කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය පැවති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සර සමරු උලෙළේදී මහාචාර්ය සේන නානායක්කාර විසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. 
 
“මොනවට ද බය වෙන්නෙ?
රූපයක් දැක්කයි කියල මිනිස්සු හොඳ වෙන්නවත්
නරක් වෙන්නවත් විධියක් නෑනෙ.
එහෙම කියන්න එපා. අහන දකින දේවල් තමයි
මිනිස්සු කරන්නෙ කියන්නෙ.
එහෙම නම් මිනිස්සු ඇස් පියාගෙන තමයි 
ඉන්න වෙන්නෙ..... මනස්ගාත........”
 
මෙබඳු සංවාද කොතෙකුත් අපි අසා ඇත්තෙමු. ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස පොදු මිනිසා අතර පැළපදියම් වූ මෙමගින් සිදු කෙරෙන ක්‍රියාවලිය තරමක් ගැඹුරින් විමර්ශනයට ලක් කළ යුතුව ඇත. එය සෘජු ලෙසම ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක බලපෑම් සහිත සංකීර්ණ ක්‍රියාවලියක් බව විද්‍යමාන වනුයේ ඒ අනුව ය.
 
රූපය දෘෂ්ටිගෝචර ය.  ඇස්, කන්, නාසා, දිව හා සම ආදී වූ පංචේන්ද්‍රියයන්ගෙන් වඩා ත් වැදගත් වූ දෘෂ්ටීන්ද්‍රිය අප අධ්‍යාත්මය කෙරෙහි බලපෑම් කරන්නා වූ ආකාරය ඉතා සුවිශේෂ ය.  ඉලෙක්ට්‍රෝන  රූප රාශියකින් හා ශබ්ද මාලාවකින් කෙරෙන සංජානන ක්‍රියාවලිය රූපවාහිනිය මගින් සිදු කෙරෙයි.  එය රූපමය හා ශබ්දමය සංඥා හා සංකේතාවලියක් ලෙස (Visual and auditory signals and symbals) මිනිස් මනස හා සම්බන්ධ කෙරේ.  මෙකී රූප හා ශබ්ද යම්කිසි හැඟීම් මාත්‍රයක් නියෝජනය කරයි.  ඒවා අඩුවැඩි වශයෙන් ප්‍රබල හෝ දුබල විය හැකි යි.  බලපෑම් කාරකයක් ලෙස විචල්‍ය බවක් පෙන්නුම් කරයි. ඒත්, කිසියම් ගැඹුරු ප්‍රතිරූපයක නිෂ්පත්තියක් එමගින් හෙළිදරව් කෙරේ.  එනම්, මිනිසුන් කතාකරන, කන බොන, අඳින පළඳින හා හැසිරෙන කුදුමහත් සකලවිධ ක්‍රියාකාරකම් පද්ධතියක පිළිබිඹුවක් මිනිස් මනසට ප්‍රදානය කරයි.  ප්‍රේක්‍ෂකයෝ, රසිකයෝ හෝ පොදුවේ ගත් කල ග්‍රාහකයෝ එය නරඹති.  ස්වකීය සිත හා කිසියම් ගනුදෙනුවක යෙදෙති.  එය ප්‍රතිචාරාත්මක ය.  සැබැවින් ම, එය එක්තරා පෙළ කියවීමක්  (Text reading)වෙයි.  විටෙක එය අපි අනුකරණය කරමු.  තවත් විටෙක පිළිගනිමු.  පිළිකෙව් කරමු.  දෘශ්‍යමය හා ශ්‍රව්‍යමය සංඥා හා සංකේත විසින් කිසියම් වෙනස් අරමුණක්, පරමාර්ථයක්, විශ්වාසයක් හෝ ක්‍රියාකාරකමක් දක්වා මිනිස් සිත ගමන් කරවනු ලබන්නේ එලෙසිනි.
 
