දේශපාලනය කිරීම යනු ඡන්දය ඉල්ලීම නම් ඩී.ආර්. විජයවර්ධන ප්‍රමුඛ විජයවර්ධනවරුන් කවදාවත් දේශපාලනය කරලාම නැත. එහෙත් රට නිදහස් කර ජාතික දේශපාලනයට දොර විවර කර දීමෙන් ඩී.ආර්. විජයවර්ධන සිදු කළ මෙහෙය අති දැවැන්තය. ඒ නිසාම ජාතික වීරයන් අතර ඩී.ආර්. විජයවර්ධන සුවිශේෂී චරිතයකි. ඩී.ආර්. විජයවර්ධනට සමකාලීන ජාතික වීරයන් කොටස් දෙකකට බෙදිය හැකිය. මුල් කණ්ඩායම නිස්සරණාධ්‍යාශයෙන් රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගැනීමට කැප වූ පිරිසය. ඩී.ආර්. විජයවර්ධන ඊට උදාහරණ වෙයි. දෙවැනි කණ්ඩායම නිදහස් සටන හරහා රාජ්‍ය බලය අපේක්ෂා කළෝ වෙති. දෙවන කණ්ඩායමට සරල උදාහරණය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වේ.

ඩී.ආර්. විජයවර්ධන යනු අරමුණ මැනවින් තේරුම් ගත් පෞරුෂයකි. ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේදී ඔහු කළේ වෙනත් කිසිවකුට ඉටු කළ නොහැකි කාර්ය භාරයකි. සිය අරමුණෙහි රැඳී සියලු ඉෂ්ටාර්ථ තමන් වටා එක්රැස් වන ලෙස කටයුතු කිරීමට හෙතෙම වගබලා ගත්තේය.

1917 ලංකා ජාතික සංගමයේ ලේකම් ලෙස පත් වූ ඩී.ආර්. විජයවර්ධන 1940 ගණන්වල ලංකාවට පැමිණි සෝල්බරි කොමසාරිස් වරුන් තම නිවෙසට ගෙන්වා තමන්ට රිසි ලෙස කොමිසම මෙහෙයවීමට සමත් විය.
මුදල් ඉපයීමේ ලාබදායි වෙනත් බොහෝ ව්‍යාපාර මාර්ග ඩී.ආර්. විජයවර්ධනට විවෘතව තිබිණ. එහෙත් ඔහු පත්‍ර කලාව වෙත යොමු වුණේ ව්‍යාපාරික චේතනාවෙන් නොවේ. සහෝදර ජනතාවගේ කල්පනාශක්තිය මුවහත් කිරීමේ ජාතික යුතුකම පෙරදැරි කරගෙනය. ඔහුම කියා ඇති පරිදි ඔහුගේ දේශීය ගුරු ගෙදර වූ මෝදර ගල්පල්ලිය පාසලේ ලංකා ඉතිහාසය උගන්වා නැත. එසේම දේශීය හෝ විදේශීය එකදු පාසලකින් හෝ ඔහු මහජන වැඩ සඳහා හෝ විශේෂයෙන් පුවත්පත් කලාව කෙරෙහි යොමු කර නැත. මේ අනුව කිසිදු උදාර ජාතික පරිකල්පනාවන් සහිත දරුවෙකු පැවැති පාසල් පද්ධතියෙන් බිහි නොවුණ බව ඔහුගේ අදහස විය. අදත් ලංකා ඉතිහාසය පාසල්වල උගන්වන්නේ නැත. එහි ප්‍රතිඵල ගැන ඩී.ආර්. විජයවර්ධනගේ විග්‍රහය අදටත් වලංගුය.

