(අරුණ ප්‍රේමරත්න)

මෙවර ෆෙයාවේ සාහිත්‍ය උලෙළේ හොඳම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුයේ අරුණ ප්‍රේමරත්නගේ  ‘තරු විසුළ රැය’ කෘතියයි. එය ස්වර්ණ පුස්තතක අවසන් පූර්ව වටය සහ රාජ්‍ය  සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටය ද නියෝජනය කිරීමට සමත්විය. මෙවර වීමංසා සංවාදය පැවැත්වෙන්නේ එය නිමිත්තක් කරගනිමිනි.

     

වේදිකා නාට්‍ය පරිවර්තකයකු ලෙස සාහිත්‍යකරණයට පිවිසි අරුණ ප්‍රේමරත්න 1995 දී ඉයුජින් අයනෙස්කෝගේ ‘ද ලෙසන්’ නාට්‍යය ‘හතළිස් වැනි මරණය’ නමින් සිංහලට නැගුවේය. ඔහුගේ ‘පාදඩයා’ නාට්‍ය පරිවර්තනයත් ‘පුතා එනකං’ ස්වතන්ත්‍ර නාට්‍ය පිටපතත් රාජ්‍ය සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර විය. මිලාන් කුන්දේරාගේ නවකතා දෙකක් සහ ඇල්බටෝ මොරාවියාගේ නවකතාවක්ද ඔහුගේ පරිවර්තන අතර වෙයි. වෘත්තියෙන් පිටපත් රචකයකු වන අරුණ ‘රළ බිඳෙන තැන’, ‘මේ වසන්ත කාලයයි’ , ‘වෙස්’ යන සම්මානිත ටෙලි නිර්මාණවල සහ තවත් ටෙලි නිර්මාණ රැසක පිටපත් රචනා කර තිබේ. ‘තරු විසුල රැය’ ඔහුගේ ප්‍රථම නවකතාවයි.

 මෙසේ සම්මානයට පාත්‍ර වන්නේ ඔබේ ප්‍රථම නවකතාව. මේ නවකතාව රචනා වීමට ඔබට බලපෑ අත්දැකීම් - පරිසරය කෙබඳු ද?

සාහිත්‍යය සමග මගේ සබඳතාව ළමා කාලයට දිව යනවා. මා උපන්නේ පිටිසර ගමක. හැදුණේ වැඩුණේ ගැමියන් සමග. විශේෂයෙන් මගේ පිය පාර්ශවයේ කිරිඅම්මා (මිත්තණිය) සමඟ පැවති ඇසුර මට වැදගත් වුණා.

ඇය කියවීමට නොදන්නා නමුත් ජනකතා, ජනකවි හරහා ජනශ්‍රැතිය මට සමීප කළා. එය සාහිත්‍යය සම්බන්ධයෙන් මගේ සිතේ ඇල්මක් ඇති කරන්නට සමත් වුණා.

මගේ මාපියන් ගුරුවරුන් වීම හේතුවෙන් නිවසේ පොත පත බහුල, කියවීමට පෙළඹවීමක් ඇති කරන පරිසරයක් තිබුණා. එය ද ප්‍රබල හේතුවක් ලෙස සැලකිය හැකියි. 

‘තරු විසුළ රැය’ට පදනම් වන්නේ මා ළමා වියේ සහ ගැටවර වියේ ලත් අත්දැකීම් සමුදායක්. එයට පසුබිම් වන්නේ වියළි කලාපයේ ගමක්. මගේ මවගේ ගම මහව පරමක දේශය. ඒ නිසා මට එම පරටස දේශයත්, එහි ජනතාවත්, ඔවුන්ගේ අන්තර් සබඳතා ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ කුඩා කාලයේ ගැමියන්ට තිබුණේ ඉතා සරළ, සැහැල්ලූ ජීවන රටාවක්. විවෘත ආර්ථිකයත් එක්ක මේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ සමඟ ම පැමිණෙන දේශපාලනය තවත් අතකින් ඔවුන්ගේ ජීවිත වෙනස් කරනවා. 

