“සමහරු රටේ ජාතික ආරක්ෂාවට පටු තැනක් දෙන්න උත්සාහ කරනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක අංශ කලාපයේ හා ලෝකයේ තියෙන ශක්තිමත්ම අංශ බවට පත් කරන්නට අපට ලබාදිය හැකි ප්‍රතිපාදන පහසුකම් අප නිරතුරු ලබා දෙන්න සූදානම්. එහෙත් ජාතික ආරක්ෂාව කියන කාරණය එතැනට පමණක් සීමා නොවිය යුතුයි. එහිදී ආරක්ෂක අංශ ශක්තිමත් කරනවා වගේම, රට ජාතිය රැකගත් රණවිරුවන්ගේ සුභසාධනයට උපරිම සහාය ලබා දෙනවා වගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම්, අංශ ගණනාවක් ශක්තිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම්, ආර්ථිකය ශක්තිමත් විය යුතුයි.” මංගල සමරවීරගේ තිස් අවුරුදු දේශපාලනය සැමරීමේ මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ ජුලි 7 වැනි දින පැවැති උත්සවයේ ආරාධිතයන් අමතා සජිත් ප්‍රේමදාස කළ කතාවෙනි.   

මේ අතර, තවත් ජාතික ආරක්ෂක කමිටුවක් ජනාධිපති විසින් පත් කරනු ලැබූ බවට වාර්තා විය. පසුගිය බදාදා (ජුලි 10 වැනි දින) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් අමතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියූවේ “මේ රටේ දැන් විනය හොඳටම පිරිහිලා. අපි ඊළඟට හදන ආණ්ඩුව රට ස්ථාවර කරන්න පුළුවන් ආණ්ඩුවක්. අපි ජාතික ආරක්ෂාව සියලු ජනතාවට, සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම ලබා දෙන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයකු ලබන 11 වැනිදාට නම් කරනවා” යනුවෙනි.

සරල අර්ථයෙන් ජාතික ආරක්ෂාව යනුවෙන් අදහස් කෙරෙන්නේ රටක ජන පැවැත්මට ඇතිවිය හැකි තර්ජනවලින් ජන සමාජය ආරක්ෂා කිරීමය. ඒ වෙනුවෙන් ආරක්ෂක හමුදා තහවුරු කර නීති සකසා ගනු ලැබේ. පසුගිය දසක හත අට පුරා ජාතික ආරක්ෂාව යන්න විවිධාකාරයෙන් අරුත් ගැන්වුණු අතර, ජාතික, කලාපීය හා ජාත්‍යන්තර ව්‍යාප්තියක් ඇතැයි තර්ක කෙරුණු “ත්‍රස්තවාදී” ක්‍රියාකාරීත්වය හමුවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ අලුත් මානයන් ගණනාවක් එකතු විය. රටක භෞමික හා භෞතික ආරක්ෂාවේ සිට දේශපාලන, ආර්ථික, පාරිසරික, ස්වාභාවික හා බලශක්ති සම්පත්, යටිතල පහසුකම් සහ පරිගණක හා සයිබර් ආරක්ෂාව දක්වා බොහෝ දේ දැන් ජාතික ආරක්ෂාවට අදාළව ගණන් හදනු ලැබේ. එයට මූලික හේතුව වන්නේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ශක්තිය හා බලය ප්‍රදර්ශනය කිරීමේදී රටකට එරෙහිව එවැනි ඕනෑම ක්ෂේත්‍රයකට හානි සිදු කළ හැකිය යන තර්කයට අමතරව, විශේෂයෙන් පරිගණක හා සයිබර් ක්ෂේත්‍රයෙහි දියුණු නවීන තාක්ෂණය ඔවුන්ගේ සන්නිවේදන හා සැලසුම් කිරීම් වෙනුවෙන් යොදා ගැනීමට ඇති ඉඩකඩය.

