2018 වසරේ තිරගත වූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව 26 කි. දෙමළ භාෂීය එක් චිත්‍රපටයක් ද මේ වසරේ ප්‍රදර්ශනයට එක්විය. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ගුණාත්මක චිත්‍රපට නැමියාව ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගනී.

වෙළෙඳපොළ දැක්මෙන් ජයගත් චිත්‍රපට සංඛ්‍යාව අල්ප වුව ද ගුණාත්මක අගයෙන් යුත් චිත්‍රපට ප්‍රමාණාත්මකව වර්ධනය වීම සිනමාව පිළිබඳ නව අපේක්ෂා දල්වන බව කිව යුතුය. පසුගිය වසරේ මෙරට තිරගත වූ සමහර ඉංග්‍රීසි, හින්දි හා දෙමළ චිත්‍රපට ද අපේක්ෂිත ආදායම් ඉපැයීමේලා අසාර්ථක වූ හෙයින් වෙළෙඳපොළ පසුබෑම විශාල කඩාවැටීමක් සේ බියවිය යුත්තක් ද නොවේ. එහෙත් ගුණාත්මක අගය පමණටම වෙළෙඳපොළ ජයගැනීම ද අත්‍යවශ්‍ය සාධකයක් සේ ගැනීමට එම පසුබෑම පිවිසුමක් කරගැනීම වැදගත්ය.

මේ වසරේදී නවක සිනමාකරුවෝ අටදෙනෙක් සිනමාවට අවතීර්ණ වූහ. ප්‍රගීත් රත්නායක (ආදරෙයි මං), සංජීව සංකල්ප (යමරජසිරි), නලින් ප්‍රේමතිලක (රයිගමයයි ගම්පළයයි), සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්), උපාලි ගම්ලත් (කළුහිම), කේ.එස්. චමත්රාජ් (උදුම්බරා), සුනිල් ප්‍රේමරත්න (ටවුමෙ ඉස්කෝලෙ), කිංරත්නම් (කෝමාලි කිං) මෙම සිනමාකරුවන්ය. (සංජීව පුෂ්පකුමාර හා උපාලි ගම්ලත්ගේ ප්‍රථම චිත්‍රපට දෙක තවම තිරගත නොවූ හෙයින් ඔවුන්ගේ දෙවන චිත්‍රපට ප්‍රථම නිර්මාණ ලෙස අවධානයට ලක්වෙයි.) මේ අතුරින් ප්‍රතිභාවෙන් වඩා ඉදිරි තලයක පිහිටා සිටින්නේ සංජීව පුෂ්පකුමාර, උපාලි ගම්ලත් හා කිංරත්නම්ය.

ගුණාත්මක අගයෙන් ද වෙළෙඳපොළ වටිනාකමින් ද පහළ තලයකට වැටුණු චිත්‍රපට ප්‍රමාණය ද මෙවර සංඛ්‍යාවෙන් අඩුය. ඒ අතර ද කිසියම් ධනාත්මක ලකුණු සහිත චිත්‍රපට තිබේ.

ආදරෙයි මං, පෝරිසාදයා, සේයා, යමරජසිරි, පුංචි අන්දරේ, රයිගමයයි ගම්පළයයි, ඇලඩින්ගේ පුදුම පහන, කොළඹ සන්නිය රිටර්න්ස් බඳු චිත්‍රපට සිනමාත්මක හැඩයෙන් අඩු තලයක තිබිණි. විනෝදාස්වාදය මානයෙන් ද දුර්වලතා බහුල විය. ප්‍රගීත් රත්නායකගේ ප්‍රථම නිර්මාණය බිඳ වැටෙන්නේ තිර රචනය ද ප්‍රධාන චරිතය ද දර්ශන සංඛ්‍යාවෙන් බහුතරය ද සියතට ගනිමින් දුබල ඒකාධිකාරයක් චිත්‍රපටය තුළ පවත්වාගත් හෙයිනි.

ශ්‍රියන්ත මෙන්ඩිස් බඳු නළුවකු ප්‍රධාන චරිතය නිරූපණය කළ ද පෝරිසාදයා සමීපවන්නේ දුබල ටෙලි නාට්‍යයකටයි. පුංචි අන්දරේ හා රයිගමයයි ගම්පළයයි වැනි චිත්‍රපට ළමයින්ගේ ආස්වාදය අරමුණු කරගත්ත ද හාස්‍යෝත්පාදනය විසින් බාල තත්ත්වයකට ඇද වැටී තිබිණි. කොළඹ සන්නිය පැරණි චිත්‍රපටයේ චරිත පාදක කරගත් කොළඹ සන්නිය රිටර්න්ස් මුල් චිත්‍රපටය සතු වූ සරල විකට රසයෙන් ද සිනමාත්මක හැඩයෙන් ද වියුක්ත වූවකි.

