(සජීව විජේවීර)

යාපනයේ දොරේ අප්පා ඝාතනය කිරීමෙන් ආරම්භ වූ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමට එකළ තිබුණේ අපරාධ නීතිය පමණි. නමුත් 1979 දී සම්මත කරගත් අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා භාවිතයට ගත් අතර පසුව එහි 29 වැනි වගන්තිය සංශෝධනය කර ''තාවකාලික" යන්න ඉවත්කර 1982 අංක 10 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් ස්ථිර නීතියක් බවට පත්කෙරිණි. 

ඒ එකළ මෙරට වෙලා ගනිමින් තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ අපේක්ෂාවෙනි.

ඉන් දශක දෙකකට වැඩි කාලයක දී ත්‍රස්තවාදය අවසන් වුව ද මේ පනත ඉවත්වූයේ නැත. යළි 1982 අංක 10 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ප්‍රති ත්‍රස්ත පනත ගෙන එන බවට පසුගිය යහපාලන ආණ්ඩුව ප්‍රකාශ කරමින් සිටින අතරතුර පාස්කු දා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේ ජාත්‍යන්තරය පවා භීතියට පත්කරමිනි. 

ඉන් අනතුරුව වූයේ ප්‍රති ත්‍රස්ත පනත කඩිනමින් සම්මත කළ යුතු බවට ආණ්ඩුවෙන් නැගෙන ප්‍රචාරයයි. 

නමුත් නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමගම මැතිවරණයක් නොමැතිවම පාර්ලිමේන්තුවේ බල තුලනය වී පැවැති ආණ්ඩුව අවසන්විය. දැන් ඇත්තේ එදා ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වූ අයගේ පාලනයකි. මේ රජය බලයට පත්වන වීමට පෙර පැරණි කැබිනට් මණ්ඩලයේ අනුමත වූ ප්‍රති ත්‍රස්තපනත හකුලා ගැනීමට වත්මන් රජය ජනාධිපතිවරණයේ දී තමන් දුන් පොරොන්දු පරිදි ම කටයුතු කර තිබේ.

ප්‍රති ත්‍රස්ත පනත යනු මෙරට සමාජයේ සාමාන්‍ය ජනතාවට එතරම් අවබෝධයක් ඇති දෙයක් නොවූව ද ඒ පිළිබඳ උනන්දුවන පාර්ශව රැසක් සමාජයේ සිටිති. ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්තය.

1.      කැබිනට් මණ්ඩලයේ අනුමත කළ පනත ඒ ආකාරයෙන් ම පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු යැයි පිළිගන්නා පිරිස.
2.      අනුමත කළ පනත යම් යම් සංශෝධන සහිතව ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයැයි පිළිගන්නා පිරිස.
3.      ප්‍රති ත්‍රස්ත පනත කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොකළ යුතු බවත් දැනට බලාත්මකව පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රමාණවත් බවත් පවසන පිරිස.
4.      ප්‍රති ත්‍රස්ත පනත සම්මත කිරීම කිසිසේත්ම නොකළ යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අනවශ්‍ය බව කියන පිරිස
.
 

මෙම කණ්ඩායම් අතරින් හතරවැනි කණ්ඩායමේ අදහස ඉතා සුන්දර වුව ද කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි. 

කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ එවැන්නකට අනුබල දීමක් සිදුනොවන රාජ්‍යයක මානව අයිතිවාසිකම්වලට ගරුකරමින් විනගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගී පවතින්නේ නම් එවැනි උපරිම තත්ත්වයකට අපට යා හැකි වනු ඇත. නමුත් අප සමාජයේ  එවැනි උත්තරීතර භාවයක් දක්නට නොලැබෙන බැවින් හා එවැනි තත්ත්වයකට තවත් දශක ගණනාවකට යා නොහැකි තත්ත්වයක් තුළ මේ කණ්ඩායමේ බලාපොරොත්තුව සිහිනයක් පමණක්ම වනු ඇත. 

