පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

මෙහි පළවන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයක කොටසකි.

මඟහැරුණු අවස්ථා
වර්ෂ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දින ප්‍රහාරයට ප්‍රථමයෙන් වඩාත් පරික්ෂාකාරීව සහ අනතුරක් වළක්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයකින් යුතුව පසුවූවේ නම් සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට නීතිය බලාත්මක කරන අංශවලට  හැකියාවක් ලැබීමට ඉඩ තිබිණි. කෙසේ වුවත් නීතිය ක්‍රියාත්මක කරන අංශවල සහ සිවිල් වැසියන් දෙදෙනකුගේ බරපතළ ගණයේ අතපසුවීම් සහ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙම කණ්ඩායම නීතියෙන් ගැලවී සිටීමට සමත්විය. පහත දැක්වෙන්නේ ඛේදනීය ජීවිත විනාශයක් සහ දේපළ හානියක් වළක්වා ගැනීමට තිබූ අවස්ථා ගිලිහී යාම පිළිබඳ විස්තරාත්මක ඉදිරිපත් කිරීමකි.


අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ කතාව
 වර්ෂ 2016 නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අතරතුර සභාව අමතමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අයි.එස්. සංවිධානය හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අවධාරණය කොට සිටියේය. ශ්‍රී ලාංකික පවුල් හතරකට අයත් තිස් දෙදෙනකුගෙන් යුත් පිරිසක් සිරියාව වෙත ගොස් අයි.එස්. සංවිධානය හා සම්බන්ධ වී ඇති අතර ඔවුන් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා ඇති අය බවද ඔහු සඳහන් කළේය. ඔහු තවදුරටත් සඳහන් කළේ සංචාරක අවසර පත්‍ර ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල දේශකයක් විසින් බේරුවල කල්එළිය, කල්මුණේ සහ කුරුණෑගල ප්‍රදේශවල දේශනා පවත්වමින් අන්තවාදය පතුරවන අතර මුස්ලිම් තරුණයන්ගේ මනස ඒ මගින් විකෘති කරන බවයි.

ඔහු විමර්ශන කොමිසම වෙත දන්වා සිටියේ ඔහු මෙම පියවර ගන්නා ලද්දේ මෙම කරුණ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමේ අරමුණෙන් වන අතර පැවැති රජයේ අමාත්‍ය ධුරයක් ඔහු විසින් හෙබවුවද එවකට පැවැති රජය විසින් මෙම ගැටලුවට හිමිවිය යුතු ප්‍රමුඛත්වය ඊට ලබා නොදුන් බව ඔහුට හැඟීගොස් ඇත. නිදසුනක් ලෙස ඔහු එසේ සභාව ඇමැතීමට මාස තුනකට පමණ පෙර ජනාධිපතිතුමාගේ ඇරයුමින් ඔහු සහභාගි වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පිළිබඳ සඳහන් කළේය. එහිදී රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ඉතාමත් සතුටුද‌ායක ලෙස නිරූපණය වන ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත.

 එහෙත් එහිදී ඉස්ලාම් අන්තවාදයේ තර්ජනාත්මක වර්ධනයක් පිළිබඳ කිසිදු සඳහනක් නොවීය. මේ පිළිබඳ අමාත්‍යවරයා විමතියට පත්වූ අතර ඊට හේතු වූවේ වඩා වර්ධනය වන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඔහු එවකට හමුද‌ා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුරේෂ් සලේ වෙතින් දැනගෙන තිබූ බැවින් මෙහිදී අද‌ාළ වන තවත් කරුණක් වන්නේ එවකට හමුද‌ාපති ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ එවකට හමුද‌ා බුද්ධි අංශයේ  අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුරේෂ් සලේ විසින් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී කතා කළ අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සතුටු නොවූ අතර ඔහු දැරූ මතය වන්නේ එවැනි තත්ත්වයක් එවකට නොපැවැති බවත් සමහර අවස්ථාවලදී සලේ මහතා සිදුකළ ඉදිරිපත් කිරීම්වලදී හමුද‌ාපතිවරයාට ද මැදිහත් වීමට සිදුවිය.

