උතුරේ ජනයාට හමුද‌ාව කරන අතිවිශාල සේවය මෙන්න

යාපනය ආරක්ෂක සේනා ආඥ‌ාපති මේජර් ජෙනරාල් 
දර්ශන හෙට්ටිආරච්චි   

විටෙක උතුරු පළාතේ යාපනය අර්ධද්වීපය තුළ දේශපාලන වශයෙන් උණුසුම් තත්ත්වයක් පවතියි. තවත් ආයුධ සන්නද්ධ කල්ලින් නිසා ද එවැනි තත්ත්වයක් ඇතිවීම නිසා ප්‍රදේශවාසි ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති විය. වසර 30 ක යුද්ධය නිසා උතුරේ ජනතාවට විවිධ අවස්ථාවල බැටකෑමට සිදුවිය. ඔවුහු අද යුද්ධය අවසන් වී සාමයේ අරුණලු භුක්ති විඳිමින් සිය දෛනික කටයුතු කරගනිමින් සිටිති. එහෙත් දැනට උද්ගත වී ඇති නියං තත්ත්වයත් ඔවුන්ගේ ජන ජීවිතයට බරපතළ බලපෑම් එල්ල වී තිබේ.   


යාපන අර්ධද්වීපයේ විශේෂයෙන් යාපනය නගරයේ ජනතාවට ජලය ප්‍රමාණවත්ව නොලැබුණත් එදිනෙදා අවශ්‍යතා සඳහා ඔවුනට පානීය ජලය ලැබෙයි. එහෙත් නගරයෙන් අවට ප්‍රදේශවල සියලු වැව්, අමුණු, ඇළ මාර්ග වේළී සිඳී ගොස්ය. සතා සිව්පාවා තැන තැන ඇති වේළුණු තණ කොළ උලාකමින් යන දුබල දසුන් දැකිය හැකිය. පොළොව ඉරිතළා ගොස්ය.   


යාපනය නගරයේ ජනතාව එදිනෙද‌ා සිය ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තයට මූලික තැනක් දී කටයුතු කළහ. එහෙත් දැන් ඔවුනට වගා කිරීමට ජලය සොයා ගැනීමට තබා පානීය ජලය සොයා ගැනීමේ අර්බුදයකට මුහුණ පාන්නට සිදුව ඇත.   


තිස් වසරක යුද්ධයෙන් බැට කෑ එම ජනතාවට සහනයක් ලැබුණ ද අද ජීවත්වීම සඳහා යුද්ධයකට වඩා දරුණු යුද්ධයක් කිරීමට සිදුවී තිබේ. රැකියා ප්‍රශ්නය ද උග්‍ර අතට පත්වී ඇත. බොහෝ දෙනෙකු රැකියාවක් නොමැතිව එනම් කාලය ගතකරන අයුරු දැකිය හැක. පාසල් ළමුන් පාසල් ගිය ද ඔවුන්ගේ අනාගතය ගැන ද සැක සහිතය.   


උතුරේ දේශපාලනඥයන් ජනතාවට විවිධ බලාපොරොත්තු දී බලයට පැමිණියද නැවත ඔවුන් ජනතාව හමුවන්නේ මැතිවරණයක් ආසන්නයේදීය. එහෙත් උතුරේ ජනතාවට නොවිසිඳුණු ප්‍රශ්න රාශියක් තවමත් තිබේ. නිවාස ප්‍රශ්නය ද උග්‍ර වී ඇත.කෙසේ වෙතත් උතුරේ ජනතාව මේ වන විට සාමයෙන් කාලය ගත කරති.   


ඔවුන්ගේ ප්‍රශ්න විසඳ‌ා එදිනෙද‌ා ජීවිතය සාර්ථක කරගැනීමට උදව් උපකාර කිරීම සැමගේම වගකීමකි. උතුර, දකුණ කියා භේදයක් නැත. ඔවුන්ගේ ශරීරයේ දුවන්නේත් රතු පාට ලේය. දකුණේ ජනතාවගේත් එසේමය. ඒ නිසා උතුරු කොනේ ශාන්තිනීත්, දකුණේ ශාන්තන් එකම පවුලේ සාමාජිකයන්ය. දෙදෙනාගේම මව ශ්‍රී ලංකා මාතාවයි.   


