අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණයක ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ 9 වැනි දිනයයි. සෑම උදෑසනකම රට සහ ජනතාව අවදි වන්නේ නව අගමැතිවරයකු සහ නව රජයක් යටතේ කුමකින් කුමක් සිදුව ඇතිදැයි දැනගැනීමේ කලබලයෙනි.

වැසුණු දොරවල්වලට එපිටින් කුඩා කණ්ඩායම් බැගින් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙමින් සිටිති. මේ වන විටත් කොටසක් දිවුරුම් දී අවසානය. තවත් අය දිවුරුම් දීමට නියමිතය. මේ තොරතුරු දැනගැනීමට ජනතාවට තිබෙන එකම මාර්ගය වී ඇත්තේ ජනපති මාධ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වන ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ට්විටර් ගිණුමය. එහෙත් ලෝකයා එය අරුත් ගන්වා තිබෙන්නේ වෙනම ආකාරයකටය.
ප්‍රකට නිව්ස්වීක් සඟරාවේ ශ්‍රී ලංකාවේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳ සඳහන්ව තිබූයේ මෙලෙසය, ශ්‍රී ලංකාව ග්‍රහණය කරගනිමින් සිටින දේශපාලන අර්බුදය හමුවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන අතර, එය සිවිල් යුද්ධයක් දක්වාම දුරදිග යා හැකිය. ශ්‍රී ලංකාව ගැන මෙවැනි පුවත් අන්තර්ජාතික මාධ්‍යයන්හි පළවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාව යනු සංචාරය කිරීම සඳහා ලොව රටවල් අතුරින් ඉහළින්ම තිබෙතැයි ලෝන්ලි ප්ලැනට් සඟරාවෙන් පසුගිය සතියක සහතිකයක් ද දී තිබූ වාතාවරණයකය. පාර්ලිමේන්තුව රැස්වීම කල්දමා ඇති තත්ත්වයක, එය නැවත කැඳවෙන බව සඳහන් කරමින් එක් එක් දිනයන් ප්‍රකාශයට පත් කෙරෙමින් තිබේ. ඒ අතරවාරයේම හෙට්ටු කරගැනීම් ද ආරම්භ වී ඇත. නව රජයට සහය දක්වන්නෝ සහ එයට එරෙහිව පෙනී සිටින්නෝ, තම තමන්ගේ පාර්ශවයට සාමාජීකයන් මිල දී ගැනීමේ තරගය මේ වන විට ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකාවේ පළවන බොහෝ මාධ්‍ය වාර්තාවල, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලයන් හි උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ නැවත වරක් වීදිවල ලේ වැගිරීම් සහ 2015 වසරට පෙර පැවැති රෙජීමයේ කුප්‍රකට සුදු වෑන් සංස්කෘතිය - රාජ්‍ය විරෝධීන් යැයි සැලකෙන පුද්ගලයින් හට පහරදීම හෝ මරා දැමීම සඳහා වූ, නැවත කරළියට පැමිණෙනු ඇතැයි සඳහන්ව තිබුණි.

අර්බුදය හමුවේ ජනපති සිරිසේනගේ නියමයෙන් ලැබුණු පත්වීම් ප්‍රකාරව විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල මුල් පුටු හොබවන්නෝ ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම කැපී පෙනේ. කොළඹ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ක්‍රියාකාරීත්වය ද ඊට දෙවැනි නොවීය. පසුගිය සතිය පුරාවටම විදේශ කටයුතු අමාත්‍යංශය සිටියේ සෞදි අරාබියේ ෂුවා කවුන්සිලයේ ප්‍රධානී ආචාර්ය අබ්දුල්ලා ඉබ්න් ඊබ්‍රාහිම් අල්-ෂීක් සහ ශ්‍රී ලංකා දූත අස්මි තාසිම් අතර පැවැති හමුව පිළිබඳ මාධ්‍ය වාර්තා නිකුත් කරමිනි. මෙම හමුව සිදුවූයේ සමස්ත ලෝකයාම තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයේ දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඉතාම කෲර ලෙස ඝාතනයට ලක්ව තිබීම අරබයා එකාවන්ව සෞදි අරාබියට විරෝධය දනවමින් සිටි වාතාවරණයකය. මෙකා සහ මෙදීනාව යන ඉස්ලාම් දහමේ අති ශුද්ධ වූ ස්ථාන ආරක්ෂා කිරීමේ මෙහෙවරට උර දී සිටින සෞදි අරාබිය මෙවන් නිර්ලජ්ජිත සිදුවීමකට දායකත්වය ලබා දී තිබීම අතිශය නින්දා සහගතය.