මෙම කතාව පැවැත්වීම පිළිබඳව රාජපක්ෂ අමාත්‍යවරයාට මුස්ලිම් අමාත්‍යවරුන් කීපදෙනකුගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකුගේ මෙන්ම මුස්ලිම් නායකයන්ගේ ද විවේචනය එල්ල වූ අතර ඊට වසර දෙකකුත් මාස 05ක් ඉකුත් වූ තැන පාස්කු ප්‍රහාරය දියත් විය. එබැවින් එය පණිවිඩකරු මරා දැමීම වැනි වූ සිද්ධියක් ලෙස හැඳින්විය හැකිය.


02. මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාගේ සම්මුඛ සාකච්ඡාව
වර්ෂ 2017 නොවැම්බර් 27 වැනිද‌ා සිලෝන් ටුඩේ පුවත්පතේ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පළකොට තිබූ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ සහ ශ්‍රී ලංකාව තුළ අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සක්‍රියවීම ආරම්භ වීම මුල් යුගය දැන් උද‌ා වී ඇති බවයි. එමෙන්ම එම කලාපයේ රාජ්‍යයන් මෙම තර්ජනය සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දක්වන බව ද ඔහු එහි සඳහන් කර තිබේ. ඔහු තවදුරටත් අනාවරණය කර ඇති කරුණක් නම් ඇතැම් ශ්‍රී ලාංකික අයි.එස්. ආධාරකරුවන් නැවතත් අයි.එස්. සංවිධානයේ මතවාදයන් සමග යළිත් දිවයිනට පැමිණ ඇති බවත් රජය විසින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත්ය. ඔහු මෙහිදී අනතුරු ඇඟවීමක් ද සිදුකරන අතර ඉන් අනාවරණය වන්නේ බංගලාදේශ, ඉන්දියාව හා මාලදිවයින යන රටවල අයි.එස්. සංවිධානයේ ජාල සිය ගණනක් නිර්මාණය වී ඇති අතර රජයේ යහපාලන ප්‍රතිපත්ති මෙම ප්‍රවණතා සැලකිල්ලට නොගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා අවහිරතා එල්ල වී ඇති බවයි.
මෙවැනි විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී ජාතික ආරක්ෂාවට අද‌ාළව අයි.එස්. සංවිධානය සහ එහි ආධාරකරුවන් වෙතින් එල්ල වන තර්ජන මැඩලීම සම්බන්ධයෙන් රජය කිසිදු ප්‍රායෝගික පියවරක් නොගැනීම.

03. ලේවැල්ල, ධර්මාශෝක මාවතේ පිහිටි එන්රිච් බංගලෝ නමැති ස්ථානයේ පැවැත්වුණු පුහුණු කඳවුර
මෙම ස්ථානයේ හිමිකාරිත්වය දරන ලද්දේ ලේවැල්ල ධර්මාශෝක මාවතේ අංක 147/9 දරන ස්ථානයේ පදිංචි නාලිනී මැණිකේ ගුණරත්න නමැති කාන්තාව වන අතර එහි තානායමක් පවත්වාගෙන ගිය දිනුක නුවන් පෙරේරා යන අයට එම ස්ථානය කුලී පදනම යටතේ ලබා දී තිබුණි. මෙම ස්ථානය වෙන්කර ගැනීම සිදුකර ඇත්තේ කොමිස් මුදලකට හෝටල් සහ තානායම් වෙන් කිරීමේ කටයුතු සිදුකළ තුෂාන් පීලික්ස් ද සිල්වා යන තැනැත්තකු හරහාය. මුලින්ම තුෂාන් පීලික්ස් ද සිල්වාගෙන් මෙම ස්ථානය කුලියට ගැනීම පිළිබඳ මුලින්ම විමසා ඇත්තේ මීරා සයිබි මොහොමඩ් නෆ්ලි නමැත්තෙකි. විසිපස් දෙනකුගේ පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

