ජනවරමක් යනු ආණ්ඩුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සුජාතභාවයක් ලබාගන්නා එක ආකාරයකි. එය ලංකාවට මෙන්ම ලෝකයට ද එක සේ අදාළය. ශ්‍රී ලංකාවට අදාළව ගත්කල ද එවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ඉතිහාසයක් තිබේ. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සමගි පෙරමුණ කටයුතු කළ ආකාරය ඊට එක් උදාහරණයකි. ඇතැම් නීති විශාරදයන් පැවසුවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කිරීමට නීතිමය රාමුවක් නැති බවය. ඊට එක තර්කයක් හැටියට දැක්වූයේ සෝල්බරි ව්‍යවස්ථාවෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලද 29 -2 වගන්තියයි. මේ නිසා 1970 දී සමගි පෙරමුණ කළේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජන වරමක් ඉල්ලා සිටීමය.

මහමැතිවරණයෙන් දැවැන්ත පාර්ලිමේන්තු බලයක් සහිතව ජයගත් සමගි පෙරමුණ 1972 දී පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ ඒ අනුවය. එංගලන්තයේ මහ රැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසි කර ශ්‍රී ලංකාවට ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ පළමු වරට එමගිනි.. සමගි පෙරමුණ එම ව්‍යවස්ථා සම්පාදනය සිදුකරනු ලැබුවේ එතෙක් පැවැති මහජන මන්ත්‍රී මණ්ඩලය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගැනීමෙනි. පාලකයන් අවධාරණය කළේ ව්‍යවස්ථා සම්පාදනයට අවශ්‍ය නෛතික බලය තමන්ට ලැබුණේ 1970 ජනවරමෙන් බවය. එහෙත් චෙල්වනායගම් වැනි දේශපාලන නායකයෝ පෙරළා එය ප්‍රශ්න කළහ. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සම්පාදනයට අමතරව කරුණු රාශියක්ම අන්තර්ගත වූ නිසා ජනවරම ලැබුණේ ව්‍යවස්ථා සම්පාදනයකට යැයි ඉඳුරා කිව නොහැකි බව ඔවුහු කීහ. එවිට සමගි පෙරමුණු රජයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ මුලසුනක් දැරූ කොල්වින් ආර් ද සිල්වා ඇමැතිවරයා ඊට පිළිතුරු දුන්නේ ජනවරමට අමතරව අගමැතිනිය හැටියට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තම රාජාසන කතාවේදී ද නව ව්‍යවස්ථා සම්පාදනය ගැන කරුණු සඳහන් කළ බවටය. රාජාසන කතාව ද පාර්ලිමේන්තුවේ අතිබහුතර ඡන්දයෙන් සම්මත වූ බැවින් ව්‍යවස්ථා සම්පාදනයට බාධාවක් නැති බව ඇමැතිවරයාගේ තර්කය විය.

බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ව්‍යවස්ථා සම්පාදනය ගැන කරුණු සඳහන් කර තිබුණේය. මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට අතිබහුතර බලයක් ලැබුණේය. නව ව්‍යවස්ථාවක් සම්පාදනයට තමන්ට සුජාත අයිතියක් ඇති බවට ආණ්ඩුව තර්ක කරන්නේ එහෙයිනි. කෙසේ වෙතත් මේ වනවිට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. විසි වැනි සංශෝධන කෙටුම්පත හැටියට සාකච්ඡාවට ලක්වන්නේ එයයි. එමගින් 1978 මූලික ව්‍යවස්ථාව දෙසට බර තබා ඇති බැවින් 78 ව්‍යවස්ථාවේ මූලික සැකැස්ම ගැන තරමක් අවධානය යොමුකිරීම මෙහිදී වටී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වුණේ මේ රටට විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දීමය. අප කැමැති වුවත් නැතත් 1978 රාජ්‍ය පාලකයන්ගේ වුවමනාව වී තිබුණේ ශක්තිමත් විධායකයක් නිර්මාණය කර ඒ හරහා රාජ්‍ය පාලනය කිරීමය. මේ වෑයමට විශාල වශයෙන් විවේචන මතු වූ අතර වරින් වර එකී විධායක බලය තුලනයට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එසේම එසේ සිදුකළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ප්‍රතිවිරුද්ධව ද නැවතත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුවිය. 17,18 හා 19 යනු එසේ සිදු වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට උදාහරණය. බලයට පත්වන ආණ්ඩු සිය අභිලාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා ඉෂ්ට කිරීමට යත්න දැරීම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට පාර කපන්නකි. මේ නිසා මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිරූපය පසුකාලීනව තිබෙන්නේ බොහෝදුරට වෙනස්වය.

