වික්ටෝරියා වේල්ලේ ස්වයංක්‍රීයව විවෘත ​ෙවන වාන් දොරටුවල බැඳ තිබූ බඹර වද එම වේල්ල භාරව කටයුතු කරන ඉංජිනේරුවන් හට සහ කාර්ය මණ්ඩලයට නඩත්තු කටයුතු සමග වේල්ල පිළිබඳව දත්ත ලබා ගැනීමට බාධාවක්ව තිබූ අතර එම බඹර වද කපා ඉවත් කිරීම පසුගිය 30 දින සිදුකරන ලදී.   


වික්ටෝරියා කාර්ය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත අහලපිටිය මහතාගේ ඉල්ලීම මත එහි සිවිල් ඉංජිනේරු උදිත ඒකනායක මහතාගේ ඉල්ලීමෙන් කාර්ය ඉංජිනේරු කේ.ඒ. බුද්ධි සෝම මහතාගේ සහයෝගයෙන් ඔගස්ටා වත්ත බිඟු සම්පත සුරැකීමේ සංවිධානය මඟින් බඹරුන් නොමරා බඹර වද කපා ඉවත් කිරීම සිදුකෙරිණ.   


වික්ටෝරියා වේල්ල සඳහා වන ව්‍යාපෘතියක් වශයෙන් වේලි ආරක්ෂණ හා ජාල සම්පත් කළමනාකාර ව්‍යාපෘතියක් වශයෙන් වේල්ලේ ජලය නොමැති මුහුණත පැත්තේ (‘‘පරාවර්තක’’ පිස්න Resem) සවිකර එයින් වේල්ල ඉදිරියටත් පසුපසටත් ගමන් කරන දත්ත ලබා ගනී. වික්ටෝරියා වේල්ල සජීවි වේල්ලක් බවත් එහි ජල ධාරිතාව අනුව ඉහළ පහළ ගමන් කරන අතර එහි ක්‍රියාකාරීත්වය මෙමඟින් නිරීක්ෂණය කරනු ලැබූ බව ප්‍රකාශ වෙයි.   
මෙලෙස මෙම පරාවර්තක පිස්න සවි කිරීමට එහි කාර්යයන් කිරීම සඳහා ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට වේල්ල තුළ ගමන් කිරීමට බාධාවක්ව ඇත්තේ ස්වයංක්‍රීයව විවෘත ​ෙවන වාන් දොරටු තුළ බඹර වද බැඳ තිබීම බව කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කරයි.   


වික්​ෙටා්රියා වේල්ල 1985 අප්‍රේල් මාසයේ 12 දින එංගලන්තයේ අගමැතිනිය වූ මාග්‍රට් තැචර් මැතිනිය විසින් විවෘත කරන ලද්දකි. දිග මීටර් 520 සහ උස මීටර් 112කි. මෙම ද්විත්ව ආරුක්කු වේල්ල ස්වයංක්‍රීයව පාලනය ​ෙවන වාන් දොරටු අටකින් සමන්විත වෙයි. වසර දෙකකට වරක් මෙහි අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.  


බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා ප්‍රකාශ කරන්නේ බඹර වද ඉවත් කිරීමේදී පරිසරයේ ඇති ගස් කොළන්වලටත් ඉහළින් ඇති වේල්ලේ ආලෝකය මනාව වැටීමත් සුළං ආවරණයත් බඹරුන්ට වාසස්ථාන හදාගැනීමට හිතකර බැවින් ඔවුන් මෙලෙස බඹර කූඩු සාදා ගන්නා බවයි. බඹරුන් පුළුස්සා විනාශ කර දැමීම නොකළ යුතු බවත් බඹරුන්, මීමැස්සන් පරිසරයෙන් ඉවත් කළ හොත් මිනිසාගේ පැවැත්ම රඳා නොපවතින බවත් මිනිසාගේත් සත්ත්වයින්ගේත් ආහාර සඳහා පරිසරයෙන් ලැබෙන ධාන්‍ය, පලතුරු හට ගැනීමේ පරාග පෝෂණය සිදු​ෙවන්නේ එම බිඟුන්ගෙන් බැවින් ඔවුන් විනාශ වීමෙන් මිනිසාට ජීවත් විය හැක්කේ වසර 4ක් පමණ කලක් බව විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇති බවත් බිඟුන් අපගේ සම්පතක් බවත් ය.  