තවත් අවස්ථාවක් වූයේ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පත් කෙරුණු පුද්ගලයකු දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා රැස්වීමක් සංවිධානය කිරීමට කටයුතු කිරීමය. මෙම පුද්ගලයා තානාපතිවරයා ලෙස වැඩභාරගෙන පවා නොතිබූ අතර, රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතට අනුව යම් පුද්ගලයකුට මෙවැනි රැස්වීමක් සංවිධානය කළ හැක්කේ එම පුද්ගලයාට එම කාර්යය කිරීමේ වගකීම පවරා දී තිබෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්නම් පමණකි. එතෙක් ඔහු හෝ ඇයව දූතයෙකු ලෙස ගණන් නොගැනේ. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති සහ සමාජ මාධ්‍ය තීරු රචකයකු වන දයාන් ජයතිලක මහතා මහින්ද රාජපක්ෂ හා පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නිවේදනය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පැහැදිලි ලෙසම අත පෙවීමක් බවය. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ජයතිලක කළ යුත්තේ මෙවැනි දේ ද? ඔක්තෝබර් මස 29 වැනිදා දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරු පිළිබඳව විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත ඉන් පැය 24කට වැඩි කාලයක් ගතවන තෙක්ම කිසිදු තොරතුරක් නොලැබිණ.

ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමීපතම ආධාරකරුවන් ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් රැකවල් ගෙන සිටින්නේ වරක් ඔහුගේ නිල නිවස වූ අරලියගහ මන්දිරයේය. තම පාර්ශවයෙන් නික්ම ගොස් අනෙකා හා එක්වීමට, අනෙකාගෙන් දොලපිදේනි ලැබෙන්නේ කවුරුන්ටදැයි හදුනාගැනීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය බවට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, දැන් සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ කලාපීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්ව සිටින එස්.බී. නාවින්න මහතා එවැනි පුද්ගලයකුට උදාහරණයකි. හිටපු අමාත්‍ය සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන දයා ගමගේ මහතා තම පෞද්ගලික හෙලිකොප්ටරයේ නැගී කුරුණෑගල පිහිටි නාවින්නගේ නිවස වෙත ගිය විට එය වසා දමා තිබී ඇත. අනතුරුව ඔහු නාවින්නට අයත් වතුයායට ගොස් තිබෙන අතර, එහිද ඔහු සිට නොමැත. මේ අතරවාරයේ සිකුරාදා රාත්‍රියේ ජනපති ලේකම් කාර්යාලයේ පෙනී සිටි නාවින්න, සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ කලාපීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් නික්ම සංචාරක සහ වනජීවී අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතාගෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට වරක් ඔහුගේ සගයින් වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඉල්ලීමක් කර ඇත.

පසුගිය සතිය පුරාවට ගණනින් 200 ඉක්මවූ පිරිසක් රැය පහන් කළේ අරලියගහ මන්දිරයේය. නාවික හමුදාව සපයා තිබූ කෝකිවරුන් ඉවත්කර තිබූ නිසා ආහාර සැපයීම සිදුකළේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි දායකයෝය. පුටු දෙකක් ගෙන, එක් පුටුවක් මත ආහාර පාර්සලය තබා, අනෙක් පුටුව තම අසුන ලෙස භාවිත කරමින් පැමිණ සිටියෝ ආහාර ගත්හ. කසළ බහාලුම් බොහෝමයක් වූ අඩක් අනුභව කරන ලද පාර්සල්වලින් පිරී යමින් තිබිණ. අරලියගහ මන්දිරයේ වායුසමීකරණ යන්ත්‍ර පැය 24 පුරාවටම ක්‍රියාත්මක කැරිණ. ජල අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම විටම පුරවා තැබුණු ටැංකියක් පසෙක විය. පැරණි ගොඩනැගිල්ල පසෙකින් ඉදිකර තිබෙන නව ගොඩනැගිල්ලේ රැඳී සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ සෙල්ෆි ඡායාරූප ගනිමින්, ඇතැමෙක් පැමිණ සිටියෝ අමතමින්, කාලය ගතකරනු දැකගත හැකි විය. ඔවුහු නිදාගත්තේ ද එහිය. ආරක්ෂාව ඉතාම අඩු මට්ටමක පැවැති අතර, අරලියගහ මන්දිරයට පිවිසෙන්නෝ මනාව පරීක්ෂා කෙරුණේ ද නැත. ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව අසල ඉදිකර තිබූ මණ්ඩපයකට වී බෞද්ධ භික්ෂූහු පිරිත් සජ්ඣායනා කළහ.

එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මෙන්ම රාජපක්ෂ රජයේ පාර්ශ්වකරුවන් ද සහතික කර කියා සිටියේ ඔවුන් එකිනෙකා වෙත පාර්ලිමේන්තු බහුතරය, එනම් ආසන 225න් 113ක බලය හිමි බවය. නමුත් බහුතර මතය වූයේ එකදු පාර්ශවයකට හෝ පාර්ලිමේන්තු බහුතරයක් නොමැති හෙයින් දෙපාර්ශවයම මේ වන විට සාමාජිකයන් දිනා ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ නිරතව සිටින බවය. එක් එක් දිනයන් ප්‍රකාශයට පත් කෙරුණ ද, පාර්ලිමේන්තුව නැවත කැඳවීම කල්දැමීම මෙම මතයට ප්‍රබල පදනමක් සැපයීය.

