සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ ගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘මැරීන් ඩ්‍රයිව්’පාඨකයාට නැවුම් අත්දැකීමක් එක් කරන කෘතියකි. මීට පෙර ද ඔහු අතින් ලියැවුණු බොහෝ පොතපත සම්මානාදියට මෙන්ම පාඨක විචාරක කතාබහට ලක්වන්නට හේතු වූයේ මේ අපූර්ව ගුණයය. රන්සිරිමල් (ගොඩගේ සම්මාන), සිංහබාහු එනකං (රාජ්‍ය සම්මාන, ගොඩගේ සම්මාන, විද්‍යොදය සම්මාන), කළුවරයි පුරහඳ (ස්වර්ණ පුස්තක අවසන් වටය, සයිබර් අවකාශ සම්මාන), කොළඹ ළමයි (රාජ්‍ය සම්මාන), දිමියා (රාජ්‍ය සම්මාන), බැද මාරිය (ස්වර්ණ පුස්තක අවසන් වටය), පණ්ඩක පුත්‍ර වස්තුව (ෆෙයාර්වේ සම්මාන) ආදිය ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනේ. මතු දැක්වෙන්නේ ඔහු සමඟ කළ සංවාද සටහනයි.

ඔබේ නවතම නිර්මාණය වන මැරීන් ඩ්‍රයිව් කෙටිකතා සංග්‍රහය අලුත් අත්හදා බැලීමක් යැයි කියන්න පුළුවන්. මේ කෙටිකතා මතුපිට කතන්දරය අතික්‍රමණය කොට ඒ තුළින් ම අලුත් කියවීමක් සඳහා පාඨකයා යොමු කරන ස්වභාවයක් තියෙනවා. මේ ලිවීම මතු වුණේ කොහොමද?

මැරීන් ඩ්‍රයිව් කියන්නෙ මගේ හතරවන කෙටිකතා සංග්‍රහය. මුල් කෘතිවලදිමං උත්සාහ කළේ ආඛ්‍යානය ප්‍රධාන කොට නිර්මාණ ඉදිරිපත් කරන්න. මා ඉදිරිපත් කළ අත්දැකීමට වඩා පාඨකයා සමීප වුණේ එය ඉදිරිපත් කර ඇති ආඛ්‍යානයේ විශේෂතාවට. අත්දැකීමේ සැබෑ වින්දනය ඔහුට අවබෝධ වෙන්නෙ ආඛ්‍යානයෙහි ම අංගයක් විදිහට. මෙවර මා උත්සාහ කළේ අත්දැකීම සිද්ධි වාචිකයක් බවට පත් කරමින් චරිත එහි හසුරුවන්න.  අපි හැමෝම වගේ හැසිරෙන්නෙ අපට පාලනය කළ නොහැකි සමාජ සංකූලතාවන් මැද්දෙ. ඒවා එහෙම වෙන්නෙ ඇයි කියන්න කවුරුත් දන්නෙ නැහැ. සමාජ ධූරාවලියට අයිති හැමෝම උස්-පහත්, උගත්-නූගත්භේදයකින් තොරව මේ සමාජ සංචලනයේ පාර්ශ්වකරුවන් ව හැසිරෙනවා. බුද්ධිය යටපත් කරන් මිථ්‍යාවන් රජ වෙනවා. චරිත තවදුරටත් වලංගු නැති මේ සමාජීය මොහොත හසුරවන්නෙ සිදුවීම් විසින්. මේ සිදුවීම් නිර්මාණය කරන්නෙ කවුද කියන අවබෝධය නැති නිසා අපි කවුරුත් ඉන්නෙ සමාජ ටොනෝඩෝවකට මැදිවෙලා. ඒක අහිංසක නැහැ. විනාශය කරා ඇදෙන්නක්. මට අවශ්‍ය වුණේ මේ සමාජ විකෘතියේ සැබෑව පාඨකයාගේ හෘදය සංවේදී කතිකාවක් බවට පත් කිරීමටයි.වසරකට පෙරදි පරිකල්පනය කළ සමාජීය මොහොත නිර්මාණ සංග්‍රහය එළි දකිද්දි සැබෑවක් වෙලා තියෙනවා මට පෙනෙනවා. ඒක සතුටු වෙන්න කාරණාවක් නෙමෙයි. නිර්මාණකරුවකු විදිහට ඒ සිදුවීම් වළක්ව ගන්නයි මට උවමනා වුණේ. ඒත් සිදුවීම් වේගවත් අපිට වඩා.