කෙසේ වෙතත් විටින් විට ඔවුන්ට එල්ලවන විවිධ බලපෑම් ද නැතුවා නොවේ. ඒ යුද්ධයක් නිසා නොවේ. යුද්ධයක් නැවත ඇතිවනවාට ඔවුන් තුළ කිසිදු කැමැත්තක් නැත. ඒ ඔවුන් යුද්ධයේ වෙඩි හඬට තවමත් දක්වන බිය නිසායි. එහෙත් රැකියා නොමැති තරුණ පිරිස් විසින් අවි ආයුධ ​රැගෙන කරන සටන් හරඹ නිසා දැන් යාපනයේ ජනතාව බියෙන් පසුවෙති.   


මේ කල්ලි පිළිබඳ අපි අවස්ථා ගණනාවක කතා කළෙමු. දැනට පවතින තත්ත්වය සහ ප්‍රදේශයේ දැනට තිබෙන ආරක්ෂක තත්ත්වය පිළිබඳ අප සාකච්ඡා කළේ යාපනය ආරක්ෂක සේනා ආඥ‌ාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමඟයි.   


මේ වන විට යාපනයේ තත්ත්වය බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇතත් විටින් විට ඇතිවන සුළු සිද්ධීන් නිසා ජනතාව බියට පත්ව සිටිති. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සෑම පියවරක්ම ගෙන ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.   


• ප්‍රශ්නය:- කොහොමද මේ වන විට යාපනයේ පවතින තත්ත්වය?   


පිළිතුර:- දැනට යාපනය අර්ධද්වීපය තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ ආරක්ෂව සම්බන්ධයෙන්. සාමාන්‍ය ජනතාව එදිනෙද‌ා කටයුතුවල නිරත වනවා. ඒ එක්කම දකුණේ ජනතාව උතුරට පැමිණෙනවා යාපනයේ සංචාරය කරන්න. වන්දනාමාන කරන්න. යාපනයේ ඓතිහාසික ප්‍රදේශ නැරඹීමට. විශේෂයෙන් නාගදීපය වගේ ස්ථාන වන්දනාමාන කරන්න විශාල පිරිසක් එනවා. ඔවුන් උතුරේ ජනතාවත් සමඟ බොහොම සහයෝගයෙන් තමයි ඉන්නේ.   


ඒත් දැන් ක්‍රියාත්මක ‘ආවා’ කියන සන්නද්ධ කල්ලියක් නිසා උතුරේ ජනතාව අතර සුළු නොසන්සුන්තාවක් තිබෙනවා. නමුත් ඔය දකුණේ කියන තරම් භීෂණයක් හෝ අස්ථාවර භාවයක් යාපනය අර්ධද්වීපය තුළ නැහැ. අපට ලැබිලා තිබෙන තොරතුරුවලට අනුව ඒ තරුණයන් අවුරුදු 20, 21, 24 වගේ වයසේ පසුවන පිරිසක්. ඔවුන් සමහර තැන්වල සුළු සුළු ප්‍රශ්න ඇති කරලා තිබෙනවා.   


අපි විශේෂයෙන් සොයා බැලුවා ඔවුන් පිළිබඳව. ඔවුන්ගේ ඥ‌ාතීන් වැඩි පිරිසක් විදේශ රටවල පදිංචි වෙලා සිටින්නේ. ඔවුන් ​ෙම් තරුණයන්ට මිල මුදල් එවනවා. ඒ එක්කම මොවුන් මත්ද්‍රව්‍ය වලටයි, මත්පැන්වලටයි ඇබ්බැහි වෙලා සිටිනවා. අනික් කාරණය තමයි ඔවුන් නිතරම දකුණු ඉන්දියානු චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූවන්. ඒ අය ඒවා බලලා අර තරුණ මනසට ඒවා කාවැදිලා. ඒවා අත්හදා බලන පිරිසක් තමයි ඔය කල්ලි හද‌ාගෙන විවිධ සිද්ධීන් ඇති කරන්නේ.   