අද මෙන්ම විසි වැනි සියවසේ මුල් භාගයෙහි ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය හිරේ යන වරදකි. එය ඉසුරුබර ආයෝජන ක්ෂේත්‍රයක් නොවීය. එහෙත් ඩී.ආර්. විජයවර්ධන සිය දේශයේ නිවහල් පැවැත්ම සඳහා එම අවදානම් කාර්යයට උරදෙමින් පුවත්පත් කර්මාන්තය ව්‍යාපාරයක් ලෙස දියුණු කළේය. ඒ හේතු දෙකක් නිසාවෙනි. පළමු වැන්න තමන් කරන කවර දෙයක් වුවද පිළිවෙළක් ඇතුව කරන හෙයිනි. දෙවැන්න සිය අරමුණ බිඳ නොවැටෙනු සඳහාය. පත්‍රයක් යනු ප්‍රකාශන මාධ්‍යයකි. එය යටත්විජිතයක නිදහස අවුළුවාලන අවියක් මෙන්ම නිවහල් රටක අනාගතය සුරක්ෂිත කරන සන්නාහයක් බවද ඩී.ආර්. විජයවර්ධන දැඩිව විශ්වාස කළේය. එය බෙහෙවින් අවදානම්සහගත විය. මක්නිසාද යත් ඔහු සිය ව්‍යාපාර ආරම්භ කළ 1914-1915 කාල වකවානුව තුළ ඇතැම් ජාතික වීරයන් හිරේ විලංගුවේ වැටුණා පමණක් නොව මරණයෙන්ද වන්දි ගෙවූ හෙයිනි. මේ පසුබිම ගැන නොසිතා ඔහු සිය ධනය පමණක් නොව තම ජීවන පැවැත්ම පවා අවදානමට ලක් කළේය. ඩී.ආර්. විජයවර්ධන රට වෙනුවෙන් සැලසුම්සහගතව සිදු කළ මෙම කාර්යභාරය වෙනත් කිසිදු ලාංකික දේශ ප්‍රේමියෙකුට සිදු කළ නොහැකි විය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගත් ඔහු ලංකාවට පැමිණියේ මොනවා හෝ කරන්නට ඉටාගෙන නොවේ. විජයවර්ධන චරිතය තුළ ඊට බොහෝ සාක්ෂි වෙයි. 1915 පමණ වන විට අනාගත පත්තරයක් සඳහා අවශ්‍ය සුළුපහේ පුස්තකාලයක් ද ඔහු පිළිවෙළ කරමින් සිටියේය. ඔහුගේ දෝණියන් නාලිනී වික්‍රමසිංහට අනුව ඔහු ලංකාවට ගෙනා දේ අතර අඟල් හතරක් වත් තරම් නොවූ කුඩා ප්‍රවෘත්තියක් සහිත පත්තර කෑල්ල (Paper Cutting) ක් ද විය. එහි තිබුණේ එංගලන්තයේ පළාත් පාලන ආයතනයක දූෂණ ක්‍රියා සම්බන්ධව කුඩා වාර්තාවකි. ඒ මේ රටේ දූෂණ පවතින හෙයින් ලංකාවට නිදහස දිය නොහැකි බව බ්‍රිතාන්‍යයන් කියා සිටියොත් එංගලන්තයේත් පල් හොරු සිටිතැයි ඒ ඔවුන්ට ආපසු දමා ගැසීමේ ආයුධයක් ලෙසය.

1915 කැරැල්ල ඇතිවන විට ඩී.ආර්. විජයවර්ධනගේ දිනමිණ පත්‍රය රට පුරා ජනතාව කියවමින් සිටියෝය. මේ ඓතිහාසික සංසිද්ධියේදී ඔහුගේ වැඩි මහල් සොහොයුරු ඇලෙක්සැන්ඩර් විජයවර්ධන සමග සර් ඩී.බී. ජයතිලක, ඩබ්ලිව්.ඒ.  ද සිල්වා, ඩී.ඇස්. සේනානායක සහ සී. බටුවන්තුඩාවේ සිරගත කොට තිබුණි. මේ කාලයේ බොහෝ ප්‍රකාශන වාරණයට ලක්ව තිබිණ. රට සංසුන් වූ වහාම ඩී.ආර්. විජයවර්ධන වාරණයට හසු වූ සියලු ලේඛන සහ කතු වැකි ප්‍රසිද්ධ කිරීමට වග බලා ගත්තේය. මේ හෙළි වන්නේ ඩී.ආර්. විජයවර්ධන නම් පුවත්පත් ව්‍යාපාරිකයා තුළ සිටි සටන්කාමියාගේ ආක්‍රමණික ස්වරූපය වේ.

