සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උපන්නේ මෙකල නේපාලයේ ලුම්බිනි පුද බිමෙහිය. සිදුහත් උපත සිදුවූයේ හරියටම මෙම ලුම්බිණි සල් උයනේ සල් ගසක සෙවණේය. ඒ සල්ගස වට කර සාදන ලද මෙකල (බෝධිඝරය මෙන්) විහාරය මායාදේවි විහාරය නමින් හැඳින්වේ. සිදුහත් කුමරු මෙහි උපන් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. 


මේ බව මහාපදාන සූත්‍රයේ තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානයට අදාළව ප්‍රධාන පුවත් රාශියකින් පැවසේ. පශ්චාත්කාලීන බුද්ධ චරිත ග්‍රන්ථවල මේ පුවත් සංවර්ධනයට පත් කරමින් දීර්ඝ ලෙස විස්තර කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය කපිලවත්ථු රාජධානිය බව මෙහි සඳහන්ව ඇතත් එය කවර ස්ථානයකදී උපත සිදුවී දැයි සඳහන් කර නැත. 


එහෙත් ලුම්බිණියෙහිදී සිදුහත් උපත සිදු වූ බව ආදි (පැරණි) ග්‍රන්ථ අතර පැරණිතම ග්‍රන්ථයක් සේ ගැනෙන ‘‘සුත්ත නිපාත’’යෙන් හමුවෙයි. (බුදුන් වදාළ බුද්ධ චරිතය- පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි හා කීර්ති නාරම්පනාව පි.17- 1999) 


සිදුහත් කුමරු උපන්නේ ලුම්බිණි සල් උයනේ බව පැහැදිලි ලෙසින්ම ශිලා ස්ථම්භයක ලියා තැබීමට තරම් වූ මහඟු පින්කමක් කිරීමටද එම පුදබිම වැඳ පුදා ගැනීමටද අසෝක රජතුමා පැමිණීම නිසා අද බුදු රජාණන් වහන්සේ උපන් පුදබිම පිළිබඳ කිසිම වාද විවාදයක් නැත. 


අසෝක රජතුමා පැමිණීමත් ‘‘හිද බුද ජාතෙ සාක්‍යමුනිති’’ හිද භගවම් ජාතෙති ලුම්බිනි ගාමේ. 


යනුවෙන් එම ශිලා ටැඹෙහි මෙම ලුම්බිනි පුදබිමේ බුදුරජාණන් වහන්සේ උපන් බව ස්ථාන දෙකකම බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියා තිබීම ගැන කිසි කෙනෙක් තර්ක කර නැතැයි ප්‍රකාශ කළ නොහැක. අසෝක රජුගේ 20 වැනි රාජ වර්ෂයේදී (අභිෂේකයෙන්) මෙම පුදබිමට පැමිණීම ද එහි සටහන් කර ඇති නිසා සිදුහත් කුමරු උපන්නේ අපේ රටේ යැයි නේපාලය හැරුණු විට වෙනත් රටකට ඒ අයිතිය ප්‍රකාශ කළ නොහැක. 


එහෙත් සිද්ධාර්ථ කුමාරයා උපත ලද ලුම්බිණි සල් උයන අයත් වන්නේ කපිලවස්තු රාජධානියටය. ඒ කපිලවස්තු රාජධානිය අයත් වන්නේ ඉන්දියාවටද නේපාලයටද යන්න ගැන පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයින් අතර වාද විවාද පැවතුණි. 


අසෝක අධිරාජ්‍යයාට (ක්‍රි.පූ. 273-232) පසුව මෙම පුදබිම ඇතුළු පුරාණ ජම්බුද්වීපයේ බොහෝ පුදබිම්වලට ක්‍රි.ව. 5 වන සියවසේදී පාහියන් භික්‍ෂූන් වහන්සේද ක්‍රි.ව. 7 වන සියවසේදී හියුංෂාං භික්‍ෂූන් වහන්සේද සැපත් වූ බවත් ඒ පිළිබඳව විස්තර වාර්තාවල ද සඳහන් වී ඇත. 