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයනේ පසු මෙය කිසිසේත්ම යථාර්ථයක් නොවන බව නම් පැහැදිලිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට සිදුව තිබුණේ ක්‍රියාත්මක වූ පනත භාවිතා කරමින් සාක්ෂියක් නොමැතිව වුව ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමකින් ද තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට එමගින් අවස්ථාව ලැබීම හේතුවෙන් දේශීයව සහ දේශීයව එල්ල වූ දැඩි විවේචන හේතුවෙනි.

එම පනත භාවිතා කරමින් විවිධ අවස්ථාවල දී ඉලක්කගත පුද්ගලයන්ට හා නිර්දෝශී පුද්ගලයන්ට වධහිංසා කළ බටවත්, බලහත්කාරයෙන් කටඋත්තර ගැනීම් සිදුකළ බවටත් රජයට හා පොලිසියට චෝදනා එල්ල වී තිබිණි. එමෙන්ම දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් හා වෙනත් සමාජ ක්‍රියාධරයන්, විරුද්ධ මතධාරීන් බිය ගැන්වීමට මර්ධනය කිරීමට හා ඔවුන්ගේ අදහස් ප්‍රකාශකිරීම්වලට එරෙහිව මෙම පනත යොදා ගත හැකි බවත් කියැවිණ. 

මෙම තත්ත්වය හේතුවෙන් 2015 බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලන රජය කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ප්‍රති ත්‍රස්ත පනත ගෙන එන බවයි. 

ඔවුන් පැවසූ ආකාරයෙන් ම එම පනත කෙටුම්පත් කෙරිණි. කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික කාරක සභාවේ සාකච්ඡාවට ද බඳුන් කෙරිණි. මේ කාරක සභාවේ සභාපතිත්වය දැරූ මයන්ත දිසානායක මහතා පවා කියා සිටියේ තම රජය මගින්ම ඉදිරිපත් කර ඇති මේ පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් බරපතල විවේචන තිබෙන බැවින් විපක්ෂ නියෝජනයක් ද ඇති කාරක සභාවේ දී අදාල කරුණුවලට සංශෝධන ඉදිරිපත් කරන බවයි. ඒ සඳහා කාරක සභාවට කැඳවූ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පවා සාකච්ඡා කළ බව ද හෙතෙම කියා සිටියේය. ඔහු සභාපතිත්වය දැරූ එවකට විපක්ෂයේ සිටි වර්තමානයේ ආණ්ඩුපක්ෂයේ සිටින මන්ත්‍රීවරු රැසකගේ යෝජනා හා සංශෝධන ද කාරක සභාවේ දී පනතට ඇතුලත් කර බව දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් ලෝක මානව අයිතිවාසිකම් පිළිබඳ සැළකිලිමත්වන බොහෝ පිරිස් පවසන්නේ ප්‍රති ත්‍රස්ත පනතේ ඇති අහිතකර තත්ත්වයන් මෙම පනත අහිතකර නොවන බවයි.

එහි දී ඇතැම් පාර්ශවයන් විසින් දැඩි විවේචනයට ලක්වන කරුණක් වන්නේ මෙම පනතේ සඳහන්වන පුද්ගලයන් සිය ගණනක් වුව ද ඝාතනය කළ ත්‍රස්තවාදියකුට ලබාදෙන දඬුවම වන ජීවිතාන්තය දක්වා සිර දඬුවම ප්‍රමාණවත් නොවන බවයි. නමුත් ගැටලුව ඇත්තේ මිනිසුන් ඝාතනය කළ පුද්ගලයකු මරා දැමීමෙන් ඔහුට දඬුවම ලැබෙන්නේ ද යන්නයි. මරණ දඬුවම යනු අද වත්මන් ශිෂ්ට සමාජය විසින් පිළිගන්නක් නොවේ.

