‘ජනතාව සූද‌ානම් නම් ඊළඟ ජනාධිපතිවරණයට මම සූද‌ානම්’ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්ද‌ා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ පළමු වරටය. මේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.   

හිටපු ආරක්ෂක ලේකම්   
ගෝඨාභය රාජපක්ෂ කියන කතාව   


ප්‍රශ්නය:- ‘ජනතාව සූද‌ානම් නම් මාත් සූද‌ානම්’ කියලා ඔබ පළමු වරට කිව්වා. මේ මොහොතේ එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවද?   


පිළිතුර:- මෙතැන ලොකු ප්‍රශ්නයක් තිබුණානේ ගොඩක් කාලයක ඉඳන්. මං දන්නෑ ඕක කොහොම ආවද කියලා. ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න ඕනෑ කියන මතය ආවා. මට හුඟාක් දෙනෙක් කිව්වා. තරාතිරම භේදයකින් තොරව සමාජයෙ සෑම ක්ෂේත්‍රයකින්ම ඒ ඉල්ලීම ආවා. ඒක තමයි ඇත්ත කතාව.   


ප්‍රශ්නය:- දැන් ඔබ සූද‌ානම්?   


පිළිතුර:- මම දේශපාලනඥයෙක් නොවෙයිනේ. මම දේශපාලන පවුලකින් ආවට දේශපාලනය කරලා නෑ. හමුද‌ාවේ ඉන්නකොට දේශපාලනය කරන්න බෑ. රජයේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන කොට දේශපාලනය කරන්න බෑ. ඒත් මම පෙන්වලා දීල තියෙනවා මට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ නිසාම වෙන්නැති ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා. එහෙත් මට පෞද්ගලික ප්‍රශ්න තිබුණානේ.   


ප්‍රශ්නය:- ඇමරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙන් එහෙම?   


පිළිතුර:- ඔව්. ඒ ප්‍රශ්නය දැන් බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙන්නේ. එහෙම නිරාකරණය වුණාට පස්සේ තමයි මම කිව්වේ ‘ඔව් ලංකාවට අවශ්‍ය නම් මම සූද‌ානම්’ කියලා.   


ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවම ඔවුන් කියන්නේ ඒක තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.   


පිළිතුර:- මෙහෙමයි. ඒ වගේ දේශපාලන තීන්දුවක් ගන්න කොට බලපාන කරුණු තියෙනවනේ. ඔය ඔබ කියන්නෙත් එහෙම කාරණයක්. ඔව්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්නේ. 

 
ප්‍රශ්නය:- ‘මම සූද‌ානම්’ කියලා ඔබ කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව ද? 

 
පිළිතුර:- මහින්ද ජනාධිපතිතුමා මට කියලා තියෙනවා ‘මේකට ලැස්ති වෙන්න’ කියලා. ඉතින් එතුමා තීරණයක් අරගෙන අපේක්ෂකත්වය දෙන්න ඕනෑ. ඊළඟට පොදු විපක්ෂයක් තියෙනවනේ. ඒ පොදු විපක්ෂය කැමැත්තක් තියෙන්න ඕනෑනේ.   


ප්‍රශ්නය:- ඒ කැමැත්ත සහතික ද?   


පිළිතුර:- පොදු විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුන් හැම කෙනෙක්ම මට ඇවිල්ලා කියනවා ‘ඔබතුමා තමයි එන්න ඕනෑ’ කියලා.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් මන්ත්‍රී කුමාර වෙල්ගම ඔබ එනවට කැමැති නැහැ. මන්ත්‍රී වාසුදේව චමල් රාජපක්ෂගේ නම කියනවා.   


පිළිතුර:- මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. සීයට සීයක්ම හැමෝම එකම මතයකට එක පාරටම එන්නේ නැහැනේ. විවිධ මතවාද, සාකච්ඡා තියෙනවා. ඒ කවුරු මොනවා කිව්වත් ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක්නෙ ද‌ාන්න ඕනෑ.   


ප්‍රශ්නය:- එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැත්ත?   


පිළිතුර:- ඔව්. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් වැඩ කරනවනේ. ඒ පක්ෂයේ සහයෝගය ගන්නත් ඕනෑ.   


ප්‍රශ්නය:- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා?   


පිළිතුර:- ඒවා තමයි අපි විසඳ‌‌ා ගන්න ඕනෑ කරුණු. මෛත්‍රීපාල ජනාධිපතිතුමා මුලින්ම එනකොටත් කියලා තිබුණානේ එක පාරකට වඩා ඉන්න සූද‌ානමක් නෑ කියලා.   