ලුම්බිණියේ මායාදේවී විහාරය

 

ලුම්බිණිය

 


ලුම්බිණියේ මායාදේවී විහාරය යනු සිදුහත් කුමාරයා උපත ලද සල්ගස් සෙවණ වට කර සාදන ලද විහාරයයි. ඒ විහාරයේ 2011 සිට 2013 තෙක් බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිංහැම් සහ නේපාලයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් කොෂ් ප්‍රසාද් ආචාර්ය යන දෙදෙනාගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා කැණීමක් සිදු කරන ලදී. 
එම පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ කැණීම් මගින් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී එදා සල්ගස තිබූ ස්ථානයෙහි වටා දැව වැට හා ඒ ආශ්‍රිත වූ දත්තයන් රැසක්ම ලබාගැනීමටත් ඒවා පර්​ෙ‌ය්ෂණයට භාජනය කිරීමටත් එම විද්වතුන් කණ්ඩායමට හැකිවිය. බෞද්ධ සාහිත්‍යයේ කාලනිර්ණයන්ට සමපාත වන අන්දමින් එම කාලනිර්ණයන් ලබාගෙන ඇත. 
ඉන්පසු ඔවුන්ගේ අවධානය යොමුවී ඇත්තේ නේපාලයේ කපිල වස්තු රාජධානියේ වසර 29 ගිහිගෙය ගත කළ සිදුහත් කුමාරයා ගත කළ මාලිගාවල සහ ඒ ආශ්‍රිත පුදබිම් පුරාවිද්‍යාත්මක ගවේෂණ හා කැණීම්වලට යොමු කිරීමය. 


කපිල වස්තු පිහිටියේ මෙකල ඉන්දියාවේද නේපාලයේද? 


පසුගිය වසර සියයකට අධික කාලයක සිට මේ පිළිබඳ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අතර වාද විවාද පැවතුණි. කපිලවස්තු රාජධානිය පිහිටියේ ඉන්දියාවේ පිප්රාවා හි බව පවසන සමහර පුරාවිද්‍යාඥයින් ද එය පිහිටියේ මෙකල නේපාලයේ තිලොරාකොට් (TILAORAKOT)" යැයි ඉන්දියානු සහ නේපාල පුරාවිද්‍යාඥායන්ද විදේශිය පුරාවිද්‍යාඥයින්ගේද මතයයි. 


සර්වඥ ධාතූන් වහන්සේලා හමුවූ පුදබිමක් ලෙසින් ඉන්දියාවේ පිජරාවා පුදබිම හඳුනා ගෙන ඇත. 


කපිලවස්තු ඉන්දියාවේ යැයි ප්‍රකාශ කිරීම 


පානදුරේ රන්කොත් විහාරාධිපති පණ්ඩිත මොරටුවේ සාසනරතන අනුනාහිමියන් කපිල වස්තු ධාතුවංශය නම් ග්‍රන්ථයක් ලියමින් පිප්රාවාහි හමු වූ සර්වඥධාතූන් වහන්සේලා පිළිබඳ මෙසේ සඳහන් කරති. 


මෙයින් කපිලවස්තුව සොයා ගැනීමට පුරාවිද්‍යා පරීක්‍ෂකයෝ ඉදිරිපත් වූහ. එයින් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ බස්නි (කපිල) (වස්ති) දිස්ත්‍රික්කයේ සේවය කළ විලියම් පෙපේ (PEPPE) මහතා වර්ෂ 1896 දී මේ කාර්යය පිණිස ඉදිරිපත් විය. මෙහිදී ඒ මහතාට කපිල වස්තුව සොයා ගැනීමට කරුණු දෙකක් ඉවහල් විය. එනම්, 


1. මේ අවධිය වන විට ලුම්බිණිය සොයාගෙන තිබීම  


2. ලුම්බිණි - කපිලවස්තු දුර ප්‍රමාණය චීන යාත්‍රික භික්‍ෂූන් විසින් සටහන් කර තිබීම යන කරුණු දෙකයි. 


