පෙරදිගට පැමිණි රෝම නෞකාවක්
 
 
 
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්තිය සුඛෝපභෝගී ජීවිත ගතකළහ. සුඛවිහරණය සඳහා යටත් විජිතයෙන් ලබාගත නොහැකිවූ දේ බාහිර ලෝකයෙන් වෙළෙඳ සබඳතා මගින් ලබාගැනීමට රෝමයෝ පුරුදුව සිටියහ. රෝමයන්ට අවශ්‍යවූ කුළුබඩු වර්ග, මුතු මැණික්, ඇත්දළ  ආදී දේ ලබාගැනීම සඳහා වසර දෙදහසකට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග පැවති රෝම වෙළෙඳ සබඳතා පිළිබඳ පෞරාණික ශාක්ෂි හෙළිදරව් කරන කරුණු බොහෝ ය. 
 
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා රෝමයන් විසින් යොදාගන්නා ලද මීටර් හතළිස්පහක් දිගැති ටොන් තුන්සියක බරක් ගෙන යා හැකි (එවකට) දැවැන්ත නෞකා සඳහා රෝමය අසළ වූ ඔස්තියා වරාය සුදුසු නොවූයේ, එය ගැඹුරු වරායක් නොවූණු බැවිණි. මෙයට විකල්පයක් ලෙස න්‍යාපොලිස් (වර්ථමාන නාපොලිය) අසළවූ පොට්සෝලි වරාය මෙම නැව් සඳහා භාවිතා විය. එම වරාය ජැටි සහිත එවකට දියුණු වරායක්ව තිබුණි. දැවැන්ත නෞකා මගින් පොට්සෝලි වරායට ගෙන එනු ලබන භාණ්ඩ, කුඩා නෞකා මගින් රෝමයට ගෙන එන ලදී. කුළුබඩු, ඇත්දළ, මුතුමැණික් සඳහා රෝම නෞකා පෙරදිග ගමන පිටත්වූයේ පොට්සෝලි වරායේ සිටය. 
 
රෝම නාවිකයෝ ඉන්දියානු සාගරය පිළිබඳව මනා දැනීමක් ඇතිව සිටියෝ නොවූහ. එබැවින් පෙරදිග සමග වෙළෙඳ කටයුතු සඳහා භාවිතා කළ රෝම නෞකාවල යාත්‍රිකයන් වූයේ ඉජීප්තු සහ එරිත්‍රියානු නාවිකයෝ ය.
 
පොට්සෝලි වරායේ සිට ඉන්දියන් සාගරය ඔස්සේ පෙරදිගට (ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට) පැමිණිම සඳහා රෝම නාවිකයන් විසින් භාවිතා කරන ලද සමුද්‍ර මාර්ග දැක්වෙන පැරණි සිතියමක පිටපතක් රෝම කෞතුකාගාරයක සුරක්ෂිතව ඇත. මෙය දිගින් මීටර් හතක් වෙන අතර, එය රෝල්කර සම් කොපුවක බහා ඇත. මෙම සිතියමේ මුල් පිටපත විනාශ මුඛයේ තිබියදී, මධ්‍යතන යුගයේ පූජකයින් විසින් සකස් කරන ලද නව පිටපතකි මේ. (එවකට ඡායා පිටපත් කිරීමේ ක්‍රමවේදයක් නොවුණු බැවින්, අමතර කොපි සඳහා ලේඛණයන් පිටපත් කිරීම කලාවක් ලෙස ෆිරෙන්සියේ පූජකාරාම වල පවත්වාගෙන ගොස් ඇත.) මෙම පිටපතේ මුල් සිතියම ටොලමිගේ සහ ප්ලීනියෝගේ සිතියම් වලට වඩා පැරණි බව නව පිටපතේ තබා ඇති සටහන් වලින් සහතිකවේ. මෙම සිතියම දුර මිනුම් පිළිබඳව අඩුපාඩු සහිත ය. ලංකාව සහ ඉන්දියාව ආවරණය වෙන පරිදි “අලින්ගේ සහ ගෝනුස්සන්ගේ නිජබිම මෙතැනය” යනුවෙන් ලියා ඇත. මෙම සිතියමේ ශ්‍රී ලංකාව තැප්‍රොබේන් දූපත ලෙස හඳුන්වා ඇත.
 