තවත් පිරිසක් ඔවුන් යොද‌ා ගන්නවා තමුන්ගේ පෞද්ගලික අමනාපකම්වලට අවශ්‍ය අයගෙන් පළිගන්න. උද‌‌ාහරණයක් ගතහොත් කවුරුන් හෝ මිල මුදල් ලබාගෙන ඒවා නොදුණහොත් ඒ කල්ලි යොද‌ා ගෙන ඒ මුදල් නැවත අයකර ගැනීමට උත්සාහ ගන්නවා. ඒ කොන්ත්‍රාත් ක්‍රමයට වගේ. මේ ‘ආවා’ කට්ටියට අමතරව තවත් තරුණ කල්ලියක් සිටිනවා. ‘ආවා’ කල්ලියට විරුද්ධව. ඔවුන් දෙපිරිස අතරේ විටින් විට ගැටුම් ඇතිවුණා පහුගිය දවස්වල. දැනට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. දැනට ප්‍රදේශයේ තිබෙන සාමකාමී වාතාවරණයට සුළු බලපෑමක් ඇතිවෙලා තිබෙනවා.   


ජනතාව තුළ බියක් තිබුණා ඔවුන් කඩු, පිහි වගේ ආයුධ රැගෙන ගොස් කපා කොටා තුවාල සිදුකිරීම් කරන නිසා. එහෙම නැතිනම් නිවාසවලට හොරෙන් ඇතුළු වෙලා සොරකම් කරනවා. භාණ්ඩ කොල්ල කනවා වගේ දේවල් නිසා.   


• ප්‍රශ්නය:- යාපනයේ ආරක්ෂක තත්ත්වය කොහොමද?   


පිළිතුර:- යාපනයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම හොඳින් තිබෙනවා. අර මම කලින් සඳහන් කළ ‘ආවා’ කල්ලියයි. ඊට විරුද්ධව ක්‍රියා කරන අනිත් කල්ලියයි අතර විටින් විට ගැටුම් ඇතිවෙනවා.   


 දකුණේ වගේම සොරකම්, කොල්ලකෑම් වගේ දේවල් සාමාන්‍ය වශයෙන් තිබෙනවා හරියට විශ්ලේෂණය කළහොත් දකුණේ වෙන අපරාධවලට වඩා බොහොම අඩු ප්‍රමාණයක් උතුරේ සිද්ධ වෙන්නේ. ඒ වගේ සුළු සිද්ධියක් දෙකක් වුණාම ඒවා දකුණේ මාධ්‍ය විශාල ලෙස හුවා දක්වනවා. වෙනත් ක්‍රම ඔස්සේ. එසේ නොමැතිව මෙහි ආරක්ෂක තත්ත්වයේ කිසිම ප්‍රශ්නයක් නැහැ.   


යුද්ධය අවසන් වූ දිනයේ පටන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් යාපනයෙන් වාර්තා වෙලා නැහැ. යාපනයේ ආරක්ෂාවට යුදහමුද‌ාවට අමතරව, නාවික, ගුවන්, පොලිස් වගේම පොලිස් විශේෂ බළකාය සිටිනවා. ඒක නිසා කිසිදු ආරක්ෂක හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් හෝ ගැටලුවක් නැහැ.   


ඇතැම් අය නම් වැරදි මතයක් ගොඩ නගන්න හදනවා. ඉස්සරත් මෙහෙම සුළු සුළු කණ්ඩායම් තුළින් තමයි පසුව එල්ටීටීඊ වගේ දැවැන්ත සංවිධානයක් බිහිවුණේ කියලා. නමුත් මෙයට වසර 20-30 කට කලින් තිබුණ තත්ත්වයක් නොවෙයි දැන් තිබෙන්නේ.   


යුදහමුද‌ාවේ ආරක්ෂක සේනා මූලස්ථානයක් සමඟ සේනාංක 3 ක් දැනට ස්ථාන ගතවෙලා තිබෙනවා. මුළු යාපනයම ආරවණය වන පරිදි. ඊට අමතරව බළ සේනා 10 ක් තිබෙනවා. බළ ඇණි 35 ක් පමණ තිබෙනවා. මුළු යාපනයම ආවරණය වන පරිදි. අපි හමුද‌ාව ස්ථාන ගත කර තිබෙනවා. මෙයට වසර ගණනාවකට තිබූ තත්ත්වය නොවෙයි අද යාපනයේ තිබෙන්නේ.   