පාහියන් සහ හිංයුෂාන් භික්‍ෂූන්ගේ ගමන් මාර්ගය ඇති වෙනස නිසා පුරාවිද්‍යාඥයින්ට කපිලවස්තු ප්‍රශ්නය තරමක ගැටලුවක් විය. පාහියන් හිමි දුටු කපිල වස්තු නටබුන් ලුම්බිණියට සැතපුම් 9ක් නිරිත දිගින් (THE INDIAN EXPRESS - 1973 APRIL 13) පිහිටි පිප්රාවා (PIPRAHWA) නම් පෙදෙසෙහි දක්නට ලැබුණි. එය නේපාල ඉන්දියා දේශසීමාව අසල රජනි ගඟබඩ පිහිටියේය. 


හියුංසියැං දුටු (The Voice of History - 1976 Vol II) නටබුන් ලුම්බිණියට වයඹ දිගින් සැතපුම් එකොළහක් දුරින් නේපාලයේ පිහිටි 


ති​ෙලාරාකොට් (TILAORAKOT) නම් ප්‍රදේශයේ පිහිටියේය. එහෙයින් කපිලවස්තුව මේ නගර දෙකම ආශ්‍රයෙන් පැවතිනැයි නිගමනය කරන්නට සිදුවිය. 


එසේ වූවත් මේ චීන භික්‍ෂූන්ගේ වාර්තා එකින් එක සසඳ‌ා ඉන්දියානු රජය විසින් විලියම් පෙප්පෙ (Williyam Peppe) (The Times of India - 1973 Jan.23) මහතුන් ලවා පළමුව පිප්රාවා ස්තූපයේ කැණීම් පටන් ගන්නා ලදී. මෙහිදී තනි ගඩොල් කන්දක්ව පැවැති මේ ස්තූපය කැණීමේදී උඩ පෙදෙසේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු වස්තු රැසක් ලැබිණි. පැරණි කුඩා ස්තූපයක් සහ ඒ තුළ කරඬු ප්‍රතිමා ශීර්ෂ කාසි ආදිය විය. 


මේ චෛත්‍ය ගර්භයට යටින් ධාතු තැන්පත්ව තිබිය යුතු යැයි වින්සන්ට් ස්මිත් මහතා තර්ක කළේය. එහෙයින් යළි ගර්භය යටට කැණීමේදී එහි අභ්‍යන්තරයේ ගල් පෙට්ටියක් දක්නට ලැබිණි. 


(ශ්‍රී වත්සව මහතා ලංකාවේ කෞතුකාගාරයේ කළ කථාව). මෙම ගල් පෙට්ටිය ඇතුලේ තිබූ ධාතූ කරඬුව තුළ ධාතූන් කීප නමක් තැන්පත්ව තිබිණි. එම ගල් පෙට්ටිය දිගින් රියන් තුනක්ද පුළුලින් රියන් දෙකක්ද විය. මෙහි තිබූ එම ධාතූන් ඉන්දියානු රජය විසින් සියම් රජුට පරිත්‍යාග කොට ගල්පෙට්ටිය කල්කටා කෞතුකාගාරයට භාර දෙන ලදී. 
ඊට පසුව 1970 දී නේපාල රජයේ පුරාවිද්‍යා අංශය (Mahabodhi-Vol.88-P.3) මගින් නැවත වරක් පිප්රුවා ස්තූපය කනින ලදී. එහිදී මුලින් සාරන ලද ධාතු ගර්භය තවද කැණිය යුතු බවත් මුල්ධාතු නිධානය එහි විය යුතු බවත් පුරාවිද්‍යාඥයෝ තර්ක කළහ. ඒ අනුව පොළොව යටට අඩි 10ක් (දහයක්) පමණ කැණීමේදී මේ ප්‍රධාන ධාතු කරඬුව හමුවිය. මේ කරඬුව කිසිදු අනතුරකට භාජනය නොවී පැවැතිනැයි ඉන්දියානු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ කේ.එම්. ශ්‍රී වත්සව මහතා කියයි. 