එක දවසක අපි, නෙලා, කුසල්, මධුර චාරිකා, වස්සානයේ සඳ, ගෝල්, කළුහිම, සරුංගල්, නිදහසේ පියා ඩී.ඇස්, උදුම්බරා, මගේ යාලු මාලු 2 බඳු චිත්‍රපටවල සාධනීය ලක්ෂණ බහුල විය. එසේම ඉන් කිහිපයක් වෙළෙඳපොළේදී යම් සාර්ථක බවක් අත්කර ගැනුමට ද සමත් විය. මේ වසරේදී චිත්‍රපට දෙක බැගින් නිර්මාණය කළේ උදයකාන්ත වර්ණසූරිය හා ශ්‍රී ලාල් ප්‍රියදේව පමණි. මධුර චාරිකා ගුණාත්මක අගයක් හිමිකරගත් අතර වස්සානයේ සඳ උදයකාන්තගේ රොමෑන්ටික් චිත්‍රපට ධාරාවේම දිගුවක් විය. සිනමාවට අමතකව ගිය පැරණි වීරයකු පිළිබඳ මතකය අලුත් කරන අතීත ස්මරණ චාරිකාවක් බඳු මධුර චාරිකා චිත්‍රපටයේ ප්‍රබලතා ලුහුවන්නේ මේ සිදුවීම්වල යටිපෙළ මතුකර ගැනීමේලා අසමත් වන හෙයිනි.

වස්සානයේ සඳ ඔහුගේ රොමෑන්ටික් චිත්‍රපට අතර නව මුහුණුවරකට යොමුවීමක් වුව ද ප්‍රේක්ෂක අවධානය දිනාගැනුමේලා අපොහොසත් විය. බෙනට් රත්නායකගේ නෙලා ද රොමෑන්ටික් ධාරාවට අයත් නිර්මාණයකි.

ප්‍රේමයේ අපූර්ව බව ප්‍රකාශනය සිනමාකරුගේ අරමුණයි. ඒ සඳහා අපූරු සිනමාත්මක හැඩයක් භාවිතයට ද ඔහු සමත් වෙයි. අත්දැකීමේ ඌනතාත් අර්ථ සම්පාදනයේ පසුබෑමත් නිසා අපේක්ෂිත අරමුණු කරා ළඟාවීමට නොහැකි වුවත් නෙලා අසාර්ථක නිර්මාණයක් ලෙස සලකා ඉවත දැමිය හැකි නොවේ. කුසල් නැවතත් යහපත් සිනමාවකට පිවිසෙන්නට අර්ජුන් කමලනාත් සතු ආශාව පිළිබිඹු කරන චිත්‍රපටයක් ලෙස පමණක් වැදගත් වෙයි. ඔහු මෙම ආශාව මුදුන් පමුණුවා ගන්නේ ඝරසරප චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙනි.

උපාලි ගම්ලත්ගේ කළුහිම ටිබෙට් පරිසරයේ සුන්දර දෘශ්‍යමානයක ගලා යන ප්‍රේමවෘත්තාන්තයක් වුව ද අභව්‍ය සිදුවීම් නිසා අප්‍රාණික වූවකි. අසීරුවෙන් ගැටගසා ගන්නා අත්දැකීම නිසා ආකර්ශනය ලුහු වුව ද නවක සිනමාකරුවකු ලෙස උපාලිගේ ප්‍රතිභාව දැක්වෙන ලක්ෂණ ද එහි අන්තර්ගතය. උදුම්බරා දෙමළ චිත්‍රපටයක ආභාසය ලැබුව ද එහි සාරය උකහා ගැනීමේලා අසමත් වූ චිත්‍රපටයකි. එය ක්‍රීඩාව පසුබිම් කරගනිමින් මේ වසරේ තිරයට ආ දෙවන චිත්‍රපටයයි. ක්‍රීඩාවේ ජවසම්පන්න බව ස්පර්ශ කරනු වෙනුවට අනුවිත හා අභව්‍ය සිදුවීම්වලට මූලිකත්වය දීම නිසා උදුම්බරා චිත්‍රපටයේ ශක්තිය අඩාල වේ. මේ තේමාව රැගත් ගෝල් වඩා ඉදිරියෙන් සිටී.