මෙවැනි පුළුල් පරාසයක ජාතික ආරක්ෂාව ස්ථානගත කිරීමේ අවශ්‍යතාව සෝවියට් රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයේ බබ්රක් කර්මාල්ගේ ආණ්ඩුවේ හවුලට 1979 දී එරටට ඇතුළු වූ දින සිට ඇමෙරිකාව විසින් බල කරන ලද්දකි. එය ඇමෙරිකානු භූ දේශපාලනය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ රුසියානු හමුදාවලට එරෙහිව තලේබාන් මුස්ලිම් අන්තවාදය තහවුරු කිරීමේ සිට අල්-ඛිඩා දක්වා ව්‍යාප්ත කෙරුණු ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය පෙන්වා සාධාරණය කෙරුණකි. මේ වනවිට එය “අයි.එස්.අයි.එස්.” සංවිධානයේ අතිශය ම්ලේච්ඡ වනචාරි ක්‍රියා සමඟ තවදුරටත් තහවුරු කෙරුණකි. 2001 සැප්තැම්බර් 11 වැනි දින නිව්යෝක් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජෝර්ජ් බුෂ් (කනිෂ්ඨ) ජනාධිපති සමයෙහි “ගෝලීය ත්‍රස්තවාදය” පරාජය කිරීම ලෝක මතයක් ලෙස තහවුරු කරගනු ලැබිණ. ත්‍රස්තවාදයට එරෙහි එවැනි ජාත්‍යන්තර මතයක් නොවුණත් බොහෝ රටවල ඊට පෙර සිටම ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාන්විත වෙනුවෙන් නීති සකසා ගෙන තිබුණි. තුර්කියේ කුර්දි ජනයාගේ විරෝධතා මර්දනයට එවැනි පනත් සම්මත කෙරුණේ 1991 දීය. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවිය හැකිව තිබියදී අපේ රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනත සම්මත කරනු ලැබූයේ 1979 දීය. එය 1982 දී ස්ථිර කරනු ලැබිණ. ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීති රීති අතර “ත්‍රස්තවාදී හා කඩාකප්පල්කාරී ක්‍රියා (වැළැක්වීම) සම්බන්ධ පනත සම්මත කරනු ලැබූයේ 1987 දීය. එය විශේෂයෙන් කාෂ්මීර් සහ පන්ජාබයේ සන්නද්ධ කැරැලිකාරීත්වය වෙනුවෙන් සම්මත වූ අතර, ඊසාන දිග ප්‍රාන්තවල දිග හැරුණු ප්‍රචණ්ඩ විරෝධතා වෙනුවෙන් ද යොදා ගැනුණි.

නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු “ජාත්‍යන්තර ජූරි කොමිසම” (ෂක්‍න්‍) විසින් 2005 දී ගෝලීය කලාප සියල්ලම පාහේ නියෝජන වන 8 දෙනකුගෙන් යුත් ලොව විද්වත් විශිෂ්ටයන්ගේ කොමිසමක් පත් කළේය. ඔවුන්ට පැවැරුණු වගකීම වූයේ නිව්යෝක් ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත විරෝධී නීතිරීති මගින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා ලද පියවර, මානව හිමිකම් වෙත බලපා ඇති ආකාරය අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමය. ඒ වෙනුවෙන් ඔවුහු ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 40ට වැඩි සංඛ්‍යාවක සංචාරය කරමින් දේශපාලන නායකයන්, රාජ්‍යාරක්ෂක අංශ හා බුද්ධි අංශ නිලධාරීන්, ඉහළ පොලිස් නිලධාරීන්, අධිකරණ ක්‍රියාවලියේ තීරකයන්, පරිපාලකයන්, නීතිඥයන්, වින්දිතයන්, ජන සමාජයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් හමු වූහ. වසර 3ක එවැනි ඉතා තියුණු අධ්‍යයනයකට පසු ඔවුහු 2009 දී ඔවුන්ගේ ඉතා සවිස්තරාත්මක වාර්තාව ජිනීවාහිදී ප්‍රසිද්ධ කළහ. ජාතික ආරක්ෂාව සඳහා ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ලොව හැම රටකම පාහේ පොදු හා සමාන ක්‍රියාකාරීත්වයක් ගනු ලැබ ඇතැයි ඉන් කියැවේ. ඒ වගේම එහි ඉස්මතු කෙරෙන සරල සත්‍යය වනුයේ ප්‍රතිත්‍රස්ත ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරෙන බවත් මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බවත්ය. පහතින් ඇත්තේ “හානි ඇගයීම හා ක්‍රියාත්මක වන්නට බල කිරීම” :්ිැිසබට ෘ්ප්ටැ - ඹරටසබට ්ජඑසදබ* මැයෙන් වන එම වාර්තාවෙන් උපුටා ගනු ලැබූ සුළු කොටස් කිහිපයකි.
“කෙසේ නමුත් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හා වගකීම අභිබවා ත්‍රස්තවාදය සම්බන්ධ භීතිය වර්ධනය කිරීමට ලොව පුරා බොහෝ රටවල, ප්‍රායෝගිකව ඉඩ ලබා දී ඇත. සාමාන්‍යයෙන් නිරන්තරව අතීතයේ මානව හිමිකම් උල්ලංඝනය කළ රටවලට වත්මනෙහි ප්‍රතිත්‍රස්ත ක්‍රියා යනු ඉතා පහසුවෙන් සැඟවීමට හැකි නවතම නිදහසට කාරණාවකි. අනෙක් රටවලට දීර්ඝ කාලයක් වැදගත් ලෙස නඩත්තු කෙරුණු වටිනාකම් අතහැරීමට ප්‍රතිත්‍රස්ත ක්‍රියා සාධාරණ හේතුවක්ව ඇත. ආණ්ඩු මේ ආකාරයෙන් ඔවුන්ගේ වගකීම් අත හැර යන විට, සමස්ත සමාජය හමුවේ අවදානම අතිශයෝක්තියට නැගීමට පහසු යැයි කොමිසම විශ්වාස කරන්නේය.” (පිටුව 17)  
“ප්‍රතිත්‍රස්ත ක්‍රියා ලෙස ගැනෙන ඇතැම් ප්‍රතිචාර ජාත්‍යන්තර නීති හා නොගැළපෙන අතර ඒවාම පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ ඉතා දැඩිව ආරක්ෂා කෙරුණු හර පද්ධතීන්ට එරෙහි තර්ජනයක් වීම පිළිබඳ කනස්සල්ලක් කොමිසමට ඇත.” (පිටුව 24)

“හමුදාමය ක්‍රියාන්විත යොදා ගැනීමේ අවශ්‍යතා විටින් විට ඇති විය හැකි බැව් පිළිගත යුත්තකි. එහෙත් සන්නද්ධ හමුදාමය බලය (හඳුනා ගනු ලැබූ ත්‍රස්ත ක්‍රියා හා ඊට බැහැරින් වන තත්ත්වයන් සඳහා ද) වගකීම් නොපැවැරෙන හා වගවීම් නොමැතිව නිරන්තරව යොදා ගැනීමෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානවවාදී නීති බරපතළ ලෙස උල්ලංඝනය වීම සුලබ සිදුවීම් බැව් කොමිසමට ඒත්තු ගිය කාරණාවකි. ත්‍රස්තවාදයට එරෙහිව හමුදාමය ප්‍රතිචාර දැක්වීමේ නිශේධනීය සාධක ඉතා පැහැදිලි ලෙස කොමිසම හමුවේ තබනු ලැබූයේ ලතින් ඇමෙරිකානු, විශේෂයෙන් චිලිය, උරුගුවේ සහ ආර්ජන්තිනා රටවල පැවැති සැසි වාරවලදී මෙන්ම, ඉන්දියාව, තුර්කිය සහ ශ්‍රී ලංකාව වැනි රටලවදී ය.” (පිටු 30-31)   