එහෙත් සෙනසුරාදා වන විට තත්ත්වයේ වෙනසක් ඇතිවන්නට යන බව පෙනී ගියේ ය. ‘සන්ඬේ ටයිම්ස්’ හා කෙටි අදහස් දැක්වීමක නිරත වූ ජනපති සිරිසේන කියා සිටියේ මෙවැන්නකි.

‘අපට අවශ්‍ය බහුතරය තිබෙනවා. පාර්ලිමේන්තුව ඉක්මනින්ම නැවත කැඳවෙනු ඇති. බල හුවමාරුව සාමකාමීව සිදුවේවි. යහපාලනය සහ ප්‍රතිපත්තීන් තවදුරටත් ශක්තිමත් කරන්නට අප කටයුතු කරනවා. සංහිඳියාව ඇති කිරීම ඇතුළු අන්තර්ජාතික වශයෙන් අප ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරන බවට අප අන්තර්ජාතික ප්‍රජාව හමුවේ සහතික කර තිබෙනවා. අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා’.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මෙය සහතික කළේ ය.

‘පාර්ලිමේන්තුවේ දී බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ සහාය අපට ලැබෙනු ඇති බවට විශ්වාසයි. මම මේ අවස්ථාවේ විමසුමට ලක්කරමින් සිටින්නේ අතුරු අයවැය යෝජනාව පාර්ලිමේන්තුව නැවත කැඳවෙන දිනයේදීම ඉදිරිපත් කරනවා ද නැති ද යන්න. එක්සත් ජාතික පක්ෂ රජයෙන් ජනතාව මත පටවා තිබෙන ආර්ථික අපහසුතා වහාම ඉවත් කිරීම තමයි මගේ පළමු කාර්යය’.

එහෙත් හිටපු මුදල් අමාත්‍ය සහ දැන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කරන මංගල සමරවීර මහතා ‘සන්ඬේ ටයිම්ස්’ හා කියා සිටියේ මෙවැන්නකි.

‘නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් මේ ආකාරයට බලය අනෙක් පාර්ශවය හා හුවමාරු කෙරුණු අවස්ථාවක් මෙතෙක් සිදුවෙලා නැහැ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට නීති විරෝධී පාලන තන්ත්‍රයක් රජයක් ලෙස පෙනී සිටිමින් ඉන්නවා. මේක කුමන්ත්‍රණයකට අඩු දෙයක් නොවෙයි. කැලෑ නීතිය තමයි මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.’

මුල් අවස්ථාවේදීම කතානායක කරු ජයසූරිය මහතා අමතමින් ඔහු වෙත ලිපියක් යොමු කිරීමට වික්‍රමසිංහ කටයුතු කර තිබූ අතර, ඒ සමගම ජනපති සිරිසේන අමතා ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට ජයසූරිය කටයුතු කළේ ය. අනතුරුව ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගැනීමට ඔහු උත්සාහ කළ අතර, අවසන එය සාර්ථක විය. බදාදා පස්වරු 5.00ට පමණ දෙදෙනා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ‘සන්ඬේ ටයිම්ස්’ හා අදහස් දැක්වූ ජයසූරිය, ඉතාම මිත්‍රශීලීව සහ ආචාර සම්පන්නව තමා සහ ජනපතිවරයා අදහස් හුවමාරු කරගත් බව කීවේ ය. ඊට වැඩි යමක් ජයසූරිය අනාවරණය නොකළ ද, මෙම සාකච්ඡාව පිළිබඳ දැනුම්වත් ආරංචි මාර්ග සඳහන් කළේ බලයෙන් ඉවත් කැරුණු අගමැති වික්‍රමසිංහව, ජනපති සිරිසේන ඉතාම දැඩිව විවේචනය කළ බවය. පසුගිය ඉරිදා රාත්‍රියේ ජාතිය අමතමින් කළ ප්‍රකාශයේ තමන් සඳහන් කළ ඇතැම් කරුණු තවදුරටත් විස්තර කරමින් ජනපතිවරයා, හිටපු අගමැතිවරයාව විවේචනය කළ බව එම ආරංචි මාර්ගයෝ වැඩිදුරටත් සඳහන් කළහ. ජයසූරියගේ ඉල්ලීමට එදින රාත්‍රියේම ප්‍රතිචාරයක් ලබාදෙන බව ජනපතිවරයා පැවසුව ද, එය පසුදා (බ්‍රහස්පතින්දා) උදෑසන දක්වා ප්‍රමාද විය.