රොහාන් පෙරේරාගේ පෙර චිත්‍රපටවල තිබූ සාධනීය ලක්ෂණවල මුහුකුරා යාමක් ඉන් ධ්වනිත වේ. එහි ක්‍රීඩා ගුරුවරයාගේ චරිතය උදුම්බරාහි එම චරිතයට වඩා ජීවිතයට සමීප වුව ද එහි ද දුර්වලතා මතුවන්නේ ක්‍රීඩාවේ ජවය චිත්‍රපටයේ ප්‍රමුඛ ලක්ෂණය නොවන නිසාය. දඩබ්බර ගැමි දරුවන් පිරිසක් නුහුරු ක්‍රීඩාවකට හුරු කිරීම පසුපස තිබෙන අභියෝග, දුෂ්කරතා, ගෝල් චිත්‍රපටයේ ද සාකච්ඡා වන්නේ මඳ වශයෙනි. එහෙයින් ක්‍රීඩාවේ අවසන් ජයග්‍රහණවල ශක්තිය අඩාල වේ.

නිදහසේ පියා චරිතාපදාන චිත්‍රපට ප්‍රවර්ගයට අයත්වෙයි. ඒ චිත්‍රපටයේ ප්‍රබලතා මතුවන්නේ කලා අධ්‍යක්ෂණය, අංගරචනය, රූප නිර්මාණය බඳු අනුශාංගික අංග මූලික කරගනිමිනි. අතීතයට හා සමකාලීන වර්තමානයට කෙරෙන චේදන මත අත්දැකීම ගොඩනැගේ. එහෙත් මේ බහුතල අධ්‍යාන රීතිය මත උචිත අනුචිත අවස්ථාවන් තෝරා බේරා ගැනුමට තිර රචකයා පසුබාන නිසා චරිතයේ ගලායාමට පමණක් නොව පෞරුෂයට ද බාධා පැමිණේ. සුනෙත් මාලිංගහේවාගේ ප්‍රයත්නය ප්‍රශංසනීයයි. පසුතලවන අවදිය හා චරිත කෙරෙහි ඔහුගේ දැකීම අප සිත්ගනී. එහෙත් චරිත සමූහයක් හුදු සංවාද මගින් ගොඩනැගීමත් ප්‍රධාන භූමිකාව අබිබවා වෙනත් භූමිකාවන් ප්‍රධානත්වය ගැනීමත් නිසා උපයුක්ත අත්දැකීමේ හරය කඩාවැටේ.

නිදහසේ පියා චරිතාපදාන ප්‍රවර්ගය තුළ මතකයේ රඳවාගත යුතු නිර්මාණයක් බවට නම් සැකයක් නැත. වසරේ වඩා ආකර්ශනීය චිත්‍රපටයක් වූයේ කිංරත්නම්ගේ කෝමාලි කිං දෙමළ භාෂීය චිත්‍රපටයයි. හාස්‍යෝත්පාදනය විසින් මේ චිත්‍රපටය එම ප්‍රවර්ගයේ සෙසු චිත්‍රපට ඉක්මවා සිටී. එය දිවයින පුරා ප්‍රදර්ශනය නොවීම කනගාටුවට කරුණකි.

වසරේ ගුණාත්මක අගයෙන් ඉහළ තලයක පැවතියේ සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්ණාවි, සුනිල් ආරියරත්නගේ බිම්බා දේවි හෙවත් යශෝධරා, චන්ද්‍රන් රත්නම්ගේ මැතිව්, ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප හා සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන්ය.

යශෝධරා මෙරට බිහිවූ හොඳම බෞද්ධාගමික චිත්‍රපටය වනු පමණක් නොව සුනිල් ආරියරත්න මෑත අවදියේ කළ හොඳම සිනමා නිර්මාණයද වෙයි. යශෝධරා දේවියගේ චරිතය සිනමාකරු විනිවිදින්නේ කරුණා රසය ජනනය කෙරෙන සිනමා රීතියක පිහිටමිනි. යශෝධරාගේ යව්වනය, සිද්ධාර්ථ හා ගෙවූ ජීවිතය, මෙන්ම අභිනිෂ්ක්‍රමණයෙන් පසු අවදියත් පරිනිර්වාණයත් මෙහිදී අවලෝකනය කෙරෙනුයේ උතුම් ස්ත්‍රියකගේ ඇතුළාන්තය සූක්ෂමව විනිවිදිමිනි. ප්‍රකාශ කරමිනි.

