පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය චාරිකාව නිසා දෙරට අතර දිගුකලක් තිස්සේ පැවැත එන මිතුදම තවදුරටත් තහවුරු විය. මෙම ලිපිය පළකරන්නේ අතීතයේ සිට පැවැත එන එම මිතුදම සිහිපත් කරනු පිණිසය.

අප පවුලේ සියලු දෙනා මොස්කව් නගරයෙන් කරච්චිය වෙත පැමිණියේ 1972 ජනවාරි 3 වැනිද‌ාය. ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුද‌ා ගැටුම් හේතුකොටගෙන අප මොස්කව් නුවරින් පිටත්ව ඒම සති කිහිපයකින් පමා වූයේය. එම ගැටුම් නිමාවූයේ 1971 දෙසැම්බර් 16 වැනිද‌ාය. ඉන්පසු ටික කලක් යනතුරු අන්තර්ජාතික ගුවන් ගමන්වලට අවසර නොලැබිණි.

මොස්කව් සහ කරච්චිය අතර පවතින්නේ අදහාගත හැකි නොවන තරම් වෙනසකි. පළමු සහ ප්‍රධානතම වෙනස්කම් මොස්කව් නගරයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක ඍණ 40 ක් වන අතර ඉර එළිය සහිත කරච්චි නගරය සෙ. අංශක 28 ක් තරම් උණුසුම් වීමය. කෙසේ වුව ද වඩාත් අප සිත්ගත් කාරණය නම් ගුවන් තොටුපළ බලධාරීන් අපගේ පවුලේ අයට සුබපතා අතිශය උණුසුම් අන්දමින් සාදරයෙන් අප පිළිගත් ආකාරයයි. අපගේ පියා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ නිසා අපට හනික ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ට වෙන්වූ (VIP) කුටියේ අසුන් පනවනු ලැබීය. අප වෙනත් ගුවන් යානයකට මාරු වී රාවල්පිණ්ඩි නුවරට යා යුතු විය. ඉස්ලාමාබාද් අගනුවරට අයත් ගුවන් තොටුපළ තිබුණේ එහිය.

‘අප පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටයි’ යන්න කී සැනින් ඇලඩින්ගේ ගුහාවට පිවිසෙන්නට අවසර ලැබුණා සේ අපට සියලු දොරටු විවර වන බව අප ඉක්මණින්ම වටහා ගතිමු. ඇදහිය නොහැකි තරමට පාකිස්තානු ජනතාවගේ පුළුල් සිනාහවෙනුත්, අතිශය අනුග්‍රාහක බවිනුත්, අව්‍යාජ උණුසුමෙනුත් අපට පිළිගැනීමේ සංග්‍රහය ලැබිණි.

 මේ සියල්ලට හේතු වූ එක් කාරණයක් නම්, ඉන්දියාව සමග සිදුවූ යුදමය ගැටුම්වලදී නැගෙනහිර පාකිස්තානයේ පිහිටි ඩකා නගරය වෙත පියාසරන ගුවන් යානාවලට කොළඹ නැවතී යළි ඉන්ධන පුරවා ගන්නට සිරිමා බණ්ඩාරනායක මැතිනිය ලබා දුන් අවසරයයි. එය බණ්ඩාරනායක මැතිනියත්, ඉන්පසුව පැමිණි ශ්‍රී ලංකාවේ ආණ්ඩුත් ගන්නා ලද එඩිතර තීරණයක් වන අතර එහි ප්‍රතිඵල ද ශ්‍රී ලංකා ජනතාව තවමත් බුක්ති විඳිති. පාකිස්තානය අප රටට නිත්‍ය ලෙස සහයෝගය දෙන අපේ රටට හිතවත් මිත්‍ර රාජ්‍යයක් ලෙස ක්‍රියාකර ඇත.

බොහෝ දෙනා අපට පසුපස හරවනවිට අපට අසීරු අත්‍යවශ්‍ය අවස්ථාවලදී ඔවුන් අපගේ පිහිටට පැමිණ තිබේ. ඇත්ත වශයෙන්ම පාකිස්තානය යනු අපගේ සියලු කල්හිම මිතුරෙකි.

