කොරෝනා වසංගතය පාලනය කරමින් සිටින රටවල් අතුරින් ලංකාව සිටින්නේ බොහෝ ඉදිරියෙන් ය. එහි ගෞරවය යා යුත්තේ ආණ්ඩුවට නොව රාජ්‍යයට යැයි කියූ විට ඇතැම් අයගේ සිත් රිදෙන්නට පුළුවන. එහෙත් කලබල නොවන්න. මන්ද ආණ්ඩුව යනු රාජ්‍යයේ සිව්වැනි කුලු‍නය. ඒ නිසා අර ගෞරවයෙන් කොටසක් ආණ්ඩුවට යෑම වැළක්විය නොහැකි දෙයක් ය. දේශපාලන විද්‍යාවේ අති සරල එහෙත් අති මූලික තැනකින් අපි මෙවර ලිපිය පටන් ගනිමු.

රාජ්‍යයෙහි සිව්වැනි කුලුන ආණ්ඩුව නම් ආණ්ඩුව සහ රාජ්‍යය යනු එකක් නොව දෙකකි. ඊටත් වඩා එය හතරෙන් එකකි. එනම් නිශ්චිත භූමිය, නිශ්චිත ජනතාව, ජනතා-පරමාධිපත්‍ය බලය, සහ ආණ්ඩුව යන රාජ්‍යයේ අංග නැතහොත් කුලුනු හතරෙන් ආණ්ඩුව යනු එක් කුලුනක් පමණය.  මේ කුලුනු හතර විසින් උසුලාගෙන සිටින්නේ රාජ්‍යය ය. සියලු‍ අභියෝග, තර්ජන, සීමා, බාධක සහ දුර්වලතා ජයගනිමින් රාජ්‍යය රැක ගැනීම මේ කුලුනු නැතහොත් පාර්ශවවල වගකීමය.

භූමිය සහ ජනතාව අපට පෙනෙන භෞතික දෙයකි. එහෙත් පරමාධිපත්‍ය බලය, සහ ආණ්ඩුව අපට පෙනෙන්නේ නැත. එහෙත් ඒ නොපෙනෙන දෙක ක්‍රියාත්මක වන ආකාරය මත, භූමියත් ජනතාවත් පමණක් නොව සමස්ත රාජ්‍යයමත් අනතුරේ වැටී විනාශ වීමේ හෝ අනතුරේ නොවැටී ආරක්ෂා වීමේ ඉරණම රඳා පවතී. ආණ්ඩුවක පරම වගකීම විය යුත්තේ ජනයා සතු පරමාධිපත්‍යයේ නියෝජිතයා ලෙස එකී ජනයාගේ යහපත, ප්‍රීතිය, සහ ගෞරවය රකිමින් රාජ්‍යය ආරක්ෂා කිරීමය. කොරෝනා පාලනය කිරීම මේ අයුරින් සිදුවන්නේ තරමකින් හෝ රැකී ඉතිරිවී ඇති ඒ රාජ්‍යයට පින් සිදුවන්නටය.

තරමකින් හෝ රැකී ඉතිරිවී ඇති රාජ්‍යය යනුවෙන් අදහස් කළේ කුමක්ද යන්න අප පැහැදිළි කරගත යුතුය. නිදහසින් පසු ශ්‍රී ලංකාව නොමේරූ සහ අවිධිමත් ලෙස වුවත් අදට සාපේක්ෂව ජනතා කේන්ද්‍රීය රාජ්‍යයක් විය. ජනතාවගේ සුබසාධනය අරමුණු කරගත් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය, මගී ප්‍රවාහන සේවය, භාණ්ඩ සහ සේවා බෙදාහැරීම සහ අලෙවිය යනු, දෙවැනි කුලුනු වූ ජනතාව ස්වකීය කැමැත්තෙන් රාජ්‍යය වෙත රඳවා තබා ගැනීමේ ප්‍රමුඛ සාධක විය. එනම් රාජ්‍යය කෙරෙහි ජනතා විශ්වාසය ගොඩ නැගීමේ උපකාරක කුලුනු සතර වූයේ ඒවාය. ඒවා නිසා ජනයාට රාජ්‍යය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් තිබිණ. රෑ අන්තිම බස් එක, එදිනට පසු දින පළමු පාන්දර බස් එක වීම අනිවාර්ය වන බව පිළිබඳ සැකයක් ඔවුන් තුළ නොවීය. එදා ළඟම රෝහල හොඳම රෝහල විය. ළඟම පාසල හොඳම පාසල විය. ලංගම බස් එක හොඳම බස් එක විය. සමුපකාරය ලාබම සමාගම් කඩය විය. ඒවා රාජ්‍යය සමඟ ජනයා බැඳ තබන විශ්වාසය ගොඩනගන යාන්ත්‍රණ ලෙස තීරණාත්මක විය.

