මෙවර ලිපිය ලියැවෙන්නේ මේ දිනවල රටේ පුවත් මාධ්‍ය තුළ ප්‍රධාන වී ඇති සිද්ධියක් අරබයා ය. පටන්ගත යුත්තේ මෙතැනින් යැයි සිතමි. පර පණ නැසීම අනුදත්තන් නොවීම පිණිස වූ මහා දාර්ශනික සහ ආධ්‍යාත්මික නිධානයක් අප සතුය. ඒ බුදු දහමය. එහි දෘෂ්ටිවාදී හැසිරවීමට අවිඥානිකවම යටත් වූ ගැමියා හතර පෝයට කැත්තක් උදැල්ලක් ඇල්ලුවේ වත් නැත. සියලු සත්වයන්ට පමණක් නොව ගහකොළවලට ද පණ තිබේය යන දැනුම ඊට හේතුව ය. මගේ අප්පච්චී සහ අම්මා අයත් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයන්ගේ ගොඩට වීම මා ඇතුළු සහෝදර සහෝදරියන් ගේ පෙර පිනක් ම නොව වාසනාවකි. එවැනි උරුමයක ඇසුර ලත් මා පර පණ නසන්නේ හෝ මා අතින් නැසෙන්නේ ඇතැම් විට පාලනය කළ නොහැකි භෞතික හේතු සාධකවල බලපෑම නිසා ය යන්න මට අවබෝධ වන්නේ සිදුවීමෙන් පසුව මිස පෙර නොවේ ය. 

අප ඇත්ත වැසිය යුතු නැත. පෘතග්ජන මිනිසකුට මුළුමනින් ම ආධ්‍යාත්මික වීම හෝ මුළුමනින් ම දාර්ශනික වීම හෝ මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී වීම හෝ මුළුමනින් ම අහිංසාවාදී වීම හෝ කළ හැකි දෙයක් යැයි මම විශ්වාස නොකරමි. රාජ්‍ය පාලනය ද එසේ ම ය. රාජ්‍ය ද පෘතග්ජන සංවිධාන ව්‍යුහයකි. ඒ නිසාම රාජ්‍යයට ද මුළුමනින් ම ආධ්‍යාත්මික වීම හෝ මුළුමනින් ම දාර්ශනික වීම හෝ මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී වීම හෝ මුළුමනින් ම අහිංසාවාදී වීම හෝ කළ හැකි දෙයක් නොවේ. නීත්‍යනුකූලව කෙනකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම සඳහා වූ නීත්‍යනුකූල බලහත්කාරය ඇති එක ම ආයතනය රාජ්‍යය ය. මේ දිනවල අපේ රටේ ප්‍රධාන සාකච්ඡාවක් මතුව තිබෙන්නේ මෙන්න මේ නීත්‍යනුකූල බලහත්කාරයට කැමැති ද අකැමැති ද යන්න අරබයා ය. එක අතකට එය සාකච්ඡාවකට වඩා මනාපය අමනාපය ප්‍රකාශ කිරීමක් පමණි.

මා එසේ කියන්නේ කරුණු කීපයක් නිසා ය. රාජ්‍යය සතු මේ නීත්‍යනුකූල බලහත්කාරයේ අයිතිය ඕනෑ ම කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. ප්‍රශ්න කළ යුතු ය. එවැන්නක් සිදුවිය යුත්තේ එක්කෝ රාජ්‍යය නමැති සංවිධාන ව්‍යුහයේ හරයාත්මක අන්තර්ගතයට අදාළ ක්‍රියා පටිපාටි ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණක් පෙරදැරිව ය. නැතහොත් පොදුජන සමාජ හැසිරීමට වඩා රාජ්‍යයේ හැසිරීම අශීලාචාර නම් ඊට එරෙහිව ය. එසේත් නැතහොත් රාජ්‍යය වඩාත් ශිෂ්ට කිරීම සඳහා වූ උපාය මාර්ගයක් ලෙස ය. නැතහොත් රාජ්‍යයට පාලනය කළ නොහැකි බිහිසුණු බලවේග සහ කණ්ඩායම් නොමැති තත්ත්වයක් තුළ සාමාන්‍ය ජන ජීවිතය ඉතා සාමකාමීව පවතින නිසා එවැනි බලහත්කාරයක් රාජ්‍යය සතුව තිබීම සාධාරණ සහ යුක්ති සහගත නොවන නිසා ය. එසේ ම ආණ්ඩු කරවීමට මැදිහත් වන පක්ෂ සහ කණ්ඩායම් තම අරමුණු සාධනය සඳහා ජනයා නො මරන සහ නො මැරූ තත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ය. ඒ කවර හේතුවක් නිසා වුවත් ඒ ප්‍රශ්න කිරීම හෝ සාකච්ඡාව ජාතික සංවාදයක් සාකච්ඡාවක් විය යුතු ම ය. එහෙත් ඊට වෙනස්ව මරණ දඬුවම අරබයා මේ මොහොතේ රටේ ඇත්තේ ජාතික නොව හුදු බල දේශපාලන කයිවාරුවකි. එසේ ම දේශපාලන අරමුණු සඳහා වූ දෙබිඩි කමකි. කුමක් ද මේ දෙබිඩි කම?

