කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ජාතික කාර්යමණ්ඩල සාමාජිකාවක පැහැර ගැනීමකට ලක්ව ඇතැයි පළවූ වාර්තා අද වනවිට යන්තම් සති දෙකක් වයසැති නව රජය සසල කිරීමට සමත් විය. අන්තර්ජාතික වශයෙන් නිසැකවම නැගෙනු ඇති ප්‍රශ්නාර්ථ සහ දේශපාලනමය වශයෙන් අත්විය හැකි අවාසි සහගත තත්ත්වයන් යන කාරණා නිසාවෙන්ම මෙම සිදුවීම ඉතාම බරපතළය.

අපි මේ සිදුවීම ඉතාම බරපතළ ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සම්පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට අපි නියෝග කර තිබෙනවා.

සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය. ඔහු මෙම අදහස් දැක්වූයේ ගෙවුණු අඟහරුවාදා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ රාජපක්ෂගේ ආරක්ෂක බල ඇණියට පසුගිය වසර 12 පුරාවට අනුයුක්තව සිට, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කැරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්න යන මහත්වරුන් සමග පැවැති රැස්වීමකින් පසුවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය රජයේ බලවත් අවධානය යොමුව තිබෙන බවත්, වහාම විමර්ශනයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් දන්වා සිටීමට මෙරට ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් අගමැතිවරයා හමුවට පැමිණ තිබූ පසුබිමක මෙම රැස්වීම පැවැත්විණ. ස්විට්සර්ලන්ත තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවූ අතර, තානාපති කාර්යාලයට ඉදිරියටත් ආරක්ෂාව සැපයෙන බව ඔහු හමුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහතික කළේ ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් විමර්ශකයින් පසුවේ. එවැනි ප්‍රකාශයක් මාර්ගයෙන් විමර්ශන කටයුතු කඩිනම් කළ හැකි වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි. ස්විස් තානාපතිවරයා අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද හමුවිය.

ස්විට්සර්ලන්තයේ බර්න් නුවර ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එම බලය යටතේම ස්විට්සර්ලන්තයට ද, අනුයුක්ත කර සිටින කරුණාසේන හෙට්ටිආරච්චචි මහතාව සඳුදා (2) එම අමාත්‍යාංශයට කැඳවා තිබේ. ස්විට්සර්ලන්ත රජයෙන් ශ්‍රී ලංකා රජය වෙත පණිවුඩයක් ලැබෙනු ඇතැයි ද, අපේක්ෂිතය. මේ අතරවාරයේම යුරෝපා සංගමයේ මෙරට නියෝජිතයන් මෙන්ම වෙනත් බටහිර රටවල තානාපති නිලධාරීන් අමාත්‍ය ගුණවර්ධන හමුවී මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබෙන බව ඔවුන්ට දැනුම්දෙනු ලැබ ඇත.    

විමර්ශන කටයුතු අවසන්වන තෙක් මම මේ ගැන බලන්නේ විවෘත මනසකින්. එහෙම වුනත්, මේක රජය අපහසුතාවයට පත්කරන්නට දියත් කර තිබෙන සැලැස්මක කොටසක් ද කියාත් මට සැකයක් තිබෙනවා. මොකද මෙම සිදුවීම වුණේ දැන්වීම් පුවරුවල දෙමළ භාෂාවෙන් කර තිබූ සටහන් කිසියම් පිරිසක් විනාශ කළ වහාම වාගේ නිසා, අගමැති රාජපක්ෂ කීවේ ය. අගමැතිවරයා සඳහන් කළේ පානදුර සහ වත්තල ප්‍රදේශවල ඇතැම් නාම පුවරුවල දෙමළ භාෂාවෙන් වූ සඳහන් විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබීම සම්බන්ධයෙනි. මෙම සිදුවීම වාර්තා වූයේ ජනපතිවරණයේ ප්‍රතිඵලවල උණුසුම මැකී යන්නටත් පෙරය.

පැහැරගැනීම සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පවතින තොරතුරු ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගත හැකි සේ එක්රැස් කරගැනීමට තවමත් අපහසුය. එහෙත් රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයන් සමග අදහස් විමසීමෙන් පසුව ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමේ සිදුවීමට අදාළ ඇතැම් අවස්ථා ගොඩනැගීමට සන්ඬේ ටයිම්ස් හට හැකියාව ලැබී තිබේ. පැහැරගැනීම සිදුව තිබෙන බව පැවසෙන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පිහිටා තිබෙන ආර්.ජී. සේනානායක මාවතේ දී (පැරණි ග්‍රෙගරි පාර) පසුගිය සඳුදා පස්වරු 5.00ට පමණය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය මෙන්ම ඕස්ටේ්‍රලියා මහකොමසාරිස් කාර්යාලය ද පිහිටා තිබෙන්නේ එය ආසන්නයේය.

