අහිම්සා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද නඩුව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වූ පසු, දකුණු අප්‍රිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් වන ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් (අයිටීජේපී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය ආයතනය, හවුස්ෆෙල්ඞ් සොලිසිටර්ස් නම් අන්තර්ජාතික නීති සේවා ආයතනය හා අත්වැල් බැදගනිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණය හමුවේ සිවිල් ආපදා නඩුවක් ගොනු කළ බවයි. මේ අනුව පැහැදිලි වන කාරණයක් නම්, මෙම නඩු දෙකම ගොනු කර තිබෙන්නේ එකම ආයතනය බවත්, එය මෙම අවස්ථා ද්විත්වය අතර යම් සම්බන්ධයක් ඇති බව ඇඟවෙන්නක් බවත්ය. 

ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් යනු දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන ආයතනයකි. එහි ප්‍රධානියා වන්නේ සංක්‍රාන්තික යුක්තිය පිළිබද විශාරදයකු වන යස්මින් සූකාය. 

2009 වසරේ බෙදුම්වාදී යුද්දය අවසන් වූවායින් පසුව එම වසරේම අග භාගයේ දී මෙරට බලා පැමිණි එක්සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල කමිටුවක ඇය ද එක් සාමාජිකයෙක් වූවාය. යුද්දයේ අවසන් භාගයේ දී සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ කඩවීම් අරබයා වගවීමේ ක්‍රියාවලියක් ගොඩනැගීමට යොදාගත හැකි ආකෘතීන්, තත්ත්වයන් සහ සංසන්දනාත්මක අත්දැකීම් විවරණයක් සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදී ඒ පිළිබදව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් දැනුම්වත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය විය.

අයිටීජේපීය ගොනු කර තිබෙන නඩුවට පදනම සපයන්නේ වර්තමානයේ කැනේඩියානු පුරවැසියකු වන රෝයි සමතනම්ය.
2007 වසරේ කොළඹ දී අත්අඩංගුවට පත්ව තිබෙන ඔහුව, වසර 3ක කාලයක් රඳවා තබා ගනිමින් වධහිංසා පමුණුවා තිබෙන බවත්, ඔහුට නීතිඥවරුන් හා සම්බන්ධවීමට අවස්ථාවක් දී නොමැති බවත්, නඩුවේ වගඋත්තරකරුවන් වෙත නගා තිබෙන චෝදනාවයි. බීබීසි ආයතනය නියෝජනය කරමින් කොළඹ පදනමේ සිට ක්‍රියාත්මක වන ෆ්‍රාන්සස් හැරිසන් නම් මාධ්‍යවේදියා ද ලන්ඩනයේ සිට සම්බන්ධවන පුද්ගලයකු ලෙස මෙම නඩුවේ පැමිණිකාර පාර්ශවය නියෝජනය කරයි.

මේරි කොල්වින් සිදුවීම

මෙම නඩු දෙකම මෙහෙයවන්නේ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් පිළිගත් නීතිඥයකු වන ස්කොට් ගිල්මෝර්ය. 
යුද අපරාධවලින් අගතියට පත් ලොව පුරා පුද්ගලයින් වෙනුවෙන් ඔහු පෙනී සිට තිබෙන අතර, අයි.එස්.එස්. සංවිධානය ප්‍රාණ ඇපකරුවකු ලෙස රදවාගෙන සිටි ජේම්ස් ෆෝලිගේ පවුලේ සාමාජිකයන් සහ හයිටියේ බේබි ඩොක් ඩුවලියර්ගේ වින්දිතයන් ඔවුන් අතරින් ප්‍රධානය. 

2019 ජනවාරි මාසයේ දී සිරියොවේ අසාඞ් රෙජීමයෙන් ඩොලර් ලක්ෂ 3036 ක වන්දි මුදලක් ඉල්ලා ගොනු කර තිබූ නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ගිල්මෝර් ඉන් ජයග්‍රහණය කළේ ය. ලන්ඩනයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිණී මේරි කොල්වින් ඝාතනය කළේ යැයි අසාද් රෙජීමයට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, ඇය මියගියේ සිරියානු යුද්දය ආවරණය කරමින් සිටියදීය. 

ඇයගේ චන්ද්‍රිකා දුරකතනයට ලැබුණු හා ලබාගත් ඇමතුම්වලින් ඇය සිටිනා ස්ථානය නිශ්චය කරගැනීමට සිරියානු බුද්ධි අංශ සමත්ව සිට ඇතැයි පසුව අනාවරණය විය. ඇය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියානු බුද්ධි අංශ වෙත මෙම නඩුවෙන් චෝදනා නගා තිබිණ. නමුත් මෙම වන්දි මුදල් ගෙවීමට හිමිවූයේ සංකේතාත්මක වැදගත්කමකි. අසාද් රෙජීමය එම අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීම එයට හේතුව විය.