එම තානායමේ කළමනාකරු වූ දිනුක නුවන් පෙරේරාට කණ්ඩායම ගැන යම් සැකයක් ඇතිවීමට හේතු වූ කාරණය වන්නේ නිවස තුළ සිදුවන කිසිවක් බාහිර පාර්ශ්වවලට දැකිය නොහැකි වන සේ මුළු නිවසේම කවුළු ඇඳ රෙදිවලින් ආවරණය කර තිබීම හේතුවෙනි. එහිදී ඔහු තුෂාන් පීලික්ස් ද සිල්වා අමතා පොලිසියට දැනුම් දීමට යෝජනා කළ අවස්ථාවේදී තුෂාන් පීලික්ස් ද සිල්වා විසින් එසේ සිදුකළහොත් ගැනුම්කරුවන් අඩුවීමට ඉඩ ඇතැයි පවසා එය වළක්වා තිබේ. එය වෙනුවට ඔවුන් දෙදෙනාම අද‌ාළ ස්ථානයට ගොස් ඇති නමුත් එහි සිටි කණ්ඩායම ඔවුන් නිවෙසට ඇතුළුවීම වළක්වා ඇත. ඒ වෙනුවට ඔවුන් නිවෙසින් පිටත සිට කතාබහකොට තිබේ. පසුව තමන් හට නිවස තුළ ඇති පාවහන් යුවළක් රැගෙන ඒමට අවශ්‍ය බව පවසමින් ඒ මුවාවෙන් දිනුක නිවෙසේ පහළ මහලයට යාමට සත්වී ඇත. ඔහු සමග කණ්ඩායමේ එක් සාමාජිකයකු ද එහි පැමිණ තිබේ. ඒ මොහොතේ කිසිදු සැකසහිත යමක් දිනුක නිරීක්ෂණය කර නොතිබිණි. සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ දේශන පැවැත්වූ අතර නවුෆර් විසින් අයි.එස්. සංවිධානය පිළිබඳ දේශන පැවැත්වීය. මේ සඳහා 25 දෙනකුගෙන් පමණ යුතු පිරිසක් සහභාගි වී තිබේ. මෙම පුහුණුවට සහභාගි වූ අය අතර වර්ෂ 2019 අප්‍රේල් 21 දිනවල මියගිය අය අතුරින් සහරාන්, හස්තුන්, ජමිල්, රිල්වාන්. මුවාඩ් සහ ෂයිනි වූහ.

04. නුවරඑළිය ශාන්තිපුර පැවැති පුහුණු කඳවුර
තක්ෂිලා නිවාඩු නිකේතනය දෙමහල් නිවාඩු නිකේතනයක් වන අතර එය නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පිහිටා තිබේ. එහි හිමිකරුවන්නේ තක්ෂිලා ඉන්දික කුමාර නමැත්තකු වන අතර එම ස්ථානය පවත්වගෙන යන්නේ රංග නමැත්තෙකි.

වර්ෂ 2018 අප්‍රේල් 03 වැනිද‌ා තක්ෂිලා නිවාඩු  නිකේතනය වෙත ඩොල්ෆින් වර්ගයේ සුදු වෑන් රථ 04 ක් පැමිණි අතර ඒවායේ විසිදෙනෙක් පමණ පිරිසක් පැමිණියහ. ඔවුන් එහි දින දෙකක් ගතකර අප්‍රේල් 05 වැනිද‌ා පිටත්ව ගොස් තිබේ.

 වර්ෂ 2018 මැයි 05 වැනිද‌ා යළිත් එම වාහන 04 ම තක්ෂිලා නිවාඩු නිකේතනය වෙත පැමිණි අතර මැයි මැයි 07 වැනිද‌ා පමණ වනවිට ලා නිල් පැහැති වෑන් රථයක් ද එහි දක්නට ලැබිණි. ඒවා ඩොල්ෆින් සහ ලයිට් එ්ස් නමැති මාදිලිවලට අයත් වූ අතර බඩු බාහිරාදිය ගෙන යාම සඳහා පිටත සිටිනු දක්නට ලැබුණේ එක් පුද්ගලයකු පමණි.

එහි සිටි සියලු දෙනාම ජිල්බාබ් නමැති අරාබි ඇඳුමින් ඔවුන් සැරසී සිට ඇත.