මේ තත්ත්වය තමයි මම නවකතාව තුළ නිරූපණය කරන්න උත්සාහ කරන්නෙ. සමහරු මේක නාගරීකරණය විදිහට දකිනවා. මම එහෙම පටු තැනකින් දකින්නෙ නෑ. මේ ප්‍රවේශය ගම තුළට එන්නෙ බල අධිකාරියක් විදිහට. ශාස්ත්‍රාලීය දැනුම පවා එහෙමයි. බල අධිකාරියක් විදිහට ඇවිත් ගැමි චින්තනය වගේම ජීවිතයත් අවුල් කරනවා. ගැමියන්ගේ පටු චින්තනයට වගේම ඔවුන්ගේ වැඩවසම් සම්බන්ධතාවල පවතින අර්බුදකාරී ස්වභාවයන් හමුවේ මේ බලය අභිබවා යන්නට ඔවුන් සමත් වන්නේ නැහැ. මේ ගැමි සමාජ ක්‍රමය හා ඔවුන්ගේ පටු චින්තනය පුළුල්වීම ප්‍රගතිශීලී ක්‍රියාදාමයක් වුවත් එය ලංකාව තුළ සිදු වන්නේ බලහත්කාරී සහ ආක්‍රමණශීලී අයුරින්. සිවිල් කැරැලි දෙකක්ම ඇතිවීමට මේ තත්ත්වය බලපෑවා. 

 

නවතාව නැතහොත් අපූර්වත්වය නවකතාවක ප්‍රධාන අංගයක්. පවතින සමාජයේම රස, නීරස අත්දැකීම් අඩු වැඩි වශයෙන් ගෙන පාඨකයා වෙත අපූර්වත්වය සමීපකරවීමට ලේඛකයා ගත යුතු වෙහෙස කවරාකාර ද?

මට නවකතාව රචනා කරන්නට පළමුව තිබුණු ප්‍රධාන අභියෝග දෙක තමයි භාෂාව කෙසේ විය යුතු ද සහ ආකෘතිය ගොඩනගා ගන්නේ කෙසේ ද යන්න. මම හිතනවා නවකතාවක අපූර්වත්වය රඳාපවතින්නේ මේ කාරණා දෙක මතයි කියලා. අත්දැකීම් ගත්තාම නවකතාවකට විෂය වෙන්නෙ කොයි කවුරුත් එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන්නා වූ අත්දැකීම්. සමහරවිට ලේඛකයා පාදක කර ගන්න සිදුවීමක් ඔහුට වඩා හොඳින් අත්දැකල තියෙන පාඨකයො ඉන්න පුළුවන්. එහි දී ලේඛකයා විශේෂ වෙන්නෙ ඔහු එය ප්‍රති නිර්මාණය කරන ආකාරය මත. ඔහු භාෂාව භාවිත කරමින් ඒ අත්දැකීම පාඨකයාට ඉදිරිපත් කරන ආකාරය නැත්නම් ආකෘතිය මෙහි දී සුවිශේෂී භූමිකාවක් ඉෂ්ට කරනවා. මම විශ්වාස කරන විදිහට ලේඛකයාගේ අරමුණ නැත්නම් අධ්‍යාෂය, ඔහුගේ දෘෂ්ටිය මේ අත්දැකීම මත පැටවීම තමයි ආකෘතියක් නිර්මාණය කර ගැනීමක් කියල කියන්නෙ. ලේඛකයා තමාගේ අත්දැකීම ඉදිරිපත් කරන ආකාරය මත තමයි මේ සියල්ල තීරණය වෙන්නෙ. එකම සිදුවීමක් වුණත් ලේඛකයො දෙන්නෙක් අතින් දෙවිදිහකට ප්‍රතිනිර්මාණය වෙන්නෙ ඒ නිසයි. 

නවකතාවක අපූර්වත්වය රඳාපවතින්නෙ මේ භාෂාවත් ආකෘතියත් මත කියලයි මම හිතන්නෙ. මෙතන දී ලේඛකයා සීමා මායිම්වලින් මිදී නිදහසේ සිය ආකෘතිය ගොඩනගා ගැනීම වැදගත්. රචකයා විචාර මිනුම්දඩුවල, න්‍යායන් තුළ සිරකරුවෙකු විය යුතු නෑ. තමාට වඩාත් සමීප කලාංගයන්ගෙන් ආභාසය ලැබීම වැදගත්. නිදසුනක් ලෙස මා හිතා මතාම සිනමාවෙන් මගේ නවකතාවේ ආකෘතියට යම් අභාසයක් ලබා ගත්තා. ෆෙයාවේ විනිශ්චය මණ්ඩලය නිර්දේශිත කෘති සඳහා කරුණු දැක්වීමේ දී මේ ලක්ෂණය හුවා දක්වා තිබුණා. ඔවුන් එය හඳුනා ගැනීමත් අගය කිරීමත් ගැන මට සතුටුයි. අද අපේ ලේඛකයන් බොහොමයක් යථාර්ථවාදී රීතිය තුළ කොටුවී සිටින බවක් මට පෙනෙනවා. එය අපූර්වත්වයෙන් යුතු නවකතා බිහිවීම අඩාළ කරනවා. අනෙක් අතට ආකෘතිය සිය අත්දැකීම පාඨකයාට ව්‍යාකූලත්වයකින් තොරව සමීප කිරීමට සමත් එකක් වීම වැදගත්. එය දුරවබෝධ වන්නේ නම් එවිට පාඨකයන් නවකතාවෙන් ඈත් වෙනවා. එය නීරස වෙනවා. පාඨකයා පරාස හේළිකා විසඳන්නෙකු නොවන බව ලේඛකයෙකු වටහා ගත යුතු වෙනවා. අප ඔහුගේ කියවීමට ගරු කළ යුතුයි. ඔහුගේ කියවීම හැකිතාක් පහසු කරවීමට වග බලා ගත යුතුයි. 