මම 1972 තරම් අතීතයක ශ්‍රී ලංකාව හා මිතුරු දමින් බැඳුණු පාකිස්තානුවන්ගෙන් ප්‍රතිලාභ ලැබූ අයකු වෙමි. ඉස්ලාමාබාද් නුවර තිබූ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කළ එකම පාසලේ ප්‍රවිෂ්ට විභාගය මම අසමත් වූයෙමි. කෙසේ වුවද මම මගේ පියා සමඟ විදුහල්පතිවරයා හමුවෙන්නට ගිය විට ඔහු මෙසේ කීවේය.

 ‘සංජීව, ඔබ ප්‍රවිෂ්ට විභාගය අසමත් වුණත්, ශ්‍රී ලාංකිකයින් අපගේ දයාබර මිතුරන් නිසා මම ඔබට විශේෂයක් කරනවා.’

ඉන්පසුව, මා පාකිස්තානයේ අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරනායක මැතිණියට පිංසිදු වෙන්නට බව කියමින් රෑ කෑම මේසයේදී මගේ පවුලේ උදවිය මට සරදම් කරන්නට වූහ.

 පාසැලේදී මාත්, මගේ අයියාත් දිගින් දිගටම පිළිගැනීමට ලක්වූයේ ‘ශ්‍රී ලංකාවෙන් ආ අපගේ හොඳම යාළුවෝ.’ යන වදන්වලින් නිතර සංග්‍රහ ලැබෙන අතරතුරය.

පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන විට අප ලබන ලකුණක් පාසා අන් අයට වඩා හඬින් ඔල්වර හඬ අපට නැගුනේය. එක් විශේෂ අවස්ථාවක් මගේ මතකයේ ඇත. අපගේ මහ කොමසාරිස්වරයා පාකිස්තානු අග්‍රාමාත්‍ය සුල්ෆිකාර් අලි භූතෝ සමග ඉක්මන් හමුවක් ඉල්ලා එවූ ටෙලෙක්ස් පණිවිඩයක් තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යාංශයෙන් ලැබිණි. බණ්ඩාරනායක මැතිනියගේ පණිවිඩයක් අග්‍රාමාත්‍යවරයාට දැන්විය යුතු විය. එම පණිවිඩයෙන්, කඩිනමින් සහල් තොගයක් පිරවූ නැවක් එවන ලෙස ඉල්ලීමක් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සහල් හිඟයක් පැවැති නිසාය. තානාපතිවරයා එහි නොසිටි බැවින් එම වගකීම මගේ පියා පිට පැවරුණේය.
 කාර්ය බහුලතාව නිසා විදෙස් රටකට, අග්‍රාමාත්‍යවරයා සමඟ හමුවක් ලබාගන්නට සුපුරුදු පරිදි බලා සිටින්නට සිදුවේ. කෙසේ වුවද පැවැති හදිසි අවශ්‍යතාව සලකා මගේ පියා විදේශ අමාත්‍යාංශයේ නිත්‍ය ලේකම්වරයාට කතා කළේය. වාසනාවකට ඔහු අපගේ අසල්වැසියකු විය. ඔහු මගින් හදිසි හමුවක් බලාපොරොත්තු විය. ප.ව. 10.00 ට පමණ මගේ පියාට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පැමිණෙන ලෙසයි.

මගේ පියා රෑ දොගොඩහරියේදී සුල්ෆිකර් අලි භූතෝ හමුවූයේය. අලි භූතෝ නින්දට යන්නට සූද‌ානමින් එවේලේ පිජාමා ඇඳුමකින් සැරසී සුරුට්ටුවක් උරමින් උන්නේය. මගේ පියාට සුබ පැතූ ඔහු මෙසේ ඇසුවේය.
‘ජයවීර මහත්මා, අපගේ ශ්‍රේෂ්ඨ මිත්‍ර බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද?’