සන්සුන් ලාලිත්‍යවත් සිනමා රීතියක් උපයුක්ත චරිත කෙරෙහි වන අසීමිත ගෞරවාදරය මුසුවූ දැක්මක් විසින් යශෝධරා සිත් සනහාලන නිර්මාණයක් බවට පත්වෙයි. එය වෙළෙඳපොළේදීද ඉහළම සාර්ථකත්වයක් හිමිකර ගන්නේ ප්‍රශස්ත නිර්මාණයකට තවමත් ප්‍රේක්ෂක ආදරය හිමිවන බව සනාථ කරමිනි.

වෛෂ්ණාවි දීර්ඝ කාලයක් පුරා වගාකළ සිනමා ශික්ෂණයක නියත පලයක් සේ ගැනීම වඩා නිවරද යැයි සිතමි. ජනප්‍රවාදය ඇසුරේ සැබෑවත් මායාවත් මිශ්‍රණයෙන් සුමිත්‍රා මෙහිදීද ස්ත්‍රිය පිළිබඳව අසමාන ප්‍රේමය පිළිබඳව අපූරු කාව්‍යමය ප්‍රකාශනයක නිරත වන්නීය. වෛෂ්ණාවි දෘශ්‍යමානයෙන් චමත්කාරජනකය. විචිත්‍ර රූපාවලියක්, උචිත සංස්කරණය මෙන්ම පර්යේෂණාත්මක කලා අධ්‍යක්ෂණයක් සමබර රූපණත් විසින් වෛෂ්ණාවි අගනා නිර්මාණයක් බවට පත්කෙරේ.

චන්ද්‍රන් රත්නම්ගේ මැතිව් සිනමා ගුණයෙන් පිරිපුන්ය. මනා තිරරචනයත් අර්ථවත් රූප නිර්මාණයත් යටි අරුත් සම්පාදනය කෙරෙන නාදමාලාවත් විශිෂ්ට රූපණත් භාවිතයෙන් චන්ද්‍රන් රත්නම් නව සිනමා ජීවිතයේ අගනාම චිත්‍රපටය නිර්මාණය කරයි. සත්‍ය සිදුවීමක ඇතුළාන්තය විනිවිදීමේදී ශිල්පීය උපක්‍රම මත නොව මනුෂ්‍ය ස්වභාවයට අදාළ සංඥා කෙරෙහි විශ්වාසය තබන සිනමාකරු පුද්ගල චරිතයක ස්වරූපය මැදහත් සිතින් අවලෝකනය කරයි.

ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප මේ වසරේ වැඩි ප්‍රේක්ෂක අවධානය දිනාගත් තවත් චිත්‍රපටයකි. ජනශ්‍රැතිය පාදක කරගනිමින් ජීවිතයේ සූක්ෂමතා විනිවිදීමේදී ජයන්ත ප්‍රකට කරන සියුම් නිර්මාණාවේශය මෙහිදීද විඳගත හැකිවෙයි. ආත්මාර්ථයෙන් තොර ප්‍රේමයක අසිරිය ඔහු ප්‍රතීයමාන කරන්නේ සිනමා ගුණයෙන් පිරිපුන් නිර්මාණයක ස්වරූපයෙනි. ප්‍රබල සංඥා දනවන රූපාවලිය, දෙවැනි තෙවැනි මාන ලබාදෙන නාදමාලාව, අපූර්ව රූපණ ප්‍රතිභා මෙන්ම ශූර අධ්‍යක්ෂණයද විසින් ඝරසරප ඉහළ අගයක් හිමිකරගනී.

වසරේ වඩා පුළුල් කතිකාවකට මුල්වූ චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන්ය. දේශපාලනමය යටිපෙළක සියුම්ව පවතිමින් ජඩ දේශපාලනයක ගොදුර බවට පත්වූ ස්ත්‍රියක හා ඇගේ සමීපතමයන් පිළිබඳ බේදය සංජීව විවරණය කරන්නේ මුහුකුරා ගිය සිනමාකරුවකුගේ විලාසය ප්‍රකට කරමිනි.

