(නිමල කොඩිතුවක්කු)

රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අතරම ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකි විණැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (30) පැවැසීය.

වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් කළ වැඩ ගැන ප්‍රචාරණය දීම සඳහා ජනතා මුදල් නොයෙදවීමට යහ පාලන ආණ්ඩුව ආරම්භයේ දීම තීන්දුවක් ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට කොළඹ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.

වත්මන් රජය යටතේ කර ඇති ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළත් වෙබ් අඩවියක් එළිදැක්වීම ද එහිදී සිදු විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

“2015 ජනවාරි නව වැනිදා සිට අද වෙනකම් අප රටේ විශාල වැඩපිළිවෙළක් ගෙන ගියා. අප රටේ නිදහස් සමාජයක් ඇති කළා. මා ඉදිරියේ සිටින මාධ්‍යයේ සියලු දෙනාත් රටේ සියලුම පුරවැසියනුත් ඒ නිදහස් සමාජය අද භුක්ති විඳිනවා.

ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිසියක් නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීම යන සියල්ලක්ම අප ඔබට දී තිබෙනවා.

2015 දී මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි ආර්ථිකයක්. ණය බරින් පිරිච්ච ආර්ථිකයට ස්ථාවර භාවය ඇති කිරීමට මට හැකි වුණා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට 2018 දී අපට හැකි වුණා.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නොවුණා නම් මෙයටත් වඩා එහි අතිරික්තයක් ගන්න අපට තිබුණා. ලබන වසරේ දී ඒ අතිරික්තය ලබා ගැනීමේ අවස්ථාව යළි උදා වෙනවා.

අපේ පළමු වැනි අය වැය 2015 පෙබරවාරි ඉදිරිපත් කර ඇති වුණ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරන්න මා කැමතියි.
ඒ අනුව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93,726 ක් අප ඇති කළා. ප්‍රදානය කළ නිවාස ණය ප්‍රමාණය මිලියන 386,000යි. ගම්මාන 2,553ක් අලුතින් බිහි කිරීමට අප සමත් වුණා. ඉන් පවුල් 64,278කට ප්‍රතිලාභ හිමි වුණා.

කොළඹ නාගරික අඩු ආදායම් වෙනුවෙන් නිවාස 3,910ක් අප ඉදිකළා. අධ්‍යාපනය සැමට සහතික කිරීම සඳහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් පාසල් 9,063කට ප්‍රදානය දුන්නා. සුරක්ෂා රක්ෂණාවරණය යටතේ ශිෂ්‍යයන් 75,850කට ප්‍රතිලාභ ලබා දුන්නා.

2014 වනවිට එන්.වී.කිව්. සහතික පත්‍ර 121,360ක් ප්‍රදානය කර තිබුණා. 2019 වන විට ඒ සංඛ්‍යාව දෙගුණයක් කරමින් 246,073 කට ඒ සහතික දී තිබෙනවා.

සුබ සාධන සහ විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් 2014 වසරේ දී මිලියන 22,226ක් දුන්නා. අද මිලියන 46,100ක් ගෙවනවා. වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් 242,843ක් වෙනුවෙන් එදා දීමනා දුන්නා. අද ඒ ප්‍රමාණය 616,668ක් දක්වා වැඩි කළා.

 විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා වෙන් කළ දීමනාව එදා 20,000යි. අද 32,000යි. තවත් විශාල ප්‍රමාණයකට ඒ ආධාර දෙන්න තිබෙනවා.

පෝෂණ මල්ල රාජපක්ෂ ආණ්ඩුවේ දී කාටවත් ලැබුණේ නැහැ. අද 274,511ක් සඳහා ඒ පහසුකම් දීලා. සුවසැරිය නොමිලේ පූර්ණ රෝහල් රැකවරණ ගිලන් රථ මගින් 2019 වර්ෂයේ දී 274,544 කට පහසුකම් සපයා දුන්නා.

අත්‍යාවශ්‍ය ඖෂධ 48ක් ඇතුළු ඔෂධ දහසකට අධික ප්‍රමාණය සඳහා මිල අවම කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ස්ටෙන්ට් ක්‍රමය සඳහා 2014 දී වන මිල 350,000යි. අද 150,000යි. රජයේ රෝහල්වල මේ සේවාව නොමිලේ දෙන්නත් පියවර ගත්තා.

සෞඛ්‍ය සේවා වෙනුවෙන් අප විශාල පියවරක් ගෙන තිබෙනවා. මාතෘ හා ළදරු රෝහල් එදා තිබුණේ 03යි. අද 12ක් දක්වා ඒ ප්‍රමාණය වැඩි කළා. පිළිකා රෝහල් එදා තිබුණේ එකයි. අද ඒ ප්‍රමාණය හයක් දක්වා වැඩි කර තිබෙනවා.

නිරෝගී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එච්.අයි.වී. ආසාධනය, වකුගඩු රෝගය ආදී රෝග නිවාරණය සඳහා පියවර රැසක් ගත්තා.

 විදුලිබල ශක්තිය සහ උත්පාදනය එදා ගිගාවොට් 12,421යි. අද 15,920ක් දක්වා වැඩි කරලා. මොකක් ද මේ ආණ්ඩුව අවුරුදු පහේ කළේ කියා තවමත් සමහරුන් අපෙන් අහනවා.     

ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 360ක් 2014 දී වැඩි දියුණු වුණා. 2019 දී ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 2,460ක් අප සංවර්ධනය කළා. එදා පරිහරණයට අපහසු මං මාවත් ප්‍රමාණය සීයට 38යි. අද සීයට 21 දක්වා අඩු කරලා.

සැමට පිරිසුදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් විශාල අවධානය යොමු කළා. එදා නව ජල පහසුකම් 1,830,137යි. අද වනවිට එය 2,421,218ක් දක්වා වැඩි කළා. එදා පැවති ජල සම්පාදන යෝජනා සංඛ්‍යාව 323 ඉඳන් 372 දක්වා වැඩි කළා.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ගණන සීයට 28 කින් වැඩි වෙලා තියෙනවා. නව පීඨ 23ක් සහ විශ්වවිද්‍යාල සඳහා නව අංශ 136ක් අලුතින් ස්ථාපිත කර තිබෙනවා.

ප්‍රදේශීය පාලන කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය 2012 වසරේ දී පැවතුණේ සීයට 19යි. අද සියට 25 දක්වා එය වැඩි කරලා. ආගමික සිද්ධස්ථාන 9,850ක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 4,864ක් අප වියදම් කළා.

ව්‍යවසායකයන් 40,240ක් සඳහා රුපියල් මිලියන 70,000ක් දීලා. කෘෂි නිෂ්පාදනය ඉහළ නංවමින් අප විශාල පියවර ගෙන තිබෙනවා.

2014 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 2,431ක් ලැබුවා. 2018 දී ඒ මුදල ඩොලර් මිලියන 4,380ක් දක්වා වැඩි කළා. සංචාරකයන් පැමිණීම 2014 දී 1,527,153යි. 2018 දී 2,333,796යි.

සමෘද්ධි වැඩසටහනින් 2014 දී පවුල් 1,453,078ක් ප්‍රතිලාභ ලැබුවා. 2019 වර්ෂයේ දී ඒ ප්‍රමාණය 1,808,517ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා වන ගම්පෙරළියෙන් ව්‍යාපෘති 157,219ක් කළා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 44,729ක් වැය කර තිබෙනවා. මෙයට අමතරව ග්‍රාමීය ප්‍රදේශ වෙනුවෙන් තවත් විශාල වැඩකොටසක් කර තිබෙනවා.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, පළාත් පාලන මැතිවරණ සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික විගණන පනත වැනි නව ප්‍රතිසංස්කරණ අප කළා. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ගැනීමටත්, යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමටත් අපට හැකි වුණා.

සෑම වසරකම ඉහළ යන අපනයනය 2014 දී ඇමරිකානු ඩොලර් මිලියන 3,114යි. අද මිලියන 3,490 දක්වා එය වැඩිවෙලා. මේ කාලය තුළ වෙළඳ හා කාර්මික සංවර්ධනය වෙනුවෙන් නිදහස් වෙළඳ ගිවිසුම් හයක් අත්සන් කළා. අපනයනවල ප්‍රගතිය දළ දේශීය නිෂ්පාදනයෙන් 2015 දී සීයට 13 කින් වැඩි වුණා. 2018 දී එය සීයට 20කින් වැඩි වුණා.

මේ තොරතුරු කිහිපයක් පමණයි. අප කළ සියලු වැඩ ඉදිරිපත් කළා නම් තව බොහෝ වේලාවක් ගත වේවි. විශාල සංවර්ධනයක් මේ අවුරුදු පහේ දී කළා. ඒක අප රටට දැනුවත් කරනවා.

මෙයට පෙර නොවූ විදියේ සංවර්ධනයක් කර තිබෙනවා. මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි රටක්. එහෙම තිබියදීත් වැඩ එකක්වත් අතහැරියේ නැහැ. කරන්න බැහැ කිව්වේ නැහැ. අප සංවර්ධන කටයුතු සියල්ලක්ම කළා.

මෙයට අමතරව වැටුප් වැඩි කළා. අනෙකුත් දීමනා වැඩි කළා. මේ සංවර්ධනය පදනම් කරගෙන අපට අනාගතයේ විශාල පිම්මක් ගන්න පුළුවනි. ඒ ගැන මා ආඩම්බර වෙනවා.

මේ සංවර්ධනයට සම්බන්ධ වූ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා” යයි ද අග්‍රාමාත්‍යවරයා එහි දී පැවැසීය.