“කොමිසම පැවැත්වූ සියලු සැසි වාරවලදීම වාගේ හෙළිදරව් වූ ප්‍රධානම කාරණාවක් වූයේ ප්‍රතිත්‍රස්ත ප්‍රතිපත්තිවල බුද්ධි අංශ දැන් ලබන්නා වූ කේන්ද්‍රීය වැදගත්කමය. එලෙසින්ම එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ නෛතික වගවීමට එල්ල කෙරෙන අලුත් අභියෝගය. ඕනෑම ප්‍රතිත්‍රස්ත ක්‍රියාවලියක බුද්ධි තොරතුරු එක් ප්‍රධාන සාධකයක් වන හෙයින් රහස්‍ය සෝදිසි කිරීම්, සංවිධානවලට රහස්‍ය ලෙස ඇතුළුවීම, දුරකතනවලට සවන්දීම වැනි දේ දිගටම කෙරෙන අතර, ඒවායේ දෝෂයක් නැත. එය එසේ වුවත් බුද්ධි තොරතුරු සෙවීමේ උත්සාහයන් පුළුල් කිරීමත් සමඟ, ඇතැම් රටවල තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් බොහෝ විට චෝදනා රහිතව හා නඩු පැවැරීම් නොමැතිව රහස්‍ය ලෙස හුදකලාව තබා ගන්නා රැඳවියන්ට වද දීම්, කුරිරු ලෙස හා අවමානයට පත් කිරීම් වැනි නීති විරෝධී පිළිවෙත් භාවිත කෙරෙන්නේය. නීත්‍යනුකූලව හා නීති විරෝධීව ලබා ගන්නා බුද්ධි තොරතුරු වෙනත් රටවල ආරක්ෂක අංශ සමඟ වැඩි පාලනයක් නොමැතිව හුවමාරු කෙරෙන්නේය. ඇතැම් විට මෙම හුවමාරු සිදුවන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් නරක ඉතිහාසයක් සහිත රටවල් සමඟය. හැමවිට නිවැරැදි නොවන මෙම තොරතුරු විවිධාකාර අධිකරණ ක්‍රියාකාරකම් සඳහා යොදා ගනු ලබන්නේ එසේ යොදා ගනු ලබන තොරතුරු ඉඳහිට නොව බොහෝවිට සැකකරුවන්ට හා ඔවුන්ගේ නීතිඥයන්ට හෝ ලබා නොදීමෙනි. අපරාධ නඩු විභාගවලට හා පුද්ගලයන්ට අගතියක් වන ලෙස බුද්ධි තොරතුරු සාක්ෂි ලෙස යොදා ගැනීමත් ආරම්භ වී ඇත.” (පිටුව 161)

ඉතා පැහැදිලිව ඒ සියල්ල අපට ඍජුව අදාළ වන කාරණාය. සජිත් පෙන්වන්නට හදන ආකාරයට කලාපයේ හා ලෝකයේ ශක්තිමත්ම ජාතික ආරක්ෂක අංශ ලෙසට අපේ ජාතික ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාවක් අපට තිබේ ද? පසුගිය පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර සමඟ ආරම්භයේදී කියූ ආකාරයට කිසිදු “අයි.එස්.අයි.එස්.” සංවිධානයේ ඍජු සම්බන්ධයක් මෙරට නැතැයි දැන් කියනු ලැබේ. ඉන්දියානු ජාතික ඔත්තු සේවාව (භෂ්) විසින් පසුගිය සති කිහිපයේ කේරළයේ හා කොයිම්බතූරයේ කරනු ලැබූ වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් අතරින් කොයිම්බතූරයේ එක් වැටලීමක් කළ ස්ථානයේ ශ්‍රී ලංකාවේ ජාතික තවුහිත් ජමාත්හි නායකයා ලෙස සැලකෙන සහරාන් ද නැවතී සිටි බවට තොරතුරු සැළවී ඇත. ඒ ස්ථානවලින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් “අයි.එස්.අයි.එස්.” සංවිධානයේ අන්තවාදී මතවාදය ඇගයූ සහ එය අනුගමනය කළ බවට පැහැදිලි සාක්ෂි ඇතැයි ද ඔවුන් ඉන්දියාවේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබිණැයි ද වාර්තා කෙරුණු නමුත් ඔවුන් “අයි.එස්.අයි.එස්.” සංවිධානය සමඟ පැහැදිලි සම්බන්ධයක් තිබිණැයි වාර්තා නොවුණි.