අද ලොකු වෙනසක් තිබෙනවා එද‌ා යාපනයේ තත්ත්වය සහ අද තත්ත්වය පිළිබඳ සැලකීමේ දී. ඒ ගැන නොදන්න පිරිසක් තමයි මේ වගේ කතා පතුරවන්නේ. අපි ඕනෑම දෙයකට මුහුණදීම සඳහා හමුද‌ා ස්ථාන ගත කරලා තිබෙන්නේ.   


• ප්‍රශ්නය:- මෙතරම් ආරක්ෂාවක් තිබිය දී කොහොම ද මෙවැනි අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සිදුවෙන්නේ?   


පිළිතුර:- දැනට පවතින නීති රීති අනුව හදිසි නීතිය ඉවත් කරලා තිබෙන්නේ. යුද හමුද‌ාවට පවතින නීති රීති අනුව පොලිස් බලතල ලබා දීලා නැහැ. ඒක නිසා යුද හමුදාව සිවිල් ජනතාවගේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් ඒ දේවල් කරන්නේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායයි. ඔය කල්ලි අතර ඇතිවන ගැටුම්, ගෙවල් කොල්ල කෑම් වගේ දේවල් පිළිබඳ සොයා බැලීමට අපිට හැකියාවක් නැහැ පවතින නීතිය යටතේ.   


මම හිතන්නේ දකුණෙත් එහෙමයි. පොලිසිය තමයි ඒ දේවල් වලට මැදිහත් වෙලා ඊට විසඳුම් ලබා දෙන්නේ. හමුද‌ාව මැදිහත් වීමක් නැහැ මම දන්න විදිහට.   


උතුරෙත් තිබෙන්නේ එම නීතියම තමයි. ඒත් ඉදිරියට මේ තත්ත්වය මැඩලන්න අපහසු නම් අපේ සහාය, යුදහමුද‌ාවේ සහාය ලබාදෙන්න අප සූද‌ානම්. ඕනෑ අවස්ථාවක. ඒකට නීති රීති සහ උපදෙස් අපට ලබාදෙන්න ඕනෑ. එතකොට පුළුවන් මේ තත්ත්වය වෙනස් කරලා යුද හමුද‌ාවට පොලිසියට උදව් උපකාර කරන්න.   


ඒත් දැනට යාපනයේ තිබෙන තත්ත්වය අනුව පොලිසිය ඒ කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒත් පවතින නීති රීතිවල යම්කිසි අඩුපාඩුකම් තිබෙනවා කියලා පෙනී යනවා. මොකද අත්අඩංගුවට ගන්න ඇතැම් අය අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළාට පසු තවත් සතියකින් දෙකකින් පමණ නැවත ඉන් නිදහස් වෙනවා. ඒ තත්ත්වය අනුව ඔවුන් නැවතත් එවැනි ක්‍රියාවල නිරත වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි දැනට තිබෙන්නේ. නැතුව පොදුවේ ගත්තහම යාපනයේ ආරක්ෂාවට කිසිම තර්ජනයක් හෝ කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ.   


මම කියන්නේ දකුණේ ජනතාවට යාපනයේ සංචාරය කරලා මෙහි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා. සාමාන්‍ය ජනතාව එක්ක කතා බහ කරලා බලන්න. කුමක් හෝ වෙනසක් දකින්නට තිබෙනවා ද කියලා කොළඹට වැඩිය. මම හිතනවා දකුණු පළාතට වඩා යාපනය ප්‍රදේශය සුරක්ෂිතයි කියලා.   


සමහර අය සිටිනවා පොඩි පොඩි සිද්ධීන් මහ ලොකු දේවල් ලෙස හුවා දක්වන අය.ඒක හුඟාක්ම යුදහමුද‌ාව අපහසුතාවට පත් කරන්න, රජය අපහසුතාවට පත්කරන්න. යම් කිසි පිරිසක් තමයි මෙහෙ තත්ත්වය විකෘත කරලා පෙන්වන්නේ.   