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරැදිකරුවන් වී මරණ දඬුවම නියම වූවන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා අත්සන් කිරීම පදනම් කරගෙන මේ දෙබිඩි දේශපාලන කයිවාරුව අප මනාව විමර්ශනය කරගත යුතු ය. අත්සන් කිරීම යනු රටේ පවතින නීතිය අනුව යුක්තිය පසිඳලීමේ ඇරඹුම නොව දීර්ඝ ක්‍රියාදාමයක අවසානයට පෙර ක්‍රියාවක් ය. දඬුවම නියම කරන්නේ උසාවිය ය. ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාරය සහ අලුගෝසුවා ය. වැරැදිකරු වී තිබෙන්නේ ජනාධිපති ය.

ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ඝාතනවලට විරුද්ධ ය. ඔහුගේ දේශපාලන පණිවුඩ බොහොමයක් ම ඊට නිදසුන් ය. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ උවදුරට මුළුමනින් ම විරුද්ධ ඔහු ඒවාට වැට බැඳීම සඳහා උපරිම වෙහෙසක් ගන්නේ ය. ඔහු සිතන සහ වටහාගෙන ඇති ආකාරයට රටේ ඇති බරපතළ ම උවදුර සහ ව්‍යසනය මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය ය. එය පිළිගත හැක්කකි. මරණ දඬුවමේ හේතුව එය ය. ජනාධිපතිවරයා මරණ දඬුවමට අනුමැතිය දෙනු ලබන්නේ ඒ උවදුරින් රට ගලවා ගැනීම සඳහා එක් උපාය මාර්ගයක් ලෙස ය. එහෙත් එහි මානුෂීය සහ ආධ්‍යාත්මික පරස්පරතා පිළිබඳ ප්‍රශ්න කිරීමට කෙනකුට ඇති අයිතියට ද අප විසින් ගරුකොට ඉඩ දිය යුතු ය. එහෙත් ඒ අයිතිය භාවිත කළ යුත්තේ එක, ඒ සඳහා සාධාරණ යුක්ති යුක්ත පසුබිමක් තිබෙන අය ය. දෙක, ඒ පිළිබඳව වූ අවංක හැඟීමකින් යුක්තව ය. යේසුස් වහන්සේ කියූ පරිදි කිසිදු පවක් නොකළ කෙනා පළමු ගල ගැසිය යුතු ය. එසේ නොමැතිව බල දේශපාලන උප්පරවැට්ටියක් ලෙස හෝ දේශපාලන දෙබිඩිකමක් ලෙස නොවේ ය.

ලංකාවේ දේශපාලකයන් අතිශය බහුතරයක් රාජ්‍යය යන්න වටහාගෙන නැත. ඔවුන්ට එය අදාළ ද නැත. ඔවුන් එහෙම එකක් ගැන දන්නේ ද නැත. ඔවුන් අනුයන්නේ රාජ්‍ය නීතිය නොව තම තමන්ගේ හිතුවක්කාරී බලහත්කාරය ය. ඒ නිසා ම ඔවුහු රාජ්‍යතාන්ත්‍රිකයන් නොවන නිකම්ම නිකන් පාලකයෝය. මර්දකයෝය. ඊට සුදුසු උදාහරණ කීපයක් ගනිමු. 1987-90 මහා භීෂණයේ දී හැට දහසකට අධික තරුණ පිරිසක් ඝාතනය වූයේ රාජ්‍යයේ උසාවියෙන් නෛතික ක්‍රියාවලි මගින් මරණ දඬුවම නියමව ජනාධිපතිවරයා විසින් දෙන ලද අනුමැතිය මත පදනම්ව නොවේ. රාජ්‍යයත් එහි නීතියත් අදාළ නැති පාලක හිතුවක්කාරය සහ පාලක අරමුණු ඇති අයගේ හිතුවක්කාරය මත ය. යමෙක් ඒ ඝාතන අනුමත කළේ නම් රාජ්‍ය නීතිය මගින් දෙන මරණ දඬුවම අහෝ අකැපයි යැයි කීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? අවි පෙන්වීමට ගොස් ඝාතනය වූ සහ බන්ධනාගාරයේ දී ඝාතනය වූ බොහෝ අය භයානක අපරාධකරුවන් යැයි නම් කර සිටි අය ය. ඊට යටි හිතින් පක්ෂ වූ අය ද නීත්‍යනුකූල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ධ ය. ඔවුන් නොකියා කියන්නේ හොර රහසේ මරා දමන්න කියා ද? මේ තරම් දෙබිඩි කමක් තවත් තිබේ ද? වෙන්නේ ඒක නම් රාජ්‍යයක් මොකට ද?

