යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු, හවුල්කාර පක්ෂයක නායකයකු සහ ඊටත් පෙර පැවැති ආණ්ඩුවල ද විවිධ ඇමැති ධුර හෙබවූ රිෂාඩ් බදුයුදීන් මහතා මේ සටහන තබන විට පොලීසිය සමඟ හැංගිමුත්තං කෙළියක යෙදී සිටියේය. උසාවියෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයාගෙන් ලැබුණු විධානයකට අනුව උසාවි ගිය පොලීසියේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි. රිෂාඩ් බදුයුදීන් හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවද වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද උසාවිය මගින් පෙන්වා දීමෙන් අනතුරුව මේ ‘හැංගිමුත්තම’ ආරම්භ විය. එය ඇතැම්විට දැන් අවසන් වී හිටපු ඇමැතිවරයා රිමාන්ඩ් භාරයේ හෝ ඇප පිට මුදාහරිනු ලැබ මාධ්‍යයට ‘වොයිස් කට්’ දෙමින් සිටිනවාද විය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ උසාවිය සඳහන් කරන මේ ‘සංඥය’ වරද කුමක්දැයි හෙළිකර ගැනීමය.

රිෂාඩ් බදුයුදීන් මහතාට එල්ල වී ඇති චෝදනාවට අදාළ වී ඇත්තේ රජයේ මුදල් රුපියල් අනූපන් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමය.

මේ මුදල ඔහු වැය කර ඇති බව කියන්නේ ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවතැන්වූවන් ලංගම බස් රථවලින් මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාම සඳහාය. අදාළ මුදල අවතැන්වූවන් නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘතියකින් ගෙවා දමා ඇති බවත් එම ක්‍රියාව වැරදි බව අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් දැනුම් දෙනු ලැබී දින 06කට පසුව අදාළ සැකකරුවන් විසින් එම මුදල් පියවා ඇති බවත් සඳහන්ය. කෙටි කලකට හෝ රජයේ මුදල් සාවද්‍ය අයුරින් පරිහරණය කිරීම නීතියට අනුව වැරැද්දක් බවද උසාවියේ දී සඳහන් වී තිබිණ. වැරැද්දට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැති බවද පෙන්වා දී තිබිණි.

උසාවියේ කටයුතුවලින් පසුව දැන් සිදුවෙමින් පවතින්නේ රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මතු කළ යුතු වඩාත්ම වැදගත් කරුණු වන්නේ බලවත් දේශපාලනඥයන් විසින් රජයේ දේපළ අනිසි ලෙස පරිහරණය කරමින් සිදු කරන වැරැද්දේ බරපතළකමයි. මෙවැනි චෝදනාවක් ලද පළමු දේශපාලනඥයා රිෂාඩ් බදුයුදීන් මහතා නොවේ. ඔහු අන්තිමයා නොවන බවද ඉර හඳ මෙන් විශ්වාස ය. මෙරට දේශපාලනය තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සම්බන්ධව පවතින ගඳ ගසන අතීතය අපට ඒ බව හොඳින් ම පෙන්වා දී තිබේ. අඩුම තරමින් එවැනි එක් දේශපාලනඥයකු හෝ නීතිය ඉදිරියට පැමිණවීම මින් ඉදිරියට හෝ එවැනි බරපතළ වැරදි අධෛර්යමත් කිරීමට රුකුලක් වනු ඇතැයි අපි සිතමු.