 


 

දැනට යාපනයේ තිබෙන තත්ත්වය අනුව පොලිසිය ඒ කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒත් පවතින නීති රීතිවල යම්කිසි අඩුපාඩුකම් තිබෙනවා කියලා පෙනී යනවා. මොකද අත්අඩංගුවට ගන්න ඇතැම් අය අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළාට පසු තවත් සතියකින් දෙකකින් පමණ නැවත ඉන් නිදහස් වෙනවා. ඒ තත්ත්වය අනුව ඔවුන් නැවතත් එවැනි ක්‍රියාවල නිරත වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි දැනට තිබෙන්නේ. නැතුව පොදුවේ ගත්තහම යාපනයේ ආරක්ෂාවට කිසිම තර්ජනයක් හෝ කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ.

 



• ප්‍රශ්නය:- යුදහමුද‌ා පාලන කාලය තුළත් ඔය වගේ කල්ලි තිබුණා නේද? එතකොටත් හමුද‌ා පාලනයක්නෙ තිබුණේ. ඇයි ඒ කාලයේ පාලනය කරන්න බැරි වුණේ?   


පිළිතුර:- යුද හමුද‌ාව පාලනය කරන කාලයේ ඔය වගේ කල්ලි තිබුණේ නැහැ. යුද්ධයෙන් පස්සේ 2009 න් පස්සේ වගේ තමයි ඔය ‘ආවා’ කියන කල්ලි බිහිවුණේ. යුද හමුද‌ාව සිවිල් ජනතාව සමඟ සබඳතා නැති වුණාට පස්සේ හදිසි නීතිය ඉවත් කරලා තිබෙන්නේ. අපිට පොලිස් බලතල කිසිවක් දීලා නැහැ. පවතින නීති රීති යටතේ ඒක නිසා අපි සිවිල් ජනතාව සමඟ තිබෙන සබඳතා දැන් අඩුයි. ඒ සියලු දේවල් සිදුකරන්නේ පොලිසිය තමයි.   


සමහර තැන්වල සිටින පොලිස් නිලධාරින්ගේ අඩුවක් දකිනවා. ප්‍රමාණවත් පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් නොමැතිකම විශාල අඩුපාඩුවක්. ඉන්න පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවේ යම් කිසි අඩුපාඩුවක් තිබෙනවා.

සංකේතාත්මකව පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාවේ වැඩි කිරීමක් කළහොත් මම හිතනවා මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කරන්න පුළුවන්. ඒ අඩුපාඩුව තමයි මම දකින්නේ.   


• ප්‍රශ්නය:- දකුණේ රාවයක් තිබෙනවා හමුද‌ාව කඳවුරුවලට පමණක් සීමා කරලා තිබෙනවා කියලා.   


පිළිතුර:- දැනට පවතින නීතිය හමුවේ යුදහමුද‌ාව මැදිහත් වෙලා කළ යුතු දෙයක් නැහැ. ඒ එක්කම පවතීන නීතිය අනුවත් සිවිල් ජනතාව සම්බන්ධ කළ යුතු කටයුතු වලටත් අපට මැදිහත් වෙන්න බැහැ. නමුත් පොලිසියට හදිසි අවස්ථාවක් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් යුදහමුද‌ාව සූද‌ානමින් ඉන්නවා ඕනෑම අවස්ථාවක ඔවුනට සහාය ලබා දෙන්න.   


• ප්‍රශ්නය:- උතුරේ දේශපාලනඥයින් කියනවා යුද්ධය නිමා වෙලත් මෙතරම් හමුද‌ාවක් යාපනයේ රැඳී සිටීම අනවශ්‍යයි කියලා. ඒ නිසා කඳවුරු ඉවත් කළ යුතුයි කියලා. හමුද‌ා කඳවුරු ඉවත් කරලා තිබෙනවාද?   


පිළිතුර:- හමුද‌ාව කිසි විටකත් ඉවත් කරලා නැහැ. රටේ ආරක්ෂාවට, නැවත වරක් ත්‍රස්තවාදය හිස ඔසවන්නට ඉඩ නොදෙන්න හමුද‌ාව යාපනයේ ස්ථාන ගත කරලා තිබෙන්නේ. යාපනයේ පමණක් නොවෙයි සමස්ත රටේම ආරක්ෂක හමුද‌ා ස්ථානගත කරලා තිබෙන්නේ.   