මේ ඛේදවාචකයට මැදිහත්ව තම අර්ථකථන ඉදිරියට ගෙනඒම වෙනුවට ඔහු ප්‍රඥාසම්පන්න සිනමාකරුවකු ලෙස මේ මානුෂීය හා සමාජයීය ප්‍රපංවවල ඇතුළාන්තය අප ඉදිරියේ තබමින් අපගේ අර්ථකතනවලට ඉඩහසර සලසයි. යුරෝපීය සිනමා රීතියත් මෙරට සිනමාවට හුරුපුරුදු කතා කලාවත් සම්මිශ්‍රණය කරමින් ඔහු මොහොතකට මෙරට ප්‍රේක්ෂකයාගේ හදගැස්ම නතර කිරීමට සමත්වූ බව කිවයුතු වෙයි. එහි කුසුම් ලෙස අනෝමා ජනාදරීගේ රූපණය මෑතකදී මෙරට සිනමාවේ අප දුටු ප්‍රශස්ත භූමිකා නිරූපණයක් වේ.

මේ වසරේදීද සිනමාවේ අනුශාංගික අංශවල ඉමහත් ප්‍රබෝධයක් පුනර්ජීවනයක් දැකිය හැකි විය. තුමිඳු දොඩන්තැන්න (වෛෂ්ණාවි, නිදහසේ පියා), මහේන්ද්‍ර පෙරේරා (දැවෙන විහඟුන්), දිනෙත් ද සිල්වා (යශෝධරා), ජයලත් මනෝරත්න (ගෝල්), දෙව්නක පෝරගේ, කමල් අද්දරආරච්චි (ඝරසරප) ලක්ෂ්මන් මෙන්ඩිස්, පූජිත ද මෙල් (නිදහසේ පියා), ජැක්සන් ඇන්තනි (උදුම්බරා), ඇල්ස්ටන් කොක් (මැතිව්), කිංරත්නම්, ප්‍රියන්ත සිරිකුමාර (කෝමාලි කිං) හේමසිරි ලියනගේ (මධුර චාරිකා), සරත් කොතලාවල (කොළඹ සන්නිය රිටන්ස්), ශලනි තාරකා (නෙලා), යශෝධා විමලධර්ම (වෛෂ්ණාවි), සමාධි අරුණි මායා, ෂෙහාරා හේවදුව (වෛෂ්ණාවි), සංගීතා තදානි (යශෝධරා), පියුමි හංසමාලි (වස්සානේ සඳ), අනෝමා ජනාදරී, ලියෝනි කොතලාවල (දැවෙන විහඟුන්), චාන්දනී සෙනෙවිරත්න (දැවෙන විහඟුන්, ගෝල්), කාවින්ද්‍යා අධිකාරි (ඝරසරප), සුබුද්ධි ලක්මාලි (කළුහිම), නදීශානි ඇන්ඩර්සන්, හර්ෂි රසාංගා (උදුම්බරා), බිම්සරා ප්‍රේමරත්න (මැතිව්) රූපණයෙන් වඩා දක්ෂතා ප්‍රකට කළ පිරිස අතර වෙති.

චන්දන ජයසිංහ (නිදහසේ පියා, මැතිව්), ඩොනල්ඞ් කරුණාරත්න (වෛෂ්ණාවි), චන්න දේශප්‍රිය (යශෝධරා), කාලිංග දේශප්‍රිය (දැවෙන විහඟුන්), ප්‍රභාත් රොෂාන් (ඝරසරප), පාලිත පෙරේරා (ගෝල්), අයේෂ්මන්ත හෙට්ටිආරච්චි (මධුර චාරිකා), රූප නිර්මාණයෙන්ද රුක්මාල් නිරෝෂ් (යශෝධරා), අජිත් රාමනායක, කත්රිනා වර්හෝවා (දැවෙන විහඟුන්), උපාලි ගම්ලත් (කළුහිම), ජේමිස් රත්නම් (මැතිව්), ප්‍රවීන් ජයරත්න (මධුර චාරිකා), චමත් පරණවිදාන (වෛෂ්ණාවි) සංස්කරණයෙන් ද නිමල් මෙන්ඩිස් (වෛෂ්ණාවි), රෝහණ වීරසිංහ (යශෝධරා), චින්තක ජයකොඩි (ඝරසරප), සුරේෂ් මාලියැද්ද (ගෝල්), නවරත්න ගමගේ (මධුර චාරිකා), මොරිස් සෙයිස් (මැතිව්) සංගීත නිර්මාණයෙන්ද ඉස්මතුවී පෙනෙන කලාකරුවෝයි. වෛෂ්ණාවි, යශෝධරා, දැවෙන විහඟුන්, ඝරසරප, නිදහසේ පියා, මැතිව් අංග රචනයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් වඩා සාර්ථක නිර්මාණය. යශෝධරා, වෛෂ්ණාවි හා නිදහසේ පියා චිත්‍රපටවල ඇඳුම් නිර්මාණයද අවධානයට ලක්විය යුතු තලයක තිබේ.