 
ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ රෝම රන් කාසියක්
 
 
 
රෝම නෞකා මගින් වෙළෙඳාම ස ඳහා ප්‍රධාන වශයෙන් පෙරදිගට ගෙනැවිත් ඇත්තේ ඔලිව් තෙල්, වයින්, රතු කොරල්, කැටයම් කරන ලද ලෝහ භාණ්ඩ සහ වීදුරු භාණ්ඩ ය. වසර දෙදහසකට පෙර වයින් ලෙස හඳුන්වන ලද දෙය අද අප දන්නා වයින්වලට වඩා වෙනස් වුවකි. එදා වයින් නිෂ්පාදනය සඳහා මිදි සමග රතු පැහැති වෙනත් පළතුරු ද මිශ්‍රකර ඇති බව හෙළිවී ඇත. මෙලෙස නිෂ්පාදනය කරන ලද වයින් බොහෝ සේ උකු ය. පානය සඳහා ඇල්මැරුණු ජලය සමග මිශ්‍ර කළ යුතු විය. කල් තබාගැනීමේ මාත්තුවක් ලෙස ගම්මිරිස්ල කරාබුනැටිල කුරුඳු පොතු වැනි කුළුබඩු මිශ්‍ර කර තිබුණු බැවින් එය ඉතාම සැර පානයක් විය. මේ වයින් මැටියෙන් තනන ලද ඇම්පෝරා :්පචයදර්* නම් වූ බරණි තුළ දමා ප්‍රවාහනය කර ඇත. (මෙම පානය වයින් ලෙස නොව, මුද්‍රික පානය ලෙස නම් කිරීම වඩාත් උචිත ය) එවකට ඉන්දියාවේ ප්‍රභූවරුන් අතර මෙම පානය ජනප්‍රියව තිබුණු බව රෝම ඉතිහාසයේ සඳහන් ය. 
 
රෝමයෝ වෙළෙඳ කටයුතු සඳහා පාවිච්චි කරන ලද ඉන්දියානු වරාය “මුසිරිස්” යනුවෙන් හඳුන්වා ඇත. මෙය වර්ථමාන තමිල්නාඩුවේ කේරළ ප්‍රදේශයේ “පට්ටනම්” තොටුපොළ ලෙස දැන් හඳුනාගෙන ඇත. රෝමයන්ට අවශ්‍ය කුළුබඩුල ඇත්දළල මුතුමැණික් සහ ස්වර්ණාභරණ වැනි දේ සපයා දී ඇත්තේ කේරළය අවට මුහුදු බඩ ප්‍රදේශවල සිටි ඒජන්තවරුන් විසින් ය. චීනය දක්වා නොගිය රෝමයෝ සේද සළුපිළි ලබාගන්නට ඇත්තේ ද මෙම ඒජන්තවරුන් මාර්ගයෙන් විය යුතුය. නිවාස සුවඳවත් කිරීම සඳහා වියළි මල් වර්ග ද ඉන්දියාවෙන් රෝමයට ගෙනැවිත් ඇති බවට ශාක්ෂි ඇත. ද්‍රව්‍ය හුවමාරුව මෙන්ම භාණ්ඩ මිලට ගැනීම ද මෙම වෙළෙඳ ගනුදෙනුවලදී කෙරී ඇත. ඉන්දියාවේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණිම් වලදී රෝම රන් කාසි දෙදහසක්, රිදී කාසි හයදහසක් සහ වෙනත් ලෝහවලින් තනන ලද රෝම කාසි  රාශියක් සොයාගෙන ඇත. මේ සෑම රන් කාසියක්ම පාහේ කිසියම් තියුණු ආයුධයකින් පළුදුකර හෝ උරගා බලා ඇති බව පැහැදිලි ය. මේ පිළිබඳව අදහස් දක්වන පුරාවිද්‍යාඥයින් කියන්නේ, මේ කාසි සැබෑ රන් කාසි ද නැතහොත් වෙනත් බාල ලෝහයකින් සාදා රන් ආලේප කරන ලද කාසි දැයි සැක හැර දැනගැනීම සඳහා මෙසේ කඩතොළු කරන්නට ඇති බව ය. රන් කාසි පමණක් නොව තඹ කාසි ද මෙසේ කඩතොළු සහිත ය. මින් හැගෙන්නේ එදා ඉන්දියානු වෙළෙන්දා රෝමයා  තඹ සතයකටවත් විශ්වාස නොකරන්නට ඇති බව ය. 
 