මේ පිප්රුවා චෛත්‍යයේ අවස්ථා කීපයක ප්‍රතිසංස්කරණ කරන ලද්දේය. ගර්භයේ යටින්ම පැවති ධාතු නිධානය එදා ශාක්‍යයන් ලද ධාතූන් තැන්පත් කොට තැනූ මුල්ම නිධානය වේ. දෙවැනි අවස්ථාව අසෝක රජුගේද තුන්වැනි අවස්ථාව කනිෂ්ක රජුගේද විය හැකි යැයි පුරාවිද්‍යාඥ මතයයි. 


එයින් මුල් ධාතු නිධානය ස්තූපයේ යටින්ම පැවති ශාක්‍ය රජවරුන් කළ ධාතු නිධානය බවට ප්‍රබල සාධකය නම් ධාතු කරඬුවේ වටේ බ්‍රාහ්මි අක්‍ෂරයෙන් ලියා තැබූ පාඨයයි. 


සුකිති භතිනං සභහිනිකං සපුතදලනං 
ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානං 


අදහස - සුකිනි සහෝදරයන් විසින් තම සහෝදරියන් සහ අඹුදරුවන්ද සමග ශාක්‍ය වංශයෙහි උපන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතු නිධානය කරවන ලදී. 
කපිල වස්තු ධාතුවංසය- සම්පාදක- පණ්ඩිත මොරටුවේ සාසන රතන අනුනාහිමි- පි. 21-23 (1978) 


මෙම ධාතූන් වහන්සේලා සර්වඥධාතූන් වහන්සේලා බවට කිසිදු සැකයක් නැත. 1978 හා 2012 දී ලංකාවටද වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට බෞද්ධ ජනතාව ඉමහත් සැදෑසිතින් කටයුතු කළ බව අපි දුටුවෙමු. එහෙත් ඒ සර්වඥධාතූන් වහන්සේලා හමු වූ ප්‍රදේශය කපිලවස්තු පුරය හෝ එම රාජධානිය නොවන බව දැන් පුරා විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇති අතර නේපාලයේ මෙකල TILAORAKOT (තිලොරාකොට්) සත්‍ය කපිලවස්තු රාජධානිය බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. 
ලුම්බිණියේ මායාදේවි විහාරයේ 2011 සිට 2013 තෙක් එංගලන්තයේ ධරම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් එම පුදබිමෙහි කාලනිර්ණය අනුව සිදුහත් කුමරු උපන් කාලවකවානුවට (බෞද්ධ සාහිත්‍යයෙහිද සඳහන්) සමපාත වී ඇත. 


ඉන් පසු මහාචාර්ය රොබින් කොනිංහැම් සහ එම පුරාවිද්‍යාඥ කණ්ඩායම නේපාලයේ කපිල වස්තු රාජධානිය මෙකල ‘‘තිලොරාකොට් TILAORAKOT හි පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් කටයුතු ආරම්භ කර ඇත. අප රට පෙර පුරාවිද්‍යාඥයන් මෙම කපිලවස්තු රාජධානිය පිළිබඳ කරන ලද කැණීම් කටයුතු ගැන විමසා බලමු. 

 

නේපාලයේ තිලොරාකොට්

නේපාලයේ තිලොරාකොට්

 


නේපාලයේ කපිල් වස්තු රාජධානිය 


කපිලවස්තු හා ලුම්බිණි හා දෙව්ද්‍යාපුර පිළිබඳ පුරාවිද්‍යාත්මක කැණීම් මෙන්ම ගවේෂණද සිදු කළ නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ බාබු ක්‍රිෂ්ණ රිජාල් මහතා කපිලවස්තු රාජධානිය පිළිබඳ මෙසේ සඳහන් කරයි. 