පැහැරගැනීමට ලක්වූ තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා කාර්යමණ්ඩල සේවිකාව අනුයුක්ත කර සිට ඇත්තේ සංක්‍රමණික කටයුතු භාරව එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටින ස්විට්සර්ලන්ත ජාතික නිලධාරිනිය යටතටය. ආරක්ෂක මෙන්ම පෞද්ගලික ආරක්ෂාවට අදාළ කාරණා මත ඔවුන්ගේ නම් අනාවරණය කිරීමක් සිදු නොවිණ. යාබද පාසලක සිට නැවත තානාපති කාර්යාලය බලා යාමට මගට බැස තිබෙන කාර්යමණ්ඩල සේවිකාව පසුපස පුද්ගලයින් පස් දෙනෙක් සිට ඇති ටොයෝටා කොරොල්ලා වර්ගයේ සුදු පැහැ මෝටර් රථයක් පැමිණ තිබෙන අතර, ඇයව කුදලාගෙන මෝටර් රථයට දමාගෙන වහාම එම ස්ථානයෙන් පලාගොස් ඇත. පැය 2කට පමණ පසුව ඇයව නිදහස් කර තිබේ.

තමන්ට ලිංගික අඩත්තේට්ටම් කැරුණු බවට ඇය පැමිණිලි කළා. ඇයගේ අත්පා ගැටගසා දෑස් බැඳ දැමීමට පැහැරගත් අය කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුම්වත් රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් පැවසුවේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට ඇය සේවය කරන තානාපති කාර්යාලයෙන් වීසා බලපත් ලබාදීමට ඇය උදව් කළේ ඇයි කියා ඔවුන් ඇයගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

මෙය නැවත නැවතත් ඇයගෙන් විමසා තිබෙන ඔවුන්, පිළිතුරක් නොදෙන්නේ නම් අත්විඳිය හැකි ප්‍රතිවිපාකයන් පවසා ඇයට තර්ජනය කර තිබෙන බව ද, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සිය බලධාරීන්ට නොදන්වාම පසුගිය නොවැම්බර් මස 24 වැනිදා ශ්‍රී ලංකාවෙන් පලා ගියේ ය. රැකවරණය අපේක්ෂාවෙන් ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා ගොස් තිබෙන බව අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව තිබේ. ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට දින දෙකකට පෙරාතුව නිශාන්ත ද සිල්වා සිය රාජකාරි ගිනිඅවිය සහ යතුරුපැදිය නැවත භාරදීමට කටයුතු කර තිබෙන බව ද, මේ වනවිට හෙළිව ඇත. අඩුම තරමේ මෙම කාරණය ඉහළ බලධාරීන්ගේ හෝ නව රජයේ නායකයින්ගේ අවධානයට යොමුකර නොමැත. එවැනි තත්ත්වයක් යටතේ නිශාන්ත ද සිල්වා මෙරටින් පිටමං කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයින්ගේ සහාය ඇතිව ගැනුණු සංවිධානාත්මක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසදැයි බියක් දැන් ඇතිව තිබේ. එවැනි බියක් ඇතිවීමට පදනමක් සකසා තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ද සිල්වා, ඔහු දියත් කරමින් සිටි විමර්ශන ගණනාවක් අරබයා කිසියම් කණ්ඩායමක් සමග සබඳතා පවත්වාගෙන ගොස් තිබීමය.

විමර්ශන වාර්තාවල පිටපත්
ප්‍රධාන පොලිස් පරීක්ෂක ද සිල්වා සේවය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ දැන් ගාල්ල ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහායක ලෙස පත්කර සිටින ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යටතේය. අබේසේකර සේවය කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යටතේය. විශ්‍රාම යෑමෙන් පසුව රවී සෙනෙවිරත්නට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමට එවක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර, එම සේවා දිගුව මෙම මාසයෙන් අවසන් වේ. වැදගත් විමර්ශන කිහිපයකටම අදාළ වාර්තාවල පිටපත් නිශාන්ත ද සිල්වා රැගෙන ගොස් තිබෙන බව අනාවරණයව තිබෙන අතර, මේ වනවිට වසා දමා තිබෙන සන්ඬේ ලීඩර් පුවත්පතේ සංස්කාරක ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය, පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබ ඇතැයි පැවසෙන කාටූන් ශීල්පී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය, අද වනවිට වසා දමා තිබෙන ද නේෂන් පුවත්පතේ උපසංස්කාරක කීත් නොයාර් මහතා පැහැරගැනීම සහ වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය වැනි විමර්ශනයන්ට අදාළ වාර්තා, ප්‍රකාශයන් සහ සටහන්වල පිටපත් ඒ අතරට ඇතුළත්ය. එපමණක් නොවේ. ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නැගී තිබෙන ඝාතන සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවල වාර්තා ද, ඔහු රැගෙන ගොස් තිබේ. ඒ අතර, දැනට අධිකරණය හමුවේ විභාගයට ගැනෙමින් තිබෙන එවැනි සිදුවීම් කිහිපයක වාර්තා ද, තිබෙන බව පැවසේ.

