විදේශ විනිමය හිඟය අපේ රටට බරපතළ ප්‍රශ්නයකි. රටට විදේශ විනිමය උපයා දෙන්නන් අතර ඉහළින්ම සිටින්නෝ විදෙස් රටවල රැකියා කරන ලාංකිකයෝය. දෙවැනි තැන හිමිකරගෙන සිටින්නේ ඇඟලුම් කර්මාන්තයයි. දැනට තෙවැනි තැන හිමිකරගෙන සිටින්නේ සංචාරක කර්මාන්තයයි. එහෙත් එය පළමු තැනට ඔසවා තැබිය හැකි බව එහි නියුක්තෝ කැට තබා කියති.

ඒ ගැන අද රටට කරුණු කියන්නේ ලංකාවට විදෙස් සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ හිටපු සභාපති දේවින්ද්‍ර සේනාරත්න මහතාය.

සීගිරිය ජන්ගල්ස් හෝටල්හි සභාපතිවරයා ද වන ඒ මහතා ලංකාවට විදෙස් සංචාරකයන් ගෙන්වන ජනිස්කේප්ස් ට්‍රැවල්ස් සමාගමේ සභාපතිවරයාද වෙයි. විදෙස් විනිමය ඉපයීම අතින් සංචාරක කර්මාන්තය පළමු තැනට ගෙන ඒමට කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන ඒ මහතා මෙසේ කරුණු දක්වයි.

ලංකාව 2018දී සංචාරක කර්මාන්තයෙන් පමණක් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5කි. ඒ ආදායම ලැබුණේ මෙරට පැමිණි සංචාරකයන් ලක්ෂ 25ක ගෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා 2019දී ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5දක්වා අඩු විය. ඒ වසරේ පැමිණියේ සංචාරකයන් ලක්ෂ 19කි. සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන මෙරට පිරිස ලක්ෂ 30ක් පමණ වෙති. සංචාරක හෝටල්වලට බිත්තර සපයන්නෝද ඒ අතර සිටිති.  සංචාරක කර්මාන්තයෙහි සේවය කරන පිරිස ලක්ෂ හතරහමාරකි. ඒ අතරින් විධායක ශ්‍රේණියට අයත් පිරිස අඩුය.

විදේශ රැකියා කරන අයගෙන් අපේ රටට ලැබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 7.7කි. ඒ 2018දීය. එහෙත් අවුරුදු ගණනාවක්ම පැවැතියේ ඒ මට්ටමේය. විදේශ විනිමය ඉපයීමෙන් දෙවැනි තැන සිටින්නෝ ඇඟලුම් නිෂ්පාදකයෝය. ඔවුන්ගේ ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 5කි. එහෙත් ඔවුන්ගේ ශුද්ධ ආදායම ඊට අඩුය. ඊට හේතුව ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර බොහෝමයක් පිටරටවලින් ගෙන්වන නිසාය. ඒ අනුව විදේශ විනිමය ඉපයීම අතින් සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තයට ඉහළින් සිටින බව අපේ තක්සේරුවයි. අපේ කර්මාන්තයේ පවතින පසු බැස්ම තාවකාලිකය. 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හා කොරෝනා වසංගතය ඒ පසුබැස්මට හේතුය. එහෙත් එන්නත්කරණය නිසා සංචාරක කර්මාන්තයට ඉතා ඉක්මනින් නැගිටින්නට හැකි බව අපේ විශ්වාසයයි.