එපමණක් නොවේ 1917 ඔක්තෝබර් මස 23 වැනිදා ඔහුගේ මේ ස්වභාවය ලංකා ජාතික සංගමයේ ලේකම් පදවියට හෙතෙම ඔසවා තැබීමට හේතු විය. ඒ 1915 කැරැල්ලෙන් දෙවසරකට පසුවය. ඒ වන විට ඔහු යන්තම් විසිහත් විය ලැබුවා පමණකි. ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා ලෙස ඔහු සමග ආණ්ඩු ප්‍රතිසංස්කරණය සඳහා සර් ජේම්ස් පිරීස්, සර් පොන්නම්බලම් අරුනාචලම් ආදීහු පෙළගැසුණාහ. සර් පොන්නම්බලම් අරුනාචලම් කොළඹ දී කළ “අපේ දේශපාලන ඕනෑ කම්” නම් ප්‍රසිද්ධ කතාව අවසන් කළේ නිහඬව සහ බාහිර පෙනුමෙන් තොරව වැඩ කරන නමුත්, ඔහු ස්වභාවධර්මයේ බලවේගයක් මෙන් ක්‍රියාශීලී යයි ඩී.ආර්. විජයවර්ධන ජාතියට හඳුන්වා දෙමිනි. ඒ විශිෂ්ට දමිළ පුරවැසියා සිංහල ප්‍රතිවාදියකු පරදවා මුළු ජාතියේම සංකේතය ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසියේ ඩී.ආර්. විජයවර්ධනලා ඇති කළ ජාතික සමගිය තුළය. ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවාදී හඬ දිනමිණ පත්‍රය හරහා රටක්, ජාතියක් අවදි කළේය.

ඒ හඬ DAILY NEWS පත්‍රය හරහා හිරු නොබසින අධිරාජ්‍යයේ බිහි දොර අසල භූමිකම්පා ඇති කරවමින් දෝංකාර දුන්නේය. මෙසේ පටන් ගත් ඩොනමෝර්, සෝල්බරි ආදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිටුපස ඩී.ආර්. විජයවර්ධන සටන අත් නොහැර සිටි බව ඉතිහාසය ලියා තිබේ. අවසානයේ 1948 දී ලංකාවට ස්වාධීනත්වය ලැබිණ.

දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථම සෝල්බරි සාමි 1945 අප්‍රේල් මස 06 වැනි දින විජයවර්ධනයන් ඇමතූ ලිපියේ මෙසේ දැක්වේ. හෙට උදේ අප පිටත්ව යන බැවින් ඔබට ආයුබෝවන් කීමටත්, මටත් කොමිසමටත් ඔබ කළ සියල්ල ගැන අපේ අවංක ස්තූතිය පිරිනැමීමටත් මේ ලිපිය ලියමි. දුෂ්කර ප්‍රශ්නයක් විසඳීමේදී ඔබ අපට දුන් උපදෙස් සහ ආධාර ඉතාමත් උපකාරී විය හැකිය. අද ඩේලි නිවුස් පත්‍රයෙහි අප ගැන කාරුණික වූත් උදාර වූත් වචනවලින් ලියා තිබුණ කතු වැකිය අපට කොතරම් ප්‍රසාදජනක වී ද යත් මම ඒ ගැන ඔබට කෘතඥවෙමි. මේ ලිපිය ලැබෙන විට ඩී.ආර්. විජයවර්ධන සිය 59 වැනි විය ගෙවමින් සිටියේය. අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ගැන බ්‍රිතාන්‍යයේ සුපුරුදු කල්මැරීම ඩී.ආර්. විජයවර්ධන මෙසේ සිය මිත්‍රග්‍රහණය තුළ සිර කර තිබුණි. ප්‍රතිසංස්කරණවාදීන් අපේක්ෂා කළේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. එය මඟ හැර යාමට තැත් කළ සෝල්බරි කොමිසම තම කොක්කනයෙහි දමා ගත්තේ ඩී.ආර්. විජයවර්ධන විසිනි. ජාතික සටන වෙනුවෙන් නිර්මාණය කළ ලේක් හවුස් පත්‍ර සම්ප්‍රදාය අදට වලංගු නැත. එහෙත් එහි පැවැති සටන්කාමී පන්නරය ඉතිහාසයෙහි මනාව නිරූපණය වේ.

මේ සියල්ල අතර ස්වීය පෞද්ගලික පැවැත්ම තුළ හෙතෙම මානව හිතවාදයකු විය. ඔහු සක්‍රීය දේශපාලකයකු වී නම් එය රටට මහා ප්‍රහර්ෂයක් වන්නට ඉඩ තිබිණ.