වරක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාම උසස් ආයතනයක් ලෙස සැලකුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙවුණු වසර කිහිපයක කාලය ඇතුළත දේශපාලන මෙවලමක තත්ත්වයට ගරාවැටී තිබීම අවධානය යොමුකළ යුතුවම තිබෙන කාරණයකි. මේ බව මෙම තීරුවේ ද, අවස්ථා කිහිපයකදීම සඳහන් කැරිණ. ඒ අරබයා වත්මන් රජයේ නියෝග යටතේ විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන අතර, දේශපාලනමය වැදගත්කමක් ඇති සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දියත් කිරීම සඳහා පිටස්තර පාර්ශ්වයන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොපමණ නම් ප්‍රමාණයකින් සබඳතා පවත්වාගෙන ගොස් ඇතිදැයි අනාවරණය කරගැනීම එහි අරමුණයි. මෙහිලා නැගී තිබෙන එක් චෝදනාවක්, එය සැබෑවක් නම්, ඉතාම බියකරුය. මෑත සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දියත් කැරුණු ඇතැම් විමර්ශනයන් කිසියම් පුද්ගලයෙක් කොටු කරගැනීමේ අරමුණින්ම දියත්කර ඇතිදැයි නව විමර්ශනයෙන් විමසුමට ලක් කැරෙමින් පවතී. එය විශේෂයෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාක්කි එකතු කිරීමේ යෙදී තිබෙන්නේ ඔවුන්ට කිසියම් සිදුවීමක සැකකරුවා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් සිදුකර හෝ එම සැකකරුවා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පළමුවෙන්ම ඔවුන්ම නිගමනය කර හෝ තිබුණු අවස්ථාවක ද, යන්න දැනගැනීම සඳහාය.

විමර්ශනවලින් අනාවරණය වුණු සාක්කි සහ කොටුකර ගැනීමට නියමිත වුණු පුද්ගලයා අතර සබඳතාවක් ගොඩනගා ගැනීමට අපහසු වුණු නිසා බොහෝ සිදුවීම්වලට අදාළ චෝදනා ගොනු කිරීම දිගින් දිගටම ප්‍රමාදවීමේ පුදුමයක් නැත. මින් පෙර අවස්ථාවක වාර්තා කැරුණු ආකාරයට මුල් තැනහි ලා සැලකුණු සිදුවීමකට අදාළව පවත්වා තිබෙන විමර්ශනයකින් ඉලක්ක කර තිබෙන්නේ වැරදි පුද්ගලයාවය. ඉදිරි සති හා මාස කිහිපයේ දී, මෙම කටයුතු කෙසේ සිදුව ඇතිදැයි යන්න පිළිබඳ වැඩිමනත් තොරතුරු අනාවරණය වනු ඇත.

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ කාර්යය ද, පැටවී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මතටය. කෙසේවුවත්, එය ඔවුන්ට පහසු කටයුත්තක් නොවනු ඇත. පැහැරගැනීමට ලක්වූ කාන්තාවනගේ අනන්‍යතාවය අනාවරණය කරගැනීමට හෝ ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා ඔවුහු අපොහොසත් වූහ. තානාපති කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතියෙන් සිදුවීමට අදාළ දර්ශන ලබාගැනීමට ද ඔවුන්ට නොහැකි විය. යාබදව පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන ද, ඔවුන් ඉල්ලා තිබේ.

විමර්ශන කටයුතු කඩිනම් කිරීමට පැහැරගැනීමට ලක්වූ කාන්තාවගෙන් සහ තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය උත්සාහ කරමින් සිටිනවා, විදේශ කටයුතු අමාත්‍යාාංශ ආරංචි මාර්ගයක් පැවසුවේ ය.

කෙසේවුවත් මෙම ගැටලුව ස්විස් බලධාරීන්ට හමුවේ උභතෝටිකයක් නිර්මාණය කර තිබේ. විමර්ශකයින්ට ඔවුන්ගේ තානාපති කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකාවගේ අනන්‍යතාවය අනාවරණය කිරීම ඇය ලැබූ අමිහිරි අත්දැකීමට තවත් බරක් එකතු කරනු ඇතැයි ඔවුන්ගේ හැඟීමයි. කොටින්ම, ඇයට ශ්‍රී ලංකාව හැර යාමට අවස්ථාව ලබාදෙන ලෙස ස්විස් තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එහි පවා එම සාමාජිකාවගේ අනන්‍යතාවය සඳහන් කිරීමට ඔවුන් කටයුතු කර නැත. මෙය ද, ඒ හරහා ඇයව හඳුනාගැනීමට විමර්ශකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි යන බිය නිසාය. ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද, ස්විස් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙම සිදුවීම අරබයා මෙවැනි පියවරයන් අනුගමනය කිරීමට පෙළැඹී සිටීම පසුපස තවත් සිදුවීමක් තිබේ. කාර්යමණ්ඩල සාමාජිකාව පැහැරගනු ලැබූයේ යැයි පැවසෙන සිදුවීමට දින කිහිපයකට පෙර ස්විස් තානාපති කාර්යාලයට පැමිණි රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සාමාජිකයන්ට ඉතාම අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවූ බව ඉහත සඳහන් කළ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගය පැවසුවේ ය.