 
රෝමන්වරු වයින් සහ ඔලිව් තෙල් රැස්කර තැබූ ඇම්පෝරා භාජන (මෙහි දැක්වෙන්නේ විසූවියස් ගිනි කන්දෙන් විනාශ වූ පොම්පේ නගරයේ කැණීම්වලදී හමුවූ ඇම්පෝරා කීපයකි.)
 
 
 
කේරළ ඒජන්තවරුන් මාර්ගයෙන් ලබාගන්නා ලද කුළුබඩු ලමුතු - මැණික් සහ ඇත්දළ වලට අමතරව රෝමයෝ සෘජුවම ශ්‍රී ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ බවට ශාක්ෂි දෙරටින්ම හමුවී ඇත. 
 
නිරිතදිග සහ වයඹදිග මෝසම් සුළං ප්‍රයෝජනයට ගනිමින් රෝමයෝ පෙරදිග යාත්‍රා ගමන් කර ඇති බැවින්, රෝමයේ සිට ඉන්දියාවට මැයි මස සිට සැප්තැම්බරය දක්වා නිරිතදිග මෝසම් සුළඟ ආධාරයෙන් පැමිණ ඇත.  ආපසු යාම සඳහා නොවැම්බරයේ සිට මාර්තු දක්වා හමන ඊසානදිග මෝසම් සුළඟ ආධාර කරගැනීමට සිදුවූ බැවින්, මෙම වෙළෙඳ සංචාරයක් සඳහා වසරක පමණ කාලයක් ගතවී ඇත. වසරකට රෝම නෞකා එකසිය විස්සක් පමණ ඉන්දියානු සාගරයේ යාත්‍රා කළ බව රෝම ඉතිහාසය කියයි. මෙම මුහුදු ගමනේදී අරාබි මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට ද රෝමයෝ මුහුණ දී ඇත. ඉතා දීර්ඝ වූ පෙරදිග ගමනේදී රෝම නෞකා වලින් සියයට තිහක පමණ ප්‍රමාණයක් වෙළෙඳ භාණ්ඩද සමගින් ම මුහුදුබත්වී ඇති බව ද සඳහන් ය. 
 
පෙරදිගට පැමිණි රෝම නාවිකයෝ ආපසු යාම සඳහා ඊසානදිග මෝසම් සුළඟ පැමිණෙනතුරු පදිංචිව සිටි ජනාවාස නටබුන් ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ තිබී හමුවී ඇති අතර, කේරළයේ ඇතැම් මුහුදුබඩ ප්‍රදේශවල රෝමයන් විසින් තම නිෂ්පාදන අලෙවිය සඳහා සල්පිල් පවත්වාගෙන යන ලද බවට ද පුරාවිද්‍යාත්මක ශාක්ෂි ලැබී ඇත. 
 
රෝමයෝ ඉන්දියානු සාගර තරණය සඳහා යොදාගන්නා ලද නෞකාවක්, පට්ටනම් නගරයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති රෝම වයින් සහ ඔලිව්තෙල් භාජන සහ එම ප්‍රදේශයේ තිබී සොයාගන්නා ලද රෝම රන් කාසියක් ද ඡායාරූපයෙන් දැක්වේ.
 
 
යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.