ප්‍රශ්නය:- නමුත් මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කිව්වා ‘අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා?   


පිළිතුර:- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිස් එතුමාව දිරිගන්වන්න පුළුවන්. නමුත් එතුමටත් දේශපාලන අවබෝධයක් තියෙනවා. ඒ නිසා කවුද වඩාත්ම සුදුසු කෙනා කියලනේ මෙතැනදී බලන්න ඕනෑ. පොදු හතුරා දිහානේ මෙතැනදී බලන්න ඕනෑ. ​ෙම් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්, ජනතාවට අවශ්‍ය හොඳම පුද්ගලයා කවුද කියලනේ තීරණය කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා දේශප්‍රේමි කොටස්. රටක් ඉදිරියට ගෙන යා යුතුයි කියලා හිතන පිරිස්.  


ප්‍රශ්නය:- ඔවුන්ගේ සහයෝගයත් ඔබට ලැබෙනවා? 


පිළිතුර:- ඔවුන් මගෙත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ සහයෝගයත් ලැබෙනවා අනිවාර්යයෙන්ම. මේ හැම කොටසක්ම එකතු කරගෙන තමයි ඉදිරියට යා යුත්තේ.   


ප්‍රශ්නය:- වියත් මග, එළිය වැනි ව්‍යාපෘති සියල්ලම කළේ මේ වෙනුවෙන්?   


පිළිතුර:- නෑ නෑ අපේ පරාජයෙන් පස්සේ ඒ පරාජයට හේතු අපි විමසුමකට ලක් කළ යුතුයිනේ. ඒ වගේම රට ඉල්ලන, රටට අවශ්‍ය ජයග්‍රහණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙළක් අපි හැදුවා. වියත් මග, එළිය වගේ සංවිධාන බිහිවුණේ ඒ වෙනුවෙන්.   


මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ එකමුතුවෙන් මේ රට ගොඩගන්න අපි කළ යුත්තේ කුමක්ද කියලා අපි අවබෝධයක් හද‌ා ගත්තා. රටක් ඉදිරියට ගෙනියන්න අපි දන්නවා. මේ රජය පවා බලයට ඒමේදී කියපු යම්කිසි හොඳ කරුණු තියෙනවා. දූෂණය නැතිවෙන්න ඕනෑ. ඒවා කටින් කියලා හරියන්නේ නෑ. ක්‍රියාත්මක කළ යුතුයි. සුදුස්සාට සුදුසු තැන දෙන්නට ඕනෑ. ඒ එක්ක මමත් එකඟ වෙනවා යම්කිසි තරමකට.   


පසුගිය රජය පරාජය වීමට හේතු වුණු යම්කිසි කරුණු ටිකක් තියෙනවනේ. ඒවා අපි අවබෝධ කරගෙන ඒවා නැවත සිදු නොවීමට අනිවාර්යයෙන්ම වගබලාගත යුතුයි. ඒ එක්කම මේ මොනවා වුණත් මතක තියාගත යුතු කාරණයක් තමයි රජයක් කියන්නේ පොදුවේ මුළු මහත් ජනතාවගේම රජයක් විය යුතුයි. එක කොටසකගේ, එක පන්තියකගේ රජයක් නොවිය යුතුයි. පොදුවේ මුළු මහත් ජනතාව දිහා බලලයි තීන්දු තීරණ ගත යුත්තේ. ප්‍රතිපත්ති සකස් විය යුත්තේ.   


මම කියන්නේ නෑ පොහොසත් මිනිහාගෙන් අරගෙන දුප්පත් මිනිහට දෙන්න ඕනෑ කියලා. නමුත් දුප්පත් මිනිහා එතැනින් ඉහළට ගන්නට ඔවුන්ව බලගන්වන්න ඕනෑ. ඒක අපිට කරන්න පුළුවන්. ඒක හරි විදියට ක්‍රියාත්මක කළ යුතුයි. දුප්පත් මිනිසාගේ ඊළඟ පරම්පරාවට හොඳ රැකියාවක් ලබාගත හැකි පරිසරයක් සකස් කරලා දෙනවා නම් ඔවුන්ව ඒ ඉරණමෙන් ගොඩගන්න පුළුවන්. දුප්පත් කමේ ඒ ඉරණමේ ඉන්න මිනිහත් එළියට ගන්න දියුණු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒක කිසිම රජයකින් හරියට කෙරුණේ නෑ. හැම රජයක්ම විවිධ ක්‍රම යෙදුවා. නමුත් ඒවා ආර්ථික වශයෙන් මුදලක් දීලා හරි සහනාධාරයක් දීලා ඒක කරන්න බෑ. ඊට එහා ගිය ඔවුන්ව ගොඩනැගීමේ ක්‍රමවේදයකට අපි යා යුතුයි.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරණයේදී සුළු ජාතීන්ගේ ඡන්ද ඉතාම තීරණාත්මකයි. එ් සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබට තිබෙන තක්සේරුව?   