හඳුනා නොගත් පුද්ගලයින් ඔවුන් පසුපස පැමිණ තිබෙනවා. කවුද මුණගැසුනේ, මොනවා ද සාකච්ඡා කළේ, මොන ප්‍රතිචාර ද ස්විස් තානාපති කාර්යාල නිලධාරීන් ලබාදුන්නේ, යන කාරණ එම පුද්ගලයින් ඔවුන්ගෙන් විමසා තිබෙනවා.

එම සාමාජිකයන්ගෙන් ස්විස් තානාපති කාර්යාලයේ අනන්‍යතාවයන් පවා අනාවරණය කරගැනීමට උත්සාහ කර තිබෙන බව සඳහන් කළ ආරංචි මාර්ගය, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත දැඩිව විරෝධය පළකිරීමටත්, පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස බලකර සිටීමටත් ස්විට්සර්ලන්ත රජය කටයුතු කරනු ඇති, යැයි කීවේ ය.

ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් අගමැති රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව කොළඹ විදේශ කටයුතු අමාතාංශය නිවේදනයක් නිකුත් කළේ ය. එහි මෙසේ සඳහන් විය.

මෙරටින් බඳවාගෙන තිබෙන කාර්යමණ්ඩල සාමාජිකයෙකුට මුහුණදීමට සිදුව ඇතැයි පැවසෙන අපරාධමය සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමුකර ඇත. මෙම අවස්ථාවේදී වගකිවයුතු රජයක් ලෙස රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් වන වියානා සම්මුතියට පූර්ණ අනුකූලව කටයුතු කරන බවට අපි සහතික වන්නෙමු.

සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි මෙරට කාර්යමණ්ඩල සාමාජිකාවට තුවක්කුවක් පෙන්වා බිය ගන්වා ඇයව පැහැරගෙන ගොස් ඇති බව හිටපු නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී පැවසුවේ ය. කෙසේවුවත් පිරිස පැමිණියේ සුදු වෑන් රථයකින් බව සහ ඔවුන් අදාළ කාන්තාව පැහැරගෙන තිබෙන්නේ තුවක්කුවක් පෙන්වා බිය ගන්වා බව හිටපු අමාත්‍යවරයා දැනගත්තේ කෙසේදැයි පැහැදිලි නැත. ඔහුගේ නියෝජනය කරන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ද, මෙම සිදුවීම හෙළා දුටුවේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අක්‍රීය නොකරන ලෙස අප ජනපතිවරයාගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. මෙහෙම දිගටම වුණෝතින් මත්කුඩු ජාවාරම ආයෙත් ඉහළට ඒවි. ඒ වගේම සොර මැරකම් වැඩි වේවි. හිටපු ඇමැතිවරයා කීවේ ය. මත්කුඩු ජාවාරම මැඩලීමට කටයුතු කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බවත්, සොර මැරකම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දිවයින පුරා පොලිස් ස්ථාන බවත්, හිටපු විෂයභාර අමාත්‍යවරයා නොදන්නා සෙයකි. මෙවැනි දැනුමක් ඇතිව ඔහු කෙසේනම් පසුගිය වසර කිහිපයේ දී, නීතිය හා සාමය අමාත්‍යාංශය මෙහෙයවූවාදැයි යන්න සැබැවින්ම ප්‍රහේලිකාවකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා රට හැර යාම සහ ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීම යන සිදුවීම් නිසැකවම ලබන වසරේ ජූනි මස ජිනීවා නුවර පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්වල දී, රාව ප්‍රතිරාව නංවනු ඇත. ඔහු පවත්වන්නට යෙදුණු විමර්ශනවල තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අනාවරණය කිරීමට ද සිල්වා කටයුතු කළහොත්, එය පදනමේ ගොඩනැගෙනු ඇති ප්‍රචාරණ ව්‍යාපාරයන් ගඟක් ගොඩගලන්නා සේම මාධ්‍ය වසාගනු ඇත. දැනටමත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ. අභිනවයෙන් දිවුරුම්දුන් එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු අතීතයට අයත් දෙයක් යැයි බැහැර කිරීමට කටයුතු කළ අතර, එය පැහැදිලිවම එම කරුණු කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ නොදන්නාකම සහ නොදැනුවත්භාවය ප්‍රදර්ශනය කිරීමකි. ඔවුන් නැවත බාලාංශයේ සිටම පාඩම් ඉගෙන ගනිමින් සිටින බව පෙන්නුම් කිරීමකි.