මෙහි එන නිර්මාණ හැමකක ම පාහේ කතන්දරයකට අදාළ කර ගන්න පුළුවන් සිද්ධි පෙළක් තියෙනවා. නමුත් මේ සිද්ධි විසින් නිර්මාණය කරන ලද චරිතවලට අදාළ සැබෑ කතාව ආරම්භ වෙන්නෙ නිර්මාණය නිමාවූ තැනින්. කෙටිකතාව කතන්දරයෙන් ඔබ්බට කියන අවබෝධය මත නිමවූ නිර්මාණ දෙක තුනක් ම මෙහි තිබෙනවා. සාහිත්‍ය නිර්මාණයක් බලවත් විය යුත්තෙ පාඨකයාගේ චින්තන අවකාශයේ කියලයි මං විශ්වාස කරන්නෙ.

ලංකාවේ කවිය සහ නවකතාව තරමට කෙටිකතා කලාව දියුණු වී නැතැයි ප්‍රවීණ ලේඛක පී. බී. ජයසේකර පසුගිය දිනක අප සමඟ කීවා. ඔබ මේ අදහසට එකඟ වෙනවද?

කොහෙත්ම නැහැ. පිටපොත්තෙ දිලිසෙන තැන්වලින් ඊට අදාළ සාහිත්‍ය භාවිතාවේ දියුණුව මනින එක විද්‍යාත්මක නැහැ. ස්වර්ණ පුස්තක සම්මානය නිසා නවකතාවට එහි ඉතිහාසය විසින් ලබා දෙමින් තිබුණ විශිෂ්ටත්වයේ මුද්‍රාව අහිමි කර ගත් බවයි මගේ අදහස. ස්වර්ණ පුස්තක සම්මාන ලැබූ සහ නිර්දේශිත බොහෝ නවකතාවලට තියෙන්නෙ ජනප්‍රියත්වයක් පමණයි. සමාජය විසින් අතිරේක වටිනාකම් ලබා දී තිබුණ සමහර ලේඛකයන් සම්මානයත් සමඟ උන් තැනින් පහළට වැටුණ බවක් තමයි මට දැනුණෙ.සමහරු හැසුරුණේ සුපර් ස්ටාර්ස්ලා වගේ. යථාර්ථය ලේඛකයන් තරමට ම අහිංසක නැහැ.ඒවගේ ම සමහර සම්මානිත නවකතා සාහිත්‍යයේ දියුණුව මනින නිර්ණායකවලින්බොහෝ දුරස්.

කවිය ඊට වැඩි වටිනාකම් පෙන්වන අවස්ථා තියෙනවා. එය දැන් ජනප්‍රියතම සිංහල සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහටත් ඉහළට ඇවිත්.ප්‍රවීණත්වයට පත් කවියන් සීමිත නිසා කවිපොතක්පළ කළ වියපත් හැමෝම ඉබේම ප්‍රවීණත්වයට පත් වෙනවා. ඒ නිර්ණායකය මොකක්ද, කවුද ඒවා නියම කරන්නෙ කියන ප්‍රශ්න අදාළ නැහැ. කෙටිකතාව තව ම එහෙම නොවුණත් රජත පුස්තකය නිසා කවියත්, කෙටිකතාවත් නවකතාව ගත් මග යන්න බැරි නැහැ.

මට අනුව ගත්තාම තවමත් නවකතාව සහ කවියට වඩා නිර්මාණාත්මක ඇගැයීම අතින් ඉදිරියෙන් සිටින්නෙ කෙටිකතාව. එය නිර්මාණය කරන්නෙ ඉල්ලුම් සැපයුම් නියමය ක්‍රියාත්මක වෙළෙඳ පොළකට නෙමෙයි. සීමිත පාඨක ගහනයකට. කුඩා වුණත් මේ පාඨක පිරිස ගුණාත්මක සාහිත්‍යයකට ප්‍රේමකරන්නන්.සාහිත්‍යයේ ජීවගුණය ආරක්ෂා කරන්නන්.

නූතන කෙටිකතාවේ තේමා, ආකෘති, චරිත හැසිරෙන විධි සමාජ වෙනස්වීමත් සමඟ වෙනස් වී තිබෙනවා. වර්තමානයේ ලියැවෙන දියුණු කෙටිකතාවක් අපි කොහොමද හඳුනගන්නෙ?

