Weaponize  යනු 1957 දී ඉංග්‍රීසි භාෂාවට එක්වූ වචනයකි. එහි එක් අරුතක් වනුයේ ස්වභාවයෙන් අවියක් නොවන දෙයක් අවියක් බවට පරිවර්තනය කිරීමයි.

නූතන ලංකා ඉතිහාසයේ සඟ සසුන අවියක් ලෙස භාවිත කළ මුල්ම දේශපාලකයා වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහුගේ පංච මහා බලවේගයේ ප්‍රධානතම අරමුණක් වූයේ භික්ෂුන් මහා පරිමාණ වශයෙන් දේශපාලනයට අවතීර්ණ කොට කහ සිවුරේ බලයෙන් රටේ බලය ලබා ගැනීමයි.

බණ්ඩාරනායක මහතාගේ ඒ ගමන නිමාවූයේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව යළිත් වරක් සනාථ කරමිනි. භික්ෂුන්ගේ කර මතින් 1956 දී අගමැති ධුරයට පත් ඔහු 1959 දි භික්ෂුවකගේ වෙඩි පහරින් මරු දුටුවේය. ඔහුට මරු කැඳවූ කුමන්ත්‍රණයේ නිර්මාතෘ වූයේ ඔහුව බලයට පත් කිරීම සඳහා අමිල මෙහෙයක් කළ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මාපිටගම බුද්ධරක්ඛිත භික්ෂුවයි.

අගමැති ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය තුළින් මුලින්ම තම ශෝකය හා කෝපය පළ කළේද මාපිටගම බුද්ධරක්ඛිත හාමුදුරුවන්මය. අගමැතිවරයාගේ පංච මහා බලවේගයේ මුල් බලකණුව වූ එක්සත් භික්ෂු පෙරමුණේ ඒකා නායක බුද්ධරක්ඛිත හාමුදුරුවන් අගමැති ඝාතනයේ මහා මොළකරු බව ඒ වෙලාවේ කිසිවකුත් අනුමාන නොකළා නියතය. 

45 රිවෝල්වරයකින් යළි යළිත් වෙඩිතබා අගමැතිවරයාට මරණීය තුවාල සිදුකළ තල්දූවේ සෝමාරාම භික්ෂුව ආයුර්වේද වෛද්‍යවරයකුවූ අතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ගුරුවරයෙක්ද විය. පංච මහා බලවේගයේ මුල් ස්ථම්භයක් වූ සඟ-වෙද-ගුරු යන තුනේ සංකලනයක් ලෙස අගමැති ඝාතකයා හැඳින්වීම නිවැරැදිය.

සෝමාරාම භික්ෂුව අගමැතිවරයාට වෙඩි තැබුවේ ඔහුගේ ටින්ටජල් නිවසේ ආලින්දයේදිය. එහි සිටි අනෙක් පුද්ගලයින් ඝාතක භික්ෂුව අල්ලා ගත් විට තමන් මෙම ක්‍රියාව කළේ රට, ජාතිය හා ආගම වෙනුවෙනැයි ඔහු හඬ තැළිය.

1952 මැතිවරණයෙන් එජාපයට පැරදුණු බණ්ඩාරනායක මහතා 1956 මැතිවරණය ජය ගන්නට රට ජාතිය හා ආගම සටන් පාඨ කොට ගත්තේය. අවසන ඔහුගේ ඝාතකයා තම අමානුෂික ක්‍රියාව සාධාරණීකරණය කරන්නට යොදා ගත්තේද රට, ජාතිය හා ආගමයි.