පැහැරගැනීම් සහ විවිධ කාරණා සම්බන්ධ වාර්තාකරණයේ යෙදුණු වෙබ් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ගැන ගෙවුණු සතියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. මෙය මෙතැනින් නොනවතින බව සහතිකය. එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරුණු යෝජනාවලිය හමුවේ පළවන්නට ගත් මාධ්‍ය වාර්තා සහ ලැබුණු ප්‍රසිද්ධිය සහ දියත් වන්නට ගත් ප්‍රචාරණයන්ට නිසි ප්‍රතිචාර දැක්වීමට අවසානයේ දී පැවැති රජයට අපොහොසත්වීම, දැනට උද්ගතව තිබෙන තත්ත්වයට ද ඔඩුදිවීමට ඉඩ දුනහොත් අත්විඳීමට සිදුවනු ඇති ඉරණමට කදිම උදාහරණයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 702කට විදෙස්ගතවීම තහනම් කර ඇති බවට නව රජයේ ඇතැම් නිලධාරීන් රහසේම මාධ්‍ය වෙත වාර්තා ලබාදීමට කටයුතු කිරීම එම ව්‍යායාමයෙන් බලාපොරොත්තු වූ යහපතට වඩා වැඩි අයහපතක් සිදුකර ඇති සෙයකි. මේ හමුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලවත් ලෙස අධෛර්යමත්ව තිබේ. එපමණක් නොව ඔවුන් ඇතැමෙක් එහි නෛතිකභාවය ද, ප්‍රශ්න කරන්නට ගෙන ඇත. වංචා හා දූෂණ පිළිබඳ විමර්ශන සිදුකළ නිලධාරීන්ට දඬුවම් පැමිණවීමට නව රජය කටයුතු කරමින් සිටින්නේයැයි විදේශයන්හි වාර්තා පළවෙමින් තිබීම කිසිසේත්ම යහපත් නොවේ. නව රජයට පොලිසිය අවශ්‍ය වන්නේ සාමකාමී මැතිවරණ සහ ජනපතිවරණ පැවැත්වීමට පමණක් නොවේ. නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට සහ පවත්වාගැනීමට ද, නව රජයට පොලිසිය අවශ්‍යය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වසා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගැනීම අගය කළ යුතුය. වර්තමානයේ මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවන්නේ පුවත ප්‍රකාශයට පත්කරන තැනැත්තාට මිස පුවතට නොවේ. පොලිසියේ විමර්ශන නිලධාරීන් හා සමානවම අතීතයේ පොලිසිය පසුපසින්ම සිට පුවත් වාර්තාකරණයේ සහ විවිධ සිදුවීම්වල පසුබිම් කතා අනාවරණය කරගැනීමේ යෙදුණු ක්‍රියාකාරී මාධ්‍යවේදීන් වර්තමානයේ නොමැතිවීමෙන් මතුව තිබූ හිස්තැන මාධ්‍ය ප්‍රකාශක අංශයක ආගමනයෙන් පුරවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ කලාව මනා ලෙස හසුරුවාගැනීමට පොලිසිය සමත්විය. එම ඒකකය හරහා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ සම්පූර්ණ අයිතිය, බොහෝ අවස්ථාවල දේශපාලන බලාධිකාරියේ උපදෙස් යටතේ නිකුත් කැරුණු, පොලිස් දෙපාර්තමේන්තුව තමන් සතුකර ගත්තේ ය. පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ නිලධාරීන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම තහනම් විය. සිවිල් ව්‍යුහයක් වන පොලිසිය කටයුතු කරන්නේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් වන නිසා, එම දෙපාර්තමේන්තුවේ සහ ජාතික මට්ටමේ වුවමනාවන් ආරක්ෂා කිරීමේ සමත් වෘත්තිමය සන්නිවේදන අංශයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවීම වඩා සුදුසුය. පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරයෙන් මේ අරබයා බොහෝ පාඩම් ඉගෙනගත හැකි අතර, පොලිසිය දියත් කළ සෝදිසි මෙහෙයුම්වලින් සොයාගත් පිහි, කඩු සහ කිණිසි පිළිබඳ වාර්තා පිට වාර්තා නිකුත් කැරුණු ආකාරයත්, නමුත් සංහාරයට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන දියත් කළ පුද්ගලයින් කිසිවෙක් අධිකරණය හමුවට නොපැමිණවීම සහ ඔවුන් විදේශයන් සමග පවත්වාගෙන ගිය සබඳතා නිසි කරුණු දැක්වීමක් හරහා තහවුරු නොකෙරුණු ආකාරයත්, මෙහිදී සිහිපත් වේ.