සාකච්ඡාවෙන් අනතුරුව, මෙම ආරංචිමාර්ගයන්ට අනුව, ජනපති සිරිසේන නව අගමැති රාජපක්ෂව දුරකතනය ඔස්සේ අමතා ඇත. රාජපක්ෂ ඒ වන විට සිට ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග රැස්වීමකට සහභාගීවය. තමන් හා කතානායකවරයා අතර හමුවක් පැවැති බවත්, පාර්ලිමේන්තුව නොවැම්බර් මස 5 හෝ 6 වැනිදා නැවත කැඳවිය හැකි දැයි ඔහු විමසා සිටි බවත්, ජනපති සිරිසේන රාජපක්ෂ හා පවසා තිබේ. පාර්ලිමේන්තුව යළි කැඳවීම නොවැම්බර් මස 16 වැනිදා දක්වා කල්දැමීමට ජනපතිවරයා මීට පෙර අවස්ථාවක පියවර ගෙන තිබිණ. පිළිතුරු ලෙස රාජපක්ෂ කියා තිබෙන්නේ දැනටමත් ඔහු අත පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බැවින් පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා කැඳවීමේ ගැටලුවක් නොමැති බවය.

මෙම පුවත ජනපති සිරිසේන පළමු කොටම ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ නව තානාපතිවරුන් ලෙස වැඩභාරගත් රාජ්‍යතාන්ත්‍රිකයින් කණ්ඩායමකටය. අලයිනා ටෙපිට්ස් (එක්සත් ජනපදය), අකිරා සුගියාමා (ජපානය), එරික් ලැවෙට්රු (ප්‍රංශය), සහ අස්රාෆ් හයිදාරි (ඇෆ්ගනිස්ථානය) ඒ අවස්ථාවේ අක්ත පත්‍ර බාර ගත් අය වූහ. ගැසට් නිවේදනයක් සකස් කරන ලෙස ද ඔහු තම නිලධරයන්ට උපදෙස් දුන්නේ ය. ශ්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිවරයා දැනුම්වත් කිරීමට ජනපති සිරිසේන කටයුතු කිරීම ඉතාම වැදගත් කරුණක් වන්නේ ඒ වන විටත් පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය ද නිවේදන නිකුත් කර තිබීම නිසාය.

වැඩබලන ඇමරිකා තානාපති රොබට් හිල්ටන් සහ දේශපාලන නිලධාරී ඇන්තනී රෙන්සුයිල් කතානායක කරු ජයසූරිය හමුවූහ. ‘සන්ඬේ ටයිම්ස්’ හා අදහස් දැක්වූ ඇමරිකා තානාපති කාර්යාල නිලධරයකු මෙසේ පැවසුවේ ය.
‘කතානායකවරයා හා සාකච්ඡා කර වහාම පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්ව සිටින ජනතා නියෝජිතයන්ට, රජයට නායකත්වය දිය යුත්තේ කවුරුන්දැයි යන්න තහවුරු කිරීමට ඔවුනට තිබෙන වගකීම ඉටුකරන්නට අවස්ථාව සළසා දෙන්නටය කියා අප ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා’.

බ්‍රහස්පතින්දා පෙරුවරුව ගෙවී යෑමට මත්තෙන් කතානායක ජයසූරිය ඇමතූ ජනපති සිරිසේන පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වැනිදා කැඳවීමට හැකි බව දැනුම් දුන්නේ ය. ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ද කීවේ ය. නමුත් මෙම දිනය අරබයා ද මේ වන විටත් ප්‍රබල සැකසංකා මතුව තිබේ.

නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා පසුගිය සිකුරාදා පැවැති රැස්වීමක මුලසුන හොබවමින් සිටි අවස්ථාවේ කතානායක ජයසූරිය වෙත ජනපති සිරිසේනගේ පෞද්ගලික ලේකම්තැනගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ. පාර්ලිමේන්තුව නැවත කැඳවෙන බවට ජනපතිවරයාගේ පණිවුඩය රැගත් ගැසට් නිවේදනය සඳුදා (05) නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු කතානායකවරයාට දැනුම්දුන්නේ ය. 7 වැනිදා පාර්ලිමේන්තුව නොකැඳවෙන බව එයින්ම පැහැදිලි විය. එයට හේතුව වන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා වන කටයුතු සූදානම් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දින 3ක කාලයක්, එසේ නියම කැරෙන දිනයට පෙර වෙන්කර තිබීමය. ඒ අනුව, 5 වැනිදා ගැසට් නිවේදනය නිකුත් කැරුණහොත්, බොහෝ විට පාර්ලිමේන්තුව නැවත කැඳවෙනු ඇත්තේ 12 වැනිදාය. 6 වැනිදා දීපවාලි උත්සවය යෙදී තිබෙන බැවින් එය රජයේ නිවාඩු දිනයක් බව සිහියේ තබාගත යුතුය.