ඩී.ආර්. විජයවර්ධන මේ රටේ තරුණ පෙළට ආදරය කළේය. තරුණයන් රැකිය යුතුය යන මතයෙහි දැඩිව සිටියේය. වරක් රැකියාවක් සොයා පැමිණි එච්.ඊ.ආර්. අබයසේකරගේ කතාව අසා ඩී.ආර්. විජයවර්ධන තිගැස්සිණ. තරුණයා ආර්ථික හේතු නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හල අයෙකි. ඩී.ආර්. විජයවර්ධන රැකියාව වෙනුවෙන් ඒ තරුණයාට ශිෂ්‍යත්වයක් පිරි නැමීය. වැඩිදුර අධ්‍යාපනයට රජයේ ශිෂ්‍යත්වයක් නොලැබේ නම් ඔහු ලේක් හවුස් ආයතනයට බැඳිය යුතුය යන්න එකම කොන්දේසිය විය. මෙම ශිෂ්‍යත්වලාභියා 1976 ටයිම්ස් පත්‍ර සමූහයේ ප්‍රධාන කර්තෘව සිට විශ්‍රාම ලැබීය. රටේ අනාගත පරම්පරාව ගැන විජයවර්ධන භාවිතාව එවැන්නකි.

ඔහුගේ වයඹ පොල් වතු සමූහයේ කෙළවරක අක්කර දහයක කුඩා ​පොල් කොටුවක් විය. එහි හිමිකාරිය කාන්තාවකි. ඇයට සිය දියණියගේ විවාහ දායාදය සඳහා කඩිනමින් රුපියල් 50,000/- ක් අවශ්‍ය විය. ඇය ඩී.ආර්. විජයවර්ධන හමුවී තම වත්ත මිලට ගන්නා ලෙස දන්වා සිටියාය. ඩී.ආර්. විජයවර්ධන ඒ ඉල්ලීම සැලකුවේ තමන්ට කළ ලැජ්ජාවක් ලෙසය. හෙතෙම එදිනම රුපියල් 50,000/- ක ණය මුදලක් අවශ්‍යතාව පිරිමසා ගැනීමට ලබා දුන්නේය. කාගේවත් කරදරයක් හරහා තම ව්‍යාපාර ලොකු කර ගැනීමේ ප්‍රතිපත්තියක් ඔහු තුළ නොවීය. විජයවර්ධනලාගේ ව්‍යාපාර භාවිතාව එවැන්නකි.

ඔහු නිදහස් ලංකාවේ පරිපූර්ණ නේවසික විශ්වවිද්‍යාලයක් ගැන ද සිහින දකිමින් සිටියේය. ලෝකයේ විශිෂ්ට විශ්වවිද්‍යාලයක උගත් විජයවර්ධන එවැන්නක් මෙරට ගොඩනැගෙනු දැක්මට ආශා කළේය. කොළඹ මුඩුක්කුවක ඉදිවන්නට ගිය ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ ඉදි වන තෙක් ඔහු ඒ පසුපසින් සිටියා පමණක් නොව රජය පත් කළ එච්.එච්. රීඩ් නම් ගෘහ නිර්මාණ ශිල්පියා කපා හැර ඒ වෙනුවට ගෘහ නිර්මාණ ශිල්පී පැට්රික් ඇබර්ක්‍රොම්බි යොදා ගැනීම දක්වා එහි ගැඹුරට ඔහු අත පෙවීය. ඉදිවෙන සරසවිය තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සංඝාරාමයක් කිරීමේ මුළු වැය බර විජයවර්ධන භාරකාර මණ්ඩලය විසින් දරනු ලැබීය. අද පාර්ලිමේන්තුව තෙක් වැඩම කර සිටින ලාංකේය බෞද්ධ භික්ෂුවට පන්සලේදී, පිරිවෙනේදී ලැබුණු සිව්පසය විශ්වවිද්‍යාලයේදී පවා ලැබිය යුතුය යන්න සිංහල බෞද්ධ විජයවර්ධනගේ කැමැත්ත වුණාට සැක නැත.

සිළුමිණ පත්‍රයේ දෙවන කතුවැකිය වැලිවිටියේ සෝරත නාහිමියන් ලවා ලියවා ගැනීමෙන් ඩී.ආර්. විජයවර්ධන අපේක්ෂා කළ බෞද්ධ ආභාසයේ ප්‍රමාණය සිතා ගත හැකිය. රොබට් නොක්ස්ගේ කෘතිය මුලින්ම සිංහලෙන් පළ කෙරුණේ සිළුමිණ පත්‍රයේය. ඔහුගේ ජාතිකත්වය එවැන්නකි. රුපියල් 250 ක් ලියුම් කවරයක රුවා ගෙන ගිලන් වූ පියදාස සිරිසේනයන් මාස්පතා බලන්නට යාම ඩී.ආර්. විජයවර්ධනට ආශ්වාදයක් විය. සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය මෙන්ම අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ද එක් දහස් නවසිය තිස් ගන්වල සිටම ලේක් හවුසියේ ක්‍රියාත්මක විය.