ජාතික තවුහිත් ජමාත්හි නායකයා ලෙස සැලකෙන සහරාන් සහ ඔහුගේ කල්ලිය ගැන ඇත්තේ ද එවැනිම කතාය. ඔවුන් මෙහි “අයි.එස්.අයි.එස්.” සංවිධානයේ රහස්‍ය ශාඛාවක් හැදීමේ නිරතව සිටියේ යැයි හෝ “අයි.එස්.අයි.එස්.” සංවිධානය හා ඍජු සම්බන්ධයක් තිබුණි යැයි හෝ නිශ්චිත සාක්ෂි ගැන කතාවක් නැත.

එසේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව මාස 2ට වැඩි කාලයක් සිදු වන්නේ කුමක් ද? ජාත්‍යන්තර ජූරි කොමිසම විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවෙහි සඳහන් අයුරු මෙහි සිදුවන්නේ “මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හා වගකීම අභිබවා ත්‍රස්තවාදය සම්බන්ධ භීතිය වර්ධනය කිරීමට ලොව පුරා බොහෝ රටවල, ප්‍රායෝගිකව ඉඩ ලබාදී ඇත” යැයි කියූ කතාවය. මෙහි එයට වඩාත් වැඩි ඉඩක් ලැබුණේ එය සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් ඉස්ලාම් විරෝධය උත්සන්න කිරීම වෙනුවෙන් ද යොදා ගැනීමෙනි. ඒ හේතුවෙන් “ජාතික ආරක්ෂාව” ලෙස කතා කරන ආරක්ෂක කටයුතු වැඩිමනත් සිංහල බෞද්ධ ක්‍රියාවලියක් බවට පත්ව තිබීමය. එබැවින් ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධ භීතිය හමුවේ බහුතර සිංහල සමාජය බැඳ තැබෙන විට, ඒ වෙනුවෙන් දියත් කෙරෙන ආරක්ෂක ක්‍රියාන්විත විසින් මුස්ලිම් ප්‍රජාව අනාරක්ෂිත තත්ත්වයට පත්කරනු ලැබ ඇත.

මෙය ද ජාත්‍යන්තර ජූරි කොමිසම් වාර්තාවෙහි සඳහන් අයුරු, “හමුදාමය බලය (හඳුනා ගනු ලැබූ ත්‍රස්ත ක්‍රියා හා ඊට බැහැරින් වන තත්ත්වයන් සඳහා ද) ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානවවාදී නීති වගකීම් නොපැවැරෙන හා වගවීම් නෙමැතිව නිරන්තරව යොදා ගැනීමෙන් බරපතළ ලෙස උල්ලංඝනය වීම සුලබ සිදුවීම්” බවට පත්වන්නේ යැයි කියූ කතාවය. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු හදිසි නීතිය යටතේ ඇඳිරි නීතිය ද පනවමින් හමුදා ආරක්ෂක කටයුතු දැඩි ලෙස තර කෙරුණු පසුව ද මුදාහැරුණු මුස්ලිම් විරෝධය විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ලෙස දෝරේ ගැලූ තත්ත්වය කදිම නිදසුනකි.   