සිංහල හා දෙමළ ජනතාවත් අතර තිබූ මත වෙනස්කම් හා සුළු ප්‍රශ්න වෛරී ප්‍රතිවිරෝධයක් බවට පත් කිරීමට බණ්ඩාරනායක මහතාගේ ‘සිංහල පමණයි’ දේශපාලනයෙන් වූයේ කේන්ද්‍රිය දායකත්වයෙනි. ඔහු මරු දකින විට සිංහල සමාජය පුරා දෙමළ විරෝධය හා භීතිකාව බහුලව පැවතුණි. අගමැති ඝාතන පුවතත් සමඟම අගමැතිවරයාට වෙඩි තැබුවේ හාමුදුරු වෙස්ගත් සෝමාරාමන් නම් ද්‍රවිඩ පුද්ගලයකු බවට රාවයක්ද පැතිර ගියේය. එවකට අග්‍රාණ්ඩුකාරවරයා වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කළා පමණක් නොව ඝාතකයා දෙමළ නොවන බව මාධ්‍ය හරහා හෙළි දරව් කළේය. 1958 මෙන් දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයක් නිර්මාණයවීම වැළකුණේ මෙම ඤාණාන්විත ප්‍රතිචාරය හේතුවෙනි.

උපවාස කෙටි නාටකය

බණ්ඩාරනායක මහතාට අගමැති පුටුවේ හිඳ ගැනීම සඳහා අනුපමේය මෙහෙයක් කළ බුද්ධරක්ඛිත හාමුදුරුවන්ට අගමැතිවරයා ඝාතනයට කුමන්ත්‍රණය කළේ මන්ද? ඝාතනය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී මෙන්ම ඒ පිළිබඳ නඩු විභාගයේදි හෙළිවූ කරුණුවලින් පෙනී යන්නේ බණ්ඩාරනායක බුද්ධරක්ඛිත හිත නොහොඳකමට සැබෑ හේතුව ව්‍යාපාරික ප්‍රශ්නයක් බවය.

බුද්ධරක්ඛිත හාමුදුරුවන් හා ඝාතන නඩුවේ දෙවන සැකකරු බවට පත්වූ එච්. පී. ජයවර්ධන එකතුව Colombo Shipping Line  නම් වූ සමාගමක් ආරම්භ කළහ. තායිලන්තයෙන් හා බුරුමයෙන් සහල් ලංකාවට ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව තම සමාගමට දෙන්නැයි බුද්ධරක්ඛිත භික්ෂුව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.නමුත් අගමැතිවරයාට අවශ්‍ය වූයේ රජයට අයත් නැව් සංස්ථාවක් පිහිටුවා කොන්ත්‍රාත්තුව එම සංස්ථාවට දීමටය. සීනි සමාගමක් පිහිටුවීමට බලපත්‍රයක් ලබා නොදීම බුද්ධරක්ඛිත හාමුදුරුවන් අගමැතිවරයා සමඟ නොරොක්වීමට හේතුවූ අනෙක් කාරණය බව හෙළිදරව් විය.

දේශපාලකයන්ට මෙන්ම දේශපාලක භික්ෂුන්ටද රට, ජාතිය, ආගම යනු බලයට හා ධනයට මග විවර කරන උපක්‍රමයක් පමණක් බව බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත්වීම හා ඔහුගේ ඝාතනය අතරවූ සිද්ධි මාලාවෙන් පැහැදිලි වේ.

දේශපාලනය හා ආගම බද්ධ කිරීම කෙතරම් නම් අනර්ථකාරී ක්‍රියාවක් දැයි බණ්ඩාරනායක කතා පුවතින් පැහැදිලි වුවද එම පාඩම දේශපාලනඥයන්වත් බලකාමී භික්ෂුන්වත් උගෙන නොගත් බව 1959-2019 අතර ඉතිහාසය පෙන්වා දෙයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසාවියට අපහාස කිරීමේ වරදට සිරගතව සිටි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනපති සමාවක් ලබාදීමත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හාමුදුරුවන්ගේ වීදි සටනුත් මේ කුපිත ඉතිහාසයේ වත්මන් ප්‍රකාශනයන්ය.