දැන් තත්ත්වය කුමක්ද? ළඟම රෝහල හොඳම රෝහල නොවේ ය. දුර තියෙන ආණ්ඩුවේ හොඳම රෝහලේ සැතපුම් ගණන් දිග පෝලිම්ය. ඊටත් වඩා හොඳ පෞද්ගලික රෝහල්වලට යාමට මුදල් නැතිය. ඒ පෞද්ගලික රෝහල්වල ශාඛා රට පුරා ඇත. ඒවාට ආණ්ඩුවේ රෝහලු‍ත් බය ය, අවනතය. එසේම අද ළඟම පාසල හොඳම පාසැල නොවේ ය. සමහර ඒවාට වැසිකිළි තබා වතුරවත් නැත. ගුරුවරුන් සහ අනෙකුත් පහසුකම් ගැන කවර කතාද? පහසුකම් ඇති පාසල්වලට යෑමේ තරගය තුළ බොහෝ දරුවොත් දෙමව්පියොත් පරාජිතයෝය. දැන් අන්තිම බස් එක තබා පළමුවැනි බස් එකවත් නැති මාර්ග බොහෝය. පෞද්ගලික බස් කර්මාන්තය ලංගම බය කොට අඩපණ කොට ආද‌ායම් ඇති බොහෝ මාර්ගවලින් එලවා දමා බොහෝ කල්ය. ඒ මාර්ගවල දැන් අන්තිම බස් නැත. පෞද්ගලික බස් ධාවනය වෙන්නේ ද ආදායමක් ඇති වෙලාවලට මිස මගීන්ට අවශ්‍ය වෙලාවට නොවේය. රෑ හයහමාර හත අට වෙන විට අතුරු මාර්ග පටන් ගන්නා හන්දිවල මගීන් පොදි ගණනින් අසරණය. ලාබය පමණක් අරමුණු කරගෙන ‘කෑලි’ එකතු කරන පෞද්ගලික බස් ගෙදර ගොස් දවසේ ලාබය ගණින ඒ මොහොතේ මගී ජනයා මහපාරේ අසරණයෝ සහ පුලන්නෝ වී සිටිති. ඉඳහිට බසයක් ආවද එහි ගමනාන්තය වන්නේ නියම තැන නොව බස් හිමියාගේ ගෙදර ය. එතැන් සිට මගියා නැවත මහ මඟ ය. සමහර මාර්ගවලින් ලංගම බස් එළවා දමා ඇත්තේ  ඒවායේ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන් ට පෞද්ගලික බස් හිමියන් සහ තැරැව්කරුවන් මරණීය තර්ජන පවා එල්ල කරමින්ය. මේ සියල්ලට ගැළපෙන උදාහරණයක් පමණි. සෞඛ්‍ය, අධ්‍යාපන, භාණ්ඩ සහ සේවා බෙදාහැරීමට ද අත්වී ඇත්තේ ඔය ඉරණමය. එනම් මේ රාජ්‍යය තමන්ගේ යැයි ද අප එහි කොටස්කරුවන් යැයි ද යන හැඟීම ගොඩ නැගූ සියලු‍ ක්ෂේත්‍ර ජනයාගෙන් බරපතළ ලෙස වියෝ වී ඇත.