‘‘කපිල වස්තු රාජකීය නගරය පිළිබඳ 1962 විවිධ මතිමතාන්තර ඇති අවධියෙහි නේපාලයේ සහ පුරා විද්‍යාඥයන් විසින් කපිල වස්තු ප්‍රදේශයේ ගවේෂණ හා කැණීම් කටයුතු ඇරඹුවේ 1967 දීය. තිලෝරාකොට් හි (කපිලවස්තුහි) බටහිර ප්‍රදේශයේ දොරටුව සහ ප්‍රාකාර මතු කරගත්තේය. ඊට පසු වර්ෂවලදී ස්තූප දෙකක නටබුන් සොයාගත්තේය. 
ඒවා බුදුරජාණන් වහන්සේගේ පියාවූ සුද්ධෝදන රජුගේ හා මව වූ මහාමායා දේවිය සිහිවීම සඳහා සාදන ලද ස්තූප දෙක ලෙස හඳුනාගෙන ඇත. ගොඩැල්ලක් මධ්‍යයෙහි කැණීම්වලදී සුද​්ධෝදන රජතුමාගේ රාජකීය මාළිගා සංකීර්ණයට අයත් නටබුන් කොටසක් සොයාගෙන ඇත්තේ ජපන් රටේ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසිනි. 
ති​ෙලාරාකොට්හි (කපිලවස්තුවේ) පුලුස්සන ලද ගඩොල්වලින් සාදන ලද ප්‍රාකාර නටබුන් හා එ්වාට තිබූ දිය අගල්වල නටබුන්ද හමු වී ඇත. මෙම ප්‍රාකාරය උතුරේ සිට දකුණට අඩි 1700ද නැගෙනහිර සිට බටහිරට අඩි 1300ද දිගය. දොරටු මෙන්ම ආරක්‍ෂක මුරකුටි වල නටබුන්ද ක්‍රිස්තු පූර්ව 8-6 සියවස්වලට අයත් වේ. මීට අමතරව මෙහි ගොඩනැගිලි නටබුන්ද හමු වී ඇත. 


(ARCHAEOLOGICA REMAINS OF KAPILAVASTU, LUMBINI, DEVDAHABABU KRISHNA RIJAL P.32-33- 1979 KATHMANDU, NEPAL) 


කපිලවස්තු රාජධානිය පිළිබඳ මෙවැනි වාද විවාද පැවති නමුදු පුරා විද්‍යාත්මක කැණීම් නැවත වරක් සිදු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලයේත්  නේපාලයේ ත්‍රිබුවන් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සමග තිලෝරාකොට් හි පුරාවිද්‍යා කැණීම් ආරම්භ කර තිබුණි. එහිදී නේපාල පුරාවිද්‍යාඥයින් සහ මහාචාර්ය රොබින් කොනින්හැම් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් සුද්ධෝදන රජුගේ රජ මාළිගයේ බටහිර දොරටුව පුරාවිද්‍ය කැණීම් සිදුකර ඇත. 


අසෝක රජතුමා හා ඊට පසු පැමිණි පාහියන් හා හියුංෂං චීන ජාතික හිමිවරුන් ගේ පැමිණීම. 


අසෝක රජතුමා සිදුහත් කුමරු උපන් ලුම්බිණියට පැමිණ එහි ස්තම්භයක්ද එහි ශිලා ලේඛනයක්ද සැකසීම ක්‍රි.පූ. 273-232) කාලයේදී සිදු වූවකි. ලුම්බිණියද කපිල වස්තු රාජධානියට අයත් වූවකි. ඉන්පසුව ලුම්බිණියට මෙන්ම කපිලවස්තු රාජධානියටද ක්‍රි.ව. 5 වන සියවසේදී පාහියන් හිමියන්ද ක්‍රි.ව. 7 වන සියවසේ දී හියුංෂාං හිමියන්ද පැමිණ ඒ පිළිබඳ වාර්තා සකසා ඇත. උන්වහන්සේලාද අසෝක රජ හා කෝණගම හා කකුසඳ යන බුදුරජාණන් වහන්සේලා පිළිබඳ සඳහන් වේ. 


අසෝක රජු විසින් පාහියන් හිමියන් කකුසඳ සහ කෝණාගම බුදුරජාණන් වහන්සේලා සිහිවීම සඳහා සාදන ලද ස්තූප ගැන පුරාණ කපිල වස්තු රාජධානිය පිළිබඳ පූර්ණ කැනීමක වාර්තාවක් මෙසේය. 