සිද්ධාර්ථ කුමරුවාට සක්විති රජකමත් ලොව්තුරා බුද්ධත්වයත් යන දෙකින් එකක් තෝරා ගැනීිමට හැකියාවක් තිබූ බවත් එතුමා බුද්ධත්වය තෝරාගත් බවත් බෞද්ධ සාහිත්‍යයේ කියැවේ. රජුන්ගෙන් කොතෙක් පුද ලැබුවද බුදුන් වහන්සේ කිසිම රාජධානියක රාජ්‍ය පාලනයට අත පොවන්නට ගියේ නැත. බුදුන්වහන්සේ රාජ්‍ය පාලනය ගැන යමක් කීවා නම් කීවේ කවර හෝ රජකු හෝ ඇමැතියකු අවවාදයක් ඉල්ලූ විට පමණි. උන්වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත්වූ එකම අවස්ථාව වූයේ ශාක්‍ය කෝළිය යුද්ධය නතර කිරීමට සාර්ථක උත්සාහයක් කිරීම පමණකි.

රජකු බලයට පත් කරවීමටත් ඉන්පසු එම රජු තමන් රිසි ආකාරයට රූකඩයක් ලෙස නැටවීමටත් කටයුතුකළේ බුදුන් වහන්සේ නොව දේවදත්ත භික්ෂුවයි. විනය පිටකයේ චුල්ලවග්ගයේ සඳහන් වන ආකාරයට දේවදත්ත මුලින්ම අජාසත් කුමරු තම වසඟයට ගත්තේය. ඉන්පසු පියාට විරුද්ධව කුමන්ත්‍රණය කොට රජකම ලබා ගැනීමට පුතා පෙළඹ වූයේය. අජාසත් කුමරු රජවූ පසු ඔහුගේ ආධාරයෙන් බුදුන් වහන්සේ ඝාතනය කොට තමන් එතැනට පත්වීම දේවදත්තගේ අරමුණ විය.

දේශපාලනඥයන්ට බලයට ඒම සඳහා ආගම වාහනයක් බවට පත්කොට ඉන්පසු එම දේශපාලනඥයන්ගේ බලයෙන් මන්ත්‍රීකම්, ඇතුලු තනතුරු, වරප්‍රසාද, ව්‍යාපාරික අවස්ථාවන්, ප්‍රසිද්ධිය, ධනය ලබා ගැනීමට තැත් දරන දේශපාලන භික්ෂුන් අයත් වනුයේ මෙම දේවදත්ත කුලකයට නොවේද?

ගතවු සතිය තුළ අතුරලියේ රතන හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුරුවන් දෙදෙනා ක්‍රියා කළ ආකාරයෙන් පෙනී යනුයේ මොවුන් දෙදෙනාගේ අරමුණ රට, ජාතිය හෝ ආගම රැකීම නොව මෙරටේ දේශපාලන සංඝනායක කමට පත්වීම බවය.

මුලින්ම රතන මන්ත්‍රි හාමුදුරුවෝ කුරුණෑගල වඳ සැත්කම් නාඩගමට මැදිහත්විය. ඔහු එහිදී කියා සිටියේ ‘මින්පසු මහ පාරේ සිට මේ රට පාලනය කරන්නේ භික්ෂුන් වහන්සේ හා මහජනතාවයි.’ කියාය. (ලංකාදීප-28-5.2019) මහ පාරේ සිට රටවල් පාලනයට උත්සහ කරන්නේ කැරැලිකරුවෝ හා කලාකරුවෝය. එවැනි ක්‍රියාවකට සම්බන්ධ විය හැක්කේ බුදුන් වහන්සේගේ අනුගාමිකයකුට නොව දෙව්දත් ශ්‍රාවකයකුටය.

මේ තර්ජනය කොට දින කිහිපයකින් රතන මන්ත්‍රි හාමුදුරුවෝ උපවාසයක් දියත් කළහ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනපති සමාවකින් නිදහස් ලැබීමත් රතන මන්ත්‍රී හාමුදුරුවන් අධිවේගයෙන් ක්‍රියාත්මක වීමත් අතර සබඳතාවක් තිබේද යන මේ ප්‍රශ්නය මතුවීම අරුමයක් නොවේ. 