අසල්වැසියකු වූ තිලකරත්න ඉලේසිංහ නමැති සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකත්වය ද හිමි පුද්ගලයකුට මෙම කණ්ඩායම පිළිබඳ සැක සිතී ඇති අතර මැයි 08 වැනිද‌ා මල් නෙළාගැනීම මුවාවෙන් අද‌ාළ නිවෙසට ඔහු ගොස් ඇත. එහිදී දෙමළ භාෂාවෙන් සිදුකෙරුණ සංවාදයක් ඔහුට ශ්‍රවණය වී ඇත. එහි අන්තර්ගතය වී ඇත්තේ ආයුධ සහ කණ්ඩායම විසින් රැගෙන එන ලද මුදල කාත්තන්කුඩිය වෙත ප්‍රවාහන කිරීම පිළිබඳ කාරණයයි.

 ඔහු එහිදී 119 අංකයට ඇමතුව ද ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර නුවරඑළිය පොලිස් ස්ථානය ද ඇමතීමට උත්සාහ කළ නමුත් කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. ඊළඟට ඔහු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙර දිනයක රූපවාහිනි වැඩසටහනක දී තමා අමතන ලෙස ජනතාවට ලබා දී තිබූ දුරකතන අංකයක් ඔස්සේ සම්බන්ධ කරගෙන ඇති අතර පෙරවරු 8.14 ට පමණ අද‌ාළ ඇමතුම ගෙන තත්පර 85 ක පමණ කාලයක් සංවාදයෙහි යෙදෙන අතර තම ප්‍රදේශයේ සැකකටයුතු කීප දෙනකු ගැවසෙන බව පවසා ඇත. එහිදී පොලිස්පතිවරයා ඔහුට උපදෙස් ලබා දී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා අමතා මේ පිළිබඳ දන්වන ලෙසයි. එසේ පැවසීමෙන් අනතුරුව අද‌ාළ නිලධාරියාගේ අංකය ද ලබා දී ඇත. පෙරවරු 8.16 පමණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ඇමතූ තිලකරත්න ඉලේසිංහ තත්පර 57ක කාලයක් තුළ අද‌ාළ සැකකටයුතු පුද්ගලයන් පිළිබඳ දැනුම් දී තිබේ. අවාසනාවන්ත ලෙස ඔහු විසින් ශ්‍රවණය කරන්නට යෙදුණු දෙමළ බසින් ආයුධ සහ මුදල් පිළිබඳ සිදු වූ සංවාද පිළිබඳ පොලිස්පතිතුමාට හෝ ජ්‍යෙෂ්ඨ අධිකාරිතුමාට හෝ වෙනත් කිසිදු පොලිස් නිලධාරියකු හට සඳහන් කිරීමට ඔහුට අවකාශ නොලැබී තිබේ.

 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දිසානායක මහතා ඉලේසිංහ වෙත දැනුම් දී ඇත්තේ සුළු වේලාවකින් නුවරඑළිය පොලිසියෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබෙනු ඇති බවත් එතෙක් නිවසේ රැඳී සිටින ලෙසත්ය. ඉන් විනාඩි 30ට පමණ පසු ඔහුට නුවරඑළිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියකුගෙන් උදෑසන 8.43ට පමණ ඇමතුමක් ලැබුණු අතර තත්පර 141ක කාලයක් පැවැති මෙම දුරකතන සංවාදයේ දී ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක හට යම් තොරතුරක් ලබා දුන්නේ ද යන්න විමසා ඇති අතර එය තහවුරු කර ගැනීමෙන් පසු අද‌ාළ ස්ථානයට පැමිණීම සඳහා මාර්ග විස්තර අද‌ාළ පොලිස් නිලධාරියා ඔහුගෙන් අසා දැනගෙන තිබේ. කෙසේ වුවත් දිවා කාලය තෙක්ම පොලිස් ස්ථානයෙන් කිසිවකු පැමිණ නැත.