‘‘පුරාණ කපිලවස්තු රාජධානිය හිමාලය කඳුපාමුල පිහිටි කුඩා රාජධානියකි. හිමාලයට බටහිරින්ද රෝහිණී නදියට නැගෙනහිරින් ද කපිලවස්තු රාජධානිය පිහිටියේය. එහි බටහිර සහ දකුණු සීමාවන් වූයේ රජනි ගංගාවය. (පුරාණ කාලයේ අචිරවතී ගංගාව) 


සමහර බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවලට අනුව ශාක්‍ය ජනපදය උතුරු සීමාව හිමාලයයි. නැගෙනහිර සීමාව රෝහිණී නදියයි. බටහිරින් රජනි ගංගාවද දකුණු දෙසින් පාවා සහ කුසිනාරා ප්‍රදේශ පිහිටියේය. 


හියුංෂං චීන භික්‍ෂූන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී කපිල වස්තු රාජධානියට පැමිණ ඇත. ඉතා උස ප්‍රාකාර සහ ප්‍රධාන දොරටු දෙකක් තිබුණු බවද උන්වහන්සේ සඳහන් කරති. මේ කරුණු කපිලවස්තුවෙහි නූතන තිලෝරාකොට්හි බටහිර දොරටුව අසළ 1967-72 කාලයේදී කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි වී ඇත. 


මේ කැණීම්වලදී යුග තුනකට එම ප්‍රාකාර අයත් බව හෙළි වී ඇත. පළමු වන අවස්ථාව මැටිවලින් නිර්මාණය කරන ලද අතර එ්වා ක්‍රිස්තු පූර්ව 7-6 සියවස්වලට අයත්ය. ඒ කාලයට අයත් වන අලුපාට වර්ණ ලිප්ත බඳුන්ද උත්තර තාල වර්ණ හා රත්ත වර්ණ මැටි බඳුන්ද හමු වී ඇත. 


මෙහි දෙවැනි අදියරේදී ප්‍රාකාරය ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් වන අතර ඒවා එම ප්‍රාකාර කහපාට මැටි වලින් නිර්මිත වන අතර පිළිස්සූ ගඩොල් ප්‍රාකාර සඳහා යොදාගෙන ඇත. තෙවන අදියර අයත් වන්නේ ක්‍රි.පූ. 150 කාලයටය. 


( BY T.N MISHRA THE LOCATION OF KAPILAVSTU AND ARCHAEOLOGICAL EXCAVATIONS-(1967-1972) KATHMANDU) 


මහාචාර්ය කොනින්හැම් විසින් ලුම්බිණියේ මායා දේවි විහාරයේ කැනීමට පසුව නේපාලයේ කපිල වස්තු රාජධානියට අයත් ප්‍රදේශය සිය පර්යේෂණ කැණීම්වලට භාජනය කර ඇත. ඒ සඳහා කපිලවස්තු රජමාලිගය පිහිටි ප්‍රදේශය පිළිබඳ කැනීම් කිරීම සඳහා කි.මී. 2 දිගින් හා පළලින් යුක්ත ප්‍රදේශයක් හඳුනාගෙන ඇත. 


ක්‍රි.පූ. 3 වන සියවසට අයත් ගොඩනැගිල්ලක නටබුන් හමු වී ඇත. බුද්ධ කාලය තවත් මීට යටින් හමු විය හැකිය. 


බුද්ධ කාලයේදී මෙම නගරය වටා ආරක්‍ෂිත ප්‍රාකාරයක් දැවවලින් සාදා තිබෙන්නට ඇති බවට දැනට හමුවී ඇති නටබුන් අනුව හෙළි වී ඇත. 


මේ නිසා නියම කපිලවස්තු රාජධානිය ඇත්තේ නේපාලයේ බව මීට ඉහතදී කරන ලද කැණීම්වලින්ද හෙළි වී ඇති හෙයින් ඒ පිළිබඳව පුරාවිද්‍යාඥයින් ගේ වාදවිවාද තවදුරටත් ගෙන යා නොහැක. 

 

 


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ 
සිරිසමන් විජේතුංග