රතන මන්ත්‍රී හාමුදුරුවන් උපවාසය ආරම්භ කළ වහාම ගලගොඩඅත්තේ හාමුදුරුවන්ද ඒ නාටකයට මැදිහත්විය. උන්වහන්සේද නුවරට ගොස් කියා සිටියේ ජුනි 3 වැනිදා වනවිට ඉල්ලීම් නොලැබුණහොත් සියලු හාමුදුරුවරුන් එක් කරගෙන අරගලයක් ආරම්භ කරන බවයි. නුවර සිට කොළඹට පා ගමනක් අරඹන කථාවක්ද මාධ්‍යවල වාර්තා විය.
මේ ප්‍රඥාව හා අහිංසාව මත පදනම්වූ බෞද්ධ පිළිවෙත නොව චණ්ඩිකමයි. මේ බුදුන්ගේ මඟ නොව දෙවිදතුන්ගේ මගයි.

හාමුදුරුවරුන් අතළොස්සක් එකතුව මහ පාරේ සිට රට පාලනය කරන්නට රට අස්ථාවර කරන්නට උත්සාහ කළේ හදිසි නීතිය ක්‍රියාත්මක වන අතරතුරය. මේ සියලු ක්‍රියා හදිසි නීතියට පටහැණිය. එහෙත් අගතිගාමිත්වය කොතැනින් පැමිණියද ඊට කොන්ද කෙළින් කරගෙන මුහුණ දෙන පුරුද්දක් වත්මන් ආණ්ඩුවට නොමැත. ආණ්ඩුව චණ්ඩින්ගේ තර්ජනයට යට විය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය මාධ්‍යවලින් දැක්වුණේ රතන මන්ත්‍රී හාමුදුරුවන්ගේ ජයග්‍රහණයක් ලෙසය. මෙය සිංහල-බෞද්ධ අගතිගාමිත්වයේ එකම නායකයා වීමට පෙරුම් පිරු ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට රිස්සුවේ නැත. උපවාසය නිමවී යන්තම් පැය 24ක් ගතවූ පසු ඔහු රතන හාමුදුරුවන්ට දෙහි කපන්නට විය. රතන හාමුදුරුවන් තමන්ගේම න්‍යාය පත්‍රයකට වැඩ කොට ප්‍රශ්නය සංකීර්ණ කළ බවට දෙස් දෙවොල් තැබූහ.

මේ අතර උපවාසයෙන් පසු මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරුණු රතන මන්ත්‍රී හාමුදුරුවෝ භික්ෂු වාට්ටුවට ඇතුළත් කළ වහාම තමන්ට සනීපයි කියමින් සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගියේය.
උපවාස නාඩගම එතනින් නිමාවිය. 

කොටි සංවිධානය පරාජය කරන්නට කොටි විරෝධි දෙමළ පිරිස්වලින් ලැබුණු සහාය තීරණාත්මක විය. දෙවන ජවිපෙ කැරැල්ල පරාජය කිරීමට ජවිපෙ විරෝධි වාමාංශික පිරිස්වලින් එවැනිම සහායක් ලැබිණි.

මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදය නියමාකාරයෙන් පරාජය කිරීමට නම් මෙරට සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවගේ සහාය ආරක්ෂක අංශවලට අවශ්‍යය. එහෙත් උපවාස නාඩගම් වැනි කෝළම් ක්‍රියාවන්ගෙන් වනුයේ මුස්ලිම් ජනතාව බියටත් කලකිරීමටත් පත්වීමයි.

මෙවර සන්ඬේ ටයිම්ස් පුවත්පතේ නාමිනි විජේදාස මාධ්‍යවේදිනිය වාර්තා කරන අන්දමට දිගින් දිගටම මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිටි මුස්ලිම්වරුන් පවා අත්අඩංගුවට පත්ව ඇත. දිලෂාන් මොහොමඞ් නමැති මුස්ලිම් සමාජ ක්‍රියාකාරිකයාට අත්වූ ඉරණම ඇය උදාහරණයක් ලෙස දක්වා ඇත. 2014 සිට මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කළ ලියූ දිලෂාන් මොහොමඞ් මුස්ලිම් අන්තවාදියකු යැයි සැකපිට දින 34ක් රිමාන්ඞ් භාරයේ පසුවිය. ඇතැම් මුස්ලිම්වරුන්ට තමන් කුලියට ගෙන සිටින නිවෙස් පවා අහිමිවන තත්ත්වයක් උද්ගතව ඇති බවද සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ලිපියේ සඳහන්වේ. දෙහිවල මුස්ලිම් පවුලකට තම කුලී නිවහනෙන් ඉවත් වන්නැයි නිවෙස් අයිතිකරුවා කියා තිබේ. තමන්ට මේ පවුල සමඟ ප්‍රශ්නයක් නැති වුවද මුස්ලිම්වරුන්ට නිවෙස් කුලියට නොදෙන්නැයි ‘පන්සලේ හාමුදුරුවෝ’ කීි නිසා මෙම පියවර ගත්තා යැයි කුලී නිවෙස් හිමියා කියූ බව පුවත්පත වාර්තා කරයි.