 ඉන් පසුව නැවතත් පෙරවරු 11.50ට පමණ ඉලේසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇමතූ අතර පොලිස් ස්ථානයෙන් තවමත් කිසිවකු නොපැමිණි බව දන්වා සිටියේය. පස්වරු 4.30 පමණ සුදුපැහැති පොලිස් මෝටර් රථයක් තක්ෂිලා නිවාඩු නිකේතනය වෙත පැමිණ තිබේ. එම පොලිස් නිලධාරීන් කණ්ඩායම සමන්විත වූවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත්, පොලිස් කොස්තාපල් 76735 අංක දරන බණ්ඩාර, පොලිස් කොස්තාපල් 1336 දරන රත්නායක සහ තවත් හඳුනානොගත් පොලිස් නිලධාරියකු මෙන්ම පොලිස් රියදුරකුගෙනි. ඔවුන් එහි පැමිණියේ K.B. 3680 අංක තහඩුව දරන ජංගම පොලිස් රථයෙනි. එහිදී මුදලින් ලක්ෂ 10 ක් සහ රන් දමා තිබූ ගමන් මල්ලක් පොලිසියට හමුවිය. එහි සිටි පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ විට දැන ගන්නට ලැබුණේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා රන් රැගෙන විත් තිබූ බවයි.

පොලිස් කොස්තාපල් 76735 අංක දරන බණ්ඩාරගේ සාක්ෂිය අනුව පොලිස් කණ්ඩායම එහි යන විට පහළ මහලේ 4 දෙනකු ද උඩු මහලේ 20 දෙනකු ද පමණ සිට ඇත. ඔවුනට එහිදී පවසා ඇත්තේ ඉස්ලාම් ආගම් ප්‍රචාර කටයුතු සඳහා එම කණ්ඩායම එහි පැමිණ සිටි බවයි. ඔවුන් එහි සිටි සියලු දෙනාගේම ජාතික හැඳුනුම්පත් පරික්ෂා කර නිවෙස ද සෝදිසි කළ නමුත් සැකසහිත කිසිවක් හමු නොවීය.

පොලිස් කණ්ඩායම් මගින් මෙහිදී ඉදිරිපත් කළ සිද්ධි විස්තරය තහවුරු කර ගැනීමට සාක්ෂි නොපැවති අතර ඊට අද‌ාළ ස්ථානය වෙත ඔවුන් ගමන් කළ බවට කිසිදු සටහනක් යොද‌ා නොතිබීමයි.

ඉලේසිංහ පවසන ආකාරයට පොලිස් නිල රථය එහි පැමිණීමට මිනිත්තු කීපයකට පෙර එම ස්ථානයෙන් වාහන තුනක් පිටත්ව ගොස් තිබිණි. ඉන්පසුව එම නිවසේ සිටි පිරිස පස්වරු 7.30ට පමණ බැහැර වී ඇති අතර ළා කොළ පැහැති වෑන් රියක් පමණක් අද‌ාළ ස්ථානයේ නවතා තිබී ඇත. පොලිස් රථය එහි රැඳී සිට ඇත්තේ විනාඩි 15 ක පමණ කාලයක් පමණි. වර්ෂ 2018 මැයි මස දී තක්ෂිලා නිවාඩු නිකේතනයට පැමිණි අය අතුරින් සහරාන් සහ නවුෆර් මවුලවිවරයා ඉලේසිංහ විසින් හඳුනාගනු ලැබූහ.

ඉලේසිංහ පවසන පරිදි 2019 අප්‍රේල් 21 වැනිද‌ා සිදුවූ ප්‍රහාරයන් පසු නුවරඑළිය පොලිස් ස්ථානාධිපති ඉන්ද්‍රජිත් ඉලේසිංහ හමුවීමට පැමිණ ඇති අතර මෙම සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉල්ලා තිබේ. ඔහු විසින් සහරාන්ගේ ඡායාරූපයක් ඉලේසිංහට පෙන්වා අද‌ාළ දිනයේ පැමිණි පිරිස අතර ඔහු ද සිටියේ දැයි විමසා ඇත. එහිදී ඉලේසිංහ විසින් සහරාන් හඳුනාගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්ද්‍රජිත්ගෙන් හමුවී ප්‍රශ්න කිරීමට විමර්ශන කොමිසමට අවස්ථාවක් නොලැබුණු අතර ඊට හේතුව වූවේ විමර්ශන කොමිසමට අනුබද්ධිත පොලිස් ඒකකය ඔහුගේ ප්‍රකාශයක් සටහන් කොටගෙන සති දෙකක කාලයක් ඇතුළත හෘදයාබාධයක් නිසා ඔහු මියගිය බැවිනි.