පාර්ලිමේන්තුවට ගෙන ආ නව පනතට අනුව, එනම් කෙටුම්පත් කරන ලද ප්‍රති ත්‍රස්ත පනත අනුව, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24 ක් තුළ ළඟම ඇති පොලිස් ස්ථානාධිපතිට භාරදිය යුතු අතර ස්ථානාධිපතිවරයා සැකකරුගේ සිරුරේ තුවාල ආදිය තිබේදැයි සොයා බලා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් කඩිනමින් කැඳවිය යුතුය. එමෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් සැකකරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ ද යන්න බැලීම සඳහා අත්අඩංගුවට පත්වී පැය 24 ක් ඇතුළත ඒ බව ශ්‍රී ලංකා මානව හිමික්ම කොමිසමට වාර්තා කිරීම කළ යුතුය. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී නිලධාරීන් තම අනන්‍යතාව සැකකරුට හා ඔහුගේ ඥාතීන්ට හෝ සමීපතමයන්ට හෙලි කළ යුතුය. එමෙන්ම පැරණි පනතේ මෙන් රඳවාගෙන දීර්ඝකාලක් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැත. පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය. සැකකරුවකු නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ්භාරයේ තබාගත හැකි උපරිම කාලය ද මාස හයක් ලෙස නව පනතේ සීමාවක් පනවා තිබේ. එමෙන්ම රඳවා තබාගන්නා කාලයේ දී සැකකරුගේ සියලුම මූලික පහසුකම් ලබාදෙන බවට සහතික විය යුතුය. සැකකරු රඳවා තැබූ සියලු ස්ථාන හෙළිකළ යුතුය.

තව ද බලහත්කාරයෙන් ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස භාවිතා කිරීමට නොහැකි වීම, නීතිඥයන්ට හා මානව හිමිකම් කොමිසමට සැකකරුවන් බැලීමට අවස්ථාව ලබාදීම මෙම පනතේ දැක්වෙන තවත් සුවිශේෂී කරුණු වෙයි.

පැරණි පනත හා මෙම නව පනත අධ්‍යයනය කරනු ලබන මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙම කරුණු ඉතාමත් සාධනීය බවයි. එබැවින් එවැනි පනතක් ගෙන ආ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

එසේ වුව ද බොහෝ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා දේශපාලනයට යම් හෝ සම්බන්ධයක් ඇති සිවිල් සංවිධාන මේ පනතට දැඩි විරෝධයක් පළ කරති. ඔවුන්ගේ විරෝධයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් කරන්නේ මෙම පනතේ ත්‍රස්තාවදය සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්වචනයයි.

පනතේ තුන්වන වගන්තියේ ත්‍රස්තවාදය යන්න විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

3. (1) (අ) ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව, (ආ) යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ අන්තර්ජාතික සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙලඹවීමේ අරමුණින් යුතුව, (ඇ) එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව, හෝ (ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවට හෝ ස්වෛරී බවට හානි සිදුකිරීමේ අරමුණින් යුතුව, (2) වන උපවගන්තියේ සඳහන් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තකු ත්‍රස්තවාදී වරදට වරදකරු වන්නේය.

මෙම නිර්වචනයට විරුද්ධ වන්නන් පවසන්නේ මෙහි (ඇ) යටතේ ඇති ''එවැනි යම් ආණ්ඩුවක, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව " යන්න ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි. එමගින් ආණ්ඩුව අනවශ්‍ය මර්ධනයකට යා හැකි බව ද මේ නව පනතට විරුද්ධවන පිරිසගේ තර්කයයි.

එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසන්නේ මෙම පනතට අනුව 1953 හර්තාලය කළ පිරිස ද ත්‍රස්තවාදීන් බවට අර්ථකථනය කිරීමට හැකියාව ඇති බවයි. කෙසේ වෙතත් ඔහු පවසන්නේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා මෙම නව පනතේ මානව අයිතිවාසිකම්වලට ගරු කරන කරුණු රැසක් අඩංගුවන බැවින් එහි ඇති සුළු සුළු දෝෂ මඟහරවාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුව තිබූ පනතක් බවයි.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ දැනට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට පමණක් තිබුණ ද මෙම පනත මගින් එම බලය යුද හමුදාවට පවා ලබා දී තිබීම අතිශය භයානක තත්ත්වයක් විය හැකි බවයි.

