මෙරට දේශපාලනයේ කිරුළු නොපළන් රජකු වශයෙන් සැලකුණු හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 31 වැනිදා දැයෙන් නික්ම ගියේය. රාජ්‍ය ගෞරව සහිත අභිමානවත් අවමංගල්‍ය උත්සවයක් තොණ්ඩමන් මහතා වෙනුවෙන් සංවිධානය කෙරිණි. ඔහුගේ මරණය මෙරට දේශපාලනය තුළ රික්තකයක් නිර්මාණය කර තිබෙන බවද නොරහසකි. ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියැවී ඇත. අපගේ මේ සටහන ඒ කරුණු ගැන විමසීමක් නොවේ.

එහෙත් එකී මරණය සම්බන්ධ කතාබහේ යටිපෙළේ තදින්ම ලියැවී ඇති රට තුළ කතාබහට ලක්වී ඇති කරුණක් සම්බන්ධයෙනි.

තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ සැළවුණු මොහොතේ පටන් ඒ පිළිබඳව විමසිලිමත් නොවූ කිසිදු දේශපාලනඥයෙක් මෙරට සිටියේ නැත. එසේම ඒ සියලු‍ දෙනාටම ඔහුගේ දේහය දැකබලාගෙන පවුලේ අයට ශෝකය ප්‍රකාශ කිරීමටත් අවසන් කටයුතුවලට සහභාගීවීමටත් දැඩි ලෙස අවශ්‍යව තිබිණි. ඔහුට සහාය දැක්වූ සියලු‍ මහජනතාවගේත් අදහස එයම විය. එහෙත් අවාසනාවකට මෙන් මේ සියලු‍ දෙනාටම පාහේ අමතක වූ නැතහොත් ඔවුන් බොහෝදෙනකු අමතක කර දැමූ කරුණක් තිබිණි. එනම් රටේ අවමඟුල් උත්සවයක් පැවැත්විය යුත්තේ කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා පැනවුණු නීතිරීති යටතේ බවය. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත්, සෑමවිටම මුඛ ආවරණ පැළඳීමත් එහි අත්‍යවශ්‍යම කොන්දේසි දෙකක් බවත් සැලකෙයි. එම කොන්දේසි ද ඇතුළත් මරණ ගෙදරක දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන ද සෞඛ්‍ය බලධාරීන් භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත්කර තිබේ. මේ සියලු‍ කොන්දේසි ක්‍රියාත්මක කර ඇත්තේ රටේම ජනතාවගේ ආරක්ෂාව සඳහාය.

තත්ත්වය එසේ වුවද තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන නායකයන් ඇතුළු සුවිශේෂී අමුත්තන් පැමිණි අවස්ථාවේ සිට අදාළ සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති උල්ලංඝනය වන ආකාරය දැකගන්නට ලැබිණි. මේ අවස්ථා සියල්ලට මාධ්‍යවලින් ද විශාල ප්‍රචාරයක් ලැබුණු බැවින් එසේ නීතිරීති කඩවෙනු මේ රටේ සියලු‍ ජනතාවට අපහසුවකින් තොරවම දැකගත හැකි විය. සමාජ දුරස්ථභාවයට ඇතැම් අවස්ථාවලදී කිසිම වටිනාකමක් නොතිබිණි. අතට අත දීම් නොතිබුණත් වැළඳගැනීම් තිබිණි. ඇතැම් අවස්ථාවලදී සමහරුන්ට මුඛවැසුම් පැළඳ සිටීමට අමතක වූ බවක් දිස්විය. අවස්ථාව කොතරම් කනගාටුදායක වුවද එය සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති අමතක කිරීමට හේතුවක් නොවන බව සියලු‍ දෙනාම තේරුම්ගත යුතුව තිබිණි. ඒ හරහා මහජනතාවට යන පණිවුඩය රජය මගින් ජනතාවට ලබාදීමට නියමිත පණිවුඩයට වඩා හාත්පසින්ම වෙනස් වූවක් බැවිනි.