ඕනැම ආරක්ෂක ක්‍රියාවලියක් තුළ අහිංසකයන්ට අසාධාරණයක් සිදුවීමේ අවදානම අන්තර්ගතව පවති. අපේ උත්සාහය විය යුත්තේ මෙවැනි දෑ සිදුවීමේ අවදානම අවම කිරීමයි. ඒ සඳහා මූලික පූර්ව කොන්දේසියක් වනුයේ ලාංකීය සමාජය පුරා පැතිරෙමින් පවතින මුස්ලිම් භීතිකාව අවම කිරීමයි. යමකු මුස්ලිම් භක්තිකයකුවූ පමණින් ඔහු හෝ ඇය ත්‍රස්තවාදියකු නොවේ යන සත්‍යය සමාජයට පහදා දීමයි. සමස්ත ප්‍රජාවක්ම ත්‍රස්තවාදින් ලෙස සලකා කටයුතු කළහොත් ඒ ප්‍රජාව තුළින් යළි යළිත් ත්‍රස්තවාදීන් බිහිවීම වැළැක්විය නොහැක. දෙමළ ජනතාව සම්බන්ධයෙන් කළ මෝඩකම් මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන්ද කළහොත් ලංකාවට ප්‍රචණ්ඩත්වයේ යුද්ධයේ හා මරණයේ නරාවලෙන් ගැලවීමක් නැති වනු ඇත.

අගතිගාමිත්වය යනු තමන්ටම මරු කැඳවන පාරාවළල්ලකි

 ඉස්ලාම් ආගමේ නාමයෙන් මුස්ලිම් ත්‍රස්තවාදින් පිරිසක් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව ඉතාම අසරණ ත්ත්ත්වයකට වැටී ඇත. ඔවුන්ගේ එදිනෙදා ජීවිකාව පවා ගෙනයාම අසීරු වාතාවරණයක මෙරට මුස්ලිවරුන්ගෙන් සැලකිය යුතු කොටසක් කල් ගෙවති.

අන්තවාදින්ගේ ක්‍රියා නිසා ඒ අන්තවාදින් අයත් ප්‍රජාවට ඉමහත් හානියක් වන බවට මෙය එක් උදාහරණයක් පමණි.
ජවිපෙ අගතිගාමිත්වයෙන් වැඩිපුරම හානි වූයේ සිංහල ජනතාවටත් වාමාංශික පිරිස්වලටත්ය. එල්.ටී.ටී.ඊ. ය නිසා දෙමළ ජනතාවට අත්වූයේ දශක ගණනකින් වත් හරි ගැස්විය නොහැකි පාඩුවකි.

83 කලු ජුලිය නිසා සමස්ත සිංහල ප්‍රජාවටම ඉමහත් අප කීර්තියක් උරුමවූ අතර එයින් කොටි සංවිධානයට ලැබුණේ බලවත් වාසියකි.

සහරාන්ලාගේ ප්‍රහාරය නිසා බලවත්ව ඇත්තේ ශක්තිමත්ව ඇත්තේ සිංහල බෞද්ධ අගතිගාමින්ය. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලැබුණේ සහරාන්ලා නිසාය. අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරුවන්ට ආණ්ඩුව දණ ගස්වන්නට හැකිවූයේ සහරාන්ලා නිසාය.