හාදියාට අනුව පොලිසිය අද‌ාළ ස්ථානයට පැමිණ පිස්තෝලයක් සඟවා තිබූ ගමන් මල්ලක් පවා පරික්ෂා කළ අතර එහිදී ඔවුනට එය හමු නොවීය. ටී 56 ගිනි අවිය මිල්හාන් එම ස්ථානයේ පිහිටි ළිඳක සඟවා තිබූ අතර පිස්තෝලය සඟවා තිබී ඇත්තේ රන් බහා තිබූ සහරාන්ගේ ලැප්ටොප් පරිගණක ගමන් මල්ල තුළය. එම ගමන් මල්ල පොලිසිය විසින් පරීක්ෂා කොට ඇති අතර එහිදී රන් භාණ්ඩ පමණක් පිටතට ගෙන පරික්ෂා කළත් එහිදී පිස්තෝලය සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. අද‌ාළ ස්ථානයේ යතුර එම කණ්ඩායම විසින් එදිනම බාරදී නොමැති අතර එය ආපසු ලබා දී ඇත්තේ ටික කලකට පසුවය.

පාස්කු ප්‍රහාරය එල්ල වී ටික කාලයකින් පසුව මෙම කාරණා අනාවරණය වීමත් සමඟ අද‌ාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන කොමිසමෙහි නිර්දේශය වන්නේ හෝටල් හිමිකරුවන් සහ නවාතැන් හා තානායම් හිමිකරුවන් වසර තුනක කාලයක් තුළ අද‌ාළ ස්ථානවල ලැගුම් ගන්නා අයගේ සම්පූර්ණ විස්තර තමා සතුව තබා ගැනීම අනිවාර්ය කරන ලද ක්‍රමවේදයක් ඇති කළ යුතු බවයි.


05 කොළඹ ජාතික රෝහලේ දී රිල්වාන්ට ප්‍රතිකාර කිරීම
2018 වසරේ අගෝස්තු 27 වැනිද‌ා අලුයම් කාලයේ රිල්වාන් ජීවිත අවද‌ානමක් සහිත ශාරීරික හානිවලට ලක්විය. මෙය සිදුවූවේ කාත්තන්කුඩියේ පාලමුණේ ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පරීක්ෂණ සිදුකරන අතරතුරයි. ඒ වන විට සහරාන් සිට ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පවත්වන ලද පුහුණු කඳවුරකයි. එහිදී සහරාන් සෞදි අරාබියේ සිටි මොහොමඩ් අලියාර් මසුක් රිලාන් සම්බන්ධ කරගෙන සහාය පතා ඇත. එසැනින් වෛද්‍ය මොහමඩ් සුෆියන් මොහොමඩ් සප්‍රාස් හා සම්බන්ධ වී මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගෙන තුවාල ලැබූ රිල්වාන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳ විමසා ඇති අතර එහිදී සහරාන් විසින් මිල්හාන් ෂයිනි සහ ගපූර් මාමාට උපදෙස් ලබා දී ඇත්තේ මඩකළපුව වෙත යන ලෙසයි. ඔවුන් එහි යන විට රිල්වාන් සිටියේ බරපතළ තත්ත්වයකයි. අසාඩ් ද එහි සිටියේය. මුලින් ඔවුන් උත්සාහ කළේ රිල්වාන් මඩකළපුව රෝහලට රැගෙන යාමට වුවත් එසේ නොකරන ලෙස රිල්වාන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

 ලබාදුන් උපදෙස්වලට අනුව රිල්වාන්ට ප්‍රථමාධාර ලබා දී පසුව ප්‍රතිකාර සඳහා කොළඹට ප්‍රවාහනය කළ බව පෙනේ. සහරාන් සහ සාදික් වෙනත් වාහනයකින් කොළඹට පැමිණියහ. අසාද් සහ සහරාන්ගේ මස්සිනා ඇතුළු තවත් අය විසින් රිල්වාන් වෙනත් වාහනයකින් කාත්තන්කුඩි සිට කොළඹට ගෙන එන ලදී.