ඇමරිකානු පුරවැසියෙක් මෙන්ම ප්‍රකට යුද පුවත් වාර්තාකාරිනියක වූ කොල්වින් 2001 වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ වාර්ගික යුද්ධය ආවරණය කිරීමේ කටයුතුවල නිරත වූවාය. එවක මම එක්සත් රාජධානියේ සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි වාර්තාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියෙමි. 

මේරි කොල්වින් යුද්දයෙන් භ්‍රාන්තව තිබූ උතුර බලා පිටත්ව යෑමට පෙර දින රැයේ ඇය හා දීර්ඝ සාකච්ඡාවක යෙදීමට අවස්ථාවක් මට සැළසිණ. අප දෙදෙන අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ ගාලුමුවදොර හෝටලයේදීය. අනතුරුව ගතවූ වසර කිහිපයේ දී ඇය මගේ ළඟම මිතුරියක බවට පත්වූවාය. 

මන්නාරම පිවිසුමෙන් යුද කලාපයට පිවිසුනු ඇය යාපනයේ දින කිහිපයක්ම ගත කළාය. වවුනියාවට නුදුරු ඉදිරිපස ආරක්ෂක වළල්ල හරහා නැවත පැමිණෙමින් සිටිය දී යුද හමුදාව ඇයව සහ ඇය කැටුව පැමිණ සිටි එල්.ටී.ටී.ඊ ගරිල්ලා සාමාජිකයන් කොටු කරගත්තේ ය. දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි හුවමාරුවේ දී ඇයට එක් ඇසක් අහිමිවූවාය. 

ඇයව මරණයට අත්හළ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ පළා ගියහ. ප්‍රතිකාර සදහා උතුරු මැද පළාතේ රජයේ රෝහලකට ඇයව ඇතුළත් කැරුණු අතර, ලන්ඩනයේ සන්ඬේ ටයිම්ස් පුවත්පත කොල්වින්ව ගුවන් ගිලන් යානයකින් ලන්ඩනය බලා ගෙන ඒමට කටයුතු සම්පාදනය කළද, සාමාන්‍ය යානයක නැගී යාමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් ඇය සතු බවට නිර්දේශයක් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ලබා දුන්හ. සන්ඬේ ටයිම්ස් දකුණු ආසියානු වාර්තාකරු ජොන් ස්වේන් පැමිණ ඇයව ලන්ඩනය බලා රැගෙන ගියේය. වැඩිදුර ප්‍රතිකාර සදහා ඇය පසුව ඇමරිකාවට ගියේය. 

විදෙස් තීරුවේ සංස්කාරක ෂෝන් රයන් වරක් අදහස් දක්වමින්, කොල්වින්ගේ චන්ද්‍රිකා දුරකතන ඇමතුම් යනු පුවත්පතට ඉතාම ඉහළ වියදමක් දැරීමට සිදුවන අංගයක් බව පැවසුවේ ය. ශ්‍රී ලංකාවේ සහ සිරියාවේ ඇයගේ අත්දැකීම් අළලා දැන් හොලිවුඞ් චිත්‍රපටියක් ද නිර්මානය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවල අරමුණ වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමේ කටයුතු ප්‍රමාද කරවීම හෝ ලත් තැනම ලොප් කිරීම බව ඉතාම පැහැදිලිය. මේ හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙබරයකට ගල් ගැසූ හා සමව ඇවිස්සී සිටී. ගෝඨාභය මහතාට එරෙහි නඩු, 2014 වසරේ දී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට එරෙහිව සීක්ස් ෆො ජස්ටිස් නම් සංවිධානයක් නිව්යෝරක් අධිකරණය හමුවේ ගොනු කළ නඩුවට හා යම් ආකාරවලින් සමය. 
ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් පසුව සීක් ජාතිකයන්ට එරෙහිව ඇවිළී ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දුන් පක්ෂ නායකයින් ආරක්ෂා කරමින් සිටින බවට ඇයට එම නඩුවෙන් චෝදනා නඟා තිබිණ. නමුත් 2014 නොවැම්බර් මාසයේ දී, නඩුව ගොනු කිරීමෙන් මාස 6 කට පසු, එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය නඩුවට පදනම්වන තොරතුරු ප්‍රමාණවත් නොවන බවත්, ස්ථීර ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් සදහන් කරමින් එම නඩුව ඉවතට දැමුවේය.