 

නවකතාව භාෂාව මූලික කොටගත් මාධ්‍යයක්. නවකතාවේ භාෂා භාවිතය ගැන වියරණ ඇදුරන් මෙන්ම නිර්මාණකරුවන් විවිධ මතවල සිටිනවා. නවකතාවක භාෂාව තීරණය වන්නේ කෙසේ ද? 

නවකතාවක භාෂා භාවිතය ඉතා වැදගත් භූමිකාවක් ඉෂ්ට කරනවා. එය නිර්මාණාත්මක බසක් විය යුතුයි. ලේඛකයෙකු නවකතාවක් රචනා කරන්නේ වියරණ රැකීමට හෝ භාෂාවේ චිර ජීවනය සඳහා නොවේ. ඔහු අත භාෂාව මෙවලමක් විය යුතුයි. ඒ සඳහා භාෂාව කඩා බිඳ දැමීමට ඔහු දෙවරක් සිතිය යුතු නැහැ. නිර්මාණාත්මක බසක් ගොඩනගා ගත හැක්කේ භාෂාව කඩාබිඳ නැවත ගොඩනැගීමෙන් පමණයි. මගේ පෞද්ගලික මතය අනුව නම් සිංහල භාෂාවේ ඇති සාම්පරාබ දායික ලේඛන ව්‍යාකරණය නිර්මාණාත්මක බසක් ගොඩනගා ගැනීමට බාධාවක්. 

මා එය බැහැර කොට කට වහරේ ඇති ව්‍යාකරණය ලේඛනය සඳහා යොදා ගත්තා. එහෙත් මගේ භාෂාව කට වහර නොවේ. එය වියත් වහරත් කට වහරත් අතරමැද පවතින මැදි වහරක්. මේ මැදි වහර ගැන අජිත් තිලකසේන මහතා දීර්ඝ කාලයක් පුරා අධ්‍යයනය කරමින්, අදහස් පළ කරමින් සිටිනවා. ඔහුගේ හැදෑරීම් ද මගේ භාෂා භාවිතය කෙරෙහි බලපෑමක් කළා. භාෂාව යනු එකතැන පල්වෙන දෙයක් නොවේ. එය කලින් කලට, පරයා දේශයෙන් පර්ය දේශයට පමණක් නොව පුද්ගලයාගෙන් පුද්ගලයාට ද වෙනස් වෙනවා. භාෂාවේ මේ ගතික ස්වභාවය ලේඛකයා අවබෝධ කර ගැනීම වැදගත්. ඒ වගේම ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි. නවකතාවේ අත්දැකීම හා ආකෘතිය සමග භාෂාව ද අත්යවන්තයෙන් බැඳී පවතිනවා. මේවා එකිනෙකට වෙන් කළ හැකි ප්‍රපංචයන් නොවේ. මගේ අදහස අනුව ලේඛකයෙකු එකම භාෂා ශෛලියක කොටුවී සිටිය යුතු නැහැ. නවකතාවෙන් නවකතාවට ඒවායේ අන්තර්ගතයත්, ආකෘතියත් අනුව භාෂා ශෛලිය වෙනස් කර ගැනීමට ඔහු සූදානම් විය යුතුයි. 

 

වත්මන් නවකතා බොහොමයක ආකෘතිය හා අන්තර්ගතය පරරෙ බල වුවත් කලාත්මක අගයේ පරිහානියක් දක්නට ඇති බව බොහෝ ලේඛකයන් පෙන්වා දෙනවා. ඔබේ අදහස කුමක් ද?