ලංකාවට සංචාරකයන් ගෙන්වන්නේ අපය. අපි ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමය ලෙස සංවිධානය වී සිටිමු. සංචාර සංවිධානය කරන විදෙස් සංගම් සමග අපි සම්බන්ධ වී සිටිමු. ඒ රටවලට ගොස් ඔවුන් සමග ගිවිසුම් ගතවී කටයුතු කරන්නේ අපය. අපේ රට ගැන විදෙස් රටවල ප්‍රවර්ධන වැඩ සටහන් කරන්නේද අපය. ඒ ප්‍රවර්ධන වැඩ සියයට සියයක්ම කරන්නේ අපය. ඒ අනුව ලංකාවට එන  සංචාරකයන්ගෙන් සියයට හැත්තෑ පහක් ගෙන්වා ගන්නේ අපය. අපේ තක්සේරුව අනුව සංචාරක කර්මාන්තයෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් සියයට 65ක්ම ගෙන්වා ගන්නෝ අප සංගමයේ සාමාජිකයෝය. බුකින් ඩොට් කොම් හා ඔන්ලයින් වැනි ක්‍රම හරහා ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 80ක්ම පැමිණෙන්නේ පුංචි තැන්වලටය. ඔවුන් නවාතැන් ගන්නේ හෝටල්වල නොව පුංචි නවාතැන් පොළවල්වලය. අපේ පැකේජවල කාමරයක් රුපියල් 15,000 සිට 25,000 අතර වන විට අප හරහා නොපැමිණෙන විදෙස් සංචාරකයන් නවතින්නේ රුපියල් 1000 සිට 3,000 අතර වන කාමරවලය. ඔවුන් සිය කෑම සඳහා වියදම් කරන්නේද එලෙසිනි. මා මේ කියන්නේ එසේ පැමිණෙන  සංචාරකයන්ගෙන් රටට ලැබෙන ආදායම අඩු බවය. රටට වැඩි ආදායමක් ලැබෙන්නේ අපේ සංගමයේ සාමාජිකයන් හරහා එන  සංචාරකයන්ගෙනි. සංචාරකයන් නැරඹීමට කැමති රාජ්‍ය ආයතනවලට එනම් සීගිරිය, යාල වැනි ස්ථානවලට වැඩි ආදායමක් ලැබෙන්නේද අප ගෙන්වා ගන්නා සංචාරකයන්ගෙනි. සංචාරක ප්‍රවර්ධන වැඩ සඳහා අපේ සංගමය අවුරුද්දකට රුපියල් බිලියනයක් පමණ වැය කරයි. එහෙත් කර්මාන්තයේ දියුණුව සඳහා අප කරන මෙහෙවර පිළිබඳව රාජ්‍ය අංශයේ තනතුරු දරන ඇතැම් නිලධාරීන්ට නිසි අවබෝධයක් නැතිකම බරපතළ ප්‍රශ්නයකි. ඒ නිසා වර්තමානය වන විට මෙතෙක් නොතිබූ ප්‍රශ්න ද උද්ගත වී තිබේ.

සංචාරක කර්මාන්තයට අදාළව කටයුතු කරන රාජ්‍ය ආයතනවලට කාර්යක්ෂම හා උපායශීලී හා දිගුකල් පවත්නා වැඩපිළිවෙළක් නැති බව අපේ තක්සේරුවයි. ඒ රාජ්‍ය ආයතන දැනට අනුගමනය කරන පිළිවෙත අනුව ඔබ කැමැති තැනක ඔබට හෝටලයක් ඉදි කළ හැකිය. මා කැමැති තැනක මට ද හෝටලයක් ඉදිකළ හැකිය. ඒ ක්‍රමය මත දැන් අනවශ්‍ය තැන්වලත් හෝටල් ඉදිවී තිබේ. කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ට නම් ඒ පිළිබඳව අවබෝධයක් තිබේ. එහෙත් නිසි දැනුමක් නැති පුද්ගලයන් එසේ හෝටල් හදා අමාරුවේ වැටී සිටින බව අපි දකිමු. ඔවුන් අමාරුවේ වැටීමට වගකිවයුත්​ෙතා් සංචාරක කර්මාන්තයට අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානියෝය. මෙහිදී මහා වගකීමක් පැවරෙන්නේ සංචාරක මණ්ඩලයටය. බෙන්තොටට දැනට තරුපහේ හෝටලයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තරු හතරේ හෝටලයකි. අහවල් තැනට අවශ්‍ය තරු තුනේ හෝටලයක්ය කියන දැනුම අවබෝධය රටට හා ආයෝජකයන්ට දිය යුත්තේ සංචාරක මණ්ඩලයෙනි. එහෙත්  සංචාරක මණ්ඩලයෙන් අද ඒ වගකීම ඉටු නොවෙයි. මණ්ඩලය එය කළ යුත්තේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ හා ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ අදහස් ලබාගෙනය. එහෙත් සංචාරක මණ්ඩලය අපේ අදහස් ලබා නොගනියි. අදහස් ලබාගැනීමට අප සමග සාකච්ඡා නොකරයි.