මගේ පියා කොළඹින් ආ පණිවිඩය කියා රටේ සහල් හිඟයක් සිදුවුවහොත් කලබල ඇති විය හැකි බව ද සංසුන්ව සඳහන් කළේය.

සුල්ෆිකර් අලි භූතෝ, එසැනින්ම පාකිස්තානයේ ආහාර කොමසාරිස්වරයා වෙත දුරකථන ඇමතුමක් ගෙන ඊළඟ පැය 72 ඇතුළත කොළඹට සහල් තොගයක් පිරවූ නැවක් යා යුතු බව කීවේය. ආහාර කොමසාරිස්වරයා විනාඩි කිහිපයකට පසුව දැනට කිසිවක් නොමැති බවත් අවසාන වතාවට නිර්යාත කළ සහල් තොගය රැගෙන දැනට පැය කිහිපයකට පෙර වෙනත් රටකට නැවක් පිටත්ව ගිය බවත් කීවේය. එම නැව ආපසු හරවා කොළඹ දෙසට යැවිය යුතු බවට අලි භූතෝගෙන් ඔහුට උපදෙස් ලැබුණි. ණයවර ලිපියේ සඳහන් කොන්දේසි අනුව එය ද තහනම් ක්‍රියාවකැයි දක්වමින් ආහාර කොමසාරිස්වරයා ඊට විරුද්ධ වුවද ශ්‍රී ලංකාවට එම සහල් තොගය පිටත් කර යවනු ලැබීය.

ඊළඟට එළඹියේ බණ්ඩාරනායක මැතිනිය පාකිස්තානයට පැමිණි අවස්ථාවයි. ඇය රාවල්පිණ්ඩි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඇයට වීරවරියකගේ පිළිගැනීම ලැබුණි. එවැනි පිළිගැනීමක් ඊට පෙර ලැබුණේ ලිබියා ජනාධිපති ගඩාෆිට පමණකි. ඔහු තම තෙල් සල්ලිවලින් පාකිස්තානයට සහාය දී තිබිණි. එදින පාසල් නොගොස් මම මවුපියන් සමඟ ගුවන් තොටුපළට ගියෙමි. ජනයා දහස් ගණනින් මග දෙපස රැස් වී බණ්ඩාරනායක මැතිනිය පිළිගන්නට සැදී පැහැදී සිටි අයුරු අපි දුටිමු.

 ගුවන් තොටුපොළ වෙත විහිදුණු තාර පාරේ අප යද්දී දහස් ගණන් ජනයා තාවකාලික වේදිකාවලට ගොඩ වී ශ්‍රී ලංකා සහ පාකිස්තාන ධජ වනමින් ‘ශ්‍රී ලංකා පාකිස්තාන් සින්ද‌ාබාද්’ කියමින් මොර දෙනු අපට ඇසුණි. එය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පිටියට බට විට ඇසෙන උමතුවෙන් නගන ඔල්වර හඬ හා සමානම හඬක් විය.

 පාර්ලිමේන්තු සභා ඇමැතීමේදී රාජ්‍ය නායකයකුට දැක්වූ හරසරවලින් ඇය දෙවැනි වූයේ ගඩාෆිට පමණකි. බණ්ඩාරනායක මැතිනිය වෙත පකිස්තානු ජනතාව දැක්වූයේ අව්‍යාජ සෙනෙහසකි.

 පාකිස්තානයේ කැබිනට් අමාත්‍යවරයකු වූත් එරට ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා වූත් අබ්දුල් හෆෙස් කර්ද‌ාර් මහතා දැරූ අසහාය වෑයම මට නිරන්තරයෙන්ම සිහිපත් වේ.

1973 න් පසු ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සංගමයේ (ICC) පූර්ණ සාමාජිකත්වයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම වෙනුවෙන් (ටෙස්ට් තත්ත්වය ලබාදීම වෙනුවෙන්) අපමණ ලෙස වෙහෙසවී ක්‍රියා කළේය. වාර්ෂික රැස්වීම්වලදී වසරක් පාසා ඔහු අපට එහි පූර්ණ සාමාජිකත්වය ලබාදෙන ලෙස යෝජනා කළේය. එහෙත් එංගලන්ත හා ඔස්ට්‍රේලියා රටවල නිෂේධ බලය නිසා 1981 දක්වා එය කල් ගියේය.

අපේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පාකිස්තානු කණ්ඩායමට ආරාධනා නොකිරීම වරදකැයි මට නිතර සිතේ. කර්දර් මහතා සහ පාකිස්තානයේ උත්සාහය අප අගය කළ යුතුව තිබිණි. 1984 දී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ටෙස්ට් තරග 3ක් හා පළමු පන්තියේ තරග කිහිපයක් ඇතුළත් සංචාරයකට අපේ ක්‍රිකට් පිලට ආරාධනා කළේය. පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයෝ එම සංචාරයට ඇතුළත් වූහ. ඉහළ දක්ෂතාවක් ඇති පාකිස්තානු පිල හා තරගවලදී ඔවුන් ඉන් අගනා ඵල නෙළාගත් වගට කිසිදු සැකයක් නැත.

 මහ බැංකුවේ බෝම්බ පිපුරුම් සිද්ධියෙන් අනතුරුව කෙටි කාලයකදී කොළඹ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම ආරක්ෂිත බව සනාථ කිරීම සඳහා තරග කිරීමට මෙරටට පැමිණි ඉන්දියා සහ පාකිස්තාන කණ්ඩායම්වල ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සිටියහ. එය පකිස්තානය සහ ඉන්දියාව දැක්වූ අනුපමේය අනුග්‍රහයකි. අප 1996 ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කළේ පාකිස්තානයේදීය. ක්‍රීඩකයිනුත් තරගය රූපවාහිනියෙන් නැරඹූ අයත් අපේ පිල එද‌ා රැයේ පකිස්තාන ජනතාවගෙන් ලැබූ අද්විතීය සහයෝගය සහිත ඔල්වර හඬ සිහිපත් කරන බව මට සහතිකය. එය අප රටේ ක්‍රීඩා කළ තරගයක් හා සමාන වූයේය.

යාපනයේ හමුද‌ා කඳවුරක් දරුණු ලෙස එල්.ටී.ටී.ඊ. තර්ජනයටය ඉලක්කව තිබූ අවස්ථාවේ පාකිස්තානු රජය මල්ටි බැරල් කාලතුවක්කු කිහිපයක් හා උණ්ඩ ගුවනින් එවූ සිද්ධිය මට තවම හොඳින් මතකය. එය අලි භූතෝ එවූ සහල් තොගයටත් වඩා වැදගත්ය. ඒ අවස්ථාවේ බොහෝ රටවල් අපට ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කළේය.

 නැවත වරක් පාකිස්තානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධ ගැටලුවලදී අපට නිත්‍ය ලෙස සහයෝගය දැක්වූයේය. මේ වසරේදී ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් වෙහෙස නොබලා වැඩ කරමින් අපගේ රටට සහාය දෙනු ඇත.

 අපි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා උණුසුම් ලෙස සාදරයෙන් පිළිගත්තෙමු. නිසැක ලෙසම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඔහු සැබෑම උද්‍යෝගී පුද්ගලයෙකි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසු හෙතෙම දේශපාලනයේ නිරත වන්නට තීරණය කළේය. ඉන්පසු අවුරුදු කිහිපයක් තම සහයෝගිතා පදනම ඉවසිල්ලෙන් ගොඩනගා ගත් ඔහු අන්තිමටම පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජය ජයගත්තේය.

ඔහු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් පුබුදුවාලූ ලෙසම ඔහුගේ දේශපාලන ගමන ද අපගේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැන්නවුනට දේශපාලනයේ නිරත වීම සඳහා උත්තේජනයක් වනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාව ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ යනුවෙන් හඳුන්වන අතර දේශපාලන ක්‍රීඩාව ඊට බොහෝ සෙයින් ඈත් වූවකි.


(***)
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