 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවුණේ එසේ මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණුවලින් වෙනස්ව විධායක ජනාධිපති ධුරය බොහෝදුරට පාලනය කිරීමට ප්‍රතිපාදන ගෙන ඒමය. 18 වැනි සංශෝධනයෙන් සිදුවුණේ විධායක ජනාධිපතිවරයාගේ අහිමි කරන ලද බලය නැවත ලබාදීම නම් 19 වැනි සංශෝධනයෙන් සිදු වුණේ නැවතත් විධායක ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීමය. යෝජිත 20 වැනි සංශෝධන කෙටුම්පතින් යෝජනා කර තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය හෙවත් 1978 මුල් අවස්ථාවට නැවත යන්නටය. මා මෙය දකින්නේ 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට ගත් වෑයමක් ලෙස පමණක් නොවේ. ශක්තිමත් විධායකයකින් රට පාලනය කළ යුතු බවට වූ අදහස ගම්‍ය කිරීමේ ද වෑයමක් හැටියටය.

විසි වැනි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී බොහෝදුරට විවේචනයට ලක් වූ ආයතනයක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවය. ජනාධිපතිවරයාගේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පාලනය කර තිබීම ඊට හේතු විය. නව ආණ්ඩුවේ මතය වන්නේ විධායකය අනවශ්‍ය ලෙස පාලනය ආණ්ඩුවේ කාර්යක්ෂමභාවයට හානියක් යන්නය. විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් තමන්ට අවශ්‍ය ආකාරයට පත්කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වීම ආණ්ඩුව පැත්තෙන් ගත් කල අවාසියකි. ආණ්ඩුවක් සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ පුද්ගල මධ්‍යස්ථභාවයට වඩා රජයේ ප්‍රතිපත්ති යථාර්ථයක් කිරීමට නිලධාරින්ට ඇති හැකියාවයි. සැබැවින්ම නිලධාරින් කෙතරම් මධ්‍යස්ථ පුද්ගලයන් වුව ද රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේ දී ඔවුන් අකාර්යක්ෂම නම් ඊට විශ්වාසවන්ත සුදුස්සන් පත්කිරීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තිය රටේ සමාජයේ සංවර්ධනය සඳහා ඉලක්ක කරගත් එකක් විය හැකිය. එම ගමන විරුද්ධ පක්ෂ විවිධාකාරයෙන් විවේචනය කිරීමට ද හැකිය. දේශපාලනය යනු එයයි. දැන් බොහෝ දෙනකු 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නගන චෝදනාවක් වන්නේ විධායකයේ බලය ශක්තිමත් කිරීමය. කෙසේ වෙතත් අප අමතක නොකළ යුත්තේ රටේ මුල් ව්‍යවස්ථාව ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් බවය. එම මුල් ව්‍යවස්ථාව නිසා රටට සිදු වූ හොඳ දේවල් ද ඇති බවය. අනෙක් අතට විධායකය ශක්තිමත් වීම නිසා වාසි අත්පත් කරගත් රටවල් ලොව බොහෝමයකි. මැලේසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව ඊට උදාහරණ කීපයකි. විටින් විට බිඳ වැටෙන ආණ්ඩුවලට වඩා සෘජු තීන්දු තීරණ ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් අපට අවශ්‍ය බව මගේ ද පුද්ගලික හැඟීමයි. ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවහොත් අපේ රටට එහි අදාළත්වය හොඳින්ම විෂද වේ. උදාහරණයකට යුද්ධය පැවැති කාලයේදී එවැනි ශක්තිමත් තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව ලංකාවට කොතෙක් වැදගත් වීද යන්න පෙනී යයි. එනිසා 1978 මුල් ව්‍යවස්ථාවේ ප්‍රතිරූපය යළි සකස් කරගැනීම සාධනීය ලෙස භාවිත කිරීමට අපට හැකිවනු ඇත.

මැලේසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව ආදී වශයෙන් මෑත කාලයේ සංවර්ධනය වූ බොහෝ රටවල් හැත්තෑව හා අසූව දශකවල දී පිළිගත් ප්‍රධාන අදහසක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ආර්ථික නිදහස තහවුරු කළ යුතු බවය. මෙය විවාදයට ලක් වූ අතර ඇතැමුන් කීවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට ආර්ථික නිදහස අත්පත් කරගත යුතු බවය.

ශ්‍රී ලංකාවට අදාළව ගත් කල දැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් හැඩගැසුණු දේශපාලන සංස්කෘතියකි.. මේ නිසා ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ ඒකාධිපති ස්වභාවයක් නිර්මාණය විය හැකි යැයි සිතෙන අවස්ථාවල එකී ආණ්ඩු පෙරළා දැමීමට ඡන්දය භාවිත කරන ජන කොටසකි. නොඑසේව ප්‍රජාතන්ත්‍රවිරෝධී මතවාදවලට විරෝධය පළ කිරීමට ඔවුහු කටයුතු කරති. 1971 හා 1988/89 ආදී වශයෙන් හටගත් තරුණ කැරැලිවලට වුව පදනම සපයා ඇත්තේ ඒ ඒ පාලන කාලවල පාලකයන් අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමවේ.

 එනිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ආර්ථික නිදහසට බර තබාද යන්න තීරණය කළ යුත්තේ මෙකී දේශපාලන සංස්කෘතිය ද සැලකිල්ලට ගනිමිනි. එනිසා මා සිතන්නේ ආර්ථික සංවර්ධනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ආකල්ප වෙනසක් අවශ්‍ය බවය. එහිදී මම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු සමාජයේ ද අඩුවක් දකිමි. මන්දයත් ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදය වනාහි තමන් කැමැති ඕනෑම දෙයක් කිරීමට හැකි අවකාශයක් යැයි සිතාගෙන සිටින බැවිනි. අගනුවර ලිප්ටන් වට රවුමට රැස්වන විරෝධතාකරුවන් ඊට එක උදාහරණයක් පමණි. එහි පැවැත්වෙන බොහෝ විරෝධතා දියත්වන්නේ මගීන් පීඩාවට පත්කරමින් ගමනාගමනය ඇණ හිටවමිනි. විරෝධතා පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඇත්තය. එහෙත් කෙනකුගේ විරෝධතාවෙන් තවත් පාර්ශ්ව රැසක් පීඩාවට පත්වන්නේ නම් එහි ඇති අරුත කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම භුක්ති විඳීමට නම් ජනතාවගේ ද ආකල්පමය වෙනසක් අවැසි බව මා කීවේ එහෙයිනි. දියුණු රටවල මැතිවරණ ව්‍යාපාරයක් යනු දෙපිල බෙදී ඇණ කොටාගන්නා මරා ගන්නා වැඩක් නොවේ. තමන් කැමැති කණ්ඩායමකට බලය පැවැරීමට ඡන්ද බලය උරගාබලන අවස්ථාවකි. සිය ප්‍රතිපත්ති මාලා ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට පවා ඔවුන් සකසා ගත් ආචාරශීලී ශිෂ්ටසම්පන්න ක්‍රමවේද පවතී. එහෙත් අපේ රටවල තවමත් ඡන්ද බලය අභ්‍යාස කිරීම යනු විරුද්ධවාදීන් තලා පෙලා දමන සමයකි.. එනිසා සමාජ පර්යාය පවත්වාගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව තරමක තද පාලනයක් ගැන බර තබනු ඇතැයි සිතිය හැකිය.

කවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක දී වුවද එහි මූලික සැලැස්මට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අදහස් බලපායි. 1978 දී විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය වීම මෙන්ම 17 හා 19 වැනි සංශෝධනවලින් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් දෙසට ගමන් කිරීම ඊට හොඳම උදාහරණ වේ. 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අදහස් කළේ පාර්ලිමේන්තුවට වග නොකියන තරමේ විධායකයකි. මා සිතන්නේ මෙකී තත්ත්වය යම් තරමකට වෙනස් විය යුතු බවය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායකයට අනිසි බලයක් අවශ්‍ය නැති සේම විධායකය නාමික තත්ත්වයට පත් කළ යුතු ද නැත. රටේ සංවර්ධනය මෙන්ම පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් සෘජු තීරණ ගැනීම් අවශ්‍ය වූ අවස්ථා ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි ඕනෑ තරම් තිබේ. එසේ තීරණ ගත යුතු තැන තීරණ නොගැනීම නිසා රටේ ප්‍රතිරූපයට හානි වූ අවස්ථා මෙන්ම ඉදිරි ගමන ඇණහිටි අවස්ථා ද ඕනෑ තරම් පෙන්විය හැකිය.  රාජ්‍යයේ ත්‍රිවිධ බලය වූ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතනවල බලය සම්බන්ධයෙන් වූ සංවරණ හා තුලන පිළිවෙත අවශ්‍ය වන්නේ මෙහිදීය. සංකල්පයක් වශයෙන් ගත්කල ද ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය ආයතන වශයෙන් එකිනෙකාගෙන් පාලනය විය යුතුය. එවිට කිසි ගැටලුවක් නැත. ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවලදී මේ තත්ත්වය හොඳින් දැකගත හැකිය. බලවත් විධායක ජනාධිපති ධුරයක් තිබියදීත් උණුසුම් වාද විවාද මැදත් ඇමෙරිකාව සිය පාලනය පවත්වාගෙන යන්නේ එමගිනි. එනිසා මා කල්පනා කරන්නේ ද සැබෑ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයාට සෘජු තීරණ ගත හැකි පාලන ව්‍යුහයක් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද ආරක්ෂා කරගන්නා තැනකට අප යා යුතු බවය. කවර විවේචන පැවැතිය ද අදටත් අපි පක්ෂ දේශපාලනය හා පාර්ලිමේන්තු ක්‍රමය ගැන විශ්වාසයකින් කටයුතු කරමු. එනිසා ජනාධිපතිවරයා බල රහිත නොකොට පූර්ණ පාර්ලිමේන්තු නිදහස ඇති ආණ්ඩු ක්‍රමයක් කරා යා යුතුය යන්න අවසන අවධාරණය කරමි. ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරගනිමින් ආර්ථික සංවර්ධනයත් අපට අත්පත් කරගත හැක්කේ එමගිනි.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)