කෙටිකතාව වින්දනය කළ හැක්කේ උසස් කියවීම් අභ්‍යාසයක ප්‍රතිඵලයක් විදිහට. ඒ සඳහා අපි නූතන ම කෙටිකතා ඇසුරේ කිසියම් කියවීමේ පරිචයක් ගොඩනගාගන්න ඕන. පාසල් පෙළ පොතේ කෙටිකතා අධ්‍යයනය සඳහා තෝරා ගත් නිර්මාණ පවා ඒ ඒ කතුවරයන්ගෙ හොඳම නිර්මාණ නෙමෙයි. අජිත් තිලකසේන වගේ දියුණු කෙටිකතාකරුවකුගේ නිර්මාණ ඇතුළත් කරලා පසුව ඉවත් කරනවා. ඒ එකතු කිරීම් වගේ ම ඉවත් කිරීමත් විද්‍යාත්මක තීන්දු නෙමෙයි. වසර සීයයකට ආසන්න විකාශනයකට අදාළ කඩයිම් සේ හඳුනා ගතහැකි නිර්මාණ නියෝජනයක් වෙනුවට ලේඛක නියෝජනයක් එහි තියෙන්නෙ. බොහෝ කෙටිකතා තේමාත්මකව ගත්තත් ඒකාකාරියි. ආකෘතිකවත් ඕලාරිකයි. විවිධත්වයකින් තොරයි. මේවා වනපොත් කරලා සමාජයට එන ශිෂ්‍යයන් කෙටිකතාව ගැන හිතන්නෙකල් ඉකුත්වූ කලාවක් විදිහටයි.

ටෙනිසන් පෙරේරාත් ජයතිලක කම්මැල්ලවීරත් තවමත් සාර්ථක කෙටිකතානිර්මාණය කරනවා. කීර්ති වැලිසරගේ නවකතාව දිහාට වැඩි බරක් දැම්මත් ඔහු වඩාත් වැදගත් කෙටිකතාකරුවෙක් විදිහටයි. අමරකීර්ති කෙටිකතාවේ වෙනස් මානයන් නිතර පෙන්වනවා. ප්‍රභාත් ජයසිංහ අපූර්ව වස්තු නිර්මාපකයෙක්. සේන තෝරදෙනිය,එරික් ඉලය්ප්ආරච්චි, පියසීලි විජේමාන්න, කැත්ලින් ජයවර්ධන වගේ ම කමල් පෙරේරාගේ අවසන් නිර්මාණ සංග්‍රහයන් අමතක කරන්න බැහැ අපට. පියල් කාරියවසම්, නිශ්ශංක විජේමාන්නගෙ නිර්මාණ, කෙටිකතාවේ නූතන සාර්ථකත්වයේ ප්‍රබල මැදිහත්වීම්. ගුණරත්න වික්‍රමගේ, මංජුල වෙඩිවර්ධනගේ සනත් බාලසූරියගේ කෙටිකතා අපව විස්මයට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි නවතම කෙටිකතා ආගමනයන් වන සුමුදු නිරාගි සෙනෙවිරත්න, මලික් තුසිත වගේ ම ඉසුරු චාමර සෝමවීර හෙට දවසේ යහපත් අපේක්ෂාවන්. විරාජිනී තෙන්නකෝන් දක්ෂ කෙටිකතාකාරිණියක් විදිහට මතුවීමේ විභතාවක් පෙන්වලා තියෙනවා. සුසන්ත මූණමල්පෙ වගේම කාන්චනා ප්‍රියකාන්ති, ආශා රැළපනාව, සුදර්ශන සමරවීර දිගටම කෙටිකතාවේ රැඳී සිටීවී. අනිල් හේරත්, සඳිනි ප්‍රාර්ථනා තෙන්කෝන් වගේ මුහුණු පොත ඔස්සෙ කෙටිකතාව අභ්‍යාස කරන නවකයන්ගෙ නිර්මාණවල දියුණු නිර්මාණ ලක්ෂණ අප දකිනවා. නිර්මාණයෙහි ආඛ්‍යානයට ඔවුන් තබන බර වගේ ම සමාජය ප්‍රතිනිර්මාණය කොට දැක්වීම සඳහා ඔවුන් කරන මැදිහත් වීම ඔස්සේ ඉතා දියුණු නිර්මාණ තාක්ෂණයක් බිහි වෙමින් තිබෙන බවයි මගේ විශ්වාසය.සාධාරණ විචාර කලාවක් නැති නිසා මේ නිර්මාණ, පරිශීලනයෙන් ම මිස හඳුනා ගැනීමට වෙනත් විධි ක්‍රමයක් නැහැ.

රචනාමය වෙනස්කම්, යටිපෙළ දැනවීම් වැනි මොන තරම් බරපතළ නවතාවන් කෙටිකතාවක මතුකරන්න උත්සාහ ගත්තත් අපේ පාඨකයා තවමත් නිර්මාණය තුළ කතන්දරයක් සහ එයින් මතු කෙරෙන රසයක් අපේක්ෂා කරනවා. ඒ නිසා ඇතමුන් කියන්නෙ නව අත්හදා බැලීම් නිසා පාඨකයා කෙටිකතාවෙන් ඈත් වෙන බව නේද?