රැස්වීම පැවැත්වෙන අතරතුර ජනපති සිරිසේන ඇමතීම සඳහා මද අවසරයක් ලබාගත් කතානායකවරයා පසෙකට ගොස් දුරකතනය ඔස්සේ ජනපතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළේ ය.  එහෙත් එම උත්සාහ සාර්ථක වූයේ නැත. කතානායකවරයාගේ රැස්වීමට සහභාගිව සිටි දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද සමරසිංහ යන මහත්වරුන් දිගින් දිගටම රජයේ මතය ප්‍රකාශයට පත්කරමින්, ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයාට නොහැකි බවත්, එම බලය තිබෙන්නේ ජනපතිවරයාට පමණක් බවත් කියා සිටියහ.

මේ හමුවේ රැස්වීමට සහභාගිව සිටි ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ රජයේ නියෝජිත තිදෙනා අතර උණුසුම් වදන් හුවමාරුවක් සිදුවිය. මේ අතර සමරසිංහ, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග ද වචන හුවමාරුවක පැටලුනේය. කිරිඇල්ල, 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳවෙන බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබූ අතර, එයට විරෝධය දක්වමින් සමරසිංහ පවසා සිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය ඇත්තේ ජනපතිවරයාට පමණක්ම බවය.

වඩා වැදගත් ස්වරූපයක් ගත් රැස්වීමක් සිකුරාදා සන්ධ්‍යාවේ කතානායකවරයාගේ සහභාගීත්වයෙන් පැවැති අතර, කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව නියෝජනය කළෝ 11 දෙනෙක් එයට එක්ව සිටියහ. ඔවුහු බහුතරයක් බටහිර රටවල නියෝජිතයෝ වූහ. තම තමන්ගේ නම් ප්‍රසිද්ධියට පත් නොකිරීමට ඔවුහු සාකච්ඡාව ආරම්භයේදීම එකඟතාවයක් ඇතිකරගෙන සිටියහ. පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන ලෙසත්, ඒ හරහා ශ්‍රී ලංකාව පාලනය වන්නේ කුමන රජයක් යටතේ ද යන්න තමන්ට පැහැදිලිව දැකගත හැකි බවත් ඔවුහු කතානායකවරයා හමුවේ එකම හඬකින් කියා සිටියහ. ඊට පිළිතුරු දුන් ජයසූරිය, එසේ කිරීම යනු තමා විධායකයට සෘජුවම බලපෑම් එල්ල කිරීමක් බව පැහැදිලි කළේ ය. මීට පෙර අවස්ථාවක, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ දෙදෙනෙක් ද මෙම ඉල්ලීම ඔහු වෙත ඉදිරිපත් කර ඇත. තමන්ගේම නියමයෙන් පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් කතානායකවරයා ලෙස තමාට නොමැති බවත්, එසේ කළහොත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය බරපතළ ලෙසම අපහසුතාවයට පත්වනු ඇති බවත්, ජයසූරිය ඔවුන් හමුවේ විස්තර කර තිබේ.

ප්‍රමාදයට ප්‍රධාන හේතුව වන්නේ ඉලක්කම් සෙල්ලම බව පෙනෙන්නට ඇත. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ද නව රජයට එක්කර ගැනීමෙන් තම සන්ධානය වඩාත් පුළුල් තත්ත්වයකට පත්කර ගත හැකි නිසා නව රජය එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දිනා ගැනීමේ නිරතව සිටින බව මේ වන විට අනාවරණයව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දැමීමටත්, ඒ හරහා රනිල් වික්‍රමසිංහව තවදුරටත් පක්ෂයේ හුදකලා කිරීමටත්, අවස්ථාව ලැබෙන බව ඔවුන්ගේ අදහසයි. මෙම පුළුල් සන්ධානය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් වන අදහස පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනපති සිරිසේන අතර පැවැති හමුවේ දී ඇත්ත වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වී තිබේ. මෙම රැස්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිතවත් මාධ්‍ය ආයතනයක් කළ අනාවරණයෙන් පසුව, එය පක්ෂ නායකයාගේ අනුදැනුම යටතේ පැවැති බව සඳහන් වූ ප්‍රකාශයක් නිකුත් විය. ප්‍රේමදාස මාධ්‍යයෙන් වසන්ව සිටි අතර, ඔහුගේ නිලධරයෝ අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.

බහුතරය තමන්ට ඇති බව දෙපක්ෂයම ප්‍රකාශ කළ ද, තවදුරටත් පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද වීම ජනතාව අතරම විවාදයට ලක්වෙන කරුණක් බවට පත්ව තිබේ. හිටපු අමාත්‍ය සහ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක ‘සන්ඬේ ටයිම්ස්’ හා අදහස් දක්වමින් මෙසේ පැවසුවේ ය.