 
කලාත්මක අගය ලෙස කුමක් අදහස් කළා දැයි මා දන්නේ නැහැ. මා දකින්නෙ දෘෂ්ටිමය වශයෙන් යම් පසුබෑමක් ඇති බවයි. මෙය විචාරයෙහි ද දක්නට තිබෙන්නක්. උසස් පෙළ සිංහල විෂය සඳහා ගම්පෙරළිය නවකතාව හැදෑරීමේ දී අපට කියා දුන්නේ එය වැඩවසම් ක්‍රමයේ පරිහානියත් නව ධනවාදයේ නැගීමත් නිරූපණය කරන බව. කයිසාරුවත්තේ වැඩවසම් කරඩව මය සංකේතවත් කරන අතර පියල් නව ධනපති කරනය මය සංකේතවත් කරන බව. මේ සරළ විග්‍රහය තමයි අද වෙනකල්ම අධිපති ධාරණාවේ විචාරකයන් නවකතාව සම්බන්ධයෙන් කරන්නෙ. 

රචකයන් කරන්නෙත් මේ විගරනවකහයට හසුවෙන විදිහට තමුන්ගේ නිර්මාණ කරන එක. මං කියන්නෙ නෑ වෙනස් මාර්ගවල ගිය ලේඛකයො නෑ කියල. මම කතා කරන්නෙ  මට පේන දේ. නවකතාව පිළිබඳ නිර්නායක වෙනස් විය යුතුයි. නවීන ලෝක සාහිත්‍යය තුළ මේ පැරණි නිර්ණායකයන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. නව අර්ථකතන බිහි වෙලා තියෙනවා. අප ඒවායේ අභාසය ලබා ගත යුතුයි. එසේ නොමැතිව සිංහල නවකතාව එකතැන පල් වෙන්නට පටන් ගන්නවා. ඒකාකාරී වෙනවා. බොහොමයක් සාහිත්යස සම්මාන විනිශ්චය මණ්ඩලවල සාමාජිකත්වය දරන්නෙත් මේ පැරණි යල්පැනගිය නිර්ණායක දේවත්වයෙන් සලකන අය. මේ මණ්ඩලවල උවමනාවන් සපුරන්න ලේඛකයන් උත්සාහ කිරීම හේතුවෙන් ලේඛකයන් තමුන්ගේ අනන්‍යතාව වගේම නිර්මාණාත්මක භාවය හීන කර ගන්න අවස්ථා මම දැකල තියෙනවා. ලේඛකයෙක් තමුන්ගෙ කෘතිය රචනා කරන්න  ඕනැ පාඨකයට. විනිශ්චය මණ්ඩලවලට නෙමෙයි. 

 

ඔබ මිලාන් කුන්දේරාගේ වගේම ඇල්බටෝ මොරාවියාගේ කෘති කීපයක්ම සිංහලට නැගුවා. බටහිර සාහිත්‍යයේ නූතන කියවීම් ද ඔබ කරනවා. ඔබේ නවකතාවේ මේ සෙවණැලි තිබෙනවා ද?

අනිවාර්යෙන්ම ඇති. සමහර පාඨකයන් ද ඒ ගැන යම් සඳහන් කිරීම් කළා. නවකතාකරුවකුට සිංහල සාහිත්යෙයෙන් පමණක් ආභාසය ලැබීම ප්‍රමාණවත් යැයි මා සිතන්නේ නැහැ. ලෝක සාහිත්‍යය ප්‍රවණතා ගැන අවදියෙන් සිටීම ඉතා වැදගත්. මා ගැටවර වියේ දී ආශක්ත වන්නේ සෝවියට් සාහිත්යාය වෙත. මැක්සිම් ගෝර්කි, මිඛායිල් ෂෝලහෝව් වැන්නන්ගේ සාටෝපවත් රීතිය කෙරෙහි මා ඉතා තදින් බැඳුණා. අහම්බයකින් දොස්තයෙව්ස්කිගේ නවකතාවක් කියවීමට ලැබීම නිසා මගේ නිර්නායක වෙනස් වුණා. සෝවියට් සාහිත්‍යය තුළ පැවති ව්‍යාජත්වය මට පෙනෙන්නට ගත්තා. එතැන් පටන් මගේ කියවීම වෙනස් වුණා. තෝල්ස්තෝයි, ප්ලෝබෙයා වැනි ලේඛකයන් කෙරෙහි සමීප වුණා. පසු කලෙක දී ලතින් ඇමෙරිකානු සාහිත්යාය කෙරහි මගේ අවධානය යොමු වුණා. මාකේස්, අයියන්දේ, යෝසා වැනි ලේඛකයන්ගේ කෘති මහත් අභිරුචියෙන් පරිශීලනය කළා. මේ අවධියේ දී හරුකි මුරකාමි මගේ ප්‍රියයතම ලේඛකයෙක්.

 

(සංවාද සටහන - ගාමිණී කන්දේපොළ)