හෝටල් ගැන පමණක් නොව අනෙක් කරුණු සම්බන්ධයෙන්ද සංචාරක මණ්ඩලයට දැක්මක් නැති බව අපේ විශ්වාසයයි. තක්සේරුවයි. උදාහරණයකට දඹුල්ලට සීගිරියට ගියත් යාලට ගියත් ආහාර ගැනීම සඳහා හෝටල් හැර වෙනත් කිසිදු තැනක් නැත. සංචාරක කර්මාන්තය දියුණු රටවල ස්පැනිෂ් කෝනර්, මෙක්සිකන් කෝනර්, තායි කෝනර් වැනි තැන් ඕනෑ තරම් තිබේ. ඒවායේ ආහාර ගැනීමට ද සංගීතය රස විඳීමට ද ඉඩකඩ හා අවස්ථාව තිබේ. එහෙත් ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ටත්, දේශීය සංචාරකයන්ටත් තමන් නැවතී සිටින හෝටලයෙන් කෑම කා එහිම නිදාගැනීමට සිදුවී තිබේ. ඇතැම් විට එකම හෝටලයේ එකම මේසයේ ආහාර ගැනීමට ද සිදුවෙයි. අපේ සංචාරක කර්මාන්තයේ ඒ පැතිවලට රිදම් එකක් නැති බව අපේ වැටහීමයි. කර්මාන්තයේ දියුණුවට තීන්දු තීරණ ගත යුතු රාජ්‍ය ආයතනවල වගකීම් ඉටුවන්නේ නම් අපේ සංචාරක කර්මාන්තය මෙවැනි තැනකට වැටෙන්නේ නැත. රාජ්‍ය ආයතන කළ යුතු බොහෝ දේවල් ඉවත දමා කරන්නේ නොකළ යුතු දේවල්ය.

උදාහරණයකට අපි සීගිරියම ගනිමු. එහි නිර්මාතෘ කාශ්‍යප රජු නිර්මාණය කළ හැටියට එදා සීගිරියේ කාමර 250ක්වත් තිබෙන්නට ඇතැයි මට සිතෙයි. එය සුන්දර ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස තිබෙන්නට ඇත. එහි මනරම් දසුන් කොතෙකුත් තිබෙන්නට ඇතැයි ඒ යුගයේ ලියැවුණු සාහිත්‍ය පොත්පත් බලන කියවන අයට වැටහෙයි. එහෙත් අද සීගිරියට යන ඔබත් මාත් දකින්නේ ගල්ගොඩක් පමණකි. හවස හයහමාරෙන් පසු එහි යන්නෙකුට ගල්ගොඩක්ද නොපෙනෙයි. සීගිරිය ලොව පවතින පුදුම අටෙක් එකකි. මෙය පවත්වාගෙන යා යුත්තේ ගල්ගොඩක් ලෙසද? අතීතයේ සීගිරිය පවතින්නට ඇත්තේ මෙසේ යැයි උපකල්පනය කර එවැනි දසුන් එහි මැවිය නොහැකිද? මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජ මාලිගාව ත්‍රීඩී තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කළේ මෑතකදීය. අපේ සංස්කෘතික උරුම ආශ්‍රිතව එවැනි දේවල් කළ නොහැක්කේ ඇයි? හවස් යාමයේ සීගිරියට යන්නෙකුට අතීතයේ එහි පැවැති සෞන්දර්ය සංගීතය ඔස්සේ හෝ විඳ ගැනීමට සැලැස්විය හැකි බව මගේ අවබෝධයයි. අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධ වී එවැන්නක් කිරීමට සංචාරක මණ්ඩලයට නොහැක්කේ ඇයි?

ඒකාබද්ධ ප්‍රවර්ධන, අලෙවිකරණ හා මහජන සම්බන්ධතාමය මෙහෙයුමක් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් තවමත් සිදුවී නැත. ඒ වගකීම භාරදිය යුත්තේ ජාත්‍යන්තර ප්‍රවර්ධන සමාගමකටය. එවැනි සමාගමක් තෝරාගත යුත්තේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකිනි. අනතුරුව ඒ සමාගම ලංකාවට ගෙන්වා ගෙන අපේ සම්පත් ගැන ඔවුන් දැනුවත් කළ යුතුය. මාල දිවයිනට තිබෙන්නේ මුහුද හා වෙරළ පමණකි. අපට ඊට අමතරව ඓතිහාසික නටබුන් හා පුරාවස්තු සේම සංස්කෘතික උරුම රාශියක්ද තිබේ. එසේම විවිධත්වයකින් යුතු දේශගුණයකින් සපිරි ස්වභාව සෞන්දර්යයද, වනෝද්‍යාන හා වනජීවී උද්‍යාන සේම ලොව කොහේවත් නැති ගුණාත්මක බවින් ඉහළ කුළුබඩුද තිබේ. ලොව හොඳම කුරුඳු තිබෙන්නේ ලංකාවේය. මේ සම්පත් සියල්ල සංචාරක ප්‍රවර්ධනයට යොදාගත හැකි දේවල්ය. එවැනි දේවල් රැසක් දැක බලාගත හැකි රටක් ලොව අන් තැනක නැත. ලංකාව සංචාරය කළ යුතුම රටක් ලෙස දෙවැනි වරටත් ලෝකය පුරා ජනප්‍රියව පවතින්නේ ඒ නිසාය.