ඔය ‘ඇතැමුන්’ කියන අය කෙටිකතාව හඳුන ගන්නෙ වසර සීයයකටත් වඩා පරණ නිර්ණායක ඇසුරේ. ඔවුන් විකාශනයට ලක්ව ස්ථාපිතව තියෙන නව නිර්මාණ කියවීමට උත්සාහ ගන්නෙ නැහැ. දැන් බලන්න මහාචාර්ය ලියනගේ අමරකීර්ති 2018 දී කෙටිකතා කලාව කෘතිය ඉදිරිපත් කරන කල් ලංකාවේ කෙටිකතාව 1990 ළඟ නතරව තිබුණෙ. මේ දක්වා ගතවුණු දශක තුනක කෙටිකතාවට අදාළ වෙනස්කම්, ගතිකයන් හෝ නව රිද්මයන් පාඨකයාට සමීප වෙලා නැහැ. දශක තුනක් කියන්නෙ පරපුරක් අවසන් ව නව පරපුරක් සමාජ ක්‍රියාකාරීත්වය බාර ගන්න සහ අනාගත උරුමය පතා වැඩෙන පරපුරක හමුවක් සිදුවන කාලයක්. ඒක රටක සංස්කෘතික හුවමාරුවකට අදාළ නියතයක්. කෙටිකතාව සමීපව නිරීක්ෂණය නොකර නූතන කෙටිකතාව ගැන අදහස් පළ කිරීම සාහිත්‍යයට කරන බලවත් වරදක්. කතන්දරයට වඩා කෙටිකතාවකින් අපේක්ෂා කරන්නෙ අපූර්වත්වයකින් යුතු නිමාවක්. එහි කතන්දරයක් හෝ සිදුවීමක සංඥාවක් හෝ සිදුවීම් කිහිපයක රූපණයක් හෝ තිබෙන්න පුළුවන්. ඒවා වින්දනය කිරීමට සමත් විද්වත් පාඨකය ප්‍රජාවක් අපට සිටිනවා. කෙටිකතාව තුළ කතන්දර පමණක් හොයන්නෙ කෙටිකතාව කලාවක් හැටියට ස්වයං අනන්‍යතාවක් සහිත බව නොදන්නා අය.

ලේඛකයන්, කලාකරුවන්, විචාරකයන් විවිධ මතවාද තම නිර්මාණ හරහා ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවත් පොදු සමාජයට බලපෑම් කිරීමට තරම් කලාකරුවාගේ දේශපාලනය ප්‍රබල වී නැහැ නේද?

කලාකරුවා කියන්නෙ රටක සම පුරවැසි අයිතිය දරන්නෙක්. පොදු සමාජයට බලපෑම් කිරීමේ ශක්තියක් කලාකරුවා විශේෂ කොට තියෙනව කියන කාරණය ජනප්‍රිය මතවාදය සමඟ බිහිවූවක්. ලාංකික සමාජ පසුතලය ඇතුළෙ කලාකරුවන් දේශපාලන මෙවලමක් විදිහට පාවිච්චි වෙන්නෙ ඔය කියන ජනප්‍රියතාව නිසා. ඒත් පොදු ජනයා බොහෝ අවස්ථාවලදි බහුතරය විදිහට කල්ලි ගැහෙන්නෙ කලාකරුවන්ගෙ මැදිහත්වීමේ බලයක් හැටියට නෙමෙයි.

ලෝකයේ කලාකරුවන්ගෙන් බහුතරය ප්‍රගතිශීලි මතධාරීන් විදිහටයි ප්‍රසිද්ධ. ඔවුන්ගේ කලාව වගේම ඔවුන්ගේ භාවිතයට මුල්වන්නේත් මිනිසා.නමුත් ප්‍රගතිශීලි අදහස් ලියන කියන අපේ රටේ ලේඛකයන්ගෙන් බහුතරයක් ආගම්වාදියි. වර්ගවාදියි. ඒකට දොසක් කියන්න බැහැ. ඒක එයාලගෙ අයිතිය. නමුත් තමන්ගේ ලේඛනය තුළනැති වර්ගවාදයක් ආගම්වාදයක් දිරිගැන්වීමට සිය කලාකාර භූමිකාව භාවිත කරන කලාකරුවන් කරන්නෙ වැරැද්දක්. ඔවුන් තමන්ගේ හෘදය සාක්ෂියට සවන් දිය යුතුයි. මන්ද කලාව කියන්නෙ හෘදය සාක්ෂියේ නිරූපණයක්නිසා.කලාකරුවාගේ දේශපාලනයට ජය පරාජයක් නැහැ. ඔහුට තියෙන්නෙ අපේක්ෂාවක්. දුෂ්කරයි කියා කිසිවක් අත්හැරීමට ඔවුන්ට බැහැ. කොන්දේසි විරහිතව මිනිස්කම් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ගාමිණි කන්දේපොළ