සිංහල අන්තවාදි සුළුතරයකට මුස්ලිම් ව්‍යාපාර වර්ජනයක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකිවූයේ සහරාන්ලා නිසාය.

කුලියාපිටියේ හා මිනුවන්ගොඩ මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩත්වයක් දියත් කරන්නට සිංහල බෞද්ධ අගතිගාමින්ට හැකිවූයේ සහරාන්ලා නිසාය.

සහරාන්ලා නිසා මුස්ලිම් ප්‍රජාවට වූයේ අනර්ථයකි. සහරාන්ලාගේ ක්‍රියා නිසා ශක්තිමත්වූයේ ජව සම්පන්න වූයේ සිංහල සමසාජය තුළ සිටින අන්තවාදීන්ය.

ඒ අයුරින්ම සිංහල බෞද්ධ අන්තවාදින් මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන විට අහිංසක මුස්ලිම් ජනතාව තලා පෙලන විට එහි වාසිය අන් කිසිවකුවටත් නොව IS  ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ගේ ලාංකීය හිතවතුන්ටය.

අතුරලියේ රතන මන්ත්‍ර්‍රීි හාමුදුරුවන්ගේ උපවාස නාඩගමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ගාලගෝට්ටිවලින් සිදුවනුයේ සහරාන්ලා වඳවිම නොව අලුත් සහරාන්ලා නිර්මාණය වීමය.

අප ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ බල තණ්හාව සනසාලීමට රට, ජාතිය හා ආගම ඇපයට ගන්නා භික්ෂු දේශපාලනඥයන්ට රට තවත් යුද්ධයකට තල්ලු කිරීමට ඉඩදිය යුතුද යන්නය.

දේශපාලන භික්ෂුන් බලවත්වූ කිසිම අවස්ථාවක රටට හෝ ජාතියට හෝ ආගමට සෙතක් වුයේ නැත. 1956 පංච මහා බලවේග කතාව නිමාවූයේ බුද්ධ රක්ඛිත හාමුදුරුවන් අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් හා සෝමාරාම හාමුදුරුවන් ඒ කුමන්ත්‍රණය යථාර්ථයක් බවට පත් කිරීමෙනි.

2004 දී ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී නායකයෝ තම පක්ෂය සංඝයාට ඇත්තටම කියනවානම් භික්ෂු දේශපාලකයන් අතළොස්සකට පරිත්‍යාග කළහ. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ දේශපාලන භික්ෂුන්ගේ සිවුරු පොටේ එල්ලී බලයට ඒමය. ඒ නාටකය නිමාවූයේ මන්ත්‍රී හාමුදුරුවන් දෙදෙනකු පැහැර ගැනීමෙන් හා පාර්ලිමේන්තු සභා ගැබ තුළ මන්ත්‍රී හාමුදුරුවන් පිරිසක් හා හාමුදුරු නොවන මන්ත්‍රීන් පිරිසක් ගුටි බැට හුවමාරු කර ගැනීමෙනි. ජාතික හෙළ උරුමයේ ඡන්ද ලකුණ හක් ගෙඩිය වූ අතර ස්වාමීන් වහන්සේලාට හක් ගෙඩිය යන උපහාසාත්මක නාමයි පට බැඳෙන තරමට මෙරට සඟ සසුන හෑල්ලුවට පත්විය.

අතුරලියේ රතන ගලගොඩ අත්තේ ඥානසාර වැනි දේශපාලන භික්ෂුන්ගේ ක්‍රියා නිසා යළින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදාවීමේ අවදානම සුලුපටු නොවේ.

අපේ රටේ දේශපාලකයන් ඔය කියන තරම් රටට ජාතියට, ආගමට ලැදි නම් ඔවුන් බලය සඳහා වාහකයක් ලෙස භික්ෂුන් යොදා ගැනීම නතර කරනු ඇත. එහෙත් එවැනි ප්‍රතිපත්තිගරුක හා බුද්ධිමත් දේශපාලකයන් මේ රටේ කිසිම පක්ෂයක නොමැත. එබැවින් මැතිවරණ සමය එළඹෙත්ම දේශපාලන භික්ෂු සංයෝගය වඩාත් තීව්‍ර වනු නොඅනුමානය.