 රිල්වාන් රෝහලට ඇතුළත් කළ අතර රෝගියාගේ නම ලෙස එම්.අයි. ෂහිඩ් යන නම ලබා දී ඇත. ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් තුවාල සිදුව ඇති බව රෝහල් බලධාරීන්ට දන්වා තිබේ. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර ඒකකයේ දී රෝගියා පරික්ෂා කළ වෛද්‍ය චන්දන රෝගියාගේ තත්ත්වයට හේතු වූ සංසිද්ධිය ලෙස දක්වා තිබූ කරුණු ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණක් සටහන් කළ අතර එම තුවාල ලබා ඇති හේතුව හා විස්තරකොට ඇති සංසිද්ධිය මුළුමනින්ම ගැළපෙන බවක් ඒත්තු නොගත් හෙයින්, පොලිසියට දැන්විය යුතු බව තවදුරටත් නිර්දේශ කළේය.

 ඇත්ත වශයෙන්ම එක් හෙදියක වන ශිරෝමි විද්‍යාසේකර සාක්ෂි දෙමින් කියා සිටියේ ඇය ද රෝගියාගේ තත්ත්වයට හේතුව ලෙස දක්වා ඇති සංසිද්ධිය ලබා ඇති තුවාල හා රෝගියාගේ තත්ත්වය සමග ගැළපීමක් නැති බව වෛද්‍යවරයාට දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් රිල්වාන්ගේ ඇඳ ඉහපත රිල්වාන්ගේ භාරකරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයකු ජාතික රෝහලේ පොලිස් මුරපොළ වෙත ගෙන ගිය බව පෙනේ. පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව රාජකාරියේ යෙදී සිටි පී.එස්. අරුණ ශාන්ත තෙන්නකෝන් හට ඔහු දන්වා සිටියේය. ඒ සඳහා දෙමළ භාෂාවෙන් අනුමැතියක් ලබා දී ඇති අතර, දෙමළ භාෂාව කියවිය නොහැකි බව තෙන්නකෝන් නමැති නිලධාරියා පිළිගත්ත ද වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එවකට රෝහල් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල චන්ද්‍රසිරි නානායක්කාරගේ සාක්ෂි වූයේ මේ පිළිබඳව ඔහුව දැනුම්වත් කර නොතිබූ බවයි.

 රිල්වාන්ගේ ඇඳ ඉහපතේ නිශ්චිතව දක්වා ඇති පරිදි පියවර ගනු ලැබුවේ නම් සිද්ධිය පිළිබඳ වැඩි විස්තර සහ මෙම කණ්ඩායම විසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් සඳහා සූද‌ානම් වෙමින් සිටින බව දැනගැනීමට ද හැකියාව තිබුණි. රිල්වාන්ට ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි නොකර ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම පිළිබඳ විමර්ශන කොමිසමේ අවධානයට යොමු විය.

 ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීම තුළින් රජයේ රෝහල්වලට ඇතුළත් කර ගන්නා රෝගියාගේ අනන්‍යතාව හැකි ඉක්මනින් ලබාගත යුතු බව විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කරයි. එසේම සියලුම රජයේ රෝහල්වල පොලිස් මුරපොළ සඳහා වන ක්‍රියා පටිපාටිය සමාලෝචනය කළ යුතුය. වෛද්‍ය නිලධාරියකුගේ නිර්දේශය පරිදි සියලුම රෝගීන්ට වෛද්‍ය නෛතික පරීක්ෂණ පෝරමයක් නිකුත් කිරීම සහතික කිරීම සඳහා ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කළ යුතු අතර රෝගියා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත පරික්ෂාව සඳහා ඉදිරිපත් කළ යුතුය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරික්ෂණයෙන් පසු වෛද්‍ය නෛතික වාර්තාවක් නිකුත් කළ යුතු අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අනාවරණයන් මත පදනම්ව වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට උපදෙස් දිය යුතුය.

(***)