පුහුදුන් මිනිසා තුළ ස්වකීය පංචේන්ද්‍රීය පිනවීමෙහි ලා පවත්නා සිතැඟියාව ප්‍රවේණිගත ය. ඇස, කන, නාසය, දිව හා ශරීරය සංතෘෂ්ටියට පත්කරවන රූපය, ශබ්දය, ගන්ධය, රසය හා ස්පර්ශය ද මේ හා තදනුබද්ධ ය. රූපය ඒ අතර ප්‍රමුඛ වෙයි. මන්දයත්, එය ජාගර චිත්තයෙහි සකලවිධ විඤ්ඤාණයන් හා සක්‍රිය වන බැවිනි. වෙනත් කිසිදු ජනමාධ්‍යයකට නැති පොදු ජන ආකර්ෂණයක් රූපවාහිනිය හා බැඳී පවතින්නේ ඒ අනුව ය.
එකී ආසක්තභාව අධිමාධ්‍ය ග්‍රහණයක් ලෙස හඳුන්වාදිය හැකි ය. දවසේ වැඩි කාලයක් රූපවාහිනිය ඉදිරියේ ගත කරන අය බොහෝ විට දකින්නට ලැබිය හැක්කේ ඒ අනුව ය. කිසිදු වැදගැම්මක් නැති කසිකබල් මෙගා ටෙලිනාටක සම්බන්ධයෙන් ගත් කල මෙබඳු ප්‍රේක්ෂකයන් විරල නොවේ. පවුල් කඩා ඉහිරවන, අනුන්ගේ දියුණුවට හෝ ආදරයට අකුල් හෙළන, පර අඹු-සැමි සබඳතා එළිපිටම පවත්වාගෙන යන, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම හා පීඩාව වගුරුවන එබඳු විසූක දස්සනවලින් සමාජයට සිදුවන යහපත කුමක් ද? විදේශයන්ගෙන් මෙරටට කුණුකොල්ලයට ආනයනය කොට හඬ කවා ප්‍රචාරය කරන නාටක පෝලිම බලා අපේ දරුවන් හෙට දවසේ ප්‍රඥාවන්තයන් වේ ද?  
 
මේවායේ මාපිය - දූදරු, ගුරු - ගෝල සබඳතා හුදු මිත්‍ර සේවනයක් දක්වා පෙරැලී ඇත. චිරකාලීනව ඔවුනොවුන් අතර පැවතී ආ ගෞරවනීය මානව බන්ධූත්වය ක්‍ෂයව ගොසිනි. මවගේ-පියාගේ අනියම් අඹුසැමි සබඳතා කෙරෙහි ආක්‍රෝෂ පරිභවයෙන් අභියෝග කරනුයේ කටේ කිරි සුවඳවත් නොගිය දරුවන් ය. ඔවුහු සියල්ල දත් පණ්ඩිතයෝ ය. විවාහ ජීවිතයේ අභ්‍යන්තරය පිළිබඳ මාපියන්ට අවවාද අනුශාසනා පවත්වනු ලබනුයේ ඔවුන් විසිනි. තරුණ වයස ඉක්මවූවෝත් පාසල් යති. අඩුවකට ඇත්තේ කටට සූප්පුවක් ඔබා නැති කම පමණි. අහෝ... කාලාන්තරයක් තිස්සේ අපේ උරුමයක්ව අඛණ්ඩව පැවත ආ අපේකමට ගිය කල? “සම්ප්‍රදායකව පැවත ආ කුලාචාර හා ඥාන මට්ටම් සමුදායක් යටපත් කරන්නට වැරදි ලෙස ක්‍රියාකරන නූතන ජනමාධ්‍ය පිටුබල සපයා ඇති බව” මහාචාර්ය ජේම්ස් ඩී. පැලෝ පවසයි. 
 
මීට වසර කිහිපයකට පෙර මා විසින් කරන ලද පර්යේෂණ කාර්යයක් අතරතුරදී ලද එක්තරා දත්ත සටහනක් පිළිබඳ මෙහිදී සිහිපත් කිරීම ගෝචර යැයි සිතමි. “රූපවාහිනි මාධ්‍ය හා ළමා පරපුරේ පොතපත භාවිතය” තේමා කොටගත් එකී පර්යේෂණයේදී කැලණිය ප්‍රදේශයේ නිවෙස් 801ක් අධ්‍යයනය සඳහා ඉලක්ක කොට  ගතිමි. විධිමත් ලෙස නඩත්තු කෙරෙන පොත් රාක්කයක් දක්නට ලැබුණේ එක් නිවසක පමණි. ඒත් සියලු නිවෙස්වල රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රාශියක් දක්නට ලැබිණි. පොතපත කියැවීම වැනි ගැඹුරු ආධ්‍යාත්මික ක්‍රියාවලියකට වඩා සරල විනෝදාස්වාදය හා එදිනෙදා දෑස්මානයේ අහුලාගත හැකි තාවකාලික වින්දනය අප සමාජය අභිෂේක කරන අයුරු එයින් පිළිඹිබු කෙරේ.
 