බඹර කපා ඉවත් කිරීමේ මෙහෙයුම 30 දින උදෑසන ආරම්භ කෙරිණ. වික්ටෝරියා වේල්ල අවට ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාව බාධාවක්ව පැවතියත් බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය යුහුසුලුව කටයුතු කිරීමට සූදානම් විය. ආගන්තුක බඹරයක් බැම්ම අවට ඇවිස්සී සැරිසැරීම උදෑසන කාලයේ බඹර කැපීමට බාධාවක් විය. එහෙත් සවස් කාලයේ ආගන්තුක බඹරුන් නික්ම ගිය පසු බඹර කැපීම ආරම්භ විය.  


වික්ටෝරියා වේල්ලේ දොඹකරය පැමිණ, එහි කාර්මික ඉංජිනේරු මහතාගේ මෙහෙයවීමෙන් දොඹකර අාධාරයෙන් පහළට බසින යකඩ පෙට්ටිය එල්ලා ඇති වානේ රැහැන් පට සියල්ල පරීක්ෂා කර වඩාත් ආරක්ෂාව සඳහා අමතර කඹ යොදා බඹර කැපීමේ කාර්ය සඳහා එම පෙට්ටියේ 4 දෙනෙකුට එහි යා හැකි බව දැනුම් දෙන ලදී.  


බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන තාක්ෂණ ශිල්පී මහින්ද විජේසිංහ මහතාගේ මෙහෙයුමෙන් බඹර කැපීමට දක්ෂ නුවන් කීර්තිරත්න, සුරංග සම්පත්, ඉන්දික ජයරත්න, නුවන් සඳරුවන් ජයවීර, මේධා සමාජි විජේසිංහ, එස්.එම්. සමාධි සසනිකා ජයරත්න යන සාමාජික සාමාජිකාවන් වාන් දොරටු හතර තුළ තිබූ බඹර කපා ඉවත් කිරීමේ මෙහෙයුමට පෙරමුණ ගන්නා ලදී.  

 


උස මීටර් 112ක් වූ වේල්ල මත ඇති දොඹකරයේ යකඩ පෙට්ටියේ නැග ගත් මේධා සමාජි විජේසිංහ (ඇය උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව හදාරන්නියකි) පළමුවෙන්ම යකඩ පෙට්ටියට නැගගත් පසු අන් අයත් සමග සමාධි සසනිකා ජයරත්න සිසුවිය ද යකඩ පෙට්ටියට නැග ගන්නා ලදී. ඇය ගැටඹේ මහානාම විද්‍යාලයේ උසස් පෙළ හදාරන්නීය. දෙදෙනාගේ සහයෝගයෙන් පළමු බඹරය කපා ඉවත් කිරීම සිදුකරන ලදී. සෙසු සාමාජිකයින් ඔවුන්ගේ ආරක්ෂක රැහැන් පිළිබඳව සෙවිල්ලෙන් සිටිමින් කටයුතු කළ අතර සෙසු බඹර ද සියලුම සාමාජිකයින්ගේ මෙහෙයුමෙන් කපා ඉවත් කිරීම සිදු කරන ලද්දේ එකදු බඹරකු හෝ නොමරාය. බඹරය කපා ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේ රසායනික ද්‍රව්‍යයක් තැවරීමෙන් එම ස්ථානයට යළි බඹරු නොපැමිණෙයි. කපා ඉවත් කරන බඹරුන් පරිසරයට පියාඹා ගොස් රූස්ස ගසක වාසස්ථානය කරගන්න බව ඔවුහු පෙන්වා දෙති.  


බඹරුන් පිළිබඳව මේධා සමාජි සහ සමාධි සසනිකා ජයරත්න සිසුවියන් කියා සිටියේ තමන් බඹරුන්ට මීමැස්සන්ට බය නොමැති බවත් තම මාමා වූ මහින්ද විජේසිංහ මහතා මීමැසි ජනපද පිළිබඳ පවත්වන වැඩසටහන්වලට සහභාගි වීමෙන් වසර ගානක සිට පුහුණුව ලබා ඇති හෙයින් ඔවුන්ගේ ජීවන චක්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති බවත් මීමැස්සන් බඹරුන් මිනිසාගේ මිතුරන් බවත් ඔවුන් රැකිය යුතු බවත්, තමන් විනෝදාංශයට කරන මෙම ක්‍රියාව සමස්ත මිනිසාටම සේවයක් ලෙස සලකන බවයි.  


අධ්‍යාපන කටයුතු ද හොඳින් කරගෙන යමින් මෙලෙස පරිසරයට සමාජයට යුතුකම් කිරීම ඔවුන්ගේ එකම අභිලාෂය බව ප්‍රකාශ කරන ලදී.

 

 

 

 

 

 

 


පේරාදෙණිය
සෙනරත් බණ්ඩාර