බදුයුදීන් මහතා විසින් කර ඇති වැරැද්ද වරෙන්තුවකින් තොරව ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් බරපතළ නම් එවැනි වැරදි සිදුවීම වැළැක්වීමට දැඩි පියවර ගත යුතුව තිබෙන බව පැහැදිලිය. මේ බව වඩාත් හොඳින් දේශපාලන පක්ෂ නායකයන් විසින් සිතට ගත යුතු වෙයි. රටක නීතිරීති පනවන්නේ වැරදි අවම කර ගැනීමට ය. එහෙත් එම නීති සම්පාදනයට දායක වන මැති ඇමැතිවරුන්ම රාජ්‍ය දේපළ අනිසි භාවිතය වැනි වැරදිවලට හවුල්වන්නේ නම් එවැනි මැති ඇමැතින් මැති සබයට යැවීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළ ඡන්දදායකයාට තමන් මහත් රැවටීමකට ලක් වී සිටින බවට හැඟී යනු ඇත. එවැනි හැඟීම් ඡන්දදායකයන් තුළ ඇතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට කිසිසේත් හේතුවන්නේ නැත.

රාජ්‍ය දේපළ අවභාවිත කරන දේශපාලනඥයන් එසේ කරන්නේ තමන්ගේ අතේ බලය තිබෙන විට ය. එය උසාවි ගෙන ගොස් හිරේ දැමීමට තරම් බරපතළ වැරැද්දක් හැටියට දකින්නේ ඔවුන් විපක්ෂයේ සිටින විට පමණි. විපක්ෂය ආණ්ඩු පක්ෂය වී ආණ්ඩුව විපක්ෂයට ගිය විට මෙය උඩු යටිකුරු වෙයි. මේ ක්‍රමය වෙනස් විය යුතුය. නීති සම්පාදකයන් විසින්ම නීති කඩකරන තත්ත්වයෙන් අපේ රට මිදිය යුතු ය. රජයේ නිලධාරීන් විසින් රාජ්‍ය දේපළ අවභාවිත කරන විට එය වැරැද්දක් හැටියට පෙන්වා දී ඔවුන් හිරේ විලංගුවේ දැමීමට කටයුතු කරන මැති ඇමැතින් තමන්ට අවශ්‍ය වූ විට එම වැරැද්දම හරි වැඩක් හැටියට පෙන්වා දීමට යාම රටම හිනස්සන විහිළුවක් වනු ඇත. රුපියල් කෝටියකට ආසන්න රජයේ මුදල් තමන්ගේ දේශපාලන වාසියට යොදාගැනීම වැරැද්දක් හැටියට නොදකින දේශපාලනඥයකුට ඇමැති ධුරයක් දැරීමට සුදුසුකමක් තිබිය හැක්කේ කෙසේද? ඕනෑම වැරැද්දක් කොට තමන්ට ගැලවී යා හැකි ‘වරමක්’ තමන්ට ඇතැයි ඔවුන් සිතනවාද? මේ තත්ත්වය තවදුරටත් රටේ පැවතිය යුතු නැත.

අපේ රට දේශපාලන විහිළුකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් මුදාගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුව අතේ ය. අවාසනාවකට මෙන් අපේ රටේ වරින්වර බලයට පත්වන ආණ්ඩු හැමෙකකම පාහේ විහිළුකාරයෝත් සොරුත් සිටියහ. ඔවුන්ගේ විහිළු රටවැසියන්ට විහිළු නොවේ. ඔවුන් සිදු කරන සොරකම්වලින් අහිමිවන්නේ රටේ ජනතාවගේ බදු මුදල් ය. රජ කාලයේ නම් භාණ්ඩාගාරය සොරකම් කරන විට එහි පාඩුව දැනෙන්නේ රජුට පමණි. එහෙත් වර්තමානයේ භාණ්ඩාගාරයේ තිබෙන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් පමණි. ඊට වැඩියෙන් තිබෙනවා නම් ඒ විදෙස් රටවලින් ලැබුණු ආධාර සහ අපනයනයෙන් ලද ආදායම පමණි. මහජනතාව සතු එම මුදල්වලින් මැති ඇමැතින්ට දේශපාලන සූදු කෙළීමට ඉඩ හැරිය යුතු නැත. එම වැරැද්ද නිවැරදි කළ හැක්කේ රජයේ දේපළ අනිසි භාවිතය කිරීමේ වරදට හිටපු ‘මැති ඇමැතිලා’ පමණක් නොව ඉන්නා මැති ඇමැතිලා ද වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන දවසට පමණක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)