තහනම් නියෝග පැනවීමේ බලය මෙම පනත මගින් පොලිසියට ලැබෙන අතර ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට අදාල විෂය භාර අමාත්‍යවරයාට බලය හිමිවේ. මේවා පනත යොදගෙන යම් මර්ධනයක් කළ හැකි අවස්ථා බව සිවිල් ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති. එබැවින් විරෝධතා මර්ධනය කිරීමට ප්‍රති ත්‍රස්ත පනත යොදා ගැනීමට බලයේ සිටින රජයට හැකිවීම සමාජ අරගලවල දී අතිශය භයානක තත්ත්වයක් බව ද ඔවුන්ගේ අදහස වී ඇත. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් පවා ආණ්ඩුවේ කාර්යයන්ට බාධාවක් බැවින් වර්ජනය කරන වෛද්‍යවරු ප්‍රති ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 20ක සිර දඬුවමක් නියම කළ හැකිවීම මෙරට වෘත්තීය සමිති මර්ධනය කර ඒකාධිපතිත්වයක් කරා රජයකට ගමන් කළ හැකි මාර්ගයක් නිර්මාණය කරන තත්ත්වයක් බවයි.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමත කළද එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පනතට විරුද්ධ බව ප්‍රකාශ කර තිබිණි. 

ජනතා විමුක්ති පෙරමුණ සිටියේ ද මේ පනතට විරුද්ධ ස්ථාවරයකය. 

ඔවුන් වරක් එවකට විපක්ෂනායකවරයා ව සිටි මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කියා සිටියේ මෙම පනත පරාජය කිරීමට එක්ව කටයුතු කරන බවයි.

දෙමළ හා මුස්ලිම් පක්ෂ මෙම පනත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර නැතත් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් මහජන නියෝජිතවරු පනතට සංශෝධන ඇතුලත්විය යුතු බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබිණි. ඒ අතර ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අංශික කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මහතා ද සිටියි.

මේ සියලු කරුණු කාරණා සහ විවේචන මත ගැටුම් මෙසේ වෙද්දී ප්‍රති ත්‍රස්ත පනත සම්මත කිරීම නවතා දැමීමට වත්මන් රජය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත අනාගතයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභාවේ සාකච්ඡා කළ තවත් එක් පනත් කෙටුම්පතක් පමණක් ලෙස ඉතිහාසගත වනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ උනන්දුවක් දක්වන සමාජ ස්ථරයන්ගෙන් තුන්වැනි කණ්ඩායම වූ ප්‍රති ත්‍රස්ත පනත කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොකළ යුතු බවත් දැනට බලාත්මකව පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රමාණවත් බවත් පවසන පිරිස ජයග්‍රහණය කර තිබේ. තවදුරටත් පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණි. අන් සියල්ලෝ පරාජිතයෝය.

ශ්‍රී ලංකාව යනු හුදෙකලා රාජ්‍යයක් නොවේ. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වඩාත් උනන්දුවක් දක්වන රාජ්‍යයක් වනවා සේම ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව පවා ජාත්‍යන්තරය ද අප ත්‍රස්වාදය කෙරෙහි දක්වන ප්‍රතිචාරය කවරක් දැයි යන්න පිළිබඳ අවධානයට ලක්වූ රාජ්‍යයකි. 

වසර 30ක යුද්ධයෙන් පසු මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර බලපෑමට ලක්වූ රටක්වන අපට තවදුරටත් පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරපින්නාගෙන යා හැකි ද යන්න පිළිබඳ නුදුරු අනාගතයේදී ම තීරණය කිරීමට සිදුවනු ඇත. එවිට අද පවතින වර්තමානය ඉතිහාසයට එක්ව පවතින බැවින් ඉතිහාසයේ කෙටුම්පත් වූ ප්‍රති ත්‍රස්ත පනත ගැන සළකා බලන්නේ ද නැද්ද යන්න අනාගතයේ පත්වන පාලකයන් විසින් තීරණය කරනු ලැබිය යුතු කාරණයකි.