බොහෝ දරුවන්, යහපත් අධ්‍යාපනය ලබන, ඉංග්‍රීසි හා තොරතුරු තාක්‍ෂණයෙහි දැනුම සහිත, කාලීන සමාජය පිළිබඳ නොමද අවබෝධය ඇති අය ලෙස පෙණුන ද, ඔවුනොවුන් අතර රුචිය හා රසවින්දනය පිළිබඳ බරපතල ගැටලුකාරි ස්වභාවයක් ද හෙළිදරව් කෙරිණි. දරුවන් පමණක් නොව, බොහෝ මාපියන් ද ස්වකීය කාර්යභාරයන් තුළ නිවැරදි ආස්ථානයක නොපවතින බව කුළුගැන්වෙනු පෙනේ. කාලීන සමාජ ආර්ථික හෝ දේශපාලනික වශයෙන් පැවතිය යුතු නිරවද්‍ය දැක්ම හෝ ආධ්‍යාත්මික ගුණාත්මභාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. පුළුල් අවබෝධයෙන් තොර ආත්මාර්ථය හා බාල රුචිය එහිදී කැපී පෙණින. ඔවුහු හුදෙකලාව ප්‍රිය කරති. අන්‍යොන්‍ය සහජීවනය අවම ය. “රූපවාහිනිය වූ කලී මිනිසා නැවත ගල්ගුහා ජීවිතයකට කැඳවන්නකැ”යි සුගතපාල ද සිල්වා සූරීන් පවසන්නේ එබැවිනි. ආචාර්ය සැලී වෝඞ් එය අර්ථ දැක්වූයේ “මිනිසා ඉලෙක්ට්‍රෝනික ලෝකයකට ප්‍රවේශ වීම සඳහා වූ කමටහන් වැඩීමක්” ලෙස යි. විශේෂත්වය වනුයේ, මේ සමාජ අවගුණ සාධාරණීකරණයෙහි ලා අදාළ කරුණු කාරණා ද විරල නොවීම ය. 
මේ සියලු සමාජ ස්වභාවයන් ඕපපාතික නොවේ. මේවා හේතු යුක්ති සහිත දිගු කාලීන අගතිගාමී සමාජ ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵල ය. මිනිස් සිත තුළ හට ගන්නා ගැටලුවක්, පොදු සමාජය තුළ පුළුල් අර්බුදයක් බවට බවට පත්වී, අවසන එය සුවිශාල ජාතික වියවුලක් ලෙස විදාරණය වෙයි. යහපත් මාධ්‍ය ක්‍රියාවලියක අවශ්‍යතාව පැනනගින්නේ මෙහිදී ය. එසේ නොවන කල එය සමාජ අවගමනය සඳහා වන උත්තේජකයක් බවට පත්වනු ඇත.
 
ඒ අනුව ජනමාධ්‍යයක ප්‍රමුඛ අරමුණු අතර සමාජය යහපත් කරවීමෙහිලා අදාළ උපදේශකත්වය, සංවිධායකත්වය හා ක්‍රියාකාරිත්වය ද වඩාත් ප්‍රබල ය. අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන රූපවාහිනියට ද එය එකසේ වලංගු වන්නකි. සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ස්වකීය ග්‍රාහකයා ඥානනය කරවීමෙහිලා අදාළ ක්‍රියාවලිය එයින් අපේක්‍ෂිත ය. සත්‍ය තොරතුරු, නිවැරදි අධ්‍යාපනය හා හරවත් විනෝදාස්වාද සම්පාදනය මෙන්ම යහපත් පෙළැඹවීම එහිදී ප්‍රධාන කොට ගැනේ. 
 
ඒත් අභාග්‍යයක මහත? යහපත් දේ ඉඳහිට දකින්නට ලැබුණත්, බොහෝවිට අප අත්දකිනුයේ ලාභය සහ ප්‍රචාරණය මූලික සිල්පද කොටගත් රූපවාහිනියක් නොවේද? සමාජයට මොන හෙණේ වැදුණත් රේටින්ග්ස් වලින් අංක 1 නම් අපි ගොඩ ය.
 
ජපානයේ NHK හා එංගලන්තයේ  BBC  ටෙලිවිෂන් නාලිකාවල පමණක් නොව, නෝර්වේ, ස්වීඩනය හා කැනඩාව මෙන්ම අප අසල්වැසි මැලේසියාව ද අනුගමනය කරන නව රූපවාහිනි සමාජ ක්‍රමවේද  (New Television Social Method) වැදගත් වන්නේ මෙහිදී ය. එය එසේ වුවත්, නිශ්චිත සමාජ ආර්ථික හා දේශපාලන දැක්මක් නැති, අඛණ්ඩ අභිවෘද්ධියක් සඳහා ගෝචර පුළුල් ජාතික ප්‍රතිපත්තියක් නැති රටකට නම් එබඳු නව මාධ්‍ය ක්‍රමවේද හාස්‍යජනක ප්‍රයත්නයන් ය.