ජනාධිපතිවරයාට මේ තීරණය ගැනීමට සිදු වූයේ ඇයි ද යන්න අපගේ විමසුමට ලක්විය යුතු ය. එය රාජ්‍යය පිළිබඳ මූලධාර්මික සහ උපාය මාර්ගික ප්‍රශ්නයකි. අංක එක, මේ රාජ්‍යය තවමත් සංවිධානාත්මක නැති ජාතික වශයෙන් තවමත් ළදරු රාජ්‍යයකි. දැක්මක් නැත. මෙහෙයුමක් නැත. එනම් විෂන් මිෂන් නැත. ඒකාබද්ධ නැත. ප්‍රධාන සැලැස්මක් සහ සැලසුම්කරණයක් නැත. සංවිධානාත්මක නැත. මෙහෙයුමක් අධීක්ෂණයක් නැත. සම්බන්ධීකරණයක් නැත. ඒ නිසා ම සාමකාමී ජනතාවට වඩා අපරාධකාරයන් සහ ජාවාරම්කාරයන් නිදැල්ලේ ය, නිදහසේ ය.  රාජ්‍යයට වඩා ඔවුන් බලවත් ය. පාලකයන් බොහෝ දෙනකු ඔවුන් යටතේ ය. සාමාන්‍ය ජනයා හිරගෙයක් නොවන හිරගෙයක ය. මේ හිර ගෙයින් ජනයා නිදහස් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරයාගේ උත්සාහයට උරදෙන ආණ්ඩුවක් නැත. ඇමති මණ්ඩලයක් ද නැත. කාව්‍යමය භාෂාවකින් කියන්නේ නම් ජනාධිපතිවරයා දක්ෂ සහ අදිටනක් ඇති හමුදාපතියකු සේ ය. එහෙත් ඔහුට බල දෙන සෙනෙවි මඬුල්ලක් සහ හමුදාවක් නැත. 

අපරාධ වැළැක්වීම සහ නිවාරණය පිළිබඳ අර්බුදය වනාහි රාජ්‍යයේ අපරිණත කමේ පලයක් ය. මෙවැනි පසුබිමක රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයකුට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවනු ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපති කොටි සංවිධානයට එරෙහිව ගත් තීරණය තරම් ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගත් තීරණය අභියෝගාත්මක ය. තීරණාත්මක ය. මරණ දඬුවමට පක්ෂ වීම හෝ විරුද්ධ වීම අප සලකා බැලිය යුත්තේ මේ පසුබිමේ ය. මරණ දඬුවම නොදී සමාජය හික්ම විය හැකි උපාය මාර්ග උපයා ගැනීමට නම් රාජ්‍යය මනාව සංවිධානය කළ යුතු ය. පොහොසත් කළ යුතු ය. පරිණත කළ යුතු ය. මා පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. එවිට සිරගෙවල් රටේ අපරාධ සහ ජාවාරම් මෙහෙය වන කේන්ද්‍රස්ථාන නොවනු ඇත. 

දැන් සිදු වී ඇත්තේ මේ රටේ සිර ගෙවල් රටේ අපරාධ මෙහෙය වන පාලක මැදිරි නැතහොත් නියමු කුටි බවට පත් වී තිබීම ය. පත් කරගෙන සිටීම ය. ඒ තත්ත්වයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට උදව් කරන පක්ෂයක් ආණ්ඩුවක් වේ නම් ඔවුන්ට මරණ දඬුවමට එරෙහි වීමට අයිතියක් ඇත. එය එසේ වනතාක් කල් රට ගැන හිතන තනි පාලකයකුට අනුගමනය කිරීමට සිදුවන එක උපාය මාර්ගයක් වන්නේ මරණ දඬුවම ය. මරණ දඬුවට එරෙහි ඕනෑ ම පෙරමුණක වගකීම වන්නේ රට ශීලාචාර කිරීමට නායකයකු ගන්නා උත්සාහයට උදව් කිරීම ය. එය බල දේශපාලන වැඩක් නොව ජාතික සමාජ වගකීමකි. එසේ නොකර හුදු වාචිකව නීත්‍යනුකූල මරණ දඬුවමට එරෙහි වීමත් නීත්‍යනුකූල නොවන ඝාතනවලට උදව් දී ඒවා අනුමත කිරීමත් වනාහි අමු ම අමු දෙබිඩි කමකි. අපි සෑම ආකාරයකම ඝාතනවලට විරුද්ධ වෙමු. පෙළ ගැසෙමු. මරණ දඬුවම් දීමට සිදු නොවන ආකාරයට රාජ්‍යය වඩාත් සංවිධානය කිරීමට වඩාත් කැපවෙමු.

ධම්ම දිසානායක