පිළිතුර:- මම හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් කියලා. අප පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වන ඕනෑම පුද්ගලයකු සුළුජාතීන්ගෙන් ගන්න ඡන්ද ප්‍රමාණය මටත් ගන්න පුළුවන්. මං හිතෙනවා මට ඊට වඩා ගන්න පුළුවන් කියලා.   


ප්‍රශ්නය:- ඒ තරම්ම තක්සේරුවක්?   


පිළිතුර:- ඔව්. මම හැම තිස්සේම කියන්නේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්න නම් ඔවුන්ව ආර්ථිකමය වශයෙන් නිදහස් කළ යුතුයි කියලයි. මගේ මතය ඒකයි. ඒ අනුව තමයි අපි අපේ රජය කාලේ උතුරු වසන්තය නැගෙනහිර නවෝදය ගෙනාවේ. එහෙම ගෙනාවේ ඒ පළාත් දියුණු කරන්න. නමුත් අවාසනාවකට ඒ දේශපාලන නායකයන් වැරදි මත ප්‍රචාරය කළා. ඒ වුණත් අද ඒ ජනතාව සත්‍යය දකිනවා.   


ඒ ජනයාගේ ඡන්ද අනිවාර්යයෙන්ම මට ලැබෙනවා. ඒ එක්කම මම විශ්වාස කරන කාරණයක් තමයි අපි ගියපාර පරාජය වුණේ සුළු ජාතීන්ගේ ඡන්ද නොලැබීම නිසා නොවෙයි දකුණේ ඡන්ද විශාල වශයෙන් අපිට අහිමි වුණා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කවල වෙනදා ජයග්‍රහණය කරනවා වගේ අපි ජයග්‍රහණය කළේ නෑ. අපේ ඡන්ද අපෙන් ඈත් වුණා.   


ප්‍රශ්නය:- ඒ ඡන්ද දිනාගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?   


පිළිතුර:- ඒ ඡන්ද දැනටමත් අපිට ලැබිලා තියෙනවා. පෙබරවාරි 10 ජයග්‍රහණයෙන් ඒ බව මනාව පැහැදිලියි. ඒවා අපි තවත් තහවුරු කරගත යුතුයි. ඉතින් මම හිතනවා මම ඉදිරිපත් වුණොත් පක්ෂ භේදයකින් තොරව විශාල ප්‍රමාණයක් මට ඡන්දය දෙයි කියලා.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වෙන්නෙම ඒ තක්සේරුව කොහොමද ගත්තේ කියලයි?   


පිළිතුර:- ඉතින් මම වැඩ කරලා පෙන්වලා තියෙනවා. මම බාරගත්ත වැඩ මම ක්‍රියාත්මක කරලා තියෙනවා. මම වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මම කතා කරලා විතරක් හිටපු කෙනෙක් නොවෙයි. මට බාර දුන්න රාජකාරි ඒ ආකාරයෙන් ඉටුකරලා තියෙනවා. මම පහුගිය වසර කිහිපය තුළ පවා මේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ අවබෝධයෙන් තමයි අපි මේ තක්සේරුව ගොඩනගා ගත්තා?   


ප්‍රශ්නය:- මේ මොහොතට අද‌ාළව රටේ ​ෙද්ශපාලනය ඔබ හඳුනා ගන්නේ කොහොමද?   


පිළිතුර:- කවුරු මොනවා කිව්වත් ඉතිහාසයේ කවරද‌ාවත් නැති තරමට මේ රට​ අස්ථාවර වෙලා තියෙනවා. මේ රජය බලයට එනකොට මූලික වශයෙන් ජනතාවට පොරොන්දු වුණ දේවල් ටිකක් තියෙනවනේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා. යහපාලනය ඉදිරියට ගෙනියනවා කියලා. යහපාලනය කියන්නේ බටහිර රටවල ලිබරල්වාදය පෙන්නුම් කරන ‘ගුඩ් ගවනස්’ කියන වචනය අරගෙන තමයි ඉදිරිපත් කළේ. හැබැයි මේවා වචනයට පමණක් සීමා වුණ දේවල් වුණා.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ සොරකම්, ඝාතන පැහැරගෙන යෑම් සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා?   