ඒ නිසා හමුද‌ාව දැනට කඳවුරුවලින් ඉවත් වෙලා නැහැ. හමුද‌ාව දැනට ස්ථානගත වෙලා තිබෙන තැන්වලම ස්ථාන ගතවෙලා සිටිනවා.   


• ප්‍රශ්නය:- යාපනයේ ආරක්ෂක හමුද‌ාව සහ සාමාන්‍ය ජනතාව අතර තිබෙන සබඳතාව කොයි වගේද?   


පිළිතුර:- ඉතාමත් හොඳ සබඳතාවක් තිබෙනවා. යුද හමුද‌ාව සාමාන්‍ය ජනතාව සමඟ සම්බන්ධ වෙලා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අඩු ආද‌ායම් ලාභී ජනතාවගේ ආර්ථික, සාමාජීය තත්ත්වය වගේම අධ්‍යාපන කටයුතු නංවන්න යුදහමුද‌ාව විශේෂ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වෙනවා.   


දැන් එක ව්‍යාපෘතියක් යුදහමුද‌ාව ස්ථාන ගතවෙලා සිටින සියලු හමුද‌ා කඳවුරුවල අපි ආරම්භ කළා. ඒක පොල් වගා කිරීමේ ව්‍යාපෘතියක්. අපේ ඉලක්කය පොල් පැළ ලක්ෂයක් සිටවන්න. අපි දැන් පොල් පැළ 25,000 ක් පමණ සිටුවලා තිබෙනවා. ඒ පොල් ව්‍යාපෘතියේම තවත් අංශයක් ලෙස අඩු ආද‌ායම් ලාභී පවුල් තෝරාගෙන ඒ අයට පොල් පැළ 5 ක් ලබා දෙනවා. ඔවුන්ගේ ඉඩමේ වවාගන්න. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම වගේම වැඩිපුර පොල් අලෙවි කරලා වැඩි ආද‌ායමක් ලබා දෙන්න.   


ඒ වැඩසටහන යටතේ අඩුආද‌ායම් ලාභී සිවිල් ජනතාවට පොල් පැළ 10,000 ක් පමණ බෙද‌ා දීලා තිබෙනවා. එය දිගටම පවත්වා ගෙන යනවා. මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් එක්ක සීමා කරලා තිබෙනවා.   
ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වෙලා නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපට අවශ්‍ය පැළ ලබා දෙනවා. යුදහමුද‌ා ස්ථාන ගතවී සිටින කඳවුරුවලත්, රජයේ ඉඩම්වලත් වන වගා කිරීමේ කටයුතු කරගෙන යනවා.   


තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා තල් සංවර්ධන මණ්ඩලයත් සමග එකතු වෙලා තල්ගස් සිටුවීමේ ව්‍යාපෘතියක්. තල් ඇට 15000 පමණ මේ වන විට රෝපණය කරලා තිබෙනවා. ඊට අමතරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වෙලා යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙළක් පවත්වාගෙන යනවා.   


මීට අමතරව පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීම, ඒ වගේම ඔවුන් පාසල් යන ප්‍රධාන වාහනය පාපැදියනේ. අපි ඔවුනට නොමිලයේ පාපැදි ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව වෛද්‍ය සායන, අක්ෂිද‌ාන සායන වගේ දේවල් පවත්වාගෙන ගොස් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමේ ව්‍යාපෘතියක් ද පවත්වා ගෙන යනවා.   


යාපන ආරක්ෂක සේනා මූලස්ථානය මගින් අඩු ආද‌ායම්ලාභී පවුල්වල දරුවන්​ෙග් දත්ත බැංකුවක් නඩත්තු කරගෙන යනවා. අප ඒ සියලු ව්‍යාපෘති කරන්නේ දකුණේ සිටින පරිත්‍යාගශීලීන්ගේ වගේම අපගේ හිතවත් පිරිසගෙන් ලැබෙන ආද‌ායම් මගින්.   


මම යළිත් කියන්නේ දකුණේ ජනතාවට යාපනයේ සංචාරය කරන්න. ඇවිත් මෙහේ තිබෙන සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා.

 

 

 

සාකච්ඡා කළේ - 
නිශාන්ත කුමාර බණ්ඩාර