‘අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118කගේ සහාය තිබෙන බව අද (සිකුරාදා) අපි කතානායකවරයාට පෙන්වූවා. මහින්ද රාජපක්ෂ රජය නීතිවිරෝධීයි, ව්‍යවස්ථා විරෝධීයි. පාර්ලිමේන්තුව කැඳවන්න කියා අප කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා’. ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ කතානායක ජයසූරිය අතර පැවැති හමුවකින් පසුවය. එක්සත් ජාතික පක්ෂය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීන් 118ක සහාය හිමිව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජික සහාය නොමැතිව බව ද ඔහු පැහැදිලි කළේ ය.

පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු මෙගා පොලිස් අමාත්‍යංශය වෙත ගිය රණවක එහි කටයුතු හා කාර්යබහුල විය. නමුත් ඔහුගේ අදහස්වලට පටහැනි අදහස් දැක්වීමක යෙදුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු, නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත ‘සන්ඬේ ටයිම්ස්’ හා කියා සිටියේ මෙවැන්නකි.
‘ඒ ඇතැම් අය ගියේ අපේ අවසරය ඇතිව. මොකද පාර්ලිමේන්තුවට යන්නට ඔවුන් අවශ්‍යව තිබුණා. එතැන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියා පමණයි.’

ඉදිරිපත්ව ඇති ගණන් හිලව් ඒ ආකාරයෙන්ම පවතින්නේදැයි යන්න ගැටලුවක් මුත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඉල්ලා කතානායකවරයාට අත්සන් 118කින් යුතු ලේඛනයක් භාරදුන් බව සත්‍යයකි. එය එක්සත් ජාතික පක්ෂය වෙත අවශ්‍ය සාමාජික සහාය දැනටමත් හිමිව තිබෙන බවට ඉඟියකි. එහෙත් එම ලැයිස්තුවේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ අත්සන් ද තිබෙන බව සඳහන් කළ යුතුය.

පාර්ලිමේන්තුව නැවත කැඳවෙන දිනයේ ජනපති සිරිසේන හමුවේ තිබෙන විකල්ප දෙකකි. පළමුවැන්න වන්නේ සිය නව රජය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ප්‍රකාශයට පත්කිරීමය. පාර්ලිමේන්තුව නැවත කැඳවූ බව නිවේදනය කර, සාමාන්‍ය පරිදි එහි ඉදිරි කටයුතුවලට ඉඩ සලසාදීම දෙවැන්නය. මේ අනුව ගත් කල ඔහු පළමු විකල්පය තෝරාගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. පාර්ලිමේන්තුවේ ආසන සෙල්ලමේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න විශ්වාස පක්ෂ හෝ විශ්වාසභංග යෝජනාවකින් පරීක්ෂා කළ හැකිය. එවන් යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට දිනයක් වෙන් කළ යුතු වන අතර, එය සිදුකළ හැකි වන්නේ කතානායකවරයා සහ පක්ෂ නායකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ඇතිකරගන්නා එකඟතාවයක් අනුවය. යෝජනාවට පක්ෂ - විපක්ෂ මතය පාර්ලිමේන්තුවේ විමසීමට දොරටු විවර වන්නේ ඉන් පසුවය. අනෙක වන්නේ ඉදිරිපත් කිරීමට යෝජිත අතුරු යෝජනාවලිය දෙවරක් පාර්ලිමේන්තුවේ පරාජයට පත් කිරීමය. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහ මැතිවරණය කැඳවීමට හැකියාව ලැබේ.

මෙම තත්ත්වයට මුහුණදීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ නායක ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය සිකුරාදා නව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදුන්නේ ය. එහි ඔහු මෙසේ සඳහන් කර තිබිණ.

අග්‍රාමාත්‍යවරයාගේ ධුරය පුරප්පාඩු වනුයේ ඔහු මියගියහොත්, ඉල්ලා අස්වුවහොත් (නිලයෙන් පහ කිරීමෙන් හෝ අන් අයුරකින්) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් හෝ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ විසර්ජන පනත් කෙටුම්පත පරාජයට පත්වුවහොත් හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් පමණක් බැවින් ද,

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව කිසිදු අවස්ථාවක අගමැති ධුරය පුරප්පාඩු නොවූ බැවින් ද,

2018 ඔක්තෝබර් මස 26 වන දින ජනපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කළ බව ප්‍රකාශ කෙරී ඇති බැවින් ද,

1. 2018 ඔක්තෝබර් මස 26 වන දින අගමැතිවරයකු පත් කිරීම සඳහා කිසිදු පුරප්පාඩුවක් හෝ අවස්ථාවක් නොපැවැති අතර එබැවින් 2018 ඔක්තෝබර් මස 26 දිනැති අංක 2094 43 දරන අති විශේෂ ගැසට් පත්‍රය හා 2018 ඔක්තෝබර් මස 26 දිනැති අංක 2094 44 දරන අති විශේෂ ගැසට් පත්‍රය ශුන්‍ය හා බල රහිත සහ නීත්‍යනුකූල වශයෙන් බලපෑමක් නොමැති වන අතර,