එහෙත් සංචාරක කර්මාන්තය භාරව සිටින රාජ්‍ය ආයතන කරන්නේ මොනවාද? ප්‍රවර්ධන කටයුතු කළ යුත්තේ ඔවුන්ය. එහෙත් ඒ කිසිවක් නොකර අවුරුද්දකට රුපියල් බිලියනයක් පමණ වැයකර ප්‍රවර්ධන කටයුතු කර සංචාරකයන් ගෙන්වා ගෙන රටේ පවතින විදේශ විනිමය ප්‍රශ්නයට යම් විසඳුමක් සපයන අපට මණ්ඩලයෙන් දැනට වන්නේ අප අපහසුවට පත් කිරීම්ය. දැනට අප ප්‍රවර්ධන කටයුතු කරන්නේ සංචාරක සංවිධායකයන් මගිනි. ඒ අපට තිබෙන සීමාකම් යටතේය. එහෙත් විදේශ විනිමය හිඟය රටේ බරපතළ ප්‍රශ්නයකි. රටේ ආර්ථිකය පවතින්නේ විදෙස් ණය ගෙවීමටත් විදෙස්වලින් තව තවත් ණය ගැනීමට සිදුවන තත්ත්වයකය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ටික රටට ආනයනය කර ගැනීමටද විදෙස් විනිමය නැතිවම බැරිය. රටේ නැති ඒ විනිමය රජයට උපයා දීමට අපට වඩා වැඩි වගකීමක් සංචාරක මණ්ඩලයට තිබේ. එහෙත් මණ්ඩලයට ඒ ගමන තනියෙන් යා නොහැකිය. ඔවුනට අපේ සහයෝගය අත්‍යවශ්‍යමය. එහෙත් අපට කරදර කර කර අපේ සහයෝගය ගන්නේ කෙසේද? කෙනෙකුට සාමාන්‍ය දැනීම නැතත් සමාජ විඤ්ඤාණය තිබිය යුතුය. එය නැතොත් කළ යුතු නොකළ යුතු දේවල් තෝරා බේරා ගත නොහැකිය.

සංචාරක කර්මාන්තයේ වටිනාකම ජනාධිපතිවරයා ඇතුළු රජය මැනවින් තේරුම් ගෙන සිටින බව අපේ වැටහීමයි. බැසිල් රාජපක්ෂ හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග වැනි නායකයන් සමග කළ සාකච්ඡාවලදී අපට ඒ බව වැටහී තිබේ. ඒ දෙපළ මැදිහත්වී ඇතැම් ප්‍රශ්න විසඳා ද තිබේ. සංචාරකයන් ගෙන්වා ගැනීමට අද තිබෙන බරපතළම ප්‍රශ්නය කොරෝනා වසංගතයයි. එය අපට පමණක් නොව ලොවටම තිබෙන ප්‍රශ්නයකි. එහෙත් ඉතා ඉක්මනින් අපේ රටේ කොරෝනා මර්දනය කළ හැකි නම් ඒ ප්‍රශ්නය විසඳෙයි. කොරෝනා මර්දනයට කළ යුතු පිළියම දැන් අපේ රටට පැමිණ තිබේ. එය නම් එන්නත් කරණයයි. එන්නත ලබාදිය යුතු බවට නිර්දේශ කර තිබෙන සියලු දෙනාට හැකි තරම් ඉක්මනින් එන්නත් ලබාදිය හැකි නම් ඒ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලැබෙයි. ලංකාව එන්නත් කරණය සාර්ථකව නිම කළ රටක් බව ලොව පුරා පැතිරෙන විට විදෙස් සංචාරකයන් ලංකාව දෙසට හැරෙන්නේ නිතැතිනි. එහෙයින් ඒ සඳහා වෙහෙස මහන්සිවීම රටේ සෞඛ්‍ය බලධරයන්ගේ වගකීමකි.

