්‍රශ්නයට ඔවුන් කෙසේ හෝ විසඳුම් සොයාගනු ඇත. නමුත් ලංකාවට කසළ පැමිණියහොත් දැනටමත් තිබෙන ලෝක ප්‍රශ්නවලට අමතරව තවත් ප්‍රශ්න ලෝකයක් ඇති වේ. 


කසළ යනු අද වෙනවිට ලෝක බලවතුන්ට පවා විසඳා ගැනීමට අසීරු, දැවෙන ගැටලුවක් බවට පෙනේ. දිරන කසළ අක්‍රමවත්ව බැහැර කිරීම මෙන්ම නොදිරන කසළ ඒවා සමඟ මිශ්‍ර කර බැහැර කිරීම වැනි ගැටලු නිසා පස, වාතය හා ජල මූලාශ්‍ර දූෂණය වේ. මෙසේ මිනිසාගේ පරිසරය නොයෙකුත් ආකාරවලින් දූෂණය වීමේ වන්දිය ගෙවන්නට සිදුවෙන්නේ අනාගත මිනිස් ප්‍රජාවටත්, සත්ව ලෝකයටත්ය.

 


- සටහන 
නිසංසලා දිසානායක