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනය පදනම් කොට වැඩ බලන පොලිස්පති වෙත ඔවුන් යොමු කළ ලිපිය වෙත අවධානය යොමු කිරීම අතිශය වැදගත්ය. ඉකුත් මැයි 23 වැනි දින මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ගේ අත්සනින් යොමු කෙරුණු එම ලිපියෙහි කොමිසම කියන්නේ “අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රහාර නියත ලෙස සිදුවිය හැක්කක් වූ නමුත් ඊට එරෙහි ආරක්ෂක පියවර කිසිත් ගෙන තිබුණි යැයි නොපෙනුණි” යනුවෙනි. එහි එකම තේරුම ආරක්ෂක සේවාව ශක්තියේ අඩුවක් නොව, සැලසුම් කිරීම් හා තීන්දු ගැනීම් නොවුණු බවය.

ආචාර්ය උඩගම තවදුරටත් එම ලිපියෙහි සඳහන් කරන්නේ “හෙට්ටිපොළ, වට්ටකාලි, තුම්මෝදර, මායිකුලම්, බණ්ඩාර කොස්වත්ත, කොට්ටම්පිටිය, මිනුවන්ගොඩ, නිකවැරටිය සහ කොට්ටාරමුල්ල ප්‍රදේශවල මුස්ලිම් පල්ලි, නිවාස, වාහන හා වත්කම් විනාශ කිරීම සඳහා මැර කල්ලිවලට සැලකිය යුතු නිදහසක් තිබණු බව පෙනුණු” බවය. ඒ අනුව එම ලිපියෙන් කියන්නේ අසාධාරණයට පත් ප්‍රජාවට හා පොදුවේ සාමාන්‍ය ජනතාවට නීතිය හමුවේ සමාන හා සාධාරණ සැලකිල්ලක් නොතිබුණු බවය. එය පාස්කු ප්‍රහාරයෙන් පසු බොහෝ තැන්වල සහ බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජයේ පැන නැඟුණු එක් බරපතළ චෝදනාවකි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමානකමක් හා සාධාරණත්වයක් නොතිබූ බව විවෘතව දකින්නට ලැබුණු බව මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිට යොමු කළ එකී ලිපියේ ඉතා නිශ්චිතව කෙරුණු චෝදනාවකි. එහි සඳහන් කෙරෙන අයුරු, “බිංගිරිය පොලිසියේ සටහන් පරීක්ෂා කිරීමේදී අප කොමිසමෙහි නිරීක්ෂණයට හසු වූවක් වූයේ ජාතිවාදී කළහ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ (ඉතා විශේෂ කාරණාවක් මත පමණක් මහ අධිකරණයට ඇප ලබා දිය හැකි) සැකකරුවන් අනිසි ලෙස හැසිරීම යැයි ඉහතින් ද සඳහන් කළ පරිදි පොලිස් ඇප මත නිදහස් කර තිබිණ. ඊට අමතරව, බිංගිරියේ සිට හෙට්ටිපොල පොලිස් ස්ථානයට මාරු කර නැවත රැගෙන ආ සැකකරුවන් පිළිබඳ කිසිදු සටහනක් නොවුණු බව ද අපේ අවධානයට හසු වූවකි. ඉතාම ගැටලුකාරී මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කෙරෙන්නේ දේශපාලන මැදිහත්වීම් ද සමගින්ය.”                    

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ආරක්ෂාව සහතික කළ හැක්කේ පළමුව මේ රටේ “ප්‍රජාතන්ත්‍රවාදය” යනු හිස් පොල් කෝම්බයක් වැනි පෙනුමට තිබෙන්නා වූ අක්‍රීය හිමිකම් හා සම්ප්‍රදායන් ගොනුවක් පමණකැයි පිළිගැනීමෙනි. එනිසා ජාතික ආරක්ෂාව සඳහා කළ යුත්තේ යළි “සක්‍රීය” ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් මානව හිමිකම්, සේවක අයිතීන් හා සිවිල් නිදහස තහවුරු කිරීමය. ඒ වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවනෝපායන් සමඟ ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි ජාතික සංවර්ධන සැලසුමක් ඉවසීමෙන් ක්‍රියාවට නැඟීමෙනි. එවැනි කිසිදු වැඩපිළිවෙළක් නොමැති කතා හැඳින්වෙන්නේ වාගාලංකාර ලෙසින්ය.