ලංකාවේ සංචාරයට කැමැති විදෙස් සංචාරකයන්ට දැන් පැන නැග තිබෙන අලුත් ප්‍රශ්නයක් වන්නේ සංචාරක මණ්ඩලය මගින් හඳුන්වාදී තිබෙන ඇප් එකක් මගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය වීමය. පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසනවාට විදේශිකයන් පමණක් නොව ස්වදේශිකයෝද අකමැත්තෝය. මහජන මුදලින් යැපෙන මැති ඇමැතිවරුන්ගේ හා රජයේ නිලබලධාරීන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමේ සීමාද රටේ නීතියෙන්ම පනවා තිබේ. එසේ තිබියදී විදේශිකයන්ගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නැති කරදර කැඳවා ගැනීමකි. එක් අතකින් එය රටක් හැටියට ලංකාව එකඟවී සිටින ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිය. සංචාරක මණ්ඩලය අදාළ ඇප් එක හඳුන්වා දී තිබෙන්නේ ඒ කිසිවක් නොදැනය. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වූයේ ඔය කියන ඇප් මගින් නොවේ. එහෙයින් ඒ ඇප් එක ක්‍රියාත්මක නොකිරීම කලෝචිතය. එය ක්‍රියාත්මක කළහොත් විශේෂයෙන් ඇමෙරිකාවේ හා යුරෝපයේ රටවලින් ලංකාවට දැනට නැති ප්‍රශ්න ඇතිවිය හැකිය.

ඩොලර්වලින් ගනුදෙනු නොකරන හෝටල් හිමියන්ට සහ සංචාරකයන් ගෙන්වන්නන්ට ඩොලර්වලින් ගෙවන්නැයි සංචාරක මණ්ඩලයෙන් කර තිබෙන නියමයද වැරැදි තීන්දුවකි. එමගින් වන්නේ දහ දුක් හා අනන්ත කරදර මැද දැනටත් කර්මාන්තයේ නියැලෙන පිරිස් ද කර්මාන්තයෙන් දුරස්වීමය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ විරැකියා ගොඩ විශාලවී සමාජ ප්‍රශ්න තව තවත් උත්සන්න වී රජයේ වියදම් තව තවත් ඉහළ යාමය. රාජ්‍ය බලධාරීන් හා රාජ්‍ය ආයතන කළ යුත්තේ කර්මාන්තකරුවන්ට පහසුකම් සැලසීම විනා අපහසුතා ඇතිකිරීම නොවේ. කර්මාන්තකරුවන් අපහසුවට පත් කිරීමෙන් මේ ආර්ථිකය වැනසෙන බව එසේ කරන්නෝ අවබෝධ කරගත යුත්තෝය.

ඇතිකර තිබෙන ප්‍රශ්න නිරාකරණය කර ඒකාබද්ධ ප්‍රවර්ධන මෙහෙයුමක් ජාත්‍යන්තරයේ දියත් කළහොත් 2026 වසරේදී ලංකාවට විදෙස් සංචාරකයන් ලක්ෂ 35ක් ගෙන්වාගත හැකි බව අපේ තක්සේරුවයි. අප ඒ තක්සේරුවට පැමිණ සිටින්නේ හැඟීම් මත නොව කරුණු තුලානාත්මකව විශ්ලේෂණය කිරීමෙනි. එසේ ගෙන්වාගත හැකි සංචාරකයන් අතර තරු හතරේ සහ තරු පහේ හෝටල්වල නැවතීමට කැමැති සංචාරකයන් දැනට වඩා වැඩි පිරිසක් සිටිනු ඇතැයි යන්න අපේ පුරෝකතනයයි. අප සිතන හා පතන අයුරින් කටයුතු සිදු වුවහොත් විදෙස් රැකියා කරන ලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා දීමට අපට හැකියාව තිබේ. සරලව කිවහොත් සංචාරක කර්මාන්තයෙන් පමණක් 2026දී ඇමෙරිකන් ඩොලර් බිලියන අටකට ආසන්න මුදලක් රජයට උපයා දීමේ හැකියාව කර්මාන්තයේ නියුතු අපට තිබේ. අපෙන් ඒ ප්‍රයෝජනය ගැනීම රජයේ නිලබලධාරීන්ගේ වගකීමකි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අපට පහසුකම් සැලසීම මිස අප අපහසුතාවලට පත් කිරීම නොවේ.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)