පිළිතුර:- ඔය ඔක්කොම කළේ ඔවුන්ගේ ​ෙද්ශපාලන විරුද්ධවාදීන් පාගලා ද‌ාලා ඔවුන්ට හිරිහැර කරලා නීතිය වැරදි විදියට පාවිච්චි කරලා තමයි කටයුතු කළේ. යහපාලනය කියන වචනය, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පාවිච්චි කරලා නීතියේ ආධිපත්‍ය කියන වචනය පාවිච්චි කරලා කිසිම පදනමක් නැතිව ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂ පවුලේ අයටත් ඊළඟට විරුද්ධ පක්ෂයේ අයටත් රාජ්‍ය නිලධාරින්ටත් විශාල වශයෙන් හිරිහැර කළා. 

 
මහ ලොකුවට පෙන්වන්න යනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා කියලා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ මූලිකම දේ තමයි ජනතාවගේ ඡන්ද බලය. ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගන්නේම එතැනින්.   


අපේ රටේ පරමාධිපත්‍යයෙ බලය තියෙන්නේ ජනතාව අතේ. ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවන්නේ ජනතාව තෝරා ගන්නා නියෝජිතයන් හරහා. ආණ්ඩුවක් පත්කර ගත්තට පස්සේ ඒ රජය හරියට කරන්නේ නැත්නම් ඒ බව රජයට දැනුම් දෙන්න වෙන්නේ ඡන්දය හරහා. නමුත් මේ රජය දිගින් දිගටම එ් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කළා.   


ප්‍රශ්නය:- පුංචි ඡන්දය තිබ්බා. ඉදිරියේදී පළාත් සභා ඡන්දය තියන බව කියනවා. තවත් මොනවද?   


පිළිතුර:- පුංචි ඡන්දය තිබ්බේ අවුරුදු කීයකට පස්සෙද? ජනතාව ඒ ඡන්දෙදි රජයට හොඳ උත්තරයක් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි කියන විරුද්ධ පක්ෂය දෙකට බෙදිලා සිටියදීත් රජය පරාජය කරලා. අලුත්ම පක්ෂයට ජනතාව ජයග්‍රහණය දුන්නා. අද පළාත් සභා ඡන්දය නෑ.   


ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දය කඩින් කඩ නොතියා එකවර තියන බවයි ආණ්ඩුව කියන්නේ?   


පිළිතුර:- මේ රජය දිගින් දිගටම කියන දෙයක් තමයි සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා කියලා. එතකොට මේ දමිළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමේ ක්‍රියා මාර්ගයක් හැටියටනේ පළාත් සභා ගෙනාවේ.   


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආපු වෙලාවේ සෝභිත හාමුදුරුවෝ පවා විශාල වශයෙන් උද්ඝෝෂණය කරලා විරෝධය පළ කළා. එහෙම පරිසරයක් තුළ තමයි පළාත් සභා පිහිටෙව්වේ. එහෙම පිහිටවපු පළාත් සභාවලට පවා අද ඡන්ද තියන්නේ නෑ. ඔය ඔබ කියපු බොරු හේතුව ඉදිරිපත් කරමින්. සංහිඳියාව ඇති කිරීමේ ක්‍රමයක් හැටියට ගෙනාව පළාත් සභා වලට ඇයි ඡන්දය නොතියන්නේ? අලුත් ක්‍රමයක් ගේන්න කලින් අඩුම තරමින් තියෙන එක ක්‍රියාත්මක කරන්න එපැයි.   


දැන් බලන්න කීයක් පළාත් සභා විසුරුවා හැරිලා තියෙනවද කියලා. එහෙම නම් මොකටද මේ පළාත් සභා. එක්සත් ජාතික පක්ෂ රජයක්මනේ මේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ. ඒකට ඡන්දය තියන්නේ නැත්නම් මොකටද?   


ප්‍රශ්නය:- ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතාන්ත්‍රික වැදගත් පියවර රැසක් තිබ්බා?   