එක්සත් ජාතික පක්ෂය හමුවේ තිබෙන ගැටලු
අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයට විසඳාගත යුතුව තිබෙන වෙනත් බරපතළ මට්ටමේ ගැටලු පැවතිණ. හිටපු අගමැති සහ නව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවක් ඇමතීමට සූදානම්ව සිටින බවට පසුගිය අඟහරුවාදා දැඩි උනන්දුවක් ඇතිව තිබුණු අතර, කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක් එයට යම් පදනමක් සකසා තිබිණ. නොවැම්බර් මස 27 වැනිදා උදෑසන 7.30ට ඔහු නිකුත් කර තිබූ එම පණිවුඩයේ, ස්ථාපිත කර තිබෙන සහ උල්ලංඝණය කළ නොයුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව යහපාලන සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස තෝරාගැනුණු බවත්, පවත්නා අභියෝග ගැන තමා දන්නා වුව ද, පක්ෂයේ අභ්‍යන්තර ගැටලු - පක්ෂයේ අභ්‍යන්තරයේම විසඳා ගැනීම වඩා සුදුසු බවත්, සඳහන් විය.

අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරළ සහ රංජිත් මද්දුමබණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් සහභාගී වූ එම මාධ්‍ය සාකච්ඡාවට වික්‍රමසිංහ සහභාගී වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය වෙනත් අදහසකට මාරුවී සිටීම එයට හේතුව වූ අතර, තමා වෙනුවෙන් අදහස් දැක්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් භාවිත කරමින් සිටි වික්‍රමසිංහ, තමා පසුපසට පැමිණ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දරන අදහස මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කරවීමට පියවර ගත්තේ ය.
අනතුරුව හිටපු අගමැතිවරයා සහ කතානායකවරයා දෙදෙනාම එක්ව සිටි හමුවකට පැමිණෙන ලෙස ප්‍රේමදාසට ආරාධනයක් කැරිණ. ඔහු පැමිණෙන තෙක් අමරසූරිය මාවතේ පිහිටි ජයසූරියගේ නිවසට වී දෙදෙනා විනාඩි 50කට ආසන්න කාලයක් බලා සිටියත්, සජිත් ප්‍රේමදාස පැමිණියේ නැත. තමා අසනීපයෙන් පසුවන බව ඔහු පසුව දැනුම්දුන්නේ ය. එම කාලය පුරාවට ඔහුට ගත් කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රේමදාස ප්‍රතිචාර නොදැක්වූ අතර, ඔහුගෙන් ප්‍රතිචාර ලැබුණේ යැවුණු කෙටි පණිවුඩවලට පමණකි.

ඒ හමුවේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට ගරු කරන බවට පණිවුඩයක් නිකුත් කර තිබූ කතානායක කරු ජයසූරියට සිය අදහස වෙනස් කරගැනීමට සිදුවිය. පසුව ඔහුගේ මාධ්‍ය ඒකකය පහත දැක්වෙන නිවේදනය නිකුත් කළේ ය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනකු විසින් අත්සන් තබන ලද ලිපියක් පෙර දින (2019.11.27) පස්වරුවේ ගරු කතානායකතුමන් වෙත භාරදෙනු ලැබිණ.

එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, අදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක් ද සමග මේ වනවිට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත කතානායක කාර්යාලය මගින් යොමුකර ඇත. එමගින් කතානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරුන් 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම්දෙන ලෙසයි.

මේ වනවිට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාකොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම්දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි ගරු කතානායකතුමා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පමණක් විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇත.

බ්‍රහස්පතින්දා කතානායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශය නිකුත්වීමෙන් පසුව ප්‍රේමදාස නැවත වතාවක් කරළියට පැමිණියේ ය. එවර ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහායක දේශපාලන පක්ෂවල නායකයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගන්නා ලෙසට සහ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ වෙත සලසාදෙන ලෙසට ඔහුට බල කැරිණ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් සංග්‍රහයෙන් පසුව පිටත්ව ගියේ ඔවුන් එල්ල කළ පීඩනයට සජිත් ප්‍රේමදාසව නතුකරගැනීමට හැකිවූවායැයි යන හැඟීමෙනි. කෙසේවුවත් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හා අදහස් දක්වමින් ප්‍රේමදාස පවසා තිබෙන්නේ එයට එකඟ වන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂ නායකයා පමණක් නොව විපක්ෂ නායකවරයා ලෙස ද, පත්විය යුතු බවයි.

අවසානයේ සිකුරාදා ප්‍රේමදාස, වික්‍රමසිංහ සහ කරු ජයසූරිය හමුවිය. තිදෙන අතර දිවූ දීර්ඝ සංවාදයේ දී, තමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් නොව විපක්ෂ නායකවරයා ලෙස ද, පත්වීමේ කැමැත්තෙන් පසුවන බව සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ය. සාමයට අතවැනීමක් ලෙස එම කාරණය පක්ෂය හමුවේ තැබීමට වික්‍රමසිංහ එකඟ විය. ඉල්ලා සිටින බව යන්න මත පමණක් පිහිටා ප්‍රේමදාසට කිසිදු තනතුරක් ලබාදීමට හැකියාවක් තමාට නොමැති බව ඔහු පැහැදිලි කළේ ය. අනාගතයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කටයුතු කළ යුතුව තිබෙන්නේ කුමන ආකාරයට ද, එසේ කටයුතු කිරීම සඳහා අවස්ථාවක් ඔවුන්ට තිබෙන්නේ ද, යන්න ගැන පක්ෂයටම තීරණයක් ගත හැකි බව වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ ය.