2. කෙසේ වුවද, 2018 ඔක්තෝබර් මස 26 වන දින හෝ එදිනට පසුව පත් කරන ලද්දේ යැයි කියනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ එම ආණ්ඩුව කෙරෙහි මෙම පාර්ලිමේන්තුවට විශ්වාසයක් නොමැති බවට ද,
මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

මේ අතර තවත් සිදුවීමක් විය. බලයෙන් ඉවත් කැරුණු අගමැති වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා තමන් වෙනුවට පත්කර සිටි නව අගමැති රාජපක්ෂගෙන් හමුවක් සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියේ ය. එවැනි හමුවකට තමන් සහභාගිවීම මෙම අවස්ථාවේ නුසුදුසු බව පැවසූ රාජපක්ෂ තමන් වෙනුවට තම සොයුරු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි කරවිය හැකි බව කීවේ ය. ඔහු හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කරුණක් සාකච්ඡා කළ හැකි බව රාජපක්ෂ පැවසුවේ ය. බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ දෙදෙනා අතර හමුවට සහභාගිවීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂ සහ ජනපති සිරිසේනව දැනුම්වත් කිරීමට ගෝඨාභය පියවර ගත්තේ ය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අරලියගහ මන්දිරයට පැමිණ වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේම ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. එය නම් පැවැත්වෙන සාකච්ඡාව ඔවුන් දෙදෙනාට පමණක් සීමාවිය යුතු බවය. එම අවස්ථාවේ රනිල්ගේ සොයුරු ටෙලිශාන් රූපවාහිනී ජාලයේ හිමිකරු ශාන් වික්‍රමසිංහගේ දියණිය, ඉෂිනි වික්‍රමසිංහ එතැන සිටියා ය. අනතුරුව දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේ දී, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තමාට සහාය දෙනවා යැයි වික්‍රමසිංහ පැවසුවේ ය. ‘සර්, ඔයාට 113ක් දිනාගන්න වෙනවා’, ගෝඨාභය පිළිතුරු දුන්නේය. වත්මන් තත්ත්වය යටතේ ඉදිරි කටයුතු මෙහෙයවීමට බලාපොරොත්තු වන්නේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා විමසා සිටි අවස්ථාවේ, එය රටේ ජනතාව තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබෙන බවත්, වික්‍රමසිංහ කියා සිටියේ ය.

සාමකාමී බල හුවමාරුවකින් පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට තමන් සහතික වන බවත් ප්‍රමාණවත් මට්ටමින් පෞද්ගලික ආරක්ෂාව සැපයීමට පියවර ගන්නා බවත් ගෝඨාභය, වික්‍රමසිංහ හමුවේ පැවසුවේ ය. දෙදෙනා අතර හමුව පැවැතියේ විනාඩි 10ක් වැනි සුලු වේලාවක් පමණි.

නිල වශයෙන් නව රජයේ තනතුරක් භාර ගෙන නැතත් අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කටයුතු අධීක්ෂණය කරමින් සිටින්නේ ගෝඨාභයයි. පසුගිය සතියේ “සන්ඬේ ටයිම්ස්” මුල් පිටුවේ ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත බව සඳහන් වුව ද, ගෝඨාභය පසුව අවධාරණය කර සිටියේ තමා රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවය. ගෝඨාභයව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස හෝ ආරක්ෂක ලේකම්වරයා ලෙස හෝ පත්කළ හැකි බව මහින්ද රාජපක්ෂ හමුවේ පවසා තිබෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනපති සිරිසේනය. පසුගිය මාස කිහිපය පුරාවටම ගෝඨාභය සිටියේ ඉදිරි ජනපතිවරණය ඉලක්කර කරගත් තමන්ගේම දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරතවය. පසුගිය ඉරිදා සිය “වියත්මග” ව්‍යාපාරයේ ශාඛා කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව සිටිය ද, අගමැති රාජපක්ෂගේ උපදෙස් මත එය කල් දැමීමට ඔහු කටයුතු කළේ ය.

