(නවරත්න සමරතුංග)
 
අම්පාර උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ බන්ට් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(22) උදෑසන තම ගමට පානීය ජලය ලබා දෙන අදාළ බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. 
 
1955 වසරේදී පිහිටුවන ලද මෙම ජනපදයට මෙතෙක් කිසිදු රජයක දේශපාලන අධිකාරිය විසින් පානීය ජලය ලබා දීමට පියවර නොගත් බව ඔවුහු පවසති. 

එම ගමේ සමිති කාර්යාලය අසලට රැස්වූ ගම්වාසීහු අම්පාර මහනුවර ප‍්‍රධාන මාර්ගයට පැමිණ මෙසේ උද්ඝෝෂණය කළහ.  

එම ස්ථානයට පැමිණි උහන සහකාර ප‍්‍රාදේශීය ලේකම් කේ.එම්.කේ.එස්.කුලතුංග මහත්මිය පානීය ජල පහසුකම් ලබා දිය යුතු මෙවැනි ස්ථාන 14ක් පමණ හඳුනා ගෙන ඇති බව පැවසුවාය. මෙම වසරට මුදල් වෙන් නොවුණත් මෙය ප‍්‍රබල ඉල්ලීමක් ලෙස සලකන බවද කීවාය. මාස හතරක් ඇතුළත මෙය ඉටුකිරීමට උත්සුක වනබවද කුලතුංග මහත්මිය කීවාය.