වෙළඳපොළේදී විශාල සාර්ථකත්වයක් අත්කරගත්තේ චිත්‍රපට දෙක තුනක් පමණි. මේ වාණිජ කඩාවැටීම පසුපස බොහෝ සාධක තිබෙන බව හඳුනාගත හැකියි. ඉන් වඩා අවධානයට යොමුවිය යුත්තේ කර්මාන්තය තුළින්ම පැනනගින සාධකයි.

දැන් දැන් බොහෝ චිත්‍රපට නිර්මාණය වන්නේ ඩී.වී.ඩී. වෙළෙඳපළ ඉලක්ක කරගනිමිනි. මෑතක තිරගතවූ ඝරසරප හා උදුම්බරා වැනි චිත්‍රපටවල පවා ඩී.වී. තැටි වෙළෙඳපළට නිකුත් වී තිබේ. එසේම මුල් සිනමාශාලාවල ප්‍රදර්ශනයෙන් සති කිහිපයකට පසු මේ අලුත් චිත්‍රපට රූපවාහිනී නාලිකාවලින් විකාශනය වන බවද පේ්්‍රක්ෂකයෝ දනිති. මේ සියල්ල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන බහුතර සිනමා ප්‍රේක්ෂකයා සිනමාශාලාවෙන් ඉවතට අදින සාධකයි. මේ නිසා තම පැවැත්ම වෙනුවෙන් විදේශීය චිත්‍රපට වෙත යොමුවීමට සිනමාශාලාවලට ද සිදුවී තිබේ. දෙමළ චිත්‍රපටවල පිටපත් සියය දක්වා ප්‍රදර්ශනයට නිකුත් කරන්නේ සිංහල චිත්‍රපට සඳහා වෙන්වන දර්ශන වාර ද පැහැර ගනිමිනි. මේ අලුත් දෙමළ, හින්දි චිත්‍රපටවල ඩීවීඩී තැටි ද වෙළෙඳපළට එන බව රූපවාහිනී නාලිකාවලින් ප්‍රදර්ශනය වන බව ප්‍රේක්ෂකයෝ දනිති. එහෙත් දේශීය හා විදේශීය චිත්‍රපට අතර එහිදී විශාල පරතරයක් තිබේ.

දේශීය චිත්‍රපට බහුතරය සිනමා බස පිළිබඳ තැකීමක් නොකරන්නේ ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය ඩී.වී.ඩී වෙළෙඳපළ නිසාය. එහෙත් දෙමළ හින්දි චිත්‍රපටවල ඩී.වී.ඩී. තැටි නැරඹීමෙන් පූර්ණ සිනමා ආස්වාදයක් ලැබිය නොහැකි බව දන්නා ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන් සිනමාශාලාවලට ද එති.

මේ සිනමාත්මක බව හා කතා කලාව පිළිබඳ ගැටලුවයි. වෘත්තීය පදනම පිළිබඳ ගැටලුවයි. ආදායම් ඉපැයීමට බරපතළ බාධකයක්ව පවතින මෙම ගැටලුව විසඳාගත යුත්තේ වෘත්තිකයන් විසින්මයි. කිසිදු ප්‍රමිතියකින් තොර සිනමා බස භාවිතයේ ලා ප්‍රාථමික ගුණාත්මක වටිනාකමින් මෙන්ම ආස්වාදනීය බවින්ද හීන චිත්‍රපට ඩී.වී.ඩී. වෙළෙඳපොළට පමණක් සීමාකර සිනමාශාලාවෙන් ඈත්කර තැබීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නම් සිනමාවේ මානයෙන් ගුණදායක ය. ආර්ථිකයේ මානයෙන් වැඩදායක ය.

ගාමිණී වේරගම