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව සංවිධානය කරන ජනතා රැලියක් 5දා කොළඹ දී පැවැත්වීමට නියමිතය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේ දී මෙම තීරණය ගැනුණු අතර, මෙම රැලිය සඳහා අති විශාල ජන සහභාගීත්වයක් සහතික කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ගේ අනිවාර්ය වගකීමක් බව අවධාරණය කැරිණි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුයිටරෙස්ගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දීම සඳහා ජනපති සිරිසේනට ජනපති ලේකම් කාර්යාලය වෙත යා යුතු වූ බැවින් හමුව හදිසියේ අවසන් කිරීමට සිදුවිය. ජනපතිවරයා හා පැවැති සංවාදයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීමට, නීතියේ සාධාරණත්වය ආරක්ෂා කිරීමට සහ සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට, දැඩි අවශ්‍යතාවයක් පැන නැගී තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කළේ ය. එම සංවිධානයේ ආරංචිමාර්ගවලට අනුව පාර්ලිමේන්තුව 14 වැනිදාට පෙර කැඳවීමට හැකියාව තිබෙන බව ජනපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට දැනුම් දී ඇත.

නමුත් අන්තර්ජාතික ප්‍රජාවගෙන් නැඟෙන පීඩනය එතැනින් නතර නොවන බව පෙනී ගියේ මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ මෙරට සම්බන්ධීකාරක තැන සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සහ ජයිකා ආයතනයේ නියෝජිතයන් පසුගිය සඳුදා සන්ධ්‍යාවේ ජනපති සිරිසේන හමුවට පැමිණීම නිසාය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සිරිසේන, තමා ව්‍යවස්ථාව පිළිබඳ කුඩා දරුවෙක් පවා දන්නා කරුණු නොදන්නේ යැයි වික්‍රමසිංහ එල්ල කර තිබූ චෝදනාවක් සිහිපත් කරමින් හිටපු අගමැතිවරයාව විවේචනය කළේ ය. තම හිටපු අගමැතිවරයා සියලු කටයුතු සිදුකරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බවත් එම නිසාම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අවසරයන්වල, සිංහල භාෂා පරිවර්තනයන්ගේ තිබෙන වෙනස්කම් නිවැරැදි කිරීමට ඔහුට අමතකව තිබෙන බවත්, ජනපති සිරිසේන පෙන්වා දුන්නේ ය.

ජනපති සිරිසේන එසේ සඳහන් කර සිටියේ ව්‍යවස්ථාවේ 48, 2 වගන්තියයි. සිංහල පරිවර්තනය අනුව (විවාදාත්මක කරුණක දී භාවිතයට ගැනෙන්නේ මෙම පරිවර්තනයයි) අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට තමන්ට අවසරය තිබෙන බව සිරිසේන කියා සිටියේ ය. එහෙත් එවැනි අවසරයක් නොමැත යැයි වික්‍රමසිංහගේ මතයයි. මේ අතර යුරෝපා සංගමයේ තානාපති ටවුන්ග්-ලායි මාර්ග් අනතුරු ඇඟවීමක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමිවීමේ අවදානමක් තිබෙන බව පවසා තිබේ. එක්සත් ජනපදය, ජර්මනිය, බි්‍රතාන්‍යය, නෝර්වේ සහ කැනඩාව යන රටවල දූතයින් මේ වන විටත් දැඩි ප්‍රකාශයන් නිකුත් කර ඇත. තත්ත්වය තුලනය කිරීමට මෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියා තානාපති යූරි මටෙරිටි පවසා තිබෙන්නේ රුසියාව නව රජයට ආධාර කරන බවය. රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරෝෆ්ලොට් සඳුදා සිට මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන්ගමන් ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරකයින් ඉලක්ක කරගත් නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි ජනපති සිරිසේන, පාර්ලිමේන්තුව කැඳවීම කල්දැමීමට පියවර ගත්තේ අතුරු අයවැය සකස් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට අවශ්‍ය කාලය ලබාදීමට බව පැහැදිලි කළේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පිළියෙල කර තිබෙන පිටු තුනකින් යුතු ලේඛනයක් මේ වන විට බෙදා හැරෙමින් තිබේ. සභාග රජයෙන් එක් පාර්ශවයක් ඉවත් වන්නේ නම් කැබිනට් මණ්ඩලය එම අවස්ථාවේදීම විසිරුවා හැරෙන බව ඔහු එම ලේඛනයෙන් පෙන්වා දී ඇත. කැබිනට් මණ්ඩලය තවදුරටත් නොපවතින අවස්ථාවක නව අගමැතිවරයකු පත්කිරීමට ජනපතිවරයාට සිදුවේ යැයි ඔහු කියා ඇත. වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළායින් පසුව තමාට හොඳින් නින්ද යන බව ජනපති සිරිසේන ඔහුගේ ළඟම හිතවතෙකු හා පවසා ඇත. එහෙත් බහුතර ශ්‍රී ලංකාවාසීන් බියපත්ව සිටින්නේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගතහොත් දැනට ඔවුන් මත පැටවී තිබෙන ආර්ථික බර දරාගත නොහැකි තත්ත්වයට පත්වනු ඇතිය සිතාය. අවසන කියන්නට තිබෙන්නේ, වෙන දෙයක් වනු ඇත කියාය.