මේ නිසා රාජ්‍යය සතු කුලුනු සතර, එනම් භූමිය, ජනතාව, ජනතා-පරමාධිපත්‍ය, සහ ආණ්ඩුව යන කුලුනු සතර වෙනස් වී ඇත. ඒ භූමිය, වෙළෙඳපොළ, වෙළෙඳපොළ පරමාධිපත්‍ය සහ ආණ්ඩුව වශයෙන් ය. සිදුවී ඇත්තේ ජනතාව මුළුමනින්ම හෝ වැඩි වශයෙන් රාජ්‍යයෙන් ඈත් කිරීමය. ජනතාව සහ ජනතා-පරමාධිපත්‍යය වෙනුවට වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ-පරමාධිපත්‍යය රාජ්‍යයේ කුලුනු දෙකක් ලෙස ස්ථානගත වීම තීරණාත්මක ලෙස ආරම්භ වූයේ 1977 දී ය. එහි දේශපාලන නියමුවා ජේ ආර් ජයවර්ධනය. ඉන් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පියවරින් පියවර රාජ්‍යයෙන් ජනතාව ඈත් කළේය. එසේම ජනතාව සහ ඔවුන්ගේ පරමාධිපත්‍ය දුර්වල සහ දුර්මුඛ කළේය.

ජේ ආර් ගෙන් පසු ලංකාව වනාහි භූමියත්, ජනතාවත් අන්ත අසරණ කරමින් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ-පරමාධිපත්‍යය විසින් ආණ්ඩු හදන රාජ්‍යයක් විය. ජනතාව විසින් ආණ්ඩු හදන කාලයේ බලවත් වූ සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය වෙළෙඳපොළ බවටත්, නිදහස් අධ්‍යාපනය අධ්‍යාපන වෙළෙඳපොළ බවටත්, මගී ප්‍රවාහන සේවය මගී ප්‍රවාහන වෙළෙඳපොළ බවටත්, භාණ්ඩ සහ සේවා බෙදා හැරීමේ සේවය භාණ්ඩ සහ සේවා වෙළඳපොළ බවටත් පත්විය. එහි ප්‍රතිඵලය වූයේ එතැන් සිට ආණ්ඩුවේ ඉරණමත් සමස්තයක් ලෙස රාජ්‍යයේ ඉරණමත් තීරණය කරන්නේ එය අත්පත් කරගෙන සිටින වෙළෙන්දන් සහ වෙළඳපොළ තර්කනය විසින් වීමය. ඇත්තටම නම් දැන් සිදුවී ඇත්තේ රාජ්‍යය වෙළෙන්දන්ට බද්දට දෙනතුරු බලා සිට  ආණ්ඩුවට දත නියවන්නටය. 1977 න් පසු බලයට පත් හැම ආණ්ඩුවක්ම විවිධ ප්‍රමාණයෙන් කළේ රාජ්‍යය වෙළෙඳපොළට විකුණා දමා තම පුද්ගල දියුණුව පමණක් සලසා ගැනීමය. ඉතින් රටට කවර පිහිටක් ද?

මැතිවරණවලදී පෙන්නුම් කිරීම සඳහා ඉතිරි වී ඇති එහෙත් වෙළෙඳපොළ විසින් අඩපණ කරනු ලැබූ පැරණි රාජ්‍ය අංශය ද බොහෝ විට කටයුතු කරන්නේ චණ්ඩින් ලෙසය. පිළිසරණක් නැති ජනයා එතනදීත් අසරණය. ඔවුන් ජනයාට වගකියන්නේ හෝ වග උත්තර බඳින්නේ හෝ ඇහුම්කන් දෙන්නේ හෝ නැත. එකී ආයතනවල හිතුවක්කාරකම් ජනයා දරාගත යුතුය. ජනයාට නොව ඔවුන්ගේ අලු‍ත් නම් කිරීමට අනුව පාරිභෝගිකයාට නොදන්වා පැය ගණන් විදුලිය ඇනහිටවන ලංකා විදුලිබල මණ්ඩලය මේ සඳහා එක් උදාහරණයක් පමණක් ය. අඩුම තරමින් ප්‍රශස්ත වෙළෙදාමවත් ඔවුන් දන්නේ නැත. ඒ බොහෝ රාජ්‍ය ආයතනවල අය සිතා සිටින්නේ ඒවා තිබෙන්නේ ඔවුන්ට වැටුප් සහ දීමනා ලබා ගැනීමට මිස ජනයා සඳහා නොවේ කියාය.