මෙතැන ඇති වැදගත් කරුණ වන්නේ නඩුව ඉවතට දැමීම සදහා ගතවූ කාලයයි - එය මාස 6කි. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සැළකීමේ දී ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කළ බවට සහතිකයක් ඔහු මාස 6 කට පෙරාතුව ලබාගත යුතුය. එවන් කාලයක් ගෙවෙන තැන පැමිණෙන්නේ ජනපතිවරණයයි. 

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ළඟම හිතවතෙකු වන, වරක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව අමාත්‍යවරයකු ලෙස පත්වූ මිලින්ද මොරගොඩ මහතාගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නායකයන් දැනගෙන ඇත්තේ, ඔහුට (මොරගොඩට) සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමට ගතව තිබෙන්නේ දින 10 ක පමණ කාලයක් බවය. 

ගෝඨාභය හා බැඳී තිබෙන සිදුවීම් ඒ අතින් ඉදුරාම වෙනස් බව ඔවුන් වටහාගනිමින් සිටින්නේ දැන්ය. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස එදා කොතරම් උපදෙස් දුන්න ද, සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය මෙතරම් කාලයක් බලා සිටියේ ඇයිදැයි පැනයන් දැන් නැගෙමින් තිබේ. මේ හමුවේ සියලුදෙනාම සිටින්නේ දැඩි ආතතියකට සහ බියට පත්වය. ඒ අතරවාරයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ප්‍රචාරක යාන්ත්‍රණය ද ක්‍රම ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් රාජපක්ෂ කදවුරේ ඇතැමුන් ප්‍රසිද්ධියේම අදහස් දැක්වූයේ ය.

“මේක ඊළග ජනපති අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය දියත් කරන විෂඝෝර ව්‍යාපාරයක එක් කොටසක් පමණයි” පසුගිය අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙල සාමාජිකයෙක් වන ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය. වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසුව වසර 2ක කාලයක් පුරා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනෙක් රඳවා තබාගෙන සිටි බවත්, අරමුණ වූයේ ගෝඨාභයව කොටු කිරීම බවත්, ඔහු කීවේය. 

හිටපු හමුදාපතිවරයා මෙම සිදුවීමට සම්බන්ධ බවට අගමැතිවරයා එදා ප්‍රකාශයක් කළ බව සිහිපත් කළ ඔහු, එම ප්‍රකාශය පාර්ලිමෙන්තුවේ හැන්සාඞ් වාර්තා අධ්‍යනය කිරීමෙන් සොයාගත හැකි බව පැවසුවේ ය.

වර්තමානයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය 1982 වසරේ දී එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා, හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සිවිල් අයිතිවාසිකම් අවලංගු කිරීමෙන් පසුව, ජනපතිවරණය පැවැත්වීමට සැළසුම් කළ ආකාරයට සමාන කළ අලහප්පෙරුම මහතා වර්තමානයේදී ජයවර්ධනගේ ඥාති පුත්‍රයා ද සැරසෙන්නේ ඒ ආකාරයටම කටයුතු කිරීමට බවට චෝදනා කළේය. 

පසුගිය අගහරුවාදා සිට සැළකුවහොත් ජනපතිවරණයට තවත් ගෙවෙන්නට තිබෙන්නේ දින 179 ක් යැයි පැවසූ ඔහු, එවන් අවස්ථාවක මෙම වසරේ දෙසැම්බර් මස 7 වැනිදා ජනපතිවරණයක පැවැත්විය හැකි බව පෙන්වා දුන්නේය. ඒ අනුව නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වනු ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදාය. අපේක්ෂකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මස 5 වැනිදා වන විටවත් සිදුකළ යුතුය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, ඇමරිකාවේ නඩු පවරා තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතුවලට බාධා පැමිණවීමට බව කිවේ ය.

නඩු පවරා තිබෙන්නේ පුරවැසිභාවය ඉවත්කිරීමට අවශ්‍ය ලියකියවිලි භාරදීමෙන් පසුව. ඒ නිසාම අධිකරණය ගන්නා තීරණයක් එය මත බලපෑමක් ඇතිකරන්නේ නැහැ. මේ ගැන අධ්‍යනය කර තිබෙන නීතිඥයින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. ඔහු පැවසුවේ ය. නඩුවලට හේතුපාදක වී තිබෙන සිදුවීම්වලට කිසිදු පදනමක් නොමැති බව පැවසූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස් මහතා, එයට හේතුව වන්නේ මෙම සිදුවීම් සියල්ලක්ම මීට වසර 10කට පමණ පෙර සිදුව තිබීම බව පැහැදිලි කළේ ය.