මේ තත්ත්වය රටේ මාතෘකාවක් බවට පත්වෙද්දී නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා විශේෂ ඇඳිරි නීතියක් පැනවීමට ද බලධාරීන්ට සිදුවිය. ඒ වනවිට ද රටේ සෞඛ්‍ය නීතිරීති බලපාන්නේ තමන්ට පමණක් ද යන ගැටලු‍ව මහජනතාව ඉදිරියේ සාකච්ඡා වෙමින් තිබිණි. කොරෝනා රෝගයට ගොදුරුව මියගිය දසදෙනාගේ සිරුරුවලට අවසන් ගෞරවය පුද කිරීමට නොලැබුණු එම පවුල්වලට සම්බන්ධ සියලු‍ ඥාති හිතමිත්‍රාදීන්ටත්  ඇඳිරි නීති තත්ත්වය යටතේ තම සමීපතමයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවස්ථාව යෙදුණු සියලු‍ ජනතාවටත් කොරෝනා නීතිරීති බලපාන්නේ තමන්ට පමණක් ද යන ගැටලු‍ව ඇති නොවුණා නම් ඒ ගැන පුදුම විය යුතු නැත. විශේෂයෙන් ප්‍රභූවරුන්ගේ සියලු‍ පොදු කටයුතු මහජනතාවට ආදර්ශවත් ලෙස සිදුවීම අවශ්‍යය. එසේ නොවන විට බලය ඇති අයට එක හැන්දකිනුත්, සාමාන්‍ය මිනිසුන්ට තව හැන්දකිනුත් බෙදන බව ජනතාව තුළ හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැක.

රටේ සෙසු සියලු‍ අවමඟුල් උත්සව සඳහා නීතිරීති පැනවීමට ඉක්මන් වූ බලධාරීන් තොණ්ඩමන් මහතාගේ අවමඟුලේදී නුවරඑළියේ දිස්ත්‍රික්කයේ වතුකර ජනතාවට සෙනඟ ගැවසිය නොහැකි බවට නීති පවතින බව මතක් කර දීමට උනන්දු වූයේ නැත. අවසානයේ සෞඛ්‍ය බලධාරීන් එම උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා විටදී පවතින දේශපාලන වාතාවරණයේ ඌෂ්ණය දැනෙන ඇතැම් දෙනා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට පවා දුරකථනයෙන් තර්ජනාත්මකව කතා කර තිබූ බවද මාධ්‍ය හරහා ප්‍රචාරය විය. රටේ නීතිය සියලු‍ දෙනාටම එක හා සමාන වීම අවශ්‍යය. තොණ්ඩමන් පවුලට එක නීතියකුත් රටේ පොදු මහජන පවුලකට තවත් නීතියකුත් ක්‍රියාත්මක විය නොහැකිය.

කොවිඩ් - 19 යටතේ සියලු‍ රටවල නායකයන්ට පවා බලපාන්නේ ඒ ඒ රටවල නිරෝධායන නීතියයි. එම නීතිය කඩ කළ රුමේනියාවේ අග්‍රාමාත්‍යවරයාට පසුගියදා ඩොලර් 600ක දඩයක් ගෙවීමට සිදුවී තිබිණි. ඊට පෙර නෝර්වේ රටේ අග්‍රාමාත්‍යවරයාට සිය මවගේ අවමංගල්‍ය උළෙලට සහභාගී වීමට නොහැකි විය. නිරෝධායන නීති නොතකා සාදයකට සහභාගී වූ බෙල්ජියමේ රජ කුමරුට එරට ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිදුවිය. එම සාදයට සහභාගී වූ පුද්ගලයන්ට යුරෝ දහදාහක දඩයක් ද නියම වී තිබිණි. මේ උදාහරණ කිහිපය අප ගෙනහැර දැක්වූයේ කොවිඩ් - 19 රෝගය අවස්ථාවේ රටක නිරෝධායන නීතිය කොතරම් තදින් තරාතිරම නොබලා ක්‍රියාත්මක වන්නේ දැයි පෙන්වා දීමටය. අප රටේ නීතියද ක්‍රියාත්මක විය යුත්තේ ඒ ආකාරයටමය. එහෙත් තොණ්ඩමන්ගේ අවමඟු‍ල් උළෙලේදී එය දැකගන්නට නොහැකි වීම අවාසනාවකි.