බටහිර අධ්‍යාපනය ලැබූ විජයවර්ධනයන්ට සිංහල සිරිත් විරිත් අමතක වුණේ නැත. ඔහු සිය ලේක් හවුස් මන්දිරයට ගෙවැදුණ අවස්ථාවේ කිරි ඉතිරීමේ චාරිත්‍රය මහත් ආඩම්බරයෙන් සිදු කළ බව කියැවේ. ඔහු වචනාර්ථයෙන්ම සැදැහැති බෞද්ධයකු විය. වාර්ෂිකව හේවිසි හොරණෑ හඬවා සධාතුක කරඬුව පෙරටුකොට උඩුවියන් පාවාඩ සහිතව මහා සංඝයා වහන්සේ වැඩමවා සාංඝික දන් දුන් බව කියැවේ.

ඩී.ආර්. විජයවර්ධන 1917 දී දැරූ ලංකා ජාතික සංගම් ලේකම් ධුරය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට ලැබුණේ 1926 වර්ෂයේය. බණ්ඩාරනායකගේ කෙටිදුර දිවීම සහ ඩී.ආර්. විජයවර්ධනගේ මැරතන් ධාවනය අප යළි හැදෑරිය යුතුව තිබේ. බණ්ඩාරනායකට වඩා පහසුවෙන් ඩී.ආර්. විජයවර්ධනට දියසෙන් කෙනකු වන්නට තිබිණ. හෙතෙම ලංකා දේශපාලනය අපේක්ෂා කරන හතර කුලය පාරිශුද්ධ ප්‍රභූ චරිතයක් විය. නුමුහුන් සිංහල බෞද්ධයකු විය. දේශීය ධනවතකු විය. එංගලන්තයේ නේවාසිකව අධ්‍යාපනය ලැබූ බැරිස්ටර්වරයකු විය. සිංහල කතාවෙහි ව්‍යක්ත විය. උඩරට කීර්තිමත් රදළ පවුලකින් පෙළවාසියක් කර ගත්තෙකු විය. ඊට අමතරව අවශ්‍ය නම් ඌවේ කැරැල්ලේ සිය මී මුත්තාගෙන් ලැබුණ යටපත්ව ඇති පාරම්පරික තෙන්නකෝන් නාමය ද උද්දීපනය කරමින් සුවිශේෂ ආකර්ෂණයක් ද ලබා ගත හැකිව තිබුණි. එහෙත් මේ කිසිදු සාධකයක පැවැත්ම ඩී.ආර්. විජයවර්ධන දඩමීමා කර ගත්තේ නැත. ඊට හේතු දෙකකි. පළමු වැන්න විශිෂ්ට පුරුෂයන් ජාතික දේශපාලනයට තේරුවේ ඔහු නිසාය. දෙවැන්න තම ජාතික අරමුණ මැනවින් වටහා ගත් නිසාය.

ජාතික නිදහස හිමි කර දීමට විජයවර්ධනලා ලබා දුන් දායකත්වය අවිවාදිතය. රටට අද උදාව ඇත්තේ විජයවර්ධනලා, සේනානායකලා යළි ඉල්ලා සිටින කාලයකි. පරපුරක ප්‍රදීපස්ථම්ය වූ ඩී.ආර්. විජයවර්ධන තුළ පැවැති පාරම්පරික නායකත්වය නිරාමිස කැපවීම ශුද්ධ වූ අරමුණු අපරාජිත අත්දැකීම් ජාතික නායකත්වයක හැඩරුව ගනී. විජයවර්ධනවරුන්ගේ දුර දැක්ම, කැපවීම සම්බන්ධ සමාජ භූමිකාව ජනතාව ස්පර්ශ කළ යුතුව තිබේ. හේතුව ශ්‍රී ලංකා දේශපාලනයෙහි විජයවර්ධනලා ස්ථානගත කළ යුතු කාලය පැමිණ ඇති බැවිනි.


(*** නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)