එක්සත් ජාතික පක්ෂ තිදෙනාගේ රැස්වීම පැවැත්වීමට පෙර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයෝ තිදෙනෙක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සිලෝන් ජනතා කොංග්‍රසයේ රිෂාඞ් බදුර්දීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් යන මහත්වරු, වෙනම පැමිණ වික්‍රමසිංහ හමුවූහ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. තිදෙන මෙසේ පැමිණ වික්‍රමසිංහව හමුවුණෙ ප්‍රේමදාස පැවැත්වූ දිවා භෝජනය සංග්‍රහයට පසු දින, එනම් සිකුරාදා දින උදෑසනය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු එක්සත් ජාතික පක්ෂයටම විසඳා ගැනීමට ඉඩදෙන්නැයි වික්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (2) පැවැත්වීමට නියමිතව තිබිණ. එහිදී ගැනෙන තීරණය සම්බන්ධයෙන් කතානායකවරයා අද (3) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට නියමිතය. කෙසේවුවද, අදින් පසුව පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වාම තීරණයක් ගෙන නැත. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සැලකීමේ දී, වික්‍රමසිංහ තවදුරටත් එහි කටයුතු කරනු ඇත. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. වික්‍රමසිංහගෙන් පසුව නායකත්වයට පත්වන තැනැත්තා සම්බන්ධයෙන් පක්ෂයට යම් නිශ්චිත ස්ථාවරයක් ඇත්නම් නායකත්වය අත්හැරීමට ඔහු සූදානම් බවට පසුගිය සිකුරාදා පැවැති රැස්වීමේ දී යම් ඉඟි පළවිය.

නව රජයේ නිල භූමිකාවක් නොමැති සිරිසේන
නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් නව රජය තවමත් ගෙන නොමැත. පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කැරුණු ආකාරයට වාසුදේව නානායක්කාර මහතා එම තනතුර සඳහා පත්කිරීමට සුදුසුයැයි අදහසක් මතුව තිබුණ ද, නව රජයේ නායකයින් පැවති රජයේ තොරතුරු කවයන්ගෙන් දැනගෙන ඇත්තේ එසේ තම පාර්ශ්වයෙන් කතානායකවරයෙක් පත්කළහොත්, තම පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසාවෙන් විරුද්ධ පාර්ශ්වය එම පියවර පරාජයට පත්කිරීමේ ඉඩක් පවතින බවය. එනිසා එම අදහස තාවකාලිකව ඉවත් කර ගැනිණ. කෙසේවුවත් දැන් නැවත වරක් කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන අතර, සුදුස්සන් කිහිපදෙනකුගේ නම් ද, ඒ සඳහා යෝජනා වී තිබේ. නමුත් කතානායක ධුරය භාරගැනීමේ කැමැත්තෙන් පසුවූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් අතර නොමැත.

නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනපතිවරණයෙන් පසු පළමු වතාවට හිටපු ජනපතිවරයා මහගමසේකර මාවතේ පිහිටි සිය නිවසේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවිය. කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලැයිස්තුව සකස් කිරීමෙහිලා තමා කිසිදු දායකත්වයක් නොදැක්වූ බවට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුම්වත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

අඩුම තරමේ මට ලැයිස්තුවවත් පෙන්වූයේ නැහැ, හිටපු ජනපතිවරයා පැවසුවේ ය. සිරිසේන මෙසේ අදහස් දැක්වූයේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම අරබයා මතුව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ පැහැදිලි කිරීමක් සිදුකරමිනි. හිටපු ජනපතිවරයා පවසන්නේ සත්‍ය නම්, එම ලැයිස්තුව සකස් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඔහුගේ තනි මතයට බවට පළවන මතයට යම් පදනමක් හිමිවේ.එම ලැයිස්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඇතුළත් කිරීමේ දී, සාමාජිකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගෙන නොමැති බවටත්, තම තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සලසා ගැනීමේ අරමුණින් පමණක් පසුවූ පුද්ගලයින් එක් අයෙක් හෝ දෙදෙනෙක් ඇතුළත් කර තිබෙන බවටත්, ආන්දෝලනයක් මතුව ඇත. සිරිසේන එක් අවස්ථාවක දී අදහස් දක්වමින්, යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමාට ආරාධනා කරන්නේ නම්, ඕනෑම දිස්ත්‍රික්කයකට හෝ මැතිවරණ කොට්ඨාසයකට හෝ යෑමට තමා පසුබට නොවන බව අවධාරණය කළේ ය. එයට පිළිතුරු ලැබුණේ නිහැඬියාවෙනි.