පිළිතුර:- ඔය ඔබ කියන 19 වැනි සංශෝධනය බලන්න. එක පවුලක් ඉලක්ක කරගෙන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ මොන රටේද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත වරක් ඉල්ලන්න බැරිවෙන්න. ද්විත්ව පුරවැසිභාවය මට තිබුණ නිසා ඒකට අකුල් හෙළන්න. මේ විදියට එකම පවුලක් බලාගෙන මේවා ගේනවා. මෙන්න මේ වගේ ව්‍යාකූල තත්ත්වයකට අස්ථාවර භාවයකට රට පත් කරලා.   


ප්‍රශ්නය:- ඔය තත්ත්වයට මහින්ද කඳවුර අභියෝග කළේත් හරි විදියටද? ජවිපෙ කියන්නේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කළා කියලයි? 

 
පිළිතුර:- මේ රජයයි ජනාධිපතිවරයයි පත් වුණේ එකට. කාලයාගේ ඇවෑමෙන් මේ දෙගොල්ලෝ අතර විවිධ මත ගැටුම් ඇතිවුණ නිසාත් විවිධ සිදුවීම් වෙච්ච නිසාත් විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇතිවුණා. ඔය ඔබ කියන කාරණය ගත්තොත් ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ අගමැතිවරයව. ඒක ජනාධිපති සතු අයිතියක්. ඒ අයිතිය මත පත් කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බෑ. නමුත් බහුතරය පෙන්වීමට අසමත් වීම නිසා ජනාධිපතිවරයා තීරණය කළා ජනතාව අතරට යන්න. ජනාධිපතිවරයා හේතු ඉදිරිපත් කළානේ. ඒ හේතු හරිද වැරදිද කියලා ජනතාව තීරණය කළ යුතුයි. එතුමා කිව්වා මට මේ රජයත් එක්ක වැඩ කරන්න බෑ. මම ආවේ පොරොන්දු ප්‍රමාණයක් ජනතාවට දීලා. නමුත් මේ අගමැතිවරයා ඒ පොරොන්දුවලට පිටුපාලා යනවා. දූෂණය නතර කරනවා කිව්වට විශාල වශයෙන් දූෂණය කරනවා. ඒ නිසා මේ තීරණය ගන්නවා කියලා.   


ඒක ජනාධිපතිවරයාගේ අයිතිය. ඒ අයිතිය 19 වැනි සංශෝධනයෙන් සීමා කිරීම වැරදියි. අවසානයේදී අපි ගියේ ජනතාව ඉදිරියටයි. අද වුණත් ආණ්ඩුවට බහුතර බලයක් නෑ.  
සුමන්තිරම් මන්ත්‍රීවරයා කියල තිබුණා එක රැයකින් එයාට ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා. සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ ප්‍රදේශයකට සීමා වුණ ජනවර්ගයක් පදනම් කරගත් පක්ෂයක නියෝජිතයෙක්. දෙමළ සන්ධානයට කියලා තිබුණා අලුත් ව්‍යවස්ථාව ගෙනාවට පස්සේ අපි ටී.එන්.ඒ. එක විසුරුවනවා කියලා. ඒකෙන්ම පේනවා යම්කිසි අරමුණක් ඉටුකර ගන්න හදපු පක්ෂයක් කියලා. එහෙම පක්ෂයක් තමයි අද රජය පාලනය කරන්නේ. 

 
 එතකොට අනිත් ජනතාවට සාධාරණය ඉටු වෙනවද? මේ සුළුතර රජය පවතින්නේ දමිළ සන්ධානය මතයි. ඒකම හේතු වෙනවනේ ජනාධිපතිවරයාට ජනතාව අතරට ගිහින් ස්ථාවර රජයක් පිහිටුවන්න වරමක් ඉල්ලන්න. ඒ අයිතියත් නැති කළානේ.  


ප්‍රශ්නය:- ඔබ අලුත් ව්‍යවස්ථාවක් ගැන මතක් කළා. නමුත් තවම එහෙම එකක් කෙටුම්පත් කරලාවත් නැහැ කියලා අගමැති රනිල් කිව්වා. දේශපාලන පරඩැල් ෆෙඩරල් බිල්ලෙක් මවනවා කියලා ජවිපෙ විජිත හේරත් කිව්වා.  


පිළිතුර:- කෙටුම්පත් කරලා නැහැ කියලා කියනවනේ. ඒක තමයි ජනතාව මුළා කරනවා කියන්නේ. එතකොට 2019 සැප්තැම්බර් 21 වැනිද‌ා නිකුත් කරපු වාර්තාව මොකක්ද? මේ වාර්තා අච්චු ගහන්න එහෙම නම් මොකටද සල්ලි වියදම් කරන්නේ. ඒ වාර්තාව තමයි හදපු අවසන් කෙටුම්පත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටියෙත් මේ වාර්තාවම තමයි. මේවායින් ජනතාව මුළා කරනවනේ. මේවා කියෙව්වම මේක ෆෙඩරල් කියලා තේරෙනවා.  