මේ ව්‍යසනයෙන් ගැලවීමට නම් නැවත රාජ්‍යය නිසි තැන පිහිටුවිය යුතුමය. එහි අයිතිකාරයෝ සහ තීරකයෝ බවට නැවත ජනතාව පත්විය යුත්තෝය. මන්ද රාජ්‍යය අයිති ජනතාවටය. ආණ්ඩුව ට පැවරී ඇත්තේ භාරකාර කටයුත්තක් පමණක් ය. ඒ සමඟම රාජ්‍යය ඇතුළට රිංගා බලවත්වී එහි කුලුනු බවට පත්වී  මුළුමනින්ම එය මෙහෙයවන වෙළෙඳපොළ සහ වෙළෙන්දන්, රාජ්‍යයේ අණසකට සහ නියාමනයට යටත් කළ යුතුමය. ඒ සඳහා නියෝජිතයන් යන හැව පොරවාගත් සහචර දේශපාලකයන් හඳුනාගෙන ඔවුන් පර්ලිමේන්තුවෙන්, පළාත් සභාවෙන් සහ ප්‍රාදේශීය ආණ්ඩුවලින් ඉවත් කළ යුතුය. එය මැතිවරණයක දී කළ හැකි වන්නේ තනි තනිවය.

මන්ද ලංකාවේ අඩපණ වී ඇත්තේ වම පමණක් නොව දකුණ ට ද ඒ ඉරණමම අත්වී ඇති නිසාය. දැන් වමකුත් නැත. දකුණකුත් නැත. වමක් නැති වුවත් දකුණක් එනම් දක්ෂිණාංශික දේශපාලනයක් ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. නැත මිතුරනි, වම එනම් වාමාංශික දේශපාලනය මෙන්ම දක්ෂිණාංශික දේශපාලනය ද මිය ගොසින්ය. දැන් ඇත්තේ පශ්චාත්-දක්ෂිණාංශික දේශපාලනයක් ය. එහි කිසිදු ප්‍රතිමාණාත්මක හෝ හරයාත්මක වටිනාකමක් නැත. ලංකාවේ වාමාංශික දේශපාලනය මිය යන්නේ හැටේ දශකයේ මැදය. දක්ෂිණාංශික දේශපාලනය මිය යන්නේ හැත්තෑව දශකයේ අගය. පැවති දක්ෂිණාංශය අඩුම තරමින් ලිබරල් ඇගයුම් ගැන දැන සිටියේය.  තරමකින් හෝ ඒවා මත පදනම් වී ක්‍රියා කළේය. දකුණ යනු ආචාර ධර්ම වලින් වියුක්ත අංශයක් නොව ලිබරල් වටිනාකම්වලට ගරුකළ පාර්ශවයක් බව වර්තමාන පශ්චාත්-දක්ෂිණාංශය දන්නේ නැත. ඔවුන් දන්නේ ඒ කිසිදු ඇගයුමකින් නියාමනය නොවන නග්න පුද්ගලවාදයක් පමණි. එවැනි පසුබිමක රාජ්‍ය යනු නිකම්ම නිකම් සති පොළකි.

කොරෝනා පාලනය වන්නේ ඒ සියල්ල මැද තරමකින් හරි ඉතිරිවී ඇති රාජ්‍යයේ අනුහස නිසාය. මෙවර මැතිවරණයත් පැවැත්වෙන්නේ එවැනි පසුබිමකය. ඒ පසුබිමේ රාජ්‍යය ගොඩනැගීම පිළිබඳව කිසිදු අදහසක් සහ වැඩපිළිවෙළක් නැති, සමාජ හෘදසාක්ෂියක් නැති, රාජ්‍යය වෙළෙඳපොළට වඩා බලවත් කිරීමට වුවමනාවක් නැති, කවර කණ්ඩායමක් බලයට පත්වුවත් රටට නම් සෙතක් නොවන බව පමණක් දැනට ලියා තබමි.

***
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​ෙය්,
ධම්ම දිසානායක