පාලකයන් නිවැරැදි දෙය නොදකින, දැක්කත් නොකරන රටකට ඇති එකම හව්හරණය බුද්ධිමත් ජනතාවක් පමණි.
2002-2005 සමයේ මේ රටේ ප්‍රචලිත වූයේ කිතුණු භීතියයි. කිතුණුවන් ආගම් මාරුව තුළින් ලංකාව අබෞද්ධ රටක් කිරීමට කටයුතු කරන බවට එදා රට ජාතිය ආගමේ ආරක්ෂකයෝ කෑමොර දුන්හ. සිවුර පෙන්නා පාර්ලිමේන්තු ආසන 9 ක් දිනාගත් ජාතික හෙළ උරුමය ආගම් මාරු කිරීමට විරුද්ධ (Anti conversion) පනතක් සකස් කළේය. ජාතික හෙළ උරුමයේ මුල් පුරුකක් වූ ඕමල්පේ සෝභිත හිමියෝ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආහ. පනතත් සංශෝධනයත් වහා ක්‍රියාත්මක නොවුවහොත් කිතුණු කුමන්ත්‍රණය ජය ගන්නා බවත් බෞද්ධයින් මෙරට සුලුතරයක් බවට පත්වන බවත් ජාතික හෙළ උරුම නායකයෝ නොනවත්වා කෑ මොර දුන්හ. ඔවුන් අතර අතුරලියේ රතන මන්ත්‍ර්‍රීි හාමුදුරුවන් මෙන්ම චම්පික රණවක හා උදය ගම්මන්පිලද වූහ.

ආගම් මාරු කිරීම් විරෝධි පනතවත් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ව්‍යවස්ථා සංශෝධනයවත් සම්මත වූයේ නැත. වසර 14ක් ගෙවුනද මෙරට සිංහල බෞද්ධයින්ගේ ප්‍රතිශතය වැඩිවීම මිසක් අඩුවී නැත. එදා කිතුණු කුමන්ත්‍රණ ගැන දිවා රෑ හඬ ගෑ අයට දුන් ජය අමතකය. දැන් ඔවුන්ගේ ප්‍රියතම මාතෘකාව මුස්ලිම් කුමන්ත්‍රණය.

මුස්ලිම් විරෝධය උපරිම ලෙස භාවිතාවූ පසු මේ පිරිස් තව වසර කිහිපයකින් තවත් මොකක් හෝ විරෝධයක් වැළඳ ගනු ඇත. ඔවුන්ට දේශපාලන පැවැත්මක් අනාගතයක් ඇත්තේ සිංහල බෞද්ධ සිත් භීතියෙන් මුසපත් කිරීම හා සිංහල බෞද්ධ බුද්ධිය මොට කිරීම තුළිනි.

භික්ෂුන්ට HIV (ඒඞ්ස්) වෛරසය ශරීර ගත කොට බුද්ධාගම ලංකාවෙන් තුරන් කිරීමට ක්‍රිස්තියානි මූලධර්මවාදින් කුමන්ත්‍රණය කරන බවට එදා ජාතික හෙළ උරුමයේ ගිහි පැවිදි නායකයන් නැගූ චෝදනාවකි. මේ කතාව විශ්වාස කළවුන්, එලෙස විශ්වාස කොට කිතුණු පල්ලිවලට පහර දුන්නවුන් එදා වූහ.

මේ ‘බුදු දහම වනසන ඒඞ්ස් කතාවේත්’ ‘සිංහල ජාතිය වනසන වඳ සැත්කම් කථාවේත්’ සමානකම පැහැදිලිය. මේ දෙකේම අරමුණ සිංහල බෞද්ධ බහුතරය ගොනාට අන්ඳවා තම දේශපාලන ව්‍යාපාරික හා වෙනත් වුවමනාවන් සපුරා ගැනීමයි.

රෑ වැටුණු වළේ දහවල් කී වරක් වැටෙමුද?

තිසරණී ගුණසේකර