හිටපු ජනපතිවරයාට නව රජයේ කිසිදු නිල භූමිකාවක් හිමි නොවන බව මෙම සිදුවීම් සහ කරුණු කාරණාවලින් පැහැදිලිය. ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පසුව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාරගෙන ඇතත් එයින් වෙනසක් සිදුව තිබෙන බවක් පෙනෙන්නට නැත. කෙසේවුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් ඔහු සමග කෝපයට පත්ව සිටින්නේ නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරන බව කියා සිටිය ද, හිටපු ජනපතිවරයා සජිත් ප්‍රේමදාසගේ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් සහාය දැක්වීම නිසාවෙන්ය. කඩාවැටෙන තත්ත්වයක පැවතිය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස සිය ආරක්ෂාව සලසා ගැනීමට, විශේෂයෙන්ම පක්ෂයේ හිටපු නායිකාවක මෙන්ම හිටපු ජනපතිනියක ද, වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නැවත දේශපාලනයට අවතීරණවීමට ගත් උත්සාහය එය පටන්ගත් තැනම මිහිදන්වීමත් සමග, හිටපු ජනපතිවරයාට හැකිය. තවද, මෙවර ජනපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කෙබදු වනු ඇතිදැයි දැනගත හැකිවනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂය යටතේ අපේක්ෂකයින් නම් කරනු ලැබුවායින් පසුවය.

නව රජය යටතේ පත්ව සිටින නිලධරයින් ඔවුන්ට පෙර සිටි නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් අරබයා ඇහිබැමි ඉහළ නංවාගෙන සිටින බව දැනගන්නට තිබේ. ව්‍යාපෘති 20ක පමණ කටයුතු නියාමනය කිරීමට අතිරේක ලේකම්වරුන් 18 දෙනෙක් පත්කර සිට ඇති අතර, මෙම සියලු ව්‍යාපෘතිවල මුදල් එකම ව්‍යාපෘතියකට - ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට - අවසානයේ යොදවා තිබේ. එසේ යොදවා තිබෙන මුදල රුපියල් ලක්ෂ 5000කි. හිටපු ජනපති සිරිසේන, ඔහුගේ අගමැතිවරයා පත්කළ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව වෙනුවට ජාතික ආර්ථික කවුන්සිලය ඇති කළ අතර, එම කවුන්සිලයේ කාර්යාල කටයුතු වෙනුවෙන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් දෙකක් පුරා විහිදුණු අවකාශයක් ඒ සඳහා වෙන් කැරිණ. පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැති යටතේ ජාතික ආර්ථික කවුන්සිලය අහෝසි කිරීමට හිටපු ජනපතිවරයාම පියවර ගත්තේ ය. එතැන් පටන් ඉහත සඳහන් කළ කාර්යාල අවකාශය තිබෙන්නේ භාවිතයට නොගෙනය. එපමණක් නොව එම අවකාශය වසර 3ක කොන්ත්‍රාත් පදනම යටතේ ලබාගෙන තිබෙන බැවින් තවදුරටත් එයට කුලී මුදල් ගෙවීමට වත්මන් රජයට සිදුව තිබේ. ලක්ෂ ගණනක වටිනාකමකින් යුතු පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර යනාදිය භාවිතයට ගැනීමකින් තොරව නිකරුණේ පවතී. මෙවැනි කාර්යාල අවකාශයක් ලබාගැනීමෙන් නොනැවතී ඇති ජාතික ආර්ථික කවුන්සිලය වාසය කිරීම සඳහා යැයි රජයේ බංගලාවක් ද, ඒ යටතට පවරාගෙන තිබේ.

එය සිදුකර තිබෙන්නේ හිටපු ජනපතිවරයාගේ අනුමැතිය යටතේය. ජනපතිවරණයෙන් පසුව සති 2ක් ගෙවී ගොස්ය. පැහැදිලි වෙනසක් දැනෙමින් තිබෙන බව කිව යුතුය. කසළ ඉවත් කිරීමේ නිරතව සිටින්නෝ දැන් රාත්‍රියේ පවා සේවයේ නියුක්තය. දුරකතන සහ විදුලි කණු මත එල්ලා වැටෙමින් තිබූ පෝස්ටර සහ දැන්වීම් පත්‍රිකා බොහෝමයක් ඉවත්කර ඇත. සාමාන්‍ය ජනතාවට අදාළ වූ කාරණා මෙවැනිය. ඒවා ඔවුන් අපේක්ෂා කළ ආකාරයෙන්ම ඉෂ්ට වෙමින් තිබේ. මැතිවරණ උණුසුම පහවීමෙන් පසුව වුව ද, මෙම තත්ත්වය එසේම පවතිනු ඇතිය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුවය. අනෙක් පසින්, ජනතාවට ලබාදුන් විසල් පොරොන්දු ඉටු කැරෙන තෙක්, රට බලා සිටී.

පරිවර්තනය
කෝවිද ගුණසේකර