ප්‍රශ්නය:- ඔබ කොහොමද කියන්නේ එන්න තියෙන ව්‍යවස්ථාව ෆෙඩරල් කියලා?  


පිළිතුර:- මම ඒක තමයි කිව්වේ. මේක කියෙව්වම ඉතාම පැහැදිලිව ෆෙඩරල් කියන වචනය අවශ්‍ය නෑ. නමුත් එයට අවශ්‍ය අංගෝපාංග තියෙනවා. ෆෙඩරල් ද මොකක්ද කියන වචනය මට වැදගත් නෑ. මගේ අවධානය යොමු වෙන්නේ ඒකේ ව්‍යූහය ගැනයි. ආණ්ඩු ක්‍රමයේ ව්‍යූහය ගැනයි. ඒ ව්‍යූහය මේ රටට ගැළපෙන ව්‍යූහයක් නොවෙයි. ඒ ව්‍යූහයේ ජනාධිපතිවරයා බල රහිත කරනවා. ජනාධිපතිවරයා ජනතාව පත්කරන කෙනෙක් නොවෙයි. ඔහුව පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. එතකොට ඔහු නාමික ජනාධිපතිවරයෙක් වෙනවා. එහෙම නම් පාර්ලිමේන්තුවට බලය එන්න ඕනා. දැනටත් පාර්ලිමේන්තු බලය එක එක ක්‍රමවලින් විශාල වශයෙන් සීමා වෙලා තියෙනවා. මේකෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය සීමා කරනවා.  


පාර්ලිමේන්තුවට ඉහළින් ගේනවා දෙවැනි සභාවක්. ඒ සභාවේ පනස්පස් දෙනාගෙන් හතළිස් පස් දෙනෙක් පත් වෙන්නේ පළාත් සභා වලින්. මේ අයුරින් පාර්ලිමේන්තුවේ බලය සීමා කරන කොට අගමැතිවරයාගේ බලය සීමා කරනකොට පළාත් සභාවල බලය තවත් වැඩි කරනවා. පළාත් සභාවලට පොලිස් බලතල දෙනවා. ආණ්ඩුකාරවරයාගේ බලය ඉවත් කරලා ආණ්ඩුකාරවරයා මහ ඇමැතිවරයා යටතට පත් කරනවා. පළාත් සභා දෙකක් හෝ තුනක් එකතු කිරීමේ බලය ඔවුන්ට දෙනවා. ඊට පස්සේ මේ ගේන ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් පළාත් සභා නවයම කැමැති වෙන්න ඕනෑ.  


 එක පළාත් සභාවක් හෝ අකමැති වුණොත් ව්‍යවස්ථාවට සංශෝධනයක්වත් ගේන්න බැහැ. එතකොට මේ ඒකාධිපති ගමනක් නොවෙයිද? මේ ව්‍යූහය තුළ බලගතු ජනාධිපතිවරයෙක් නෑ. බලගතු පාර්ලිමේන්තුවක් නෑ. පාර්ලිමේන්තුවේ බලය දෙවැනි සභාවක් මගින් පාලනය කරනවා. ව්‍යවස්ථා මණ්ඩලය විසින් පාලනය කරලා තියෙනවා. මේකෙන් මධ්‍යම රජය දුර්වල වන අතර පළාත් සභා නවයකට පොලිස් බලතල, ඉඩම් බලතල ආදී සියලුම බලතල දෙනවා.  


 එතකොට මේ ව්‍යූහය මොකක්ද? මේකට ෆෙඩරල් කියතෑකි. වෙන මොකක් හරි නමක් කියතෑකි. නමේ නොවෙයි ප්‍රශ්නය යෝජනා කරලා තියෙන ව්‍යූහයයි ප්‍රශ්නය. මේ තත්ත්වය රටට ඉතාම භයානකයි. මෙම භයානක තත්ත්වයෙන් රට මුදවාගෙන රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම මේ මොහොතේ පළමු වගකීමයි. 

 
ප්‍රශ්නය:- ඒ සටනට නායකත්වය දෙන්න ඔබ සූදානම්?  


පිළිතුර:- නියත වශයෙන්ම ඔව්. රටට හිතැති සියලු දේශමාමක ජනයා